‘‘වට්ස් ඇප්’’ ඇමතුම් ජාලය හදා ලෝක ධනවතකු වූ හැටි


අධිෂ්ඨානයක ජයග්‍රහණය  

 

 

 

“අම්මේ මම කවද හරි පොහොසතෙක් වෙනවා. එතකොට අම්මාට දුක් විඳින්න මම ඉඩ තියන්නේ නෑ.” යැයි ඔහු තම මවට නිතර කීවේය. ඉතා දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳිමින් වුව ද තම එකම පුතු වෙනුවෙන් දහඩිය කඳුළු වගුරුවමින් සිටි ඇය පුතාගේ මේ දිරිමත් වචනවලින් සැනසීමක් ලබන්නට ඇත. 


අද ඔහු තමන් මවට පැවසූ පරිදිම ලෝකයේ ප්‍රමුඛතම ධනවතුන් අතර අයකු වී සිටිය ද ඔහු ධනවතකු වනු දැකීමට ඒ අසරණ මවට හැකියාවක් ලැබුණේ නැත. 


මේ පුතා අන් කවරකු හෝ නොව ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිත කරන ඕනෑම අයකු වරක් හෝ භාවිතා කර ඇති වට්ස් ඇප් නමැති යෙදුමේ නිර්මාතෘවරයා වූ ජෑන් කෝම්ය. 


කෝම් 1976 වර්ෂයේ පෙබරවාරි මස 24 වැනි දින උපත ලැබුවේ යුක්රේනයේ ය. යුක්රේනයේ කියෙව් නගරයේ උපත ලැබූ ඔහු යුදෙව් ජාතිකයෙකි. කියෙව් නගරයෙන් පිටත ෆාස්ටිව් ඔහුගේ පදිංචි ප්‍රදේශය විය. ඔහුගේ මවට සහ පියාට කිසිදු වත්කමක් තිබුණේ නැත. ඒ නිසාම කුඩා කල පටන් කෝම් හැදුණේ වැඩුණේ දැඩි දුෂ්කරතා මධ්‍යයේය. 


යුක්රේනයේ කියෙව්හි ජීවත් වූ මේ මව්පියන් සිය පුතුට හැකි තරම් සැප පහසුකම් දෙන්න උත්සාහ ගත්ත ද එය හැමදාමත් සිහිනයක්ම පමණක් වී තිබිණි. මේ අතර කියෙව්හි ජීවත්වීමෙන් තමන්ටත් තම පුතුටත් කිසිදු සෙතක් නැතැයි සිතූ ඔවුහු කෙසේ හෝ රැකියාවක් සොයා වෙනත් දේශයකට හෝ සංක්‍රමණය වන්නට ඉටාගෙන සිටියහ. මේ බලාපොරොත්තුව ප්‍රතිඵල දායක වන්නේ 1992 දී ය. ජෑන් කෝම් සමඟ ඔහුගේ මවටත් ආච්චීටත් කැලිෆෝනියාවට යාමට අවස්ථාව උදාවිය. 


නමුත් ජෑන්ගේ පියාට මේ අවස්ථාව අහිමිවිය. කෙසේ වෙතත් මව ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් කැලිෆෝනියාවේ මවුන්ටන් විච් වෙත පදිංචියට ගියේ සිය පුතුගේ අනාගතය ගොඩනැගිය හැකිය යන දැඩි විශ්වාසයෙනි. දුප්පතුන් වූ මේ පවුලට පිහිටට ආවේ සමාජ ආධාරක වැඩසටහනකි. මේ වැඩසටහන මගින් ඔවුන්ට නිදන කාමර දෙකක් සහිත කුඩා නිවසක් පදිංචිය සඳහා ලැබිණි. 


වයස අවුරුදු 16හි නව යොවුන් වියේ පසුවන පුතුටත් පිළිකා රෝගයකින් පෙළෙන මවටත් පියා කැලිෆොර්නියාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය වුව ද ඒ සියලු තැත් අසාර්ථක විය. අවසානයේ කෝම්ගේ පියා 1997 දී මෙලොව හැර ගියේ තම පවුල සමඟ එක්වීමේ බලාපොරොත්තුව කිසිදා සඵල කරගැනීමට නොහැකිවය. 


කෝම්ගේ මව තම නිවස ආසන්නයේ ධනවතුන්ගේ නිවෙස්වල දරුවන් බලා ගැනීමෙන් ඉතා සුළු ආදායමක් ලැබුවාය. තම මව විඳින වේදනාව හොඳින්ම අවබෝධ කරගත් කෝම් ද ප්‍රදේශයේ ඇති සිල්ලර වෙළෙඳසැල් පිරිසිදු කර දෙමින් ආදායමක් ලැබීය. 


1994 වර්ෂයේ දී කෝම් සැන් ජෝස් රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සමත්වුව ද ඔහුට එහි අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කරගැනීමට හැකියාවක් ලැබුණේ නැත. 
1996 පෙබරවාරි මාසයේ දී කෝම් අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දෙයි. ඔහුගේ පැරණි පෙම්වතිය කැලිෆෝර්නියාවේ අධිකරණයක ඔහුට එරෙහිව නඩුවක් පවරා තහනම් නියෝගයක් ගැනීමට සමත්වූවාය. එහි දී ඇය කියා සිටියේ කෝම් තමන්ව වාචිකව හා ශාරීරිකව හිංසනයට ලක්කළ බවයි. 2014 වර්ෂයේ දිනක් කෝම් එදා ඇය ගත් නියෝගය ගැන සිහිපත් කරමින් මෙසේ කීවේය. 


“මේ නියෝගය නිසා මා ලැජ්ජාවට පත්වුණා. මගේ ක්‍රියාකලාපයන් හා පුරුදු සම්බන්ධයෙන් නීතිය ඉදිරියට ගිය ඇයත් ලැජ්ජාවට පත්වන්නට ඇති.” 


පරිගණක තාක්ෂණය ලෝකයේ බෙහෙවින් ජනප්‍රිය වෙමින් පවතින මේ කාලයේ ඒ කෙරෙහි කෝම්ගේ සිත යොමුවී තිබිණි. 1997 දී කෝම්හට ඇමෙරිකාවේ පරිගණක වැඩසටහන් නිෂ්පාදකයකු වූ බ්‍රයන් ඇක්ටන් හමුවීම කෝම්ගේ පරිගණක දැනුම වඩාත් තීව්‍ර කරන්නට හේතුවක් විය. ඔවුන් දෙදෙනා හමුවූයේ අර්න්ස් සහ යන්ග් නමැති පරිගණක ආරක්ෂිත වැඩසටහන් නිෂ්පාදන සමාගමක සේවයට කෝම් එක්වීමත් සමගිනි. 


එතැනින් පසු කෝම්ගේ රැකියා ස්ථානය වන්නේ යාහූ සමාගමයි. යාහූ සමාගමේ යටිතල සැකසුම් ඉංජිනේරුවරයකු වශයෙන් කටයුතු කළ කෝම් සහ ඇක්ටන් දෙදෙනා වසර නවයක සේවා කාලයකින් පසු 2007 සැප්තැම්බර් මාසයේ දී යාහූ සමාගමෙන් සමුගැනීමට තීරණය කළහ. යාහූ සමාගමේ සේවයෙන් සමුගෙන දකුණු ඇමෙරිකාවට පැමිණි කෝම් ෆේස්බුක් සමාගමේ රැකියාවක් සඳහා අයදුම් කළ ද ඔහුගේ රැකියා අයදුම් පත්‍රය ෆේස්බුක් සමාගම විසින් ප්‍රතික්ෂේප කෙරිණි. 


2009 ජනවාරි මාසයේ දිනක් කෝම් අයි ෆෝනයක් මිලදී ගත්තේය. ඒ ගැන ඔහු මෙසේ කියයි. 


“මම මේ අයි ෆෝනය මිලදී ගෙන එහි සේවාවන් ලබාගත හැකි යෙදුම් (Apps) ගැන සොයා බැලුවා. මට තේරුම් ගිය දෙයක් තමයි මෙහි තිබෙන්නේ ඉතා පැරණි යෙදුම් බව. බොහෝ යෙදුම් මාස හතක් පමණ පැරණියි. මේ සඳහා නව නිර්මාණ සිදුකළ යුතුයැයි මට හිතුණා. මගේ මිත්‍රයා ඇලෙක්ස් ෆිෂ්මන් හමුවෙන්න ගිහින් ඔහුගේ මුළුතැන්ගෙට වෙලා තේවල රස බලමින් මේ ගැන සාකච්ඡා කළා. මේ වෙලාවේ තමයි “වට්ස් ඇප්” කියන නම මගේ කටින් පිටවුණේ. අපි තීරණය කළා කෙටි පණිවිඩ යැවිය හැකි නව යෙදුමක් හදන්න. වට්ස්ඇප් කියන නම එයට යොදන්නත් තීරණය කළා. මේ නව යෙදුම බිහිවුණේ ඒ ආකාරයට.” 


සතියකට පසු කෝම්ගේ උපන්දිනය යෙදී තිබිණි. ඒ ඔහුගේ 23 වැනි උපන්දිනයයි. 2009 පෙබරවාරි මස 24 වැනිදා ඔවුහු කැලිෆෝර්නියාවේ ද මොනොස්හි දී වට්ස් ඇප් නමැති සමාගම සංස්ථාපිත කළහ. 


වට්ස් ඇප් යෙදුම ඔවුන් දෙදෙනා විසින් දැඩි වෙහෙසක් යොදා නිර්මාණය කළ ද මෙය මුලින් එතරම් ජනප්‍රිය වූයේ නැත. නමුත් 2009 ජුනි මාසයේ දී ඇපල් සමාගම තම ජංගම දුරකථන සඳහා විවිධ යෙදුම් ප්‍රචලිත කිරීමේ පහසුකම ලබාදීමත් සමග වට්ස්ඇප් යෙදුම ජංගම දුරකථන පරිශීලකයන් විසින් වේගයෙන් වැළඳ ගැනීම සිදු කෙරිණි. ඒ කෝම් විසින් වට්ස් ඇප් ජංගම දුරකථන ඇමුණුමක් ලෙස වෙනස් කිරීමත් සමගිනි. 


තමන්ගේ පරිගණක දැනුම වැඩිදියුණු කිරීමට විශාල දායකත්වයක් සැපයූ මිත්‍රයා වූ ඇක්ටන් මේ වනවිටත් රැකියාවක් නොමැතිව සිටින බව දැනගත් කෝම් ඔහුට ද තම සමාගමට එක්වන ලෙස ඇරයුම් කළේය. මේ ආරාධනය පිළිගත් ඇක්ටන් ඇමෙරිකානු ඩොලර් 250,000ක් ද ආයෝජනය කරමින් වට්ස් ඇප් සමාගමේ සම නිර්මාතෘ තනතුරට පත්වූයේය. 
කෙටි පණිවිඩ යැවිය හැකි, වීඩියෝ දර්ශන, ඡායාරූප සහ වෙනත් ලිපිගොනු පහසුවෙන් හුවමාරු කරගත හැකි, එමෙන්ම දුරකථන සංවාද හා වීඩියෝ සංවාදවල යෙදිය හැකි සහ හඬපට හුවමාරු කරගත හැකි වට්ස් ඇප් යෙදුම කණ්ඩායම් සන්නිවේදනයට දොරගුලු විවර කර තිබිණි. මෙය ලෝකය පුරා වේගයෙන් ජනප්‍රිය වෙද්දී ෆේස් බුක් සමාගම ද ඒ කෙරෙහි දැඩි අවධානයකින් පසුවිය. 


2014 පෙබරවාරි මස 09 වැනි දින ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් කෝම්ට තම නිවසේ රාත්‍රී භෝජනයක් සඳහා පැමිණෙන්න යැයි ආරාධනා කළේය. එහි දී ඔවුන්ගේ සාකච්ඡාව වූයේ වට්ස් ඇප් හා ෆේස්බුක් සමාගම් එක්ව සන්නිවේදන ලෝකය ජයගත හැකි ආකාරයයි. දින 10කට පසු ෆේස්බුක් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වට්ස් ඇප් යෙදුම ඇමෙරිකානු ඩොලර් මිලියන 19ක් ගෙවා තම සමාගම විසින් මිලදී ගන්නා බවයි. 


එය ඒ ආකාරයෙන්ම සිදු කෙරිණි. පොහොසතකු වීමේ කෝම්ගේ සිහිනය මල්ඵල ගැන්විණි. ෆේස්බුක් සමාගමේ රැකියාවකට සුදුසුකම් නොලැබූ ජෑන් කෝම් ෆේස්බුක් සමාගමේ කොටස් හිමියකු වූයේ දෛවෝපගත අයුරිනි. 


පසුව 2016 වර්ෂයේ දී තමන් සතු කොටස්වලින් අර්ධයක් ඔහු ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 කට විකුණා දැමුවේය. එවැනිම වටිනාකමක් සහිත තවත් කොටස් ප්‍රමාණයක් තමන් සන්තකයේ තබා ගනිමිනි. 2018 අප්‍රේල් මස 30 වැනිදා කෝම් කියා සිටියේ තමන් වට්ස්ඇප් අතහැර දමා ෆේස්බුක් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ද ඉවත්වන බවයි. නමුත් ඉන් මාස කිහිපයකට පසුවද ඔහු තවදුරටත් ෆේස්බුක් ආයතනයේ සේවය කරන බව තහවුරු විය. ආර්ථික විශේෂඥයන් පවසන්නේ ඔහු මේ වනවිට ෆේස්බුක් සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක පමණ කොටස් ප්‍රමාණයක් උපයාගෙන ඇති බවයි. 

 

 


දරිද්‍රතාවයේ උපරිම වේදනා විඳි කෝම් දැන් ඇමෙරිකාවේ ලොකුම ධනවතුන් අතරට එක්ව සිටින්නේ ලෝකය පුරා සිය නාමය රඳවමිනි.  


කෝටිපතියකු වූ කෝම් ධනය එක්රැස් කරන අතරම හැකිතාක් දුප්පතුන් වෙනුවෙන් පිහිට වන්නට ද අමතක කර නැත. 2014 නොවැම්බර් මාසයේ දී කෝම් ආබාධිතයන් සඳහා වූ ලාභ නොලබන පදනමකට ඇමෙරිකානු ඩොලර් මිලියන 556ක් පරිත්‍යාග කළේය. 2016 දෙසැම්බර් මාසයේ දී තවත් ඩොලර් ලක්ෂ 500ක් පරිත්‍යාග කිරීමට ද ඔහු අමතක කළේ නැත. 


ඇමෙරිකානු ව්‍යවසායකයකු සහ පරිගණක ක්‍රමලේඛකයෙකු ලෙස කටයුතු කරන කෝම් වට්ස්ඇප් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාය. එසේ වුව ද තමන් ව්‍යවසායකයකු ලෙස හඳුන්වනවාට කෝම් කැමැත්තක් දක්වන්නේ නැත. 


“ව්‍යවසායකයන් මුදල් ඉපයීමේ ආශාව විසින් පොලඹවනවා. ඒ නිසා මා එවැන්නෙක් නොවෙයි. මම මිනිසුන්ගේ අවශ්‍යතාව හඳුනා ගනිමින් ප්‍රයෝජනවත් හා ප්‍රමාණවත් නිපැයුම් ගොඩනැගීම සිදු කරන්නෙක් පමණයි.”  

 


සජීව විජේවීර