‘‘මිනිස්’’ ‘‘වලස්’’ ආදරයක්?


 

 

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රකට ‘හාවර්ඩ්’ හමුදා විදුහලේ ‘ප්‍රංශ’ සහ ‘ස්පාඤ්ඤ භාෂාවන් උගන්වන. ‘‘රොබට් ප්‍රෑන්ක්ලින් ලෙස්ලි’ කාර්යශුර සෞන්දර්ය ප්‍රිය කරන තරුණ කථිකාචාර්යවරයෙක්. හුදකලාව මහ ඝන වනාන්තරවල සංචාරය කරන්න ඔහු දැක්වූයේ හරිම ඇල්මක්.

   
විශේෂයෙන්ම කැනඩාවේ බටහිර ප්‍රදේශයේ තිබෙන වනාන්තර, කඳු, හෙල්, ගිරිදුර්ග සහ තණ බිම් ආදියේ ඔහු නොගිය තැනක් නැති තරම්. මේ හැම සංචාරයකටම ඔහුටම කියලා ආවේණික වෙලා තිබුණ උපකරණය වුණේ ‘කැමරාව’ වගේම එදිනෙදාට අත්‍යවශ්‍ය මෙවලම් කීපයක් පමණයි.   


වර්ෂ 1970 ග්‍රීස්ම සෘතුවේ එක දිනෙක කථිකාචාර්ය ‘ලෙස්ලි’ කැනඩාවේ බටහිර පෙදෙසේ හරිත ඝන වනාන්තරයෙන් වැසී තිබුණ ‘රොබ්සන්’ කන්ද පාමුල කොටසේ තනිවම සංචාරයක යෙදුණා. පාළුව කාන්සිය රජකළ ඒ මොහොතේ වන පියසේ කිසියම් ආරක්‍ෂිත ස්ථානයක ‘කැන්වස් වාඩියක්’ තනාගත් ලෙස්ලි එදින රාත්‍රී ආහාරය සඳහා පිළියෙල කරගන්න හිතාගෙන ළඟම තිබුණ දොළ පාර බලාගෙන ගියා මාළුවෙක් දෙන්නෙක් බිලීබාගන්න.   
බිලී කොකුවට ඇමක් අමුණා දැමූ ඔහු ඒක දොළ පහරට වීසිකර විමසිල්ලෙන් ඉන්න අවස්ථාවේදී තමා පසු පසින් කව්රුන් හෝ එන ශබ්දයක් දැනී ඔහු හෙමින්ම ආපසු බැලුවා. අවට වන පියස අඳුරින් වැසීගෙන එන වේලාව....? මොකක්ද දන්නවාද ඔහු දැක්කේ? 

 
වන තීරුව අසබඩ දෙපාවලින් සිටගෙන දත් විලිස්සී වියරුව සිටි අඩි පහමාරක් තරම් උස වලස් තඩියෙක්..   
ලෙස්ලි ඒ පිළිබඳව කිසිදු බියක් චකිතයක්, විමතියක් පළකළේ නෑ. වසර 15ක් 20ක් තිස්සේ තනිවම ‘වන සංචාර’ යන ඔහු වන සතුන්ගේ ඉරියව්, අංගචලන හොඳින්ම අවබෝධ කරගෙන හිටියා. බියවීම්, කෑ කෝ ගැසීම් හෝ එම සතා අනුගමනය හෝ අනුකරණය කිරීම් තුළින් උන් කුපිතවන බව හොඳින්ම දැන හිටපු ලෙස්ලි මේ වලස්තඩියා දැක්කා නොදැක්කා ගානට තමන්ගෙ වැඩේ කරගෙන ගියා.   


ගතවුණේ පුංචි වේලාවයි. එතෙක් මහා රෞද්‍ර බැල්මෙන් ලෙස්ලි දෙස බලාගෙන හිටපු තඩි වලහාගේ වියරුව නැති වී ටිකින් ටිකම ඔහු අසළටම එන බවක් ඔහුට දැනුණි. ඒත් ලෙස්ලි නෙවේ ගණන් ගත්තේ.   


ඒ මොහොතේ තමා ගැන කිසිදු අවධානයක් නැති මේ මිනිහා තමන්ට කිසිදු කරදරයක් නැති බව දැනගෙන ලෙස්ලි බිලීබාන දිහා ළඟටම ඇවිත් බලාගෙන හිටියා. ඒත් එක්කම ලෙස්ලිගේ බිලීකොක්කේ ඇමිනුණ ලොකු මාළුකූරියෙක් දඟළන ආකාරය දැකපු වළහා තොළ කට ලෙව කකා තවත් කිට්ටු වුණා. කිසිදු කතා බහක් නැති ‘ලෙස්ලි’ බිලී කොකුවෙන් ගලවාගත් මාළුවා ගලවල කෙළින්ම වලහාට දික් කළා.   


ඒ විතරයි ඌ සැණෙකින් ඒ මාළුව ඉරාගෙන කනවාට වඩා කෙළින්ම ගිලදැමුවා. ලෙස්ලි එයින් අවබෝධ කරගත් එක දෙයක් තිබුණා. එ් ඌ සෑහෙන්න බඩගින්නකින් ඉඳපු බව.   
ලෙස්ලිත් කළේ අල්ලන අල්ලන හැම මාළුවාම ගලවල වලහාගේ බඩගින්න වෙනුවෙන් දෙන එක. ලෙස්ලිගෙන් ඇති තරම් මාළු කාලා බඩ පුරවාගත්ත වලහා කිසිම බයක් චකිතයක් නැතිව ලෙස්ලි ළඟටම වෙලා ඇනතියාගෙන මාළු බාන හැටි හොඳට බලාගෙන හිටියා. සමහර විට බිලීපිත්තට අහුවෙන ලොකු මාළු ගොඩට ඇද්දම උන්ව මරල දාන්න තරම් වලහා ලෙස්ලිට සමීප වුණා. ඒ නිසාම ක්‍රමයෙන් දෙන්නම අඳුර වැඩිවෙන මො​ෙහාතේ ගජ මිතුරන් බවටත් හැරුණා.   


ලෙස්ලි විසින් බාන බාන මාළු එකතු කරගෙන හරියට ඒවා පරෙස්සම් කරන කෙනෙක් වගේ මේ වලස් පෝතකයා අපූරු සහායක් දැක්වූවා. රෑට කෑමට ඇති තරම් මාළු බාගත්තම ඒ මාළුත් අරගෙන දැන් තමන්ගේ වාඩියට යන්න සූදානම් වෙනකොටම වලසාත් ලෙස්ලිත් එක්කම නැගිට්ටා. ඌ හරියට දැන් මොකද්ද ​ෙකරෙන්නේ කියල දන්නව වගේ මාළු ටික අතට අරගෙන ලෙස්ලි අනුගමනය කරමින් වාඩිය පැත්තට එන්න පටන් ගත්තා.   


මිනිසෙක් සතුව ඇති ගුණයට අසමාන ගුණයක් පෙන්නුම් කළ වනචාරි සතා කොතරම් නැණවත්ද?’’ මේ මහා වනයේ මට යාළුවා වෙන එකම මොතරම් සතුටක්ද..? ඒ නිසා අපි දෙන්නම දැන් යාළුවෝ. මම ඔයාට නමකුත් තියනව. ඔන්න අද ඉඳලා ඔයාගේ නම ‘බොස්කෝ’ හොඳේ..?’’ ලෙස්ලි වලස් තඩියට කීවම ඌත් හිස සලාගෙන වගේ උන්නා.   
රෑ කෑම පිළියෙල වෙද්දී ‘බොස්කෝ’ කැන්වස් කූඩාරම ඇතුළටම ඇවිත් දැල්වෙන ගෑස් ළිප දිහා බලාගෙන හිටියේ පුදුමයෙන් වගේ. කිසිදා ගින්දර දැක නැති මේ සතා තවත් ටිකක් ළිප ළඟටම වෙලා රෝස් වෙන මාළු දිහා බලාගෙන ගිනි රස්නයට වශීයෙන් වගේ හිටියා. ගතට දැනෙන සීතල නිසා ලෙස්ලි දුම් පයිප්පය දල්වාගෙන ගෑස් ළිප ළඟ ඉන්ද දී බොස්කෝත් ඒ ළඟටම ඇවිත් තුරුලු වුණා. ලෙස්ලි උගේ බඩත්, බෙල්ලත්, සිරුරත්, මූණත් ඇඟිලි තුඩු වලින් පිරිමදින්න වුණා. ඌ පොඩි දරුවෙකු වගේ කෙදිරිගාමින් සුහදත්වය පළකළා.   


කෑම කන අතරතුර ලෙස්ලි බොස්කෝටත් මාළු පෙති, චීස්, පාන්, බිස්කට් දුන්නම කිසිම කෝල බවක් නැතුව ඒවා කන විදිය බලාගෙන කන්න වුණා. ලුණුකැට කීපයක් දුන්නම ඌ හරිම සතුටින් ඒවා භුක්ති වින්ද හරියට අප එක ගෙදරම ලුණු කන අය කින්නා වගේ.   


ජීවිතයට කිසිදා හමු වී නැති, දැක නැති, එකට ආහාර ගෙන නැති, මොනම වන සංචාරයකින්වත් මෙවන් අත්දැකීමක් ලබා නැති ලෙස්ලිට පුදුම හිතුණේ මේක නම් සංසාරගත බැඳීමක්දෝ කියල. මහත් දුකකුත් සතුටකුත් ලෙස්ලිගේ හදවත තුළ පැළපදියම් වුණා.   


‘රොඩ්සන්’ කඳු පාමුල වනාන්තරය පුරා නිසල රැය නිසල වුණේ නැහැ. විවිධ සතුන්ගේ විවිධ හඬ..? සුළඟින් තුරුලතා සෙලවෙන හඬ. අලි, කොටි, වලසුන්, බස්සන්, බකමූණන් වැන්නන්ගේ හඬ මේ සියල්ලටම කිසිදු බියක් චකිතයක් ලෙස්ලිට දැනුණේ නැහැ. ‘බොස්කෝ’ ඉන්න නිසා..   


ඔන්න හිටිහැටියේම අහස කළුවෙලා හීන් පොද වැස්සක් යන්න පටන් ගත්තත් එක්කම ‘බොස්කෝ’ ලෙස්ලි දිහා අපේක්‍ෂාවෙන් වගේ බලල කූඩාරමෙන් එළියට දුවගෙන ගියා. උගේ ඉරියව්ව ලෙස්ලිට වැටහුණේ නැහැ. ඒත් එක්කම වැඩි වේලාවක් ගත වුණේ නැහැ. බොස්කෝ ඇතුළට ආවේ හොඳ පදමටම තෙත බරියන් වෙලා.   
‘‘මේ අතරේ මැසි මදුරුවන්ගෙන් බේරෙන්නත්, දුම් ගහන්නත් සකසුරුවම් කරල තිබුණු පුංචි ගිනි මැලය ළඟට ආපු බොස්කෝ ශරීරය ගසාදාලා ගිනිතපිමින් ඇඟේ හිටපු කිනිතුල්ලන් කඩන්න වුණා. ඌට ඒක අපහසුවක් බව දැනගත්තු ලෙස්ලි ගිණිමැලයේ එහා පස ඉඳල බොස්කෝ දිහා බලල හිස වනල ළඟට එන්න ආරාධනාවක් කළා.   
ඒක තෙරුණා වගේ ‘​ෙබාස්කෝ’ ලෙස්ලි ළඟට ආවම එයා බොස්කෝගේ සිරුරේ ඩැහැගෙන හිටපු කිනිතුල්ලන්, මැක්කන් කඩ කඩා අතට දුන්නම ඌ ඒ සතුන් ළිපට දමලා වියරු සිනාවක් පහළ කළා. සිරුරේ සතුන් දැන් නම් ඉවරයි කියල කියන්නා සේ ලෙස්ලි හිස සලල ‘බොස්කෝට පෙන්නුවම ඌත් ඒක අනුමත කළා වගේ නිහඬ වුණා..   
නිවාගත් බඩගින්නත් සිහින් වැහිපොදත්, මහන්සියත් නිසා ලෙස්ලිගේ දෑස් නිදිබර වෙලා. ඔහු මදුරු දැල ඇතුළට රිංගාගෙන නිදාගන්න සූදානම් වෙද්දී එය වටහාගත් ‘බොස්කෝත් ඒ ළඟින්ම ගිනි මැළයට පිට දීලා සුවබර නින්දකට සූදානම් වුණා. හොඳ දැවැන්ත මිතුරෙකු ආරක්‍ෂාවට ඉන්න නිසාම ලෙස්ලිත් මේ රොබ්සන් වනාන්තරයේ පුරා රැයක් ගත කරන්න කිසිම බයක් චකිතයක් ඇතිකර ගත්තේ නෑ. දෙන්නටම ඉතා හොඳින් නිඳි දෙව්දුව සමීප වුණා කීවොත් ඒක නිවැරදියි.   
රැයක් ගත වුණාම මේ දෙන්නටම හිතෙන්නට ඇත්තේ අපි එක ගෙයි යාළුවො කියලයි’   


​ෙම් විදියට දින දෙක තුනක් ගත වුණාමත් දැන්’ බොස්කෝ ලෙස්ලි පසු පසමයි. දවසක් උදේක බොස්කෝ ලෙස්ලි පාවහන් වලින් ඇඳල ඇමතීමක් කරල වනයට රිංගා ගත්තා. සතාගේ ඉරියව් හඳුනාගෙන හිටපු ලෙස්ලිත් ඌ පසුපසම වනයට රිංගා ගෙන බොස්කෝ අනුගමනය කරන්න වුණා. අවසානයේ ඌ නතර වුණේ පෙරළිලා තිබුණ දැවැන්ත මහා ගසක් ළඟ.. ලෙස්ලි විමසිලිමත් වුණා.   


අහ්.. මහා මීවදයක්.. ආපහු කූඩාරමට ගිය ඔහු පොරොවක් සහිතව අවශ්‍ය අම්පන්න අරගෙන ඇවිත් මීවදය කඩ කඩා ‘බොස්කෝ’ අතට දුන්නම කෙළ හල හලා වූ රාත්තල් 20ක් විතර ඇති ඒ මීවදය එක ගමනටම ගිල දැම්මා. එදානම් බොස්කෝ මී පැණියෙන් මත්වෙලා හිටපු නිසා ලෙස්ලිට කිසිදු කරදරයක් නැහැ.   
දීර්ඝ කාලයක් අැමරිකාව, කැනඩාව වැනි රටවල විවිධ වනාන්තරවල ගවේෂණ හෝ විනෝද චාරිකා ඇති තරම් ගිහින් තිබුණත් මේ වලස් ආදරය තරම් ලෙස්ලිගේ ජීවිතයට සමීප වුණ මිතුරු දමක් ඇති වීම ගැන හරිම පුදුමයි. කිසිම අයුරකින් හීලෑ කළ නොහැකි වනයක උපන් දරුණුම වලස් තඩියෙකු තමා සමඟ මෙච්චරම සහෝදරත්වයක් කොහොම නම් ගොඩ නැගුණද..? ලෙස්ලිට තාමත් ප්‍රහේළිකාවක්?   
බොස්කෝ කිසිම විටෙක කිසිම දේකට බයක් සැකක් ඇත්තෙක් නොවෙයිනෙ. ඌට විරුද්ධකම් කරන කුරුලු වර්ගවලටත්, විදුලි කෙටීම, අකුණු ගැසීම්, ගෙරවීම්වලට නම් ඌ පුදුම බයක් තියෙන්නේ...එහෙම වෙලාවල් මේ වනයේ ඕන තරම් වෙනවා සදාහරිත වනයක් නිසා. ඒ වගේ වෙලාවල්වලදී ‘බොස්කෝ’ පුංචි දරුවෙකු වගේ ලෙස්ලි ළඟට වෙලා කෙඳිරිගගා තුරුළු වෙනවා.   


එක දවසක් හරිම අපූරු අරුම පුදුම සිද්ධියක් සිද්ධ වුණා. ලෙස්ලි බොස්කෝත් එක්ක වනාන්තරේ ඇවිදින්න යද්දී අඳුරු වන තීරුවක් අසළදී එකපාරම ‘‘බොස්කෝ’ ඉදිරියට පැනලා ලොකු ගොරහැඩි තර්ජනයක් කළාම ලෙස්ලිත් ටිකක් සලිත වුණා. බොස්කෝ අඳුරු වන තීරුව දෙසට දත් විලිස්සාගෙනයි හිටියේ.   
විපරම් කරල බලනකොටයි ලෙස්ලිට තේරුණේ කාරණේ. තවත් රෞද්‍ර වලස් රංචුවක් මේ දෙන්නට පහර දෙන්නට සැදී පැහැදී හිටියේ. ‘‘තම වරිගය මිනිස්සුන්ට පාවා දුන්නු වනචාරයායි’’ කියන සිතුවිල්ලෙන් විය යුතුයි. බොස්කෝ වහ වහාම ක්‍රියාත්මක වුණා. අභියෝගයට මුහුණ දීලා මුළු වලස් රංචුවටම හපා කාලා එළව එළව පහර දෙන්න වුණා. පහර කෑ වලස් රංචුව පරාජය භාරගෙන පලාගියත් උන්ගේ මුහුණුවල රැඳිල තිබුණේ ‘‘හොඳයි බලාගමු අපි දවසක් එයිනෙ..?’’ යන සිතුවිල්ලමයි.   


ලෙස්ලිට පුදුම ආඩම්බරයක්, දුකක් ඇතිවුණා තමාගේ අතිජාත තිරිසන් මිතුරා පිළිබඳව.. මිනිස්සු ළඟවත් නැති ගුණයක්...?   
රොබට් ප්‍රැන්ක්ලීන් ලෙස්ලි නම් මේ පරිසර හිතකාමී කථිකාචාර්යවරයාට තවත් කල් මෙහි ගත කිරීමට අවකාශයක් නැහැ. ඔහුගේ නිවාඩුව ඉවරයි. එහෙත් තම මිත්‍ර ‘බොස්කෝ’ දමායෑම තරම් දුකක් ඔහුට තවත් නැහැ. එනමුත් වෙන්විය යුතුමයි. ලෙස්ලි ‘‘රොබ්සන්’’ වනාන්තරයේ ගත කළ අන්තිම දිනේ එතෙක් ඔහු මිතුරා සමග දිවිගෙව් තාවකාලික, කැන්වස් කූඩාරම ගලවා බඩු එකලස් කරද්දී ‘බොස්කෝ’ ඒ දිහා බලාගෙන හිටියේ මහත් දුකකින්.. ඌගේ ඇස්වල දිළිසෙන කඳුළු බිංදු ලෙස්ලිට හොඳටම පෙනුණා.   
තම මිනිස් හිතවතා ආයෙත් කවරදාවත් දකින්න නොලැබෙන බව බොස්කෝ දැන හිටියා වගේම තම වලස් හිතවතා බොස්කෝ නැවත කවරදාවත් හමුනොවතැයි ලෙස්ලිත් සිතුවා. එහෙම හිතල ලෙස්ලි බොස්කෝ ඇඟ හිස අතගාලා සුභ පැතුවා ‘‘බොස්කෝ’’ මගේ මිත්‍රයා මම ඔබව දකින්න ළඟදීම එනවා.. එතෙක් දුක් නොවී ඉන්න කියල..’’? ඒක තේරුණා වගේ ලෙස්ලිගේ දෙපා ලෙව කාපු බොස්කෝ හයියෙන් හඬා වැටෙමින් අඳුරු වන තීරුවට වැදිල නොපෙනී ගියා. ලෙස්ලි සිය මෙවලම් කරතබාගෙන රොබ්සන් වන තීරුවෙන් තම සේවා ස්ථානයට යන්නට හැරුණේ.’ මේක නම් පුදුම සෙනෙහසේ නවාතැනකින් හමුවූ මිතුරු දමක් කියල   


‘හාවඩ්’ හමුදා පාසලේ දේශන පර් යේෂණ කටයුතු කොච්චර තිබුණත් කථිකාචාර්ය ‘‘ලෙස්ලිට’’ තම මිත්‍ර ‘බොස්කෝ’ පිළිබඳ මතක සටහන කිසිම විදියකින් අමතක කර දමන්න මහත් අපහසුවක් වුණා. දිවා කල නැතත් නේවාසිකාගාරය තුළ ගත කරන හැම රැයක්ම ඔහුට වේදනාකාරී සිතුවිලිමයි දායාද කළේ. ඒනිසාම එක දිනෙක තමාගේ තිරිසන් අතිජාත මිතුරා වූ ‘බොස්කෝ’ හමුවෙන්න හිතාගෙන දහසක් වූ වැඩ කටයුතු පසෙකලා ‘ලෙස්ලි’ රොබ්සන් වනාන්තරය ආක්‍රමණය කළා.   
එදා තමන් කුඩාරම් ගසා තිබුණ තැනට ඌ ඇවිත් ගිය බවක් අඩි සටහන් වලින් වගේම ඈත මෑත තැන්වල විසුරුවා තිබුණ ‘බෙටි’ වලිනුත් ලෙස්ලි වටහා ගත්තේ දින කීපයක්ම බොස්කෝ තමා සොයා බලන්නට ඇති බවයි. තව තවත් ලෙස්ලි වන තීරුව ඇතුළටම පියමැන්නා. කිසිම වග තුගක් දැන් ලැබෙයි.. දැන් ලැබෙයි කියන අපේක්‍ෂාවෙන්..?   
උසුලාගත නොහෙන කුණු ගඳක් ලෙස්ලිට දැනුණා. පුංචි ගල්ගුහා සහිත කඳුකර පෙදෙසකින්... ඔහු දැඩි සේ පරීක්‍ෂණාත්මකව විමසා බලද්දීයි දැක්කේ ගලක් පාමුල මැරී කුණු වී දියවී යන්නට ආසන්න වලස් කුණක්...? දේහය අනුව ඒ නම් තම මිත්‍ර ‘බොස්කෝ’ගේ බව ලෙස්ලිට වැටහුණේ මළකුණ අසළට ගිහින් සියුම්ව පරීක්‍ෂා කරද්දී... ලෙස්ලිට උසුලාගත නොහැකි දුකක් දැනුණා. දෑසේ කඳුළු බිඳු වැටෙන්න වුණා. ‘‘අනේ මගේ අාදරණීය මිත්‍රයා බොස්කෝ..?’’   


ඈතින් අැහුණේ තවත් වලස් රංචුවක වියරු සහ ප්‍රකෝපකාරී වූ තීව්‍ර හඬක්.. මේ නම් උන්ගේ ප්‍රහාරයක් වියහැකියි..? නැතිනම් තම මිනිස් මිතුරා වෙනුවෙන් මේ කළණ මිතුරා කන්දෙන් පහළට පැන සිය දිවිනසා ගත්තාද...? තම ජාතිය ‘මිනිස්කමට පාවා දෙන්නට ගිය නිසා සැබැවින්ම මේ ඉරණම වෙන්නට ඇති බව වටහාගෙන මහත් දුකින් බරව ආපසු හැරෙද්දී’ ලෙස්ලිට කනවැකුණේ වියරු වූත් ප්‍රකෝපකාරී වූත් වළස් වියරු සිනා හඬක්. ඒක මේ ​‘‘රොබ්සන්’’ වනය පුරාම දෝංකාර දෙමින් සෙමින් සෙමින් මැකීයනු දැනුණා.   

 


නාලගමුවේ උබේසේකර කුමාරසිංහ