‘මැණික් නිම්නයේ’ යකඩ මිනිස්සු යකඩ මිනිස්සු


කඳු පන්තියෙන් වට වූ නිම්නය විශාල එකකි. කඳු වැටියේ මුදුනින් කුඩාවට පටන් ගන්නා දිය දහර තරමක් පහළට එද්දී කුඩා ඇළක් බවට පත්වෙයි. තවත් පහළට එද්දී ගල්කුළු අතරින් රිංගා යමින් ගං කොමළියක් වෙයි. තාරුණ්‍යයට පා තබන යුවැත්තියක මෙන් දඟකාරකම් පා ගලා බසිනා ගං කොමළිය පහළ නිමනයේ දී නිහඬව ගලා බසින්නේ වටිනා මිණිකැට ඇකයේ සඟවා ගනිමිනි. 

දශක හය හතකට පෙර පරිසරය අදට වඩා හාත් පසින්ම වෙනස් ය. තුරුලතාවලින් පිරි කැලෑවෙන් වැසී ගිය වටපිටාවේ ගෙයක් දොරක් පිහිටා තිබුණේ එකිනෙක නොපෙනෙන දුරකිනි. ජනගහනය ද ඉතා අඩුය. ගම්මානයේ කෝපිකඩය හැන්දෑවට ගමේ වැඩිහිටියන්ගේ අල්ලාප සල්ලාප මධ්‍යස්ථානයයි. කිතුල් හකුරු කෑල්ලක් සමග තේ කහට කෝප්පයක් සප්පායම් වෙමින් ආගිය තොරතුරු බෙදාහදා ගනිමින් දාම් අදින වැඩිහිට ගැමියෝ නිරෝගීය. 


අපේ පොළොවෙන් මතුවූ මැණික් සඳහා ‘නිදහසට’ පෙර ගැමියන්ගෙන් යොමුවූ අවධානය ඉතා අඩුවිය. අධිරාජ්‍යවාදී ඉංග‍්‍රීසි ජාතිකයන්, ඇඟ බද්ද, බලු බද්ද, ඉඩම් බද්ද ආදී විවිධ බදු පනවා තිබූ නිසා ගැමියන් වත්තේ පිටියේ ආදායමක් සොයාගත්තා මිස ව්‍යාපාර කටයුතුවලට නොගියේය. 


රත්නපුර සහ කුරුවිට නගරය අතර පිහිටි නිම්නය ‘‘මැණික් පාරාදීසය’’ කි. එහි කොස්ගොඩ ගම පැරණි ගමකි. නිදහසින් පසු මැණික් කර්මාන්තයට පිවිසි මුල් ගම් කිහිපය අතරන් ප‍්‍රමුඛ තැනක් කොස්ගොඩ ගමට හිමිය. වර්තමානයේ මේ ගම්මානයේ මැණික් කර්මාන්තයේ නියැළි පිරිස් අඩු වුණත් පනහේ හැටේ දශකවල තම තමන්ගේ ඉඩම්වල මැණික් පතල් කපා ‘මැණික් රස්සාව’ කළ පිරිස වැඩිය. 


අද වනවිට අසූ දෙවෙනි වියේ පසුවන බී.එම්. සිරිමානිස් මහතා ඒ ගමේ පතල් කර්මාන්තය කළ වැඩිහිටියෙකි. ‘සිරිමානිස් බාසුන්නැහැ’ යන නාමයෙන් ඔහුව ගමේදී මෙන්ම මැණික් ව්‍යාපාරිකයන් අතර හඳුන්වයි. අවුරුදු විස්සේ දී පතල් රස්සාවට ආපු කෙනෙකි. පතල් කර්මාන්තයේ අවුරුදු හැටකට වැඩි පළපුරුද්දක් ඔහුට තිබේ. ගැඹුරු පතල්, දෝන පතල්, වරු පතල් ආදි වූ හැම පතලක් ගැනම ඔහුට හොඳ අත්දැකීම් තිබේ. උපාධියක් නොතිබුණාට ඔහුට පතල් කැණීම් සම්බන්ධයෙන් ඇත්තේ මනා පරිචයකි. 


‘‘අපේ තාත්තට ඉඩකඩම් ගොඩක් තිබුණා. ගොඩ මඩ දෙකෙන්ම ඒ ඉඩම් තිබුණේ. කුඹුරු වගේම කුඹුරු වැඩ නොකරන කෙටෙල ගාල් තිබුණා. ඒවායේ තමයි මුල් කාලේ පතල් කැපුවේ. මට මතකයි මම කොලු ගැටයා සන්දියේ පුංචිසිඤ්ඤො කියලා පතල් බාස් කෙනෙක් හිටියා හංගමුවේ. අපේ තාත්තාගේ පතල්වල වැඩ කරපු බාස් තමයි ඔය පුංචිසිඤ්ඤො බාස්. හොඳට ඇඟපත තියෙන මනුස්සයා. ඒ කාලේ උන්දැට අවුරුදු පනහ පැනලා. ඒවුණාට හොඳ හයිය හත්තිය තිබුණා.’ 


‘‘ඒකාලේ ඉඩම් අයිතිකාරයාගේ පංගුවට මමත් පතල් වැඩට බැස්සේ පුංචිසිඤ්ඤොග බාසුන්නැහැ යටතේ. පතලට ආධුනිකයෙක් ආවාම මඩවනවා. නොයෙක් වැඩ ගන්නවා. කොටින්ම කිව්වොත් පතල් රස්සාව එපා වෙන වැඩ ගන්නවා. කම්මැළියෙක් කියලා හිතුණොත් වැඩ වැඩියි. එක එක දේවල් ගේන්න එහෙම මෙහෙ ගිහිං ඉවරයක් නෑ. නිකං ඉන්න දෙන්නෙම නෑ. නිකං ඉන්නවා දැක්කොත් මුට්ටියේ තියන වතුර ටික හලලා හරි වතුර ගේන්න යවනවා.’’ සිරිමානිස් බාසුන්නැහැ කීවේය. එය වර්තමානයේ විශ්ව විද්‍යාල වල නවක සිසු සිසුවියන්ට දෙන ‘නවකවදය’ සිහිපත් කරයි. 


‘‘ඒ වුණාට මාව එච්චර මැඩෙව්වේ නෑ. මොකද පතල් ඉඩම් අපේනේ. මම තාත්තාට කියලා මාව මඩවන ඈයෝ පැන්නුවොත් කියලා හිතලා වෙන්න ඇති. පතලේ නායකයා තමා පතල් බාසුන්නැහැ. එයා කියන දෙයකට ඉහළින් කවුරුවත් යන්නේ නෑ. පතල් කපන්න පුළුවන් අය හිටියට බාස් වැඩේ හැමෝටම කරන්න බෑ. පතල් බාස්කමත් වඩුවැඩ, මේසන් වැඩ වගේ බරපතළ වගකීම් ඇති වැඩක්.’’ සිරිමානිස් බාසුන්නැහැ කියයි. 
‘‘මම පතල් රස්සාවට ගිහිං කාලෙකට පස්සේ බාස් වැඩේ ඉගෙන ගත්තා. අසූ ගණන්වල මම පැරඩයිස් එකේ තට්ටු පතලක බාස් වැඩේ කළා. ඒ කාලේ දැන් වගේ බැකෝවලින් පතල් හාරන්නේ නෑ. තට්ටු පතල් තමයි බහින්නේ. මේ කියන පතලේ තට්ටු දහ නවයක් අපි බැස්සා. අපේ පතලෙට ටිකක් ඈතින් තවත් පතලක් අලුතින් පටන් ගත්තා. ඒ වෙන කණ්ඩායමක්. ඒ පතලේ තට්ටු හත ඉවර කරලා අට වෙනි තට්ටුවට බැහැලා තිබුණේ. එක පාරටම ශබ්දයක් ඇහිලා බලන කොට අර පතල කඩාවැටිලා. හොඳ වෙලාවට පතල කඩා වැටෙන වෙලාවේ කවුරුවත් ඒ පතලේ හිටියේ නෑ. බාසුන්නැහැ හරියට තට්ටු හිරකරලා තිබුණේ නැති නිසයි එහෙම වුණේ. ඒ වෙනකොට අපේ පතලේ තට්ටු දහ නවයක්. තට්ටුවක් කියන්නේ අඩි එකහමාරක්. ඒකයි මම කිව්වේ පතල් බාස්කම කියන්නේ මහ අමාරු වැඩක් කියලා’’ උගුර පාදමින් මුවඟට සිහින් සිනහවක් නගමින් සිරිමානිස් බාසුන්නැහැ කීවේ ලොකු ආඩම්බරයකිනි. 

 

 

පතල් කර්මාන්තය වැඩි දියුණු වුණේ 70 දී පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුවෙන් පිහිටු වූ රාජ්‍ය මැණික් සංස්ථාවෙන් පසුවය. එතෙක් කාලයක් මැණික් කර්මාන්තය තිබුණේ අවිධිමත්වය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව බිහිවූ රාජ්‍ය මැණික් සංස්ථාව පතල් ක්‍ෂේත‍්‍රයේදී අදටත් හඳුන්වන්නේ ‘‘සංස්ථාව’’ යනුවෙනි. 


අසූ දෙවෙනි වියේ පසුවන සිරිමානිස් බාසුන්නැහැ මුණ ගැහෙන්න මම ගියේ ගොම්මන් වැටෙන යාමයේය. මට මග පෙන්වූයේ කලක් මැණික් පතල් කර්මාන්තයේ නියැළෙමින් කටයුතු කර හොඳ අත්දැකීම් ඇති වර්තමානයෙ ඉඩම්හිමි වැවිලිකරුවකු වන එක්නැළිගොඩ ප‍්‍රදේශයේ ජේ.ඒ.සී.එච්. ජයතුංග මහතාය. 


සිරිමානිස් බාසුන්නැහැ ඒ වෙලාවෙත් නිවසේ නොසිටියේය. ඉර අවරට හෝරා දෙතුනකින් පසු පතල්වල වැඩ අවසන්කර දිය නාගෙන කඩ පිලට ගොස් කහට කෝප්පයක් සප්පායම් වී අල්ලාප සල්ලාපයේ යෙදී ගොම්මන් වැටෙන වෙලාවට ගෙදරට එන පුරුද්දට ඔහු දිනපතා අදටත් බටුහේන කඩමංඩියට එන්නේ ය. 


ඔහු එන තෙක් රැඳී සිටි අපට ඈත වෙල්යාය මැද්දෙන් ඇති කොන්ක‍්‍රීට් පාරෙන් එන වියපත් වැඩිහිටියෙක් දිස් විය. 


‘අර එන්නේ බාසුන්නැහැ වෙන්නැති. මහත්තයලා ‘සංස්ථාවෙන්’ දැයි? සිරිමානිස් බාසුන්නැහැගේ බිරිඳ විමසුවා ය. එහිදී ඇය ‘සංස්ථාව’ යැයි කීවේ මැණික් සංස්ථාවටය. 


මැණික් කර්මාන්තයේදී මැණික් පතලටත් වාඩියටත් අපූරු උප සංස්කෘතියක් තිබේ. පතලට තරමක් ඈතින් වාඩිය තනන අතර වාඩියේ ඇඳත් පුටුවත් වන්නේ මැස්සයි. අඩි දෙක හමාරක් තුනක් උසින් පුවක් රීප්ප හෝ ලෑලි යොදා හදන මැස්සට පැදුරක් එළා ඇත. මැස්ස උඩ වුවමනා කළමනා ඇති අතර වෙහෙස මහන්සි වී ඇවිත් ගිමන් හරින්නේත්, මැණික් ඉල්ලම් ගොඩදැමූ පසු මුරෙන් මුරේට නිදාගන්නේත් මේ මැස්සේය. ඉඩම් අයිතිකාරයා, මැනේජර් මහත්තයා, ඒ වගේ ලොකු ලොකු අය ආවම ඉඳගන්නෙත් මේ මැස්සේය. 


‘‘තට්ටු පතලක් වුණාම පතලට ආසන්නව වාඩියක් ගහනවා. බොහෝ වෙලාවට වාඩිය ගහපු දවසේ ඉඳලම රෑට වාඩියේ කෙනෙක් ඉන්නවා. ඉල්ලම් ගොඩදාලා ගරලා ඉවර වෙනකං කරුවට වැඩකරන කට්ටියම ඉන්නවා. වාඩි ජීවිතේ හරිම රසවත්. වාඩියේ රෑට නවතින්නේ තනිකඩයෝ. පතලේ වැඩකරන කසාද බැඳපු පිරිමි රෑට නවතිනවා අඩුයි. ඒ වුණාට ඉල්ලං ගොඩදැම්මට පස්සේ ගරලා ඉවර වෙනකං උන්දැලත් රෑට ගෙවල්වල යන්නෙම නෑ.’’ සිරිමානිස් බාසුන්නැහැ අපූරු රහසක් හෙළි කළේය. 


‘‘ඉල්ලං ගොඩ දැම්මට පස්සේ ඉල්ලං කමත දිහා හැමෝම ඇහැගහගෙන ඉන්නේ. කොළ අතුවලින් හරි තියන මොනවයින් හරි කමතේ තියන ඉල්ලං ටික වහනවා. වැස්සක් වැටුණොත් පස් දියවෙලා ගල් මතුවෙනවා. ඒ නිසා ඉල්ලං ගොඩට ගත්තට පස්සේ ගරන කං හැමෝම ඉන්නේ හොඳ හෝදිසියෙන්. නොකිව්වට කාටවත් කවුරුවත්ම විශ්වාස නෑ. පතලෙට අලුතින් වැඩට කවුරු හරි ඇවිත් හිටියොත් එයා යන එන දිහා හොඳට බලාගෙන ඉන්නේ. මැණික්වලට කවුද අකමැති.’’ සිරිමානිස් බාසුන්නැහැ පතල් පොළේ වැඩ කටයුතු හෙළි කළේය. 


මැණික් පතල් කර්මාන්තයේ ඉතිහාසය දිගු වුවත් දශක හයකට හතකට ඉහතදී මැණික් පතල් කැපූ හැටි එම අත්දැකීම් ඇති සිරිමානිස් බාසුන්නැහැ පැවසුවේ තමන් පතල් රස්සාවට ආ මුල් කාලයේ පතල්වල වතුර ඉසීම කළේ ආඬියාගෙන් හෝ දබරෙන් බවයි. 


‘‘ඒ කාලේ අද වගේ මැෂින් තිබුණේ නෑ. තට්ටු දෙක තුනක් යනකොට වතුර තියන පතලුත් තියනවා. වතුරපාර අඩුනම් ආඬියා හදාගෙන වතුර ඉහිනවා. නැත්නම් ඉතිං දබරෙන් තමයි වතුර ඉහින්නේ. දබරෙන් වතුර ඉහින්න රීප්ප පටි ගහලා පීප්පයක් හදා ගන්නවා. ඒවගේ දෙකකින් තමයි දබරෙන් ඉහින්නේ. එකක් යටට යනකොට අනික් පීප්පේ උඩ. වතුර ඉහින වැඩේට හතර දෙනෙක්වත් ඕනෑ.’ 


‘‘එතකොට පතලෙක වැඩට හත් අට දෙනෙක් ඉන්නවා. ඒ හැම කෙනෙකුටම තියෙන්නේ හවුල්. සමහරු හරි හවුලට වැඩ කරනවා. තව සමහරු කරු හවුලට වැඩකරනවා. කරු හවුල කියන්නේ හරි හවුලෙන් භාගයක්. හරි හවුල්කාරයා වෙනුවට තමයි ‘කරුහවුල්කාරයා’ එන්නේ. අද වගේ කුලී ක‍්‍රමයක් පතල් කර්මාන්තයේ තිබුණේ නෑ.’’ 


පතලේ වැඩට හයිය හත්තිය ඇති අය මිස ඔතෑනී, වැඩට කම්මැළි, කෙනෙක් ආවොත් ඒ කෙනා දවසින් දෙකෙන් පැමිණීම නවතී. 


‘‘ඒක ඇත්ත. මේ වැඩේට එක සමාන හයිය ගාය තියන අය ඕනෑ. මජරයොත් එක්ක වැඩ කරන්න බෑ. සමහරු තමන්ගේ හවුලට මිනිස් බාග එවනවා. වැඩ පටන් අරං පැයෙන් අපිට මිනිහ ගැන තේරෙනවා. එහෙම වුණාම මිනිහට එපාවෙන්න වැඩ දෙනවා. හැන්දෑවේ ගෙදර ගියාම සමහරු ආයේ පැත්ත පළාතේ එන්නේ නෑ. එහෙම නැතුව පතල් වැඩ කරන්න බෑ.’ සිරිමානිස් බාසුන්නැහැ විස්තර කළේය. 


පතල් කර්මාන්තයේ දී තමන්ගේ කණ්ඩායම තෝරා ගැනීමේදී පරිස්සම්වීමට ද පතල්කරුවෝ වග බලාගනිති. සමහර පුද්ගලයන් පතල් පොළක වැඩට පැමිණියොත් වගේ වගක් නැති බවට ද විශ්වාසයක් පවතී. එවැන්නන් කෙසේ හෝ මගහැරීමට ක‍්‍රියා කරයි. පතලේ වැඩකරන පුද්ගලයන්ට චරිත සහතික දෙන්නේ පතල් බාස්ය. ඔහු චරිත සහතිකය දෙන ආකාරය වෙනස්ය. එය ලිඛිතව දෙන එකක් නොවේ. 


වැඩ කරන්න අමාරු අනෙක් අයගේ ශක්තියට නොගැලපෙන කෙනෙක් හවුල්කාරයකු විසින් පතලේ වැඩට එවූ අවස්ථාවක ඔහු අමනාප කර ගැනීමට සෙසු පිරිස ක‍්‍රියා නොකරති. පතලේ බාසුන්නැහැ නිතරම ඉන්නේ පතල ඇතුළේය. ඒ නිසා පතලේ උඩ කෙරෙන වැඩ කෙරෙන්නේ පතලේ පැරණි සහ වැඩ දන්නා දෙවෙනියා තුන්වෙනියා යටතේය. දිගන් රැහීම, පුවක් රීප්ප සහ කැකිල්ල සැකසීම, පතලෙන් ගන්නා පස් ඉවත් කිරීම, දබරේ කරකැවීම, පස් කූඩා වීසි කිරීම, ඉල්ලම් කමත් සැකසීම ආදිය උඩ වැඩය. අලුතින් පතලකට එන කෙනෙකුට මුලින් හම්බවෙන්නේ මේ උඩ වැඩය. 

 


ඒ සඳහා කඩිසර නොවන තැනැත්තකු පැමිණිය හොත් පැරණි අය බාසුන්නැහැට කියන්නේ ඒ තැනැත්තා සමග වැඩ කිරීම අපහසු බවයි. නැත්නම් බාසුන්නැහැ ලවා බැනුම් අස්සවන වැඩක් කරවා කරබාගෙන සිටියි. ගොඩට එන බාසුන්නැහැ වරද දැක කෑගහමින් වරද කළේ කවුදැයි ගෝරනාඩු තියයි. කවුරුත් කතා නැත. එවිට බාසුන්නැහැ වරද කෙරූ තැනැත්තා කවුදැයි දැනගනී. ඔහු එවපු හවුල්කාරයාට දැනුම්දී වෙන තැනැත්තකු ගෙන්වා ගනී. 


‘‘අලුතින් කෙනෙක් ආවාම ඉල්ලං ගන්න ඉස්සර වෙලා රෑක මුරට නවත්වන වෙලාවල් තියනවා. තනියම ඉන්න බය කෙනෙක් කියලා දැනුණොත් මිනිහ තනියම නතර කරවන්න නොගන්න උත්සාහයක් නෑ. අනික් දවසට සාමාන්‍යයෙන් දෙන්නෙක් තමයි රෑට ඉන්නේ. අලුත් හාදයා තනිකරන්නේ සැලසුම් ඇතිව. ඒක දවසින් දෙකෙන් කරන්නේ නෑ. ඉස්සර වෙලාම මිනිහගේ තත්ත්වය හොයලා බලනවා. මිනිහට ඇහෙන්න බය වෙන කතා කියනවා. යක්කු ගැන හොල්මන් ගැන. මිනිහට නෙවෙයි කියන්නේ මිනිහට ඇහෙන්න. මිනිහා බයද කියන එක ඒ කතා අහගෙන ඉන්න විදියෙන් තේරෙනවා.’’ 


‘‘කට්ටිය කතාකරගෙන ඒ අලුත් හාදයා නවතින දවසේ වැඩේ සැලසුම් කරනවා. හවස පතල් වැඩ අවසන් වෙලා නාලා ගෙවල්වල යන අය ගෙවල් වල යනවා. ටිකක් අඳුර වැටෙනකොට අනිත් කෙනාට පණිවිඩයක් අරගෙන කවුරු හරි කෙනෙක් එනවා ඉක්මනට ඇවිත් යන්න එන්න කියලා. පණිවිඩයත් බැරෑරුම් එකක්. නොගිහං ම බැරි එකක්. අලුත් හාදයා තනිකරලා යනවා. ඉස්සර ඉතිං ටෝච් (විදුලි පන්දම්) තිබුණෙ නෑ. කොයිකටත් තිබුණේ ලන්තෑරුම.’’ 


‘‘තනියම පතල් පොළේ ඉන්න මිනිහ ඉන්නේ ගිය කෙනා කොයි වෙලේ එයිද කියන බලාපොරොත්තුවෙන්. ළග පාතක තියන පුවක් ගහක වේළුණ පුවක් අත්තක් හුළඟට වැටුණොත්, මිනිහා උඩ ගිහං බයවෙනවා. සමහරු බයට ළඟපාත ගෙයකට යන අවස්ථාත් තියනවා. ඒත් ඒ කාලේ ගෙවල් තිබුණේත් හුඟ ඈතින්. ගෙදරකට යන්න තියෙන්නේ සොහොන් කනත්තක් ළඟින් නම් කවදාවත් යන්නේ නෑ.’’ 


‘මේ අතර වාරේ වාඩිය පැත්තට සරස් ගාලා ශබ්දයක් නගනවා. උලමෙක් කෑගහනවා වගේ කෑගහනවා. එතකොට අර මනුස්සයා හොඳටම බයවෙලා මැස්සේ පැත්තකට වෙලා ගුළි ගැහෙනවා. සමහර අය වාඩිය අසල තියන පහන් පැල ළඟට ගිහිං ‘ඉතිපිසෝ’ ගාථාව හයියෙන් කියන්නේ මල්පැලට දොහොත් මුදුන් දීගෙනයි.’ 


හැබැයි එහෙම බය කළා කියලා දැනගන්න තියන්නේ නෑ. මිනිහත් බය වුණා කියලා කියන්නෙත් නෑ.’ මේ අව්‍යාජ විහිළුවලින් අනෙක් පිරිස සතුටු වෙති. තමන් රැවටුණ බව දන්නේ කාලයකට පසුවය. 

 


ඉතිරි කොටස ලබන සතියට...... 


සටහන - ඡායාරූප 
අජිත්ලාල් ශාන්තඋදය