‘හිරු පායනවා මල් පිබිදෙනවා මැණිකේ හිනැහෙනවා’ විජේරත්න වරකාගොඩ


සත්සර

කොළඹ ආනන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉගෙනුම ලැබූ ගායනයට දක්ෂ ශිෂ්‍යයෙක් තලාක් මෙහෙමුද් (Talat Mahmood) නම් ප්‍රකට හින්දි ගීත ගායකයාගේ චිත්‍රපට ගීතයක් විවේක කාලයේ ගයනු සිංහල විෂයය ඉගැන් වූ ගුරුවරයාට යාන්තමට ඇසුණි. ගුරුවරයාගේ මුවට සිනහ රැල්ලක් නැගුණේ මේ ශිෂ්‍යයාම පාසලේ සිටි දක්ෂම ක්‍රීඩකයෙකු ලෙස මලල ක්‍රීඩා උත්සවයේදී සැතැපුමේ ඉසව්ව ජයග්‍රහණය කළ බව මතක් වීමෙනි.   


 මේ වසර 1952 ය. සිංහල ගුරුවරයා වූයේ ඩී.බී. කුරුප්පු මහතාය. පසුකලෙක ලේඛකයකු හා කලා විචාරකයකු ලෙස මේ ගුරුවරයා කැපී පෙනුණේය. තලාත් මෙහෙමුද්ගේ ගීත ගැයූ ශිෂ්‍යයා විජේරත්න වරකාගොඩය. එකල කලාවට, සංගීතයට මෙන්ම සිනමා ලෝලී සිසුන් පිරිසක් වරකාගොඩ සමඟ පන්තියේ සිටියෝය. එ් හැම කලා ක්ෂේත්‍රයේ විවිධ අංශවලින් පසුකාලීනව කැපී පෙනුණහ.   


එ් අතර ඩී.බී. නිහාල්සිංහ, සුමිත්ත අමරසිංහ, බණ්ඩාර කේ. විජේතුංග, අසෝක පොන්නම්පෙරුම යන සිනමාවේ කැපී පෙනුණ චරිත මෙන්ම ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ඇස්. සුබසිංහ, එල්මෝ ගුණරත්න (මේ සිව් දෙනාම ඉරිද‌ා ලංකාදීප පත්‍රයේ ප්‍රධාන කර්තෘවරු වූහ.) දයානන්ද කුමාරද‌ාස (පසුව ලංකාදීප නියෝජ්‍ය කර්තෘ) යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු ද, ජේ.බී. දිසානායක, සුනන්ද මහේන්ද්‍ර, එම්.එච්. ගුණතිලක (පසුව මහාචාර්යවරු වූහ.) දයානන්ද ගුණවර්ධන (නාට්‍ය නිෂ්පාදක) හා ධර්මසිරි සේනානායක (හිටපු අමාත්‍ය) ද මේ පිරිස අතර වූහ.   


ජෝර්ජ් ලෙස්ලි, සුබසිංහ හා එල්මෝ මෙන්ම වරකාගොඩගේ ද ප්‍රියතම හින්දි නළුවා වූයේ දිලිප් කුමාර්ලු. දිලිප් මෙන් අකීකරු කෙහෙරැල්ලක් සහිතව හිස පීරූ මේ සිව්​දෙනා පාසලේ විවේක කාලයේ හින්දි ගීත රසවින්දනයට සැදී පැහැදී සිටියෝය. වරකාගොඩ තලාත් ගේ ගී  ගැයූ අතර එයට ප්‍රතිචාර දැක්වූ ජෝර්ජ් ලෙස්ලි විසින් මුකේෂ් (Mukes) නම් හින්දි ගායකයාගේ ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීතවලින් මිතුරන් සන්තර්පණය කරනු ලැබිණ. එහි එකම රස ගුලාවකි.   


 විජේරත්න වරකාගොඩ පසුව වේදිකා නාට්‍යය, චිත්‍රපට රංගවේදියකු, ගුවන්විදුලි හා ටෙලිනාට්‍ය රංගවේදියකු වුවද ඔහු කුඩා කාලයේ සිටම සිහින මැව්වේ ගායකයෙකු වීමටය. ආනන්දේ ‘සිලෝන් තලාත් මෙහෙමුඩ් (Ceylon Talat Mahmood) නමින් ප්‍රකටව සිටි වරකාගොඩට කවුරුත් ආදරය කළහ. ඔහුට ගුරුවරුන් පවා කතා කළේ ඒ නමිනි.   
කලක් ඔහු උපපොලිස් පරික්ෂකවරයකුව සිටියේය. පොලිස් නිලධාරියකුව සිටි අවධියේ ඔහුට සිදු වූ අපූරු සිද්ධියක් ප්‍රකට රංගවේදී නිශ්ශංක දිද්දෙනිය ලියා තිබුණි. එය මෙසේය. 

 
කාලය - 1950 දශකයේ අග භාගය (1959 පමණ)   
ස්ථානය - කොළඹ ගාලු මුවදෙ‌ාර, ගාලු පාර   
වේලාව - රාත්‍රී 10.00 ට පමණ.   


 වොක්ස්වගන් කාරයක් ගාලු දෙසට තරමක වේගයෙන් ඇදෙයි. කාරයේ ඉදිරිපස යොමු ආලෝක පහන් නොදැල්වේ. කොළඹ රථවාහන සේවයේ උපපොලිස් පරික්ෂක හා සාජන් මහතා සේවයේ යෙදී සිටිති. උපපොලිස් පරික්ෂකගේ විධානයෙන් සාජන් වාහනය නවත්වයි. ඔළුව පහත් කොට වාහනයේ ඇතුල බලයි.   


සාජන් - සර් ඉස්කෝලෙක් ද කොහෙද?   


උපපොලිස් පරික්ෂක වාහනය ඇතුළට එබී බලා ජාතික අැඳුමෙන් සැරසී සිටි මැදි වයසේ රියැදුරු දැක   
 උපපොලිස් පරික්ෂක - මහත්මයා කාර් එකේ ලයිට් නෑනේ.   


 රියැදුරු එළියට ඇවිත් පරික්ෂා කර බලා   


රියැදුරු - ආ ඇත්ත නේන්නම්. මට තේරුණේ නෑනෙ. දැන් ඉතින් මොකද කරන්නේ?   


උ.පො.ප. - රෑට ලයිට් නැතිව යන එක වරදක්නම් තමා. කරුණාකරලා ලයිසන් එක දෙන්න.   
(රියැදුරු කබිහෝලය අත ගා ලයිසම ගෙන පොලිස් නිලධාරියා අතට දෙයි. උපපොලිස් පරික්ෂක එහි නම හා ලිපිනය කියවයි.)   
E.R. Sarachchandra, University of Ceylon Peradeniya යැයි එහි විය.   


උ.පො.ප. - අනේ සර් සමාවෙන්න. අපේ ඉතින් රාජකාරිය නොවැ. සර් ගිහිල්ල ඔය ලයිට් හද‌ාගන්න.   
අාචාර්ය සරච්චන්ද්‍ර - එහෙම කරන්ඩ එපා. හොඳ නෑනේ. ඔයගොල්ලන්ගේ රාජකාරිය කරන්න.   
උ.පො.ප. - සර් උසාවි දැම්මොත් නඩුකාරයා මට බණියි. කමක් නෑ සර් යන්න.   
ආචාර්ය සරච්චන්ද්‍ර - බොහොම ස්තූතියි. එහෙනං මං යනවා.   


කාලය ගෙවී ගියේය. වරකාගොඩ පොලිසියෙන් ඉවත්ව අතුරුගිරියේ වානේ සංස්ථාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විය. ගායනයට තිබූ ආසාව යළිත් ඔහු තුළ ඇති විය.  
ඒ වසර 1960 දීය. ගුවන් විදුලියේ වෙළෙඳ අංශයේ තිබුණ ‘ආධුනික පැය’ වැඩසටහනට ඔහුට ඉදිරිපත්වීමට පී.එල්.ඒ. සෝමපාල උදව් කර ඇත. ඒ සමඟම ඔහු ගුවන් විදුලියේ සරළ ගී පරික්ෂණයට ඉදිරිපත් වී ඔහු ගැයුවේ සිසිර සේනාරත්න ගැයූ ‘යනවද මා දමා කියන්න සුන්දරී’ ගීතයයි. ‘ඒ’ ශ්‍රේණියේ ගායකයකු ලෙස සමත් වූ වරකාගොඩට සරල ගී වැඩසටහනට අලුත් ගී තුනක් ගැයීමට අවස්ථාව ලැබිණ. එක ගීතයක් තම පන්තියේ සිටි ජෝර්ජ් ලෙස්ලි ලියා දුන්නේය. ‘සුර ලෝකෙන්’ නම් ඒ ගීතයේ සංගීතය වික්ටර් දළුගමගේ ගෙනි. වික්ටර්ම සංගීතවත් කළ ‘මිහිරි සිහිනයක්’ ගීය ලියා දුන්නේ කේ.ඩී.කේ. ධර්මවර්ධනය.  


 ‘මම මේ කාලේ වේදිකා නාට්‍යවල චරිත රඟපාමින් ගීත ගැයුවා. සරල ගී වැඩසටහනේ අනික් සින්දුවක් හදල දෙන්න කියලා මගේ මිත්‍ර ෂෙල්ටන් ප්‍රේමරත්නට කිව්වා.  
 ‘මේ හදිසියේ කාට කියල ද සින්දුවක් ලියව ගන්නේ’ ෂෙල්ටන් කල්පනා කරමින් කිව්වා.  
‘ඒකත් ඇත්ත...’ මම කිව්වා.  
‘වරක්ස්, උඹ ඊයේ ඉරිද‌ා ලංකාදීපෙ බැලුව ද?  
‘ඔව්’  


‘මැණිකේ ගැන ලස්සන කවි පන්තියක් ටී.බී. පෙරමුණේ තිලක ලියලා තිබුණා.’ ෂෙල්ටන් කිව්වා.  
‘ඔව් මම කියෙව්වා. ඒක නම් අපූරු කවි පෙළක්.  


‘පෙරමුණේ මගේ යාළුවෙක්. යමු ලංකාදීපෙට’ ෂෙල්ටන් යෝජනා කළා.  


අපි ටයිම්ස් මන්දිරේට ගියා. පෙරමුණේ තිලක ලංකාදීපෙ ප්‍රවෘත්ති කර්තෘ. ෂෙල්ටන් මාව හඳුන්වල දුන්නා. කාරණෙත් කිව්වා. අනුමැතිය ලැබුණා. මගේ තුන් වැනි සරල ගීතයට තෝරා ගත් පෙරමුණේ තිලකගේ කවි පන්තියට ෂෙල්ටන් අපූරු තනුවක් යෙදුවා.  


හිරු පායනවා  
හිරු පායනවා මල් පිබිදෙනවා  
කුරුලු රෑන් එනවා  
 මැණිකේ හිනැහෙනවා  
මල්බර උයනේ මී අඹ හෙවණේ  
ගී හඬ පැතිරෙනවා  
සිරිපොද වැස්සේ  
මිදුලට බැස්සේ  
හණිකට ගෙට එනවා  
මැණිකේ හිනැහෙනවා  
සුරතල් තාලෙට බත් ටික දෙන විට  
බඩගිනි නැති වෙනවා  
නිතඹ නැටෙන විට  
දෙනෙත පියෙන විට  
මිහිරෙන් මත්වෙනවා  
මැණිකේ හිනැහෙනවා  
ජීවන ගමනේ මිහිරක් මැවුණේ  
මැණිකේ නිදියනවා  
නින්දෙන් හිනැහෙනවා  
මැණිකේ හිනැහෙනවා  


මේ ගීතයේ මුල්ම පටිගත කිරීමේදී මැණිකෙගේ හිනා හඬක් තියෙනවා. එද‌ා මැණිකේ වෙනුවෙන් ගීයේ පසුබිමෙන් සිනා වුණේ ග්‍රේස් ද සිල්වා. අද ග්‍රේස් තෙන්නකෝන්. විජේරත්න වරකාගොඩ ගීතයක උපත ගැන කීවේය.  


වරක් වරකාගොඩ සංගීත ප්‍රසංගයක ගීත ගයද්දී අපූරු සිද්ධියක් වී ඇත. මේ ගී ගයන්නේ තමා සේවය කරන වානේ සංස්ථාවට අයත් සොරකම් කළ මයික්‍රෆෝනයකින් බව දැනගෙන ඇත. ගීත ගැයූ පසු ඔහු ක්ෂණිකව කළේ අතුරුගිරිය පොලිසියට කතා කොට සොරුන් අල්ලා දීමයි.  


විමල් නවගමුව රචනා කොට නිෂ්පාදනය කළ ‘අජාසත්ත’ වේදිකා නාට්‍යයේ බිම්බිසාර රජු මෙන් ගී ගයමින් වරකාගොඩ රඟපෑම නිසා 1963 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ දී හොඳම නළුවාට (ශෛලීගත) හිමි සම්මානය දිනාගත් අතර එම නාට්‍යය නැරඹූ එදිරිවීර සරච්චන්ද්‍ර හා හෙන්රි ජයසේනගේ ප්‍රසාදය දිනාගත්හ. එහි ප්‍රතිඵලයක් වූයේ හෙන්රි ජයසේනගේ ‘කුවේණි’ නාට්‍යයේ පොතේ ගුරු ලෙස ගී ගයමින් රඟපෑමය. මේ පොතේ ගුරු ලෙස ඔහු ගැයූ ආරම්භ ගීතය නාට්‍ය රසිකයන්ට කිසිද‌ා අමතක නොවේ.  


 ‘අන්ධකාරයෙ දුරාතීතේ  
අන්ධකාරෙට අනාගතයේ  
රැගෙන යාමට කතා පුවතක්  
අන්ධකාරේ සිට කියන්නේ  
බොහෝ දේ සිදු වූ අතීතේ  
වැළලිලා ඇත අන්ධකාරේ  
පොළෝ පස් යට උණුන් කඳුළැලි  
ලෙයත් ඩහදිය එකට මුසු වී  
පොළෝ තලයෙන් වැසුණු බිජුවට  
නැගී එන සේ දිනෙක පසු කල  
අතීතේ සැඟවුණු කඳුළු බිඳු  
ලෙයත් දහඩිය මද සිනා රැළි....’  


‘අජාසත්ත’ නාට්‍යය බැලූ සරච්චන්ද්‍රයෝ බිම්බිසාර රජුගේ ගායනය ගැන පැහැදී නාට්‍යාවසානයේ නවක නළුවාට සුබපැතීමට නේපත්‍යාගාරයට ගියහ.  
‘සර්ට, මතකද ගෝල්​ෆේස් එකේදී කාර් එකේ ලයිට් නැතිව ගිහිල්ලා අල්ලපු සබ් ඉන්ස්පෙක්ටර්. ඒ මම.’  


‘ඔව්.... ඒ ඔබ ද? එහෙනං ලෑස්ති වෙන්න ‘මනමේ’ පොතේ ගුරා වෙන්න.’  
‘මොන තරම් වාසනාවක් ද සර් මට ඒ අවස්ථාව ලැබෙනවා නම්? මම එන්නම්.  


වරකාගොඩ සරච්චන්ද්‍රයන්ගේ මනමේ පමණක් නොව ඔහුගේම සිංහබාහු (යුවරජ), මහාසාර (රජු), ජෙමතෝ ජායතී සෝකෝ (සූත්‍රධර) ලෝමහංස (පොතේ ගුරු) මනමේ (වැදිරජ හා රාජගුරු) චරිත රඟපාමින් ගායනා කළේය.  


1970 වසරේ තිරගත වූ මහගමසේකරයන්ගේ ‘තුංමංහන්දිය’ චිත්‍රපටයේ ගමේ ටීටර් මඩුවේ ගැයෙන මේ නාඩගම් ගීතය සඳහා වරකාගොඩ තෝරා ගන්නැයි යෝජනා කළේ නිෂ්පාදක චිත්‍රා බාලසූරියයි. සංගීතවත් කළේ අමරදේවයන්ය. දුටුගැමුණු කුමරු මෙන් වෙස් ගෙන වරකාගොඩ මේ සින්දුව ගයමින් වේදිකාවේ එහා මෙහා ගිය අයුරු ‘තුංමංහන්දිය’ චිත්‍රපටය නැරඹූ අයට නම් අමතක නොවේ.  


‘යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී  
පායන සඳ ඇති මේ රාත්‍රි  
නෙතු නිල් උපුලා  
සිකි පිල් වරලා  
 රූප ශ්‍රියාවිය දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනි  
ගමනින් නාලිය වත සඳ සදිසි  
වදනින් මා හද පුබුදන දිගැසි  
මේ ලොව නෑ වෙන අන්  
ඇ සම වූ අඟනන්  
රූප ශ්‍රියාවිය දක්නා සේ මා සිත් ගත්තා වූ  
 ඒ ලාලනී’  


විජේරත්න වරකාගොඩ වඩාත් ජනප්‍රිය ගීතය වූ ‘රඟහල’ ගීතය ගැයුවේ අනුලා බුලත්සිංහල සමඟය. හඩ්සන් සමරසිංහ රචනා කළ මේ ගීතයේ සංගීත නිර්මාණය ඔස්ටින් මුණසිංහ ගෙනි. එය ගායක යුවළගේ හා ගීතයට අයිතිකම් කී අයගේ අයිතිය සුරැකීමේ නඩු විභාගයකින් විජයග්‍රහණය කළ සුවිශේෂ ගීතයක් ලෙස ද විශේෂය. මේ ගීතය කලකට ඉහත වරකාගොඩගේ සරල ගී වැඩසටහනකදී ගැයූ ගීතයකි.  


‘රඟහල දැන් ඇත අඬ අඳුරේ  
අප දෙදෙනා පෙම් පිළිසඳරේ’  


විජේරත්න වරකාගොඩට අනාගත සහකාරිය හමුවන්නේ අහම්බෙනි. ඇය මුදියන්සේලාගේ අයිරාංගණී චිත්‍රා ජයසිංහය. පිළියන්දල, තුංමුල්ල ගමේ උපත ලැබූ ඇය අධ්‍යාපනය ලබන්නේ මාම්පේ මහ විද්‍යාලයෙන් හා කැස්බෑව ආටිගල මහ විද්‍යාලයෙනි. සංගීතයට ගායනයට ඇලුම් කළ ඇය රජයේ ලලිත කලායතනයට බැඳුණේ ද පාසල් යන අතරේය. චිත්‍රා අටදෙනෙකුගෙන් යුතු පවුලක හතරවැනියාය.  


‘මම රජයේ කලායතනයේ ඉගෙන ගන්න කාලේ අපේ යහළුවෙක් මගෙන් මෙහෙම ඇහැව්වා.  
‘හෙන්රි ජයසේනගේ ‘කුවේණි’ නාට්‍යයේ සින්දු කියන්නත් රඟපාන්න සුදුසු ගැහැනු ළමයෙක් හොයනවා. ඔයා කැමැතිද ඒ නාට්‍යයේ රඟපාන්න.’  
‘අපේ අම්මලා නාට්‍යවල රඟපානවට කැමැත්ත දෙන්නේ නැහැ.’  


‘කියල බලන්න’  


‘මේ කාලේ මගේ අයියා පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තේ. නිවාඩුවට ගෙදර ආවාම මම අයියාට මේ ගැන කිව්වා.’ චිත්‍ර ඒ අතීත කතාව හෙළි කළාය.  
 ‘හෙන්රිගේ නාට්‍යයක රඟපාන්න ලැබෙන චාන්ස් එක නංගිට ලොකු තෑග්ගක්.’  


මේ අනුව මම කුවේණි නාට්‍යයට සම්බන්ධ වුණා. මම රඟපෑවේ දිසාලාගේ චරිතය. සෝමපාල ධර්මප්‍රිය හා ෆීලික්ස් ප්‍රේමවර්ධන සෙසු චරිතත් විජේරත්න වරකාගොඩ පොතේ ගුරාටත් රඟපෑවා. මේ කාලයේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. වරකාගොඩ මා දිහා නිතර බැලුවා. ඔහු තුළ මා ගැන පිළිබඳ සිතක් ඇති බව මට දැනුණා. එයා කෙළින්ම මගෙන් කැමැත්ත ඇහැව්වා. විශ්වවිද්‍යාලයේ අවසාන විභාගෙට පෙනී සිටිය මම මේ ගැන අම්මාට කිව්වා.  


 අපි විවාහ වුණේ 1970 වසරේ. එදා ඉඳලා අපි දෙන්නම වේදිකාවේ. සිනමාවේ, ටෙලිනාට්‍යයේ රඟපෑවා. මගේ ලොකු දුව වින්ධ්‍යා, චන්න විජේවර්ධනගෙන් නැටුම් ඉගෙන ගත්තා. ඇය ඉන්නේ අපි ගාව. පුතා ජයනාථ සංගීතයට දක්ෂයි. බී. වික්ටර් පෙරේරා මහතාගෙන් සංගීතය ඉගෙන ගත්තා. ෂෙල්ටන් ප්‍රේමරත්න, ලයනල් රංවල මහත්වරුන්ගෙනුත් වැඩිදුර සංගීතය ඉගෙන ගත්තා. කලක් ‘ශක්ති’ කණ්ඩායමෙත් හිටියා. පුතා දක්ෂ බෙර වාදන ශිල්පියෙක්. ඒ වගේම සංගීතඥයෙක්. එයාටම කියලා රේකෝඩිං ස්ටුඩියෝවක් තියෙනවා. පුතා විවාහවෙලා. පුතෙකුයි, දුවෙකුයි ඉන්නවා. අපි දැන් ආච්චිලා, සීයලා වෙලා.’ චිත්‍රා කීවාය.  


සම්මානනීය කලාකරුවෙකු වූ තම සැමියා ගැනත් කලා ලෝකයේ දක්ෂතා දක්වන දුව හා පුතා ගැන චිත්‍රා නිහතමානීව සතුටු වෙන්නීය. දෙහිවල කළුබෝවිල, සුනන්ද‌ාරාම පාරේ අංක 10/2 නිවසේ වරකාගොඩ යුවළ ඉතා සරල ජීවිතයක් ගත කරමින් සිටිති.  


 ‘විජේරත්න වරකාගොඩ කියන්නේ අප්‍රමාණ මිනිසෙක්. ඔහු මට රටක් රාජ්ජයක් වගේ. ඔහු වැනි සැමියකු ලද මා පුණ්‍යවන්තියක්.’ චිත්‍රා කීවාය.  

 


ඒ.ඩී. රන්ජිත් කුමාර