“ගොනාකෝවිලේ කුඩු අංජු” ගේ චණ්ඩිකම්


පාතාල දඩබ්ම

 

 

 

මොරටු පාතාලය ගැන ඇසෙද්දී එදා සිටියේ “මොරටු සමන්” ය. මොරටුව පැත්තේ “සද්දේ” පතුරුවමින් සිටි මොරටු සමන්, අද නැත. සමන්ගේ නම වෙනුවට අද ඇසෙන්නේ “ගොනාකෝවිලේ රොහා” සහ “ගොනාකෝවිලේ කුඩු අංජු” ගැනය. මොරටු සමන්ගෙන් අත්පොත් තැබූ ගොනාකෝවිලේ රොහා අද සිටින්නේ පොළොවෙන් අඩි ගණනක් යට “සමන් ලා” ද සමගය. ඒ පොලීසියට වෙට්ටු දමන්නට ගොසින් වැඩ වැරදී ගියාට පසුවය. නො එසේ නම් සදාතනික පාතාල අයියලා යන සුපුරුදු ගමන ගොසින්ය.


මොරටු සමන්ගේ ළඟම ගෝලයකු වූ දේවුමුණී රෝහණ හැරල්ඩ් ද සිල්වා නොහොත් “ගොනාකෝවිලේ රොහා” රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, යන ප්‍රදේශවල හෙරොයින් ජාවාරම ජයටම සිදුකරමින් සිටි පුද්ගලයකු බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. ඔහුට එදා, පාතාල නායකයින් සහ ඇතැම් දේශපාලනඥයින් අතර සමීප සබඳතා තිබූ බවට අදටත් සමාජය තුළ කතාබහට නැගෙන කරුණකී.
වෛරයේ ගිනි දැල්වලින්, මෙන්ම පොලිස් උණ්ඩයකින් ජීවිතයෙන් සදහටම සමුදීමට දේමුණී හැරල්ඩ් රොහාන් ද සිල්වා නොහොත් “ගොනාකෝවිලේ රොහා” ට සිදුවෙන්නේ ඉකුත් සැප්තැම්බර් මස 24 වැනිදාය. පොලීසිය සමඟ ඔට්ටු වෙන්නට ගිය පාතාලයේ බොහෝ අයියලාගේ ඉරණම විසඳුණු ආකාරයෙන් ‘රොහා’ ද අවසන් ගමන් ගියේය.


රොහාගේ අවසන් කටයුතු අති උත්කර්ෂවත් ආකාරයෙන් සිදුකිරීමට ඔහුගේ පාර්ශ්වයේ අය කටයුතු කළේ මිනී පෙට්ටියට පමණක් රුපියල් ලක්ෂ 4කට වැඩි මුදලක් වැය කරමිනි. පාතාලයේ කෙරුමන්ගේ මරණ සම්බන්ධයෙන් සාමය සමාදානය අගයන නිදහස් පොදු සමාජයක් සතුටු වුවත් ඔවුන් ඒවා එළිපිට රඟ නොදැක්වූහ. ඇතැම් අවස්ථාවලදී අයෙක් කිරිබත් උයා රතිඤ්ඤා පත්තුකර එවන් අවස්ථා සමරණ ආකාරය ඉතිහාසයේ අසන්නට දකින්නට තිබුණි’. එහෙත් මියගිය අයෙකු කෙරෙහි දක්වන ගෞරවය අදටත් නොඅඩුව මේ රටේ සිංහල බෞද්ධ සමාජය තුළ නිරන්තරයෙන් දක්නට ලැබෙන්නකි.


එහෙත්, ගොනාකෝවිලේ රොහාගේ “මරණය” සැමරීමට රත්මලාන පැත්තේ තවත් අයියා කෙනෙක් දැඟලූ ආකාරය නම් හාස්‍යජනකය. බියකරුය. ඔහු සිය ප්‍රතිවාදියාගේ ‘බෙල්ල’ ගෙනැත් දෙන අයකුට රුපියල් කෝටි 5ක ඔට්ටුවක් ද අල්ලා තිබූ බවට ද තොරතුරු හෙළිවිණී. මේ කියන්නේ සිංහාරගේ අමල් සමින්ද සිල්වා නොහොත් “ගොනාකෝවිලේ කුඩු අංජු” ගැන ය.


වසර ගණනාවක වෛරයේ පළිගැනීම වෙනුවෙන් කුඩු අංජුට දැනී තිබුණේ කියා ගන්නට බැරි සතුටකි. රොහාගේ මරණය වූ සැනින් සිය ෆේස් බුක් ගිණුමෙන් සක්‍රීය වූ කුඩු අංජු, මුළු රත්මලාන සහ ගල්කිස්ස වැනි ප්‍රදේශවල සිටින ජනතාව සිය අතට ගෙන කටයුතු කරන්නට විය. රොහාගේ මරණයට සහභාගී වෙන්නන්ට අත්වෙන්නේ ‘මරණය’ බව සඳහන් කරමින් කුඩු අංජු මරණයේ සතුට සැමරීමට ‘බජව්’ ලෑස්ති කළේය. තම සහෝදරයා වූ ‘ලංසියාගේ’ සොහොන මලින් සරසා එහි සිට කේක් කපන්නට මොහු ලක ලෑස්ති විය. ඉතාලියේ සිටිමින් මෙහි සිටින තම හෙංචයියන්ට ‘සවුදිය පුරන්නට’ බෝතල් පිටින් අරක්කු අරන් දෙන්නට ඔහු සූදානම් බව කීවේය. එපමණක් ද නොව ගල්කිස්ස පැත්තේ මුහුදු වෙරළක ගිනි කෙළි සංදර්ශනයක් ද පවත්වා එහි දර්ශන සිය මුහුණු පොතෙන් මේ රටේ සිටින ජනතාවට පෙන්නමින් සිටියේය. ඔහුගේ කියමනට අනුව “ගේම් ඕවර්” වී ඇත. කුඩු අංජුගේ හොඳම ගෝලයා වූ ‘‘ඇල්ටෝ ධර්මේ’’ රත්මලාන ප්‍රදේශයේ “ලක්මැදුර හෝටල්” හිමියාට දුරකතනයෙන් කියා සිටියේ, “අපේ ලොක්කා තමයි අන්තිම තීරකයා. ලොක්කාගේ තීරණය තමයි අන්තිම තීරණය.” කියාය. ඒ කියා ඇත්තේ ඇල්ටෝ ධර්මේලාගේ සහ කුඩු අංජුලාගේ පාතාල ලෝකය ගැනය. සාමාන්‍ය ජනතාව නම් මේවාට කීවේ ‘මළ සමයං’, ‘මුංගේ මළ විකාර”, “මුන්ට ගිය රට” කියාය.
එදවස, රත්මලාන හොල්ලාගෙන සිටියේ සිංහාර අමල් සමින්ද සිල්වා නොහොත් “කුඩු අංජු” සහ සිංහාර සුරේෂ් අසංක සිල්වා නොහොත් “ලංසියා” ගේත් බාප්පලා ය. ‘රත්මලානේ රාජා’ යනු මේ දෙදෙනාගේ ලොකු බාප්පාය. ඒ 1980 වර්ෂයේ දීය. රත්මලානේ ලොකු අයියාව සිටි මේ රාජා, 88, 89 භීෂණයේ ගොදුරක් වන්නේ බාප්පලාගේ රැල්ලේ මුල් පුරුක බිම හෙළමිනි. මේ කාලය වනාහී අංජුත් ලන්සියාත් රොහාත් ගල්කිස්සේ පිහිටි ප්‍රසිද්ධ පාසලක එක සෙවනේ අකුරු කළ කාලයයි. අංජු පොඩි කොල්ලෙක් වුවත් රොහාත් ලන්සියාත් එකම පංතියේ මිතුරන්ව සිටියහ. මේ මිතුරන් දෙදෙනාගේ එකම ආශාව වූයේ ඇඟ පුම්බා ගැනීමය. ඒ සඳහා දෙන්නාම ‘ජිම්’ ගියේ පිස්සුවෙන් වාගේය. දෙන්නා කෑවේ බිව්වේ ජිම් ගියේ එකටය. වෙනකක් තබා දෙන්නා ඇන්දේ ද එක වාගේ ඇඳුම් පැලඳුම් ය.


මේ දෙන්නාගේ මිතු දමට කණ කොකා හඬන්නේ ලන්සියාගේ ඥාති සහෝදරියකට රොහාගේ මිතුරෙකු ප්‍රේම සම්බන්ධයකට ඇරයුම් කිරීමක් නිසාය. අවසානය වූයේ රොහාටත් මිතුරාටත් ලන්සියාගේ රංජි බාප්පාගෙන් බඩකට පිරෙන්නට ගුටි කන්නට සිදුවීමය. මෙහි පිටුපස සිටියේ අනෙකෙකු නොව ලන්සියා ම බව රොහාට සිතිණී. එතැන් පටන් මේ පැණි වරකා ගහට හෙණ ගැහුවේය. ලන්සියාගේ බාප්පලාට වැඩක් දෙන්නට රොහා එකතු වූයේ මොරටු සමන් සමගය.


රොහාගේ මේ අලුත් මිත්‍රසමාගමට මුලින්ම වැඩක් දෙන්නේ ලන්සියාගේ පොඩි බාප්පාය. දෙහිවල ගල්කිස්ස නගර සභාව් මන්ත්‍රීරවරයකු වූ ‘පොඩි මහත්තයා’ රොහාට බෝම්බ නඩුවක් පටලවා හිරගෙදර යැවීමට උපක්‍රමයක් යොදන්නේ මේ හේතුවෙනි. පොලීසියට ඔත්තුව දුන්නේ පොඩි මහත්තයා බවට රොහා විශ්වාස කළේය. ‘රොහා” බන්ධනාගාරයෙන් එළියට ආ දා පටන් පොඩි මහත්තයාගෙන් පළිගැනීමට කල් මැරුවේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2007 වර්ෂයේ මාර්තු මස 13 වැනිදා රත්මලාන මැලිබන් හන්දියේ කාර්යාලයක රැඳී සිටි පොඩි මහත්තයාට වෙඩි තබා ඝාතනය කරන්නේ මේ කියන රොහා ය.


මොරටු සමන් ද වෙඩි උණ්ඩයකින් පරලොව යන්නේ මේ කාලවකවානුවේදීමය. ඒ වන විට රොහා, රත්මලාන ප්‍රදේශයේ ‘හොඳ කකුලක්’ ව සිටියේය. එහෙත් ලන්සියා සිටියේ රොහාට වඩා ඉදිරියෙනි. සිය බාප්පා මරා දැමීමේ පළිය ගැනීමට රොහා එන පෙර මග බලා සිටියේ ලන්සියාය. මේ වන විට ලන්සියා රත්මලාන අවට ප්‍රදේශවල හෙරොයින් ජාවාරම සරුවට කරමින් සිටියේය. පොඩි මහත්තයා මරා දැමෙන් පසු හිර ගෙදරින් එළියට එන රොහා ද කුඩු බිස්නස් එකට අත තබන්නේ ලන්සියාට නොදෙවෙනි ලෙසටය. වෛරය තවත් තීව්‍ර වන්නේ ඉන් අනතුරුවය.


මේ අතර බන්ධනාගාර නිලධාරියෙක් වන රොහාගේ බිරිඳගේ සහෝදරයා ත්‍රීරෝද රථයකින් රොහාගේ නිවසට පැමිණෙමින් සිටියේ සිය සහෝදරියගේ දුක සැප විමසා බැලීම සඳහාය. පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකු වූ අසංක නමැති ලන්සියාගේ ඥාති සහෝදරයාත් මෝටර් රථයකින් රොහාගේ නිවස ඉදිරිපිටින් ගමන් කරමින් සිටියේය. ත්‍රිරෝද රථය මග හරස් කර නවතාගෙන සිටීම සම්බන්ධයෙන් උරණ වෙන ලන්සියාගේ එස් ටී එෆ් ඥාතියා බන්ධනාගාර නිලධාරියා සමග බහින් බස් වෙයි. අවසානයේ බන්ධනාගාර නිලධාරියා අත දිග හැර කම්මුල් පහරකින් ලන්සියාගේ ඥාතියාට සංග්‍රහ කරයි. මේ කම්මුල් පාර වදින්නේ ලන්සියාගේ ඥාතියාට නොව ලන්සියාටය. එයින් සිදුවූයේ රොහා කෙරෙහි උපන් වෛරයේ ගිනි දැල් තව තවත් දලුලන්නට වීමය. එහෙත් ලන්සියාට කලින් ඉක්මන් වන්නේ රොහාය. 2016 වසරේ ජුනි මස 23 වැනිදා මහර බන්ධනාගාරය අසලදි ලන්සියාගේ කතාව අවසන් වන්නේ රොහාගේ වෙඩි උණ්ඩයකිනි.


එතැන් පටන් වැඩ පටන් ගන්නේ මේ කියන ‘කුඩු අංජුය’. ඒ වන විටත් පාසල් ශිෂ්‍යයකුව සිටි අංජු සිය සහෝදරයාගේ ඝාතනයට රොහාගෙන් පළි ගන්නා තෙක් නින්දක් නොවිනි. රොහා වෙනුවෙන් අංජුගේ අවියෙන් නික්මුණු පළමු වෙඩිල්ලෙන් දිවි පිදුවේ රොහාගේ හොඳම මිතුරා වූ ප්‍රභාත් ය. දෙවැනි වෙඩිල්ල පත්තුවෙන්නේ රොහාගේ බාප්පාටය. කැලණීතිස්ස විදුලි බලාගාරයේ සේවකයෙකු වූ ඔහුව අංජු විසින් මරා දමනු ලබන්නේ වාද්දුව ප්‍රදේශයේදීය. රොහාගේ ගෝලබාලයින් කිහිප දෙනෙකුගේම ජීවිතවලට වගකියන කුඩු අංජු ලංකාවෙන් පැන යන්නේ මෙහි සිට ‘මේ සෙල්ලම්’ දැමිය නොහැකි නිසාය.


මේ කතාව අතරට එන තවත් එක් චරිතයකි. ඒ රන්ජන් ද සිල්වාය. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු ලෙස සිටි රන්ජන් ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනංජය සිල්වාගේ පියාය. රන්ජන් සිල්වා මේ සියලු දෙනාම ඉතාමත් සමීපව ඇසුරු කළ අයෙක් බව කියැවෙයි. පොඩි මහත්තයාට වෙඩිතබා ඝාතනය කළ “රොහා” ඇතුළු මැර කණ්ඩායමට රන්ජන් සිල්වා රැකවරණය ලබාදුන්නැයි අංජු සැක කරයි. ඒ සැකය වෛරයකට පෙරැළී තිබුණේ රන්ජන් සිල්වා දේශපාලන වශයෙන් කිසියම් ස්ථාවර මට්ටමකට පත් වෙමින් සිටියදීය. විටින් විට ප්‍රදේශයේ ඇතිවෙන ඇතැම් ගැටුම්වලදී සැකකරුවන් අල්ලා දීමට රන්ජන් සිල්වා පොලීසියට උදව් උපකාර කර ඇතැයි අංජු, රන්ජන් කෙරෙහි සැක සංකා ඇති කරගෙන සිටියේය. අංජුගේත් රොහාගේත් ගැටුමට රන්ජන් මැදි වූයේ පාතාල සමීප සබඳතා නිසාය. මීට වසර පහකට පමණ පෙර නාගරික මන්ත්‍රී අමල් සිල්වා ගේ නිවස ඉදිරිපිටදී ඇතිවූ යම් ගැටුමක ප්‍රතිඵලයක් ලෙස අංජුගේ කල්ලිය රන්ජන් සිල්වා වෙඩි තබා ඝාතනය කළේ ය. ඒ 2018 වර්ෂයේ මැයි මාසයේ දිනකදීය.


රොහා මෙරට සිටිමින් හීන දැක්කේ අංජුගේ මිනිය දකින්නටය. අංජු ඉතාලියේ සිට හීන බැලුවේ රොහාගේ අවසන් ගමනය ගැනය. මේ පාතාල රැඟුමේ එක් ආසන්නතම සිදුවීම වන්නේ, ඉකුත් ජුනි මස 19 වැනිදා ඇඳිරි නීිතිය පනවා තිබියදී නාඳුනන කල්ලියක් විසින් රත්මලාන සොයිසාපුර අවන්හලට කඩු පොලුවලින් පහරදෙනු ලැබූ සිද්ධියයි. සුඛෝපභෝගී වාහනයකින් පැමිණෙන මෙම නාඳුනන කල්ලි සාමාජිකයින් ගල්කිස්ස පොලිස් වසමේ 160/2 “ලක්මැදුර හෝටලයට” ප්‍රහාරයක් එල්ල කර එහි සිටි සේවකයකුට කඩුවකින් පහරදී පලා ගියහ. මේ ගැන අවන්හලේ හිමිකරු පොලීසියට පැමිණීලි නොකිරීමට වග බලා ගන්නේ දිගින් දිගටම ඔහුගේ ජංගම දුරකතනයට විදෙස් රටකින් ගලා ආ ඇමතුම් හේතුවෙනි.


අමල් සමින්ද සිල්වා නොහොත් “කුඩු අංජු” පමණක් නොව ඔහුගේ ප්‍රධාන ගෝලයකු වන මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින එල්ලාවල ලියනගේ ධර්මසිරි නොහොත් “ඇල්ටෝ ධර්මේ” ද ලක්මැදුර හෝටලයේ හිමිකරු වෙත වරින් වර ඇමතුම් ලබා දෙමින් කප්පම් ඉල්ලා මරණ තර්ජන කර ඇතැයි පසුව වාර්තා විණී.
‘එයාර්ෆෝස් සම්පත්”, “අත්තිඩියේ කරු” යනු “රොහා” ගේ ගෝලයෝ ය. හෝටල් හිමිකරු මේ අය සමඟ සමීප සබඳතා පැවැත්වීම අංජුගේ කල්ලියට වහකදුරු වීම නිසා මෙම ප්‍රහාරය සිදුවී තිබිණී.


ඉකුත් 2019 වර්ෂයේ දිනෙක ගල්කිස්ස ප්‍රදේශයේ සැලුනයක සිටි එයාර්ෆෝස් සම්පත් සහ අත්තිඩියේ කරු යන අයව ඝාතනය කිරීමට අංජුගේ කල්ලිය ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබිණ. ඒ දිනවල අංජු සිය ෆේස්බුක් ගිණුමේ “වෙඩි වරුසා සම්මාන ලබා දෙනවා” යනුවෙන් තවත් දේවල් ලියු පෝස්ට්ටුවක් පළ කර තිබුණී. කුඩු අංජුට මෙවන් පණීවිඩ ලිවීම මහ කාරියක් නොවීය. ඉතාලියේ සිට සිය ෆේස් බුක් ගිණුමෙන් මෙරට සිටින ඇත්තන්ට ඔහු ලබා දෙන්නේ “මාර මාර” පණීවිඩය ය. මොහුගේ මේ පහත් මෙන්ම හාස්‍යජනක පණීවිඩ රෙහාගේ මරණයේදී හොඳින්ම දක්නට ලැබුණකි.


“ලක්මැදුර හෝටලය” කුඩු කිරීමේ ගාස්තුව කුඩු පැකට් 70ක් සහ මුදලින් රුපියල් 20,000ක් බව පොලීසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිකරගෙන තිබිණී. මේ කොන්ත්‍රාත්තුව දෙන්නේ “ඇල්ටෝ ධර්මේ” ය.
“අයියාගේ තීන්දුව අවසන් තීන්දුව. අයියා කිව්වොත් අපි ඇහුවා.” ඇල්ටෝ ධර්මේ හෝටලේ හිමිකරුට තර්ජනය කරමින් කියන්නේ ඔවුන්ගේ ලොකු අයියා වූ කුඩු අංජු ගැනය. ඒ තරමටම කුඩු අංජු ලොකු අයියා කෙනෙකු වී සිටියි.


“පුළුවන් නම් රොහාව මරපන්. අපි ඊට පහුවදාම කුඩු විකුණන එක නවත්වනවා. අපි නෙවෙයි පාතලය. රොහායි පාතාලය. අපිව මේ තැනට අරගෙන ආවේ ඌ. අපි අපේ පාඩුවේ ජීවත් වුණේ. අපිට ඉන්න දුන්නේ නැත්තේ රොහා ...” මේ කිව්වේ ඇල්ටෝ ධර්මේය. පාතාල ලෝකයේ අයියලා ළඟ ඇත්තේ ‘එක වචනයේ කතාව’ නැත්නම් ‘වන් වඩ්ස්’ ය. ඔවුන් කියා ගන්නේ එහෙමය. එසේනම්, චනය ක්‍රියාවට නැංවිය යුතුය. නැත්නම් ඔවුන් ‘ලොක්කෝ’ නොව ‘සොක්කෝ’ වෙති. දැන් රොහා මරා දමා ඇත. කුඩු අංජුලා ඉකුත් 24 වැනිදා යින් පසු කුඩු විකිණීම පවා නතර කර ඇත. දැන් මොරටුව රත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශවල පාතාලය ද නැත. ඔවුන් කියනා ආකාරයට දැන් දැන් ඔවුන්ගේ සිහින ලෝක නිමාවී තිබේ. ඔවුන්ගේ වචනයෙන් අපි එසේ සිතමු.


රොහා ළග ටී 56 වර්ගයේ ගිනි අවි 25ක් තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබිණී. රොහා අල්ලා ගත්ත ද ගිනි අවිවලට කුමක් වුණි දැයි තවමත් ගැටලුවකි. ආරක්ෂක අංශ මේ ගිනි අවි සොයා මෙහෙයුම් සිදුකරනු ඇත. එහි ප්‍රතිඵල ලෙස පොලිස් විශේෂ කාර්ය බළකාය ඉකුත් 05 වැනිදා රත්මලාන ප්‍රදේශයේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි හතරක් සොයා ගෙන තිබිණී. එසේනම් අනෙක් ගිනි අවි සොයා ගැනීමද ඉක්මනින් සිදුවිය යුත්තකි. මන්ද පාතාලයේ අයියලාගේ අතට මේ ගිනි අවිවලින් ඇත්තේ කුමන පලයක් ද? ඔවුනොවුන්ගේ වෛරය පිරිමසා ගන්නට මේ ගිනි අවි එකතු කළත් ඊට මැදිවෙන්නේ මේ සමාජයේ සාධාරණව ජීවත් වෙන සාමාන්‍ය වැසියාය. එසේ නම් පාතාලය හෝ හෙරොයින් මත්ද්‍රව්‍ය මේ රටට අවශ්‍ය ම නැත. අවශ්‍ය වන්නේ සාමකාමි සමාජයක ජීවත්වීම පමණී. එය මුළු මහත් සමාජයේම එකම පැතුම වන්නේය.

 

 

නිරංගි අබේවික්‍රම