‘පුංචි ඉතාලියේ’ පිහිටි දකුණු ආසියාවේ ලොකුම ජනපදය


ඉතාලි ගිය කොල්ලො  වෙන්නප්පුවේ හැදූ  පුංචි ඉතාලිය-3  

සිරිගම්පල කසළ ඉවත් කරන ට්‍රැක්ටරයක්.  

 

වෙන්නප්පුව හෙවත් පුංචි ඉතාලිය තවත් ආකාරයකින් වැදගත් වන හේතුවක් තිබේ. ඒ ලංකාවේ පමණක් නොව දකුණු ආසියානු කලාපයේම විශාලතම ‘ජනපදය’ පිහිටා තිබීමයි. ලුණුවිල නගරයට ආසන්නව පිහිටි මෙම ජනපදය ‘සිරිගම්පල’ ලෙස හැඳින් වේ.  


 1950 දශකයේ දී රජයට අයත් ඉඩම් අක්කර කිහිපයක් ජනතාව අත​රේ බෙද‌ා දීමෙන් ‘සිරිගම්පල’ ජනපදය බිහි විය. ඉන් අනතුරුව හිටපු අමාත්‍යවරයෙකු වන පෙස්ටස් පෙරේරා මහතා විසින් විශාල ඉඩම් අක්කර ගණනක් ජනතාවට බෙද‌‌ා දුන්නේය. වර්තමානය වන විට ‘සිරිගම්පල’ ජනපදයේ පවුල් හාරදහසකට වැඩි ගණනක් පදිංචිව සිටින අතර එහි පදිංචි පිරිස දෙ‌‌‌ාළොස්දහස ඉක්මවයි.  


 ඉතාලියේ රැකියා කරන පිරිස් ද සිරිගම්පල සිටිති. පර්චස් 10 හා 12 වැනි ප්‍රමාණවල ඉඩම්වල තනා ඇති අලංකාර නිවාස ද මෙහි තිබේ. කුඩා භූමි ප්‍රදේශයක මෙතරම් විශාල ජනගහනයක් සිටින මෙම ජනපදයේ තොරතුරු සොයා බලන්නට අපි සිරිගම්පලට ගියෙමු.  

 

ජනපදයේ කොහු කර්මාන්තයේ නිරත කාන්තාවක්.

 


 සිරිගම්පල ජනපදය ග්‍රාම නිලධාරී වසම් පහකින් සමන්විතය. මැද ලුණුවිල, නැගෙනහිර ලුණුවිල, දකුණු සිරිගම්පල, උතුරු සිරිගම්පල හා උදාසිරිගම ඒ පහයි.  
​මේ අතුරින් වැඩිම පවුල් ගණනක් පදිංචිව සිටින්නේ මැද ලුණුවිල ග්‍රාම නිලධාරි වසමේය. එම ගණන 1483කි. නිවාස ගණන 1398කි.  
 මැද ලුණුවිල ග්‍රාම නිලධාරි සුජිත් තිසේරා මහතා ප්‍රකාශ කරන පරිදි 1950 ගණන්වල පදිංචිකරුවන් සිටින ප්‍රදේශය පැරණි කොලනිය ලෙස ද හිටපු අමාත්‍ය පෙස්ටස් පෙරේරා මහතා ලබා දුන් ඉඩම්වල පදිංචි ප්‍රදේශය අලුත් කොලනිය ලෙස ද හැඳින් වේ. ‘සිරිගම්පල’ හඳුන්වන තවත් නමක් වන්නේ ‘ශාන්ත අානා පුරයි’ උද‌ාසිරිගම ග්‍රාම නිලධාරි වසමේ සමහර ඉඩම් කැබැලි පර්චස් 30 - 40 තරම් විශාල වන අතර බහුතර ඉඩම් කැබැලි පර්චස් 10 ප්‍රමාණයේ ඒවාය.  


දකුණු සිරිගම්පල ග්‍රාම නිලධාරි ආර්.පී. කසුන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන අන්දමට එම වසමේ වෙසෙන පවුල් සංඛ්‍යාව 536කි. පදිංචිකරුවන් ගණන 2043කි. ශාන්ත ආනා පුර සාම ජනපදය ලෙස ද හැඳින්වෙන මෙම වසම තුළ වැඩි පදිංචිකරුවන් පිරිස කම්කරු රැකියාවල නිරත වෙති. ඉතාලි රැකියාවල නිරත සුළු පිරිසක් ද මෙහි සිටිති.  
 අනතුරුව අප හමු වූයේ නැගෙනහිර ලුණුවිල ග්‍රාම නිලධාරිනී කේ.එල්.ජී. නදීෂානි මහත්මියයි. මෙම වසමේ නිවස 515ක් හා අර්ධ ලෙස තැනූ නිවාස 65ක් ද තිබේ. නදීෂානි මහත්මියට අනුව ‘සිරිගම්පලට’ ඇති පොදු ප්‍රශ්නය වන්නේ ‘ජල’ ප්‍රශ්නයයි. පානීය ජලය සොයා ගැනීම දුෂ්කර වී තිබීම බොහෝ ගැටලු ඇති කරන්නක් බව ද ඇගේ අදහසයි.  
 වෙන්නප්පුවට අයත් දකුණු ආසියාවේ විශාලතම ජනපදයට ඇති ලොකුම ගැටලුව පානීය ජල ප්‍රශ්නය බව බොහෝ දෙනා කළ ප්‍රකාශවලින් පැහැදිලිය. ජනතාව දෙ‌ාළොස්දහසක් (12,000) ජීවත් වන මෙම ගම්මානයට ජලනළ පහසුකම් ලබා දීමට එතෙක් මෙතෙක් බිහි වූ සෑම රජයක්ම අසමත් වී තිබේ. සෑම මැතිවරණයකදීම මෙහි පැමිණෙන දේශපාලනඥයින්ගේ පොරොන්දුව වන්නේ ජලය ලබා දීම වුවත් තවමත් එය ඉටු වී නැතැයි ජනතාව පවසති.  


 අපි ජල නළත් එළා ගන්නම්. සියලුම දේ අපේ වියදමින් කරගන්නම්. අපිට ජලය සබඳතාව දෙන්න.’ මෙහි ජනතාවගේ ඉල්ලීම වන්නේ එයයි.  
 නැගෙනහිර ලුණුවිල හා මැද ලුණුවිල ග්‍රාම සේවා වසම් වර්ෂා කාලයේ දී ජලයෙන් යට වේ. වැසිකිළි පද්ධති ද උතුරා ජලයට එකතු වීමෙන් ජලය දූෂිත තත්ත්වයට පත් වේ. මේ නිසා මෙම දූෂිත ජල පානයෙන් බොහෝ දෙනා වකුගඩු රෝග වැනි භයානක රෝගී තත්ත්වයන්ට මුහුණපා තිබේ.  

 

 සිරිගම්පල පිහිටි ඉතාලි නිවසක්.  

 
 

 නැගෙනහිර ලුණුවිල පදිංචිකරුවකු වන හෙළ ජාතික රණවිරු සංගමයේ සභාපතිවරයා වන ප්‍රදීප් සංජීව මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි.  
 ජලය ලබා ගන්නට අපි එද‌ා ඉඳන් සටන් කරනවා. තාමත් ඒක නොහැකි වී තිබෙනවා. දැදුර ඔය ආසන්නයේම තියෙනවා. සිංගක්කුලිය දක්වා ජල ව්‍යාපෘතිය පැමිණ තියෙනවා. එතන ඉඳන් මෙහාට තියෙන්නේ කිලෝමීටර් 7ක් විතර. ඇයි මේ තරම් විශාල ගමකට ජලය දෙන්න බැරි?  


සිරිගම්පල ප්‍රදේශය නියෝජනය කරන වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රිනිය වන්නේ දීපා අයිරාංගනී මහත්මියයි. මෙම ජනපදයේ කළ සංචාරයේ දී ඇය අප සමගම ගමන් කළාය. ප්‍රාදේශීය සභාව මගින් මෙහි කසළ කළමනාකරණය නිසි ලෙස සිදුකරනු දක්නට ලැබෙයි. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා, පරිසර කමිටුවේ සභාපති ප්‍රාදේශීය සභා මන්ත්‍රී බැප්ටිස්ට් ප්‍රනාන්දු, මන්ත්‍රීනි දීපා අයිරාංගනී මහත්මිය ඇතුළු ජනතා නියෝජිතයින් තමන්ට අයත් වගකීම නිසි පරිදි ඉටුකර තිබෙන බව පැහැදිලිය.  


සිරිගම්පල වෙළාගෙන ඇති උවදුරක් වන්නේ මත්ද්‍රව්‍ය උවදුරයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් මෙන්ම මත්ද්‍රව්‍ය අළෙවි කරන පිරිස් ද සිටීම නිසා දකුණු ආසියාවේ විශාලතම ජනපදය විනාශ වී යමින් පවතින බව එහි ගිය අපට දැනගන්නට හැකි විය. වෙන්නප්පුව පොලිසිය මගින් නිරන්තරයෙන් මෙහි වැටලීම් සිදුකළ ද මෙම උවදුර සම්පූර්ණයෙන්ම දුරුකිරීම දුෂ්කර කාර්යයක් වී තිබේ. මේ නිසා වෙන්නප්පුව පොලිසියට දෛනිකව ලැබෙන පැමිණිලි අතර වැඩිම පැමිණිලි ගණනක් එන්නේත් සිරිගම්පලෙනි.  


 පොල්කෙඳි ඇසුරින් සිදුකරන කර්මාන්ත බොහෝ නිවාසවල දක්නට ලැබෙන අතර, සිරිගම්පල වැසියන් බොහෝ දෙනා ජීවත් වන්නේ කම්කරු රැකියාවල නිරත වීමෙනි. එබැවින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන සුළු පිරිස සිරිගම්පලට සිදුකරන්නේ දැඩි හානියකි.  


 

 සිරිගම්පල පදිංචිකරුවන් අතර ඉතාලි රැකියාවල නිරත පුද්ගලයින් ද සියයකට වඩා සිටිති. ඔවුන් ද තම නිවස ඉදිකර ඇත්තේ එහිමය. වෙනත් ප්‍රදේශයක නිවෙසක් තනා ගැනීමට තරම් ඔවුන් ආර්ථික අතින් ශක්තිමත් වුවත්, උපන් ගමට ඇති ආදරය නිසා ඔවුහු එසේ නොකරති.  


දකුණු ආසියාවේ විශාලතම ජනපදයේ ජනතාව ඉදිරිපත් කළ තවත් පැමිණිල්ලක් විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. දෙ‌ාළොස්දහසක් ජනතාව ජීවත්වන මෙම භූමිය වෙනුවෙන් මුලින් වෙන්කර තිබුණු අක්කර දෙකහමාරක් පමණ විශාල පොදු පහසුකම් සඳහා වූ ඉඩම මේ වන විට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ව්‍යාජ ඔප්පු සාද‌ා අත්පත් කරගෙන තිබේ.  


 වගුරක් වැනි එම ස්ථානය ‘සිරිගම්පල’ ජනපදයේ වැසි වතුර ඉවතට ගලා යන ස්ථානයයි. මේ වන විට එම පුද්ගලයා කුණුකසළ හා අපද්‍රව්‍ය දමමින් එම ස්ථානය ගොඩකර ගොඩ ඉඩමක් සකස් කරමින් සිටින බව ජනතාව චෝදනා කරති.  


 මේ නිසා ප්‍රදේශ රැසක නිවාස ගංවතුරට යට වන බවත්, ජලය ඉවතට ගලා යා නොහැකිව මුළු ප්‍රදේශයම මඩ ගොහොරුවක්ව ඇති බවත් ඔවුහු කියති.  


දෙ‌ාළොස්දහසක් ජනතාව ජීවත් වන මෙම ගම්මානයට ඉටුවිය යුතු සේවාවන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මගින් ඉටු කළ ද පානීය ජලය ලබා දීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් මධ්‍යම රජය මගින් ඉටුවිය යුතුය. ජනතාවට මහා වදයක් වී ඇති ජල ගැටලුව සේම මත්ද්‍රව්‍ය උවදුරට ද විසඳුම් ලබා දී ‘සිරිගම්පල’ ජනපදය රැකගැනීම කාගේත් වගකීමකි.  


 ලබන සතියේ තව කොටසක්......  


දොම්පේ අජිත් මදුරප්පෙරුම