‘‘ස්පා’’ මුවාවෙන් කෙරෙන කෑලි ක්‍රමයේ ගණිකා ජාවාරම


සමාජයේ හරස් කඩක් 

ඔබ අප සිටින සමාජය විනිවිද දකින්න

 

 

සමාජයක් පිරීහීමට බලපාන සාධක ගණනාවක් තිබේ. ඉන් ප්‍රධානම සාධකය වන්නේ රාජ්‍ය පාලනයය. පාලක පැලැන්තියේ දැක්ම අනුව නීති රීති වෙනස් වේ. නීති රීති ක්‍රියාවට නැගෙන ආකාරය වෙනස් වේ. රටත් ජනතාවත් යහපත් කිරීම සදාචාරවත් කිරීම නීතිරීතිවලින් කළ නොහැකි වුවත් ඒවාද අවශ්‍ය බව පිළිගත යුතුය. නීතිගරුක නොවන පාලක පැලැන්තියක් විසින් නීති අමුඅමුවේම කෙලෙසන පාලක පැලැන්තියක් විසින් නීති බලපාන්නේ සාමාන්‍ය වැසියාට පමණක් බව එළිපිටම පෙන්වා දෙන පාලක පැලැන්තියක් විසින් සාමාන්‍ය ජනතාවටද නීති කැඩීමට අනියම් බලපෑමක් කරනු ලැබේ.   


අධ්‍යාපනික මෙන්ම ආගමික ශික්ෂණයද සමාජ පැවැත්මට බලපාන සාධක දෙකකි. ලිපිකාර අධ්‍යාපනයක්, නැතහොත් විභාග සමත් වීම පමණක් අරභයා ලබාදෙන අධ්‍යාපනයක් තුළින් ගොඩනගන තරුණ තරුණියන් පිරිසකගෙන් සමන්විත ඉහත කී ආදර්ශයන්ද සහිත සමාජයකින් සදාචාරවත් ශිෂ්ට සම්පන්න සමාජයක් බලාපොරොත්තු විය නොහැකිය.   
ජනතාවට ජීවත් වීමට ප්‍රමාණවත් ආදායම්මාර්ග ඇති ආර්ථික ක්‍රමයක් රටක නැත්නම් ඔවුන්ගේ ජීවන ගැටලුද දවසින් දවස උග්‍ර වෙමින් තිබේ නම් ඒ රටේ ජනතාව මුදල් ඉපයීමට නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන ක්‍රමවේද භාවිතා කිරීම අරුමයක් නොවේ. ජීවන ගැටලුවලින් හෙම්බත්ව සිටින අතර, නවීන තාක්ෂණික මෙවලම් හා වෙනත් විවිධ නවීන මෙවලම්වලින්ද අවුල්කරනු ලැබූ මනසක් සහිත තරුණ පරපුර කැඳවා ඉක්මන් පහසු ක්‍රමයන්ගෙන් වඩාත් වැඩි මුදලක් ඉපයීමේ මාර්ග කෙරෙහි යොමුවීමද අරුමයක් නොවේ. ඒ නිසා ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්, මංකොල්ල කෑම්, ගණිකා වෘත්තියේ යෙදීම් වැනි දේවල්වලට පෙළඹීමද අරුමයක් නොවේ. ස්පා එහි එක් සන්ධිස්ථානයකි. පිළිගත් වෘත්තියක් ලෙස සමාජයට පෙන්වමින් ප්‍රසිද්ධ ස්ථානවල පවත්වාගෙන යන එවැනි ආයතනයක සේවය කිරීම සමාජයේ විරෝධයකට ලක් නොවී කෙටි කලකින් වැඩි මුදලක් ඉපයිය හැකි මාර්ගයක් ලෙසද ඇතැම් තරුණ පිරිස් ස්පා දකිති.   


මොනවද මේ ස්පා නැත්නම් සම්බාහන මධ්‍යස්ථාන?   


සම්බාහනය යනු නිල වෙදකම හා බැඳුණු, සිරුරත් මනසත් සුවපත් කරන ප්‍රතිකාර ක්‍රමයකි. බටහිර වෛද්‍ය විද්‍යාවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් දෙකම මේ වෙදකම භාවිතා කරනු ලැබේ. ඒ සඳහා බටහිර රටවලදී නම් පැය පන්සීයක් නැත්නම් මාස හයක් ආදී ලෙස පුහුණුවක් සහිත තෙරපිවරුන් වරියන් භාවිතා කළ යුතුය. මෙහිදී මාංශ පේශි ලිහිල් කිරීමෙන්ද, ඇතැම් නිල තෙරපීම් මගින්ද සුවයක් ලබාදීම සිදුකෙරේ. බටහිර වෛද්‍ය ක්‍රමයේදී ඇතැම් ආලේපනත්, දේශීය වෛද්‍ය ක්‍රමයේදී නම් ඇතැම් තෙල් වර්ග හා ශාකමය යුෂ වර්ග ආදියද සම්බාහනයකදී යොදා ගනු ලැබේ.   


අපේ රටේ රජකාලයේ සිටම සම්බානය රජවරුන්ගේ සිටුවරුන්ගේ සැපවත් ජීවිතයේ එක් අංගයක් ලෙස පැවතිණ. එය සිදුකරනු ලැබුවේ එකල වෙදකම දැන සිටි ඒ සඳහා මනා පුහුණුවක් සහිත පිරිසක් විසින් පමණි.   


නියම ශිල්පීය ක්‍රමවේදයෙන් තොරව සිදුකරගන්නා සම්බාහනයක් තුළින් ඇතැම් විට සිරුර රෝගී වීමට මෙන්ම අනවශ්‍ය ස්නායු තෙරපීමෙන් ස්නායු ආබාධ පවා ඇති විය හැකිය. ඒ නිසා සම්බාහන මධ්‍යස්ථානයන් ආරම්භ කිරීමට අවසර ලැබෙන්නේ දේශීය හෝ බටහිර හෝ වෛද්‍යවරයෙකුට පමණි. ඔහු යටතේ සේවය කිරීමට පුහුණුව ලත් තෙරපිවරියන් හෝ තෙරපිවරුන් සිටිය යුතුය. වෛද්‍යවරයා විසින් තෙරපිවරියන් අධීක්ෂණය කළ යුතුය. නියම සම්බාහනයකට ලක් කළ අයෙක් ඉන් පැය කීපයක් ගත වන තෙක් තද සුළං වැදීම, අව්වේ ගමන් කිරීම, අධික ලෙස වෙහෙස වී වැඩකිරීම, සීතල ආහාර ගැනීම ආදිය සුදුසු නොවේ.   


පංචකර්ම යනු දේශීය වෛද්‍ය විද්‍යාවේදී යොදාගන්නා තවත් ප්‍රතිකාර ක්‍රමයකි. සම්බාහනයද මේ පංචකර්ම ප්‍රතිකාර ක්‍රමයේදී යොදාගන්නා එක් අංගයක් ලෙසද සැලකිය හැකිය. යම්කිසි විශේෂිත රෝග තත්ත්වයකදී ප්‍රධාන රෝගයට ප්‍රතිකාර කිරීමේදී එයට බාධාකාරී ලෙස රෝගියා තුළ තිබෙන වෙනත් කායික තත්ත්වයන් රෝගී තත්ත්වයන් බලපෑම් කරන්නේ නම් එහිදී එම බාධාවන් ඉවත් කර රෝගියා සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට භාවිතා කරන ක්‍රමවේදයක් ලෙස පංචකර්මය යොදාගැනේ.   


එලෙස යම් පුද්ගලයෙක් පංචකර්ම ප්‍රතිකාරයකට ලක් කිරීමට පෙර පූර්ව කර්මයන්ට ලක් කළ යුතුය. එනම් සනික්ධ හා ස්වේධ යන ක්‍රමවේදයන්ට ලක් කළ යුතුය. ස්නික්ධ යනු තෙල් ආලේප කර ඖෂධ පොට්ටනි ඇසුරෙන් තැවීම් කරමින් සිරුරේ පවතින ගල් වූ විෂ සහිත කොටස් හා මාංශපේශී බුරුල් කරවීම සිදුකෙරේ. ස්වේධ කිරීමේදී ඖෂධ සහිත දුමානයෙන් හෝ වෙනත් එවැනි ක්‍රියාවලියකින් දහදිය මගින් පෙර දී විෂ කොටස්, අපද්‍රව්‍යයන් සිරුරෙන් පිටවීමට සැලැස්වේ. පංච කර්මය ලෙස හැඳින්වෙන ප්‍රධාන ප්‍රතිකාරයට සිරුර සූදානම් කෙරෙන්නේ ඒ ආකාරයටය.   


පංචකර්මයද නස්‍ය, වමන, විරේචන, වස්ති හා රක්තමෝක්ෂ ලෙස ප්‍රතිකාර ක්‍රම පහකින් සමන්විතය. රෝගියාගේ රෝග තත්ත්වය අනුව මේ පංචකර්මවලින් කීයක් සිදුකරනවාද යන්න වෛද්‍යවරයා විසින් තීරණය කළ යුතුය. එක් අයෙක් පහම කළ යුතු නොවේ. මේ පංච කර්ම ප්‍රතිකාරයට ලක්කළ අයෙකු සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම පශ්චාත් කර්මයෙන් සිදුකෙරේ. එහිදී කැඳ හෝ වෙනත් පානයන් හෝ ආහාර ලබාදීමෙන් ක්‍රමයෙන් සාමාන්‍ය ආහාර ලබාගත හැකි තත්ත්වයට සිරුර හැඩගැස්වීමක් සිදුකෙරේ.   
ඒ අනුව පංචකර්ම ප්‍රතිකාරයක් යනු විනාඩි කීපයකින් හෝ පැයකින් දෙකකින් කළ හැකි ප්‍රතිකාරයක් නොවේ. වමන කර්මයට රෝගියෙක් සූදානම් කිරීමටද ඇතැම් විට දින හතක් නේවාසිකව රෝගියා තබාගැනේ. එසේම විරේචනයකට භාජනය කළ රෝගියෙක් සාමාන්‍ය තත්ත්වයට පත්වීමටද පැය විසිහතරක පමණ කාලයක් අවශ්‍ය වේ. සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට අවසර ලැබෙන්නේ වෛද්‍යවරයෙක් විසින් අයදුම් කරන ලද ශිල්පීය පුහුණුව ලත් තෙරපිවරුන් සේවය කරන ආයතනයකට පමණි. පංචකර්ම මධ්‍යස්ථානවලට කෙසේවත් අවසරයක් නැති අතර එය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේ එක් අංගයක් වන නිසා එය සිදුකළ හැක්කේ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක පමණි. එහෙත් සංචාරක හෝටල් ආශ්‍රිතව මෙවැනි මධ්‍යස්ථාන ආරම්භ කිරීමට අවසර ලබාදී තිබේ. ඒ විදේශිකයන් මෙවැනි ප්‍රතිකාර බලාපොරොත්තුවෙන්ම ලංකාවට පැමිණීම නිසා එය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සලකාය. එහිදීද අවසර ලැබෙන්නේ වෛද්‍යවරයෙක් සිටීනම් පමණි. බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් පෙන්වා දෙන පරිදි කෙටි කලකට මෙරටට පැමිණෙන විදේශිකයෙකුට මේ පංචකර්ම ප්‍රතිකාරය ඇතැම් පංචකර්ම මධ්‍යස්ථානවලදී පැය කීපයකින් ලබාදෙන බවය. එයින් විදේශිකයා සුවපත් වෙනවා වෙනුවට රෝගියෙකු බවටද පත්වන අවස්ථා ඇති බවත් ඔහුට තවදුරටත් ලංකාවේ සංචාරය කරන්නට සිත් ඇති වෙනවා වෙනුවට නැවත ලංකාවට පැමිණීම පවා එයින් එපා කරවන බවත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පෙන්වා දේ.   


කරුණු මෙසේ වුවද අද පංචකර්ම ප්‍රතිකාරත් සම්බාහනයත් සිදුකරන බව කියන බොහෝ ස්ථානවල ඒ සඳහා යොදාගනු ලබන්නේ වායුසමනය කරන ලද කාමරයකි. එසේම කිසිදු පුහුණුවක් නැති තරුණියන්ය. තරුණයින්ද යොදාගන්නා ස්ථාන පවතී. ඒ කාන්තාවන් යහමින් පැමිණෙන ස්ථානවලදී හා තරුණයන්ගේ සේවය බලාපොරොත්තු වන ඇතැම් පිරිමින් පැමිණෙන ස්ථානවලදීය. එහෙත් අද බහුලව සම්බාහන මධ්‍යස්ථානවල තෙරපිවරියන් ලෙස යොදාගන්නේ තරුණියන්ය. ඔවුන් පුහුණුව ලබන්නේ ගනුදෙනුකරුවන්ට සේවය ලබාදීමෙන්ම පමණකි. ඇතැම් විටක එම ස්ථානයේ සේවය කළ පළපුරුදු තරුණියක වැඩකරන ආකාරය දෙස පැය කීපයක් බලාසීටීමෙන්ද පුහුණුව ලබති.   
කොටස් ක්‍රමයට ලිංගික සන්තර්පනයන් ලබාදීම   


අද වසංගතයක් ලෙස අපේ රටේ පැතිරෙමින් තිබෙන සම්බාහන මධ්‍යස්ථාන, ස්පා, පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථාන, මේ කුමක් කීවද ඒ ස්ථානවලින් අතිබහුතරයක එනම් 99% කම සිදුවන්නේ එකම දෙයකි. එනම් කෑලි ක්‍රමයට ගණිකා වෘත්තිය ක්‍රියාත්මක කිරීමය. එම ස්ථානවලට වෛද්‍යවරයෙක් නැත. සිටින්නේ කළමනාකරුවෙක් යැයි කියා ගන්නා පුද්ගලයෙකි. ඔහු තමන් වෙත පැමිණෙන ගනුදෙනුකරුවාට පළමුව තෙරපිවරියක් හෝ වරයෙක් තෝරාගැනීමට අවස්ථාව ලබා දේ. ඔවුන් සිටින්නේ අඩනිරුවතිනි. ඉන්පසු කාමරයක් ලබාදී අවශ්‍ය සේවාවට ඉඩකඩ ලබා දේ.   


මෙවැනි ස්ථානයකට ඇතුළු වීමට ඒ ඒ ස්ථානවල පෙනුම, පහසුකම් අනුව රුපියල් දාහේ සිට පන්දහස දක්වා වන ගාස්තු අය කෙරේ. ඉන්පසු ලැබෙන කාමරයට ගිය පසු තෙරපිවරයාට හෝ වරියට ටිප් එක ලබාදිය යුතුය. එය ඉල්ලා සිටින සේවය අනුව තීරණය වේ. ගනුදෙනුකරු පැමිණි පසු කාමරය වසා දමන තෙරපිවරයා හෝ වරිය විසින් ගනුදෙනුකරුට තුවායක් ලබාදී වොෂ් එකක් දාගෙන එන්නැයි කියනු ලැබේ. වොෂ් එකක් දාගෙන තුවාය හැඳ එන ගනුදෙනුකරුගෙන් විමසන්නේ සර්ට හෝ මැඩම්ට අවශ්‍ය වන්නේ මසාජ් එකක්ද නැත්නම් ෆීලින්ග් එකක්ද යන්නය. ඒ ලැබෙන උත්තරය අනුව ඊළඟ ක්‍රියාවලිය ඇරඹේ.   


ගනුදෙනුකරු කුමක් ඉල්ලා සිටියද සියුම් ලෙස සිරුර ස්පර්ශ කරමින් අවසානයේ ෆීලින්ග්ස් නැතහොත් ලිංගික උත්තේජනය ඇතිකර මට අහවල් දේත් අවශ්‍යයි කියා ඉල්ලන තත්ත්වයට ඔහුව හෝ ඇයව පත්කරගැනීමටද තෙරපිවරියන් හෝ වරුන් යැයි කියාගන්නා තරුණ තරුණියන් පුහුණුව ලබා ඇත. ඔවුන්ට වැඩිම ටිප් එක ලැබෙන්නේ ඒ දෙවන වරට ඉල්ලා සිටින සේවය අනුවය. එහිදී එක් එක් පුද්ගලයා ඉල්ලා සිටින සේවාවන්වල සීමා පවතී. සමහරු මුල් අවස්ථාවේදීම නිරුවත්ව සිටින ලෙස තෙරපිවරියන්ගෙන් ඉල්ලා සිටී. ඇතැමුන් නිරුවත් සිරුර ස්පර්ශ කිරීමට හෝ සිපවැළඳ ගැනීමට පමණක් ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා සිටී. මුල් අවස්ථාවේදීම එසේ ඉල්ලීම් කිරීමෙන් ඔවුන්ට කෙටි කලක් තුළ සේවය අවසන් කළ හැකිය. ඇතැමුන් අවසානයේදී වෙනත් දෙයක් බලාපොරොත්තු වේ. එවිට ගාස්තුවද ඉහළය.   


අද රට පුරා ආරම්භ වන මෙවැනි ස්පා නිසා සමාජයට ඇතිවී තිබෙන බලපෑමද සැලකිය යුතුව තිබේ. බොහෝ විය මෙවැනි ස්ථානවල වයෝවෘද්ධ වැඩිහිටියන්ගේ සිට පාසල් සිසුන් දක්වා වන ස්ථරයන්ගේ පැමිණීමක් දැකිය හැකිය. වඩාත් ජනාකීර්ණ කොළඹ නගරය ආශ්‍රිතව මෙවැනි ස්ථාන බහුලව දැකිය හැකිය. එහෙත් කොළඹ ආශ්‍රිතව රාත්‍රි සමාජ ශාලා වැඩිවශයෙන් දක්නට ලැබෙන අතර සුපිරි මට්ටමේ ගණිකා නිවාසද වැටලීම්වලින් තොරව පවත්වාගෙන යාමට හැකිවී ඇති නිසා ස්පාවල එතරම් ඉහළ නැගීමක් දැකිය නොහැකිය. එහෙත් කඩුවෙල, කෝට්ටේ හා මහරගම වැනි වඩාත් වේගයෙන් ජනාකීර්ණ වෙමින් පවතින ප්‍රදේශවල ස්පා අලුතෙන් විවෘත වීම වැඩිවී තිබේ. එයින්ද පසුගිය කාලයේ වඩාත් වැඩි අවධානයට ලක්වූයේ මහරගම නගර සභා බලප්‍රදේශයය.  මහරගම ස්පා, පංචකර්ම මධ්‍යස්ථාන, ආයුර්වේද මධ්‍යස්ථාන ආදී විවිධ නම්වලින් අනියමින් ගණිකා සේවය සපයන ස්ථාන තුන්සීයක් පමණ තිබෙන බවට මහරගම නගර සභා මන්ත්‍රී සමන් සේනාධීර මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයෝ චෝදනා කරති. සේනාධීර මහතා පැවසූයේ මේ ස්පා නිසා තමන්ට දේශපාලන කටයුත්තකටවත් පාරේ යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය.   


පන්නිපිටිය තලවතුගොඩ මාර්ගයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේත් ඉන් තරමක් ඔබ්බටත් ඇතැම්විට නිවසක කුඩා කාමරයක් වෙන්කරගෙනත් සම්බාහන මධ්‍යස්ථාන විස්සක් පමණ පවත්වාගෙන යනු ලැබේ. තලවතුගොඩ සිට පිටකෝට්ටේ දක්වා වන සීමාව තුළ මධ්‍යස්ථාන 35ක් පමණද, කොට්ටාවේ සිට දෙල්කඳ දක්වා හයිලෙවල් මාර්ගයේ හා ඒ ආසන්න ස්ථානවල පනහකට ආසන්න මධ්‍යස්ථාන ප්‍රමාණයක්ද පවතී. මහරගම පිළියන්දල මාර්ගයේ පමණක් අලුතෙන් ස්ථාන හයක් විවෘත කර ඇත. විවිධ නම්වලින් විවිධ ස්ථානවල මෙතරම් විශාල ප්‍රමාණයක් විවෘතව තිබුණද නගරය ආශ්‍රිතවම පවතින බොහොමයක් මධ්‍යස්ථානවල හිමිකරුවෝ එකම පිරිසකි. මහරගම නාගරික මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාද පෙන්වා දෙන්නේ මෙවැනි ස්පාවලට පාසල් දරුවන් පවා යොමුවන තත්ත්වයක් මතුවෙමින් පවතින අතර එය මුළුමහත් සමාජයටම බරපතළ හානියක් සිදුකරන බවය.   


බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් මාලා පෙරේරා මහත්මිය පෙන්වා දෙන පරිදි දෙපාර්තමේන්තුව මැදිහත්ව ඇතැම් ස්ථාන වසා දැමූ පසු වෙනත් නමකින් එම හිමිකරුම හෝ එම ආයතනයේ නමින්ම වෙනත් හිමිකරුවෙකු හෝ යළි අයදුම් පත් ඉදිරිපත් කරනු ලැබේ. අයදුම් පතට අනුමැතිය ලැබෙන තෙක් ඔවුන් එය කිසි කරදරයක් නැතිව පවත්වාගෙන යාමටද පුරුදුව සිටිති. ඇය පෙන්වා දෙන්නේ සම්බාහන මධ්‍යස්ථානයක් වෛද්‍යවරයෙකුගේ සේවයෙන් තොරව පවත්වාගෙන යා නොහැකි අතර වෛද්‍යවරයෙකුට හැර වෙනත් අයෙකුට ඒ සඳහා ඉල්ලුම් කිරීමටද නොහැකි බවය. එහෙත් බොහෝ දෙනා වෛද්‍යවරයෙකුට මුදල් දී යම් යම් ගිවිසුම්වලට එළැඹීමෙන් පසු එම වෛද්‍යවරයා හිමිකරු ලෙස ව්‍යාජව ඉදිරිපත් කර ලියාපදිංචිය ලබාගැනීමටද පුරුදුවී ඇති බවය.   

 

 


බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මේ කාරණාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති අතර ඔවුන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටද සූදානමින් සිටී. සම්බාහන මධ්‍යස්ථාන ලියාපදිංචිය සම්බන්ධ බලතල ඔවුන්ට ලැබී තිබෙන්නේ පසුගිය වසරේ ජුනිවල සිටය. එතැන් සිට ඔවුන් මේ ආයතනවල තොරතුරු රැස්කරමින් ඒවා පරික්ෂාවට ලක්කර තිබේ. ඒ ඔවුන්ට ලැබෙන පෙත්සම් හා අයදුම්පත් අනුවය. ඒ අතරින් විශාල ප්‍රමාණයකට අනුමැතිය ලබාදී නැති අතර දැනට පවත්වාගෙන යනු ලබන ආයතන රැසක්ද වසාදැමීමට නිර්දේශ කර අදාළ පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ. එහෙත් මේ අතරින්ද අති බහුතරයක් තවමත් නිදැල්ලේ තමන්ගේ කාර්යය කරගෙන යති.   


මහරගම පොලිසියේ ප්‍රකාශකයෙන් පැවසූ පරිදි එම පොලිස් බලප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථාන ඇත්තේ නවයක් පමණි. එහෙත් එය සත්‍යයෙන් තොර බව නගරය හා ඒ අවට සැරිසරන්නෙකුට පහසුවෙන්ම දැකිය හැකිය. මහරගම නගරයේ පවත්වාගෙන යනු ලබන ආයතන අතරින් පසුගිය වසරේ අගෝස්තු 30 වැනිදා වන විට ආයතන 22ක් වසා දැමීමට නියම කර තිබිණ. එසේම ජනවාරි දහ වැනිදා වන විට අනුමැතිය ලබානොදෙන බවට එනම් වසා දැමිය යුතු බවට ආයතන හතරක් නම් කර තිබේ. මෙහිදී සැලකිල්ලට ලක්කළ යුතු කාරණය නම් ඔවුන්ට තිබෙන ඉඩ කඩ අනුව දැනට බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මේ නිර්දේශ ලබාදෙන්නේ තමන්ට ලැබෙන පෙත්සම් හෝ අලුතෙන් ලියාපදිංචියට හෝ ලියාපදිංචිය අලුත් කර ගැනීමට හෝ අයදුම්පත් ඉදිරිපත් කර තිබෙන ආයතන පරික්ෂා කිරීමෙන් පමණි. ඒ නිසා මේ පරීක්ෂාවට ලක් නොවූ තවත් ආයතන රැසක් මේ ප්‍රදේශයේ පවතී.   


බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් මාලා පෙරේරා මහත්මිය ස්පා නැතහොත් සම්බාහන මධ්‍යස්ථාන ආරම්භ කිරීම පිළිබඳව මෙසේ අදහස් දැක්වූවාය.   


සම්බාහන මධ්‍යස්ථානයක් ආරම්භ කරනවා නම් එය කළ හැක්කේ වෛද්‍යවරයෙකුට පමණයි. මේවා වෛද්‍ය ප්‍රතිකාරවල එක අංගයක් පමණයි. ඒ නිසා වැරදි ලෙස සම්බාහනයක් ලබාගැනීමෙන් වෙනත් රෝග පවා ඇති විය හැකියි. පංචකර්ම මධ්‍යස්ථානයකට නම් අපි කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ. මොකද ඒවා තිබිය යුත්තේ ආයුර්වේද මධ්‍යස්ථානයක් තුළ පමණයි. එහෙත් වෛද්‍යවරුන් මුදල් ලබාගෙන විවිධ පුද්ගලයන් වෙනුවෙන් ආයතන ලියාපදිංචි කරන්න පෙනී සිට ඒ බව ඔප්පු වුවහොත් අපි ඔවුන්ගේ වෛද්‍ය ලියාපදිංචිය අහෝසි කරන්නත් දැන් කටයුතු කරමින් යනවා. ඇත්තටම අද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන බහුතරයක් ආයතන කියන්නේ ගණිකා වෘත්තිය වෙනත් ආකාරයකට පවත්වාගෙන යාමක් බව අප කළ පරීක්ෂනලවදී තහවුරු වුණා. අපේ කණ්ඩායම් ඇතැම් ස්ථානවලට යද්දී ගනුදෙනුකරුවා මෙන්ම තෙරපිවරියන්ද ඉඳලා තියෙන්නේ නිරුවතින්. ඇතැම් අය හිටපු ආකාරය අපිට මාධ්‍යවලට කියන්න අමාරුයි. මේවා නැවැත්වීමට කටයුතු නොකළහොත් මේ සමාජය කොතැනක නතරවෙයිද කියලා කියන්න බැහැ. මේ පියවරයන් ගනිද්දි විවිධ බලපෑම් එන්න පුලුවන්. නමුත් මම මගේ කාලය තුළ මේ ප්‍රශ්නය උපරිමයෙන් විසඳන්න කටයුතු කරනවා. ඒකට හරියන නිලධාරි මණ්ඩලයකුත් මට ඉන්නවා.   


මේ ප්‍රශ්නය විසඳීමේදී පොලිසියත් තමන්ගේ වගකීම හරියට ඉටු කරනවා නම් ආයුර්වේද දෙපාර්තමේන්තුව ගන්නා උත්සාහය සාර්ථක වනු ඇත. එහෙත් තවමත් දෙපාර්තමේන්තුව අනුමත කිරීම ප්‍රතික්ෂේප කර නැවත ලියාපදිංචිය ලබාදීම ප්‍රතික්ෂේප කළ ආයතන වැඩි ප්‍රමාණයක් මහරගම මෙන්ම අනෙකුත් ප්‍රදේශවලද එලෙසින්ම පවත්වාගෙන යනු දක්නට ලැබේ.   

 

 


මුදිතා දයානන්ද