‘කම්කරු ඇඳුම’ සුපිරි ඇඳුමක් වූ හැටි


ඩෙනිම ලෝක ප්‍රකට කළේ සිනමා නළු මාලන් බ්‍රැන්ඩෝ

 

එදිනෙදා ජීවිතයේ සමීප මිතුරකු බඳු ඩෙනිම් කලිසම හෙවත් කෙටියෙන් හඳුන්වනු ලබන පරිදි ඩෙනිම, තාරුණ්‍යය හා බැඳී පවතින සංකේතයක් බඳුය. එය ඕනෑම අවස්ථාවකට ගලපා ඇඳිය හැකි විභවතාවකින් යුක්ත ​ෙවන අතර එදා මෙදා තුර කිසි කලෙක යල් පැන නොගිය විලාසිතාවකි. එමෙන්ම එය ඇ​ෙමරිකානු පොප් සංස්කෘතියේ කැඩපතක් බඳුය. විලාසිතා ලොව පෙරළි කරන ඩෙනිම් කලිසමෙහි උපත හා විකාශනය පිළිබඳව අපූරු රස කතා ගොන්නක් ඇත. කෙසේ වෙතත්, ඩෙනිම නමැති ඇඳුම ලොව ජනප‍්‍රිය වීමට මූලාරම්භය ​ෙවන්නේ ඇ​ෙමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සිදුවූ ගෝල්ඩ් රෂ් යනුවෙන් හඳුන්වන රන් ආකර සොයාගැනීමේ ඓතිහාසික සිදුවීම් මාලාවයි. 

 

කැලිෆෝනියානු රත්රන් උන්මාදය 


1848 ජනවාරි 24 වැනිදා කැලිෆෝනියාවේ කොලොමාහි පිහිටි ජෝන් සටර්ගේ ‘සටර්ස්’ ලී මෝල අසළින් රත්රන් හමුවීම ලෝ ප‍්‍රකට කැලිෆෝනියා රත්රන් උන්මාදයේ ඇරඹුමයි. සටර් ලී මෝලෙහි වඩුවා වූ ජේම්ස් මාර්ෂල් හා එහි හිමිකරු වූ ජෝන් සටර් මෙය රහසක් වශයෙන් තබාගැනීමට කල්පනා කළද, රත්රන් සොයාගැනීමේ ආරංචිය කටින් කට පැතිර ගොස් ලොව නන් දෙසින් දහස් ගණන් ජනයා වාසනාව උරගා බැලීමට රත්රන් සොයා කැලිෆෝනියාවට ඇදෙන්නට වූහ. මුලින් රත්රන් සොයා ගිය අයට සැබැවින්ම රත්රන්වලින් විශාල වශයෙන් ලාභ උපයන්නට හැකි විය. එම රන් පතල්වල වැඩ කළ කම්කරුවන්ටද සාමාන්‍ය දිනක වැටුප මෙන් දස ගුණයක වැටුපක් ලැබුණු අතර එම නිසා රන් ආකරවල සේවය කළ කම්කරුවෝද බොහෝ දෙනෙක් වූහ. 
1852 වන විට කැලිෆෝනියාවේ රත්රන් උන්මාදය එහි උච්චතම අවස්ථාවට පත්වී අවසන් විය. එනමුදු ඇ​ෙමරිකානු ඉතිහාසයේ ප‍්‍රධාන සංධිස්ථානයක් වූ කැලිෆෝනියා රන් උන්මාදය මගින් ඩෙනිම නමැති ඇඳුමට ඇති කළ ඉල්ලුම නම් දිනෙන් දින වර්ධනය විය. 


 

රන් වෙනුවට ඩෙනිම් නිධානය පහළ වේ 


ලෙවී ස්ට‍්‍රවුස් නම් බැවේරියානු ජාතික තරුණයා, වයස අවුරුදු 24දී ඇ​ෙමරිකාවේ බටහිර වෙරළේ පිහිටි සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරය වෙත සේන්දු වූයේ කැලිෆෝනියාවේ රන් ආකරවල වාසනාව සොයන්නටය. එහෙත් රත්රන් වාසනාව ඔහුට උරුම නොවූ බැවින් හෙතෙම ඇ​ෙමරිකාවේ නැගෙනහිර වෙරළේ පිහිටි ඔහුගේ සොහොයුරාගේ සිල්ලර තොග වෙළෙඳසලෙහි ශාඛාවක් සැන් ෆ‍්‍රැන්සිස්කෝහි පිහිටුවා, වෙළෙඳාම් ආරම්භ කළේය. ඒ 1853 වසරයි. එතැන් පටන් වසර 20ක් පුරා ඔහු දක්ෂ ලෙස ව්‍යාපාරය මෙහෙයවා, ධනවත් හා ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකු බවට පත්විය. 
සිල්ලර බඩුවලට අමතරව ඔහු කපු රෙදි වෙළෙඳාම් කළ අතර ජේකොබ් ​ෙඩ්විස් නමැති මහන්නා ඔහුගේ ගනුදෙනුකරුවකු විය. එක් දිනක මෙම මහන්නා වෙත පැමිණි කම්කරුවකුගේ බිරිඳක්, සිය සැමියාට එල්ලා නොවැටෙන කලිසමක් මසා දෙන ලෙස මහන්නාගෙන් ඉල්ලීමක් කළාය. 


තම නිපැයුම තවදුරටත් ශක්තිමත් කිරීමට ක‍්‍රමයක් කල්පනා කළ ජේකොබ්, කලිසමෙහි ඉතා ඉක්මනින් ඉරෙන ස්ථාන ලෙස සැලකුණු සාක්කු කෙළවරවලට ලෝහ රිවට් සවි කළේය. මෙම රිවට් සහිත කලිසම් ඉතා ඉක්මනින් අනෙක් කම්කරුවන් අතරද ජනප‍්‍රිය විය. දිනෙන් දින ඉහළ යන ඉල්ලුම හමුවේ මහන්නා කල්පනා කළේ සිය නිපැයුමට පේටන්ට් බලපත‍්‍රයක් ලබාගැනීමටයි. එහෙත් ඒ සඳහා ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත්ව ගොඩනගා ගත හැකි ධනවත් හවුල්කරුවකු අවශ්‍ය විය. ඒ මොහොතේ ඔහුට සිහි නැගුණේ සිය ව්‍යාපාරයට අමුද්‍රව්‍ය රෙදි මිලදී ගන්නා සාප්පුවේ ධනවත් වෙළෙන්දාවයි. ඔහු වහාම ක‍්‍රියාත්මක වී ඩෙනිම නිපදවීමේ යෝජනාව ලියුමක් මාර්ගයෙන් ලෙවී ස්ට‍්‍රවුස් වෙත ඉදිරිපත් කළේය. ඔහු එහි ලියා තිබුණේ ඔහුගේ නිපැයුම වෙනුවෙන් දෙදෙනාටම සම අයිතියක් ඇතිව පේටන්ට් බලපත‍්‍රය ලබාගැනීම පිළිබඳවය. 


දුර දක්නා නුවණින් යුත් ධනවත් වෙළෙන්දා මෙම යෝජනාවට එකඟ වූයේ මෙම නව නිපැයුමට ඒ වන විටත් ඇතිව තිබූ ඉල්ලුම හා එහි අනාගතය පිළිබඳව සලකා බලමිනි. 1873 මැයි 20 වැනිදා එක්සත් ජනපද පේටන්ට් කාර්යාලයට ගිය වෙළෙඳ හවුල්කරුවෝ එහිදී පේටන්ට් බලපත‍්‍රය හා වෙළෙඳ නාමය ලබාගත්හ. එදින ලොව සුපතළ නිල් ඩෙනිම නිල වශයෙන් උපත ලැබීය. 
එතැන් පටන් රිවට් යෙදූ ඩෙනිම් කලිසම් ලහි ලහියේ නිෂ්පාදනය වෙන්නට වූ අතර එය කම්කරුවන්ගේ එදිනෙදා මූලික අවශ්‍යතාවක් හා නිළ ඇඳුමක් බවට පත්විය. එහෙත් 1960 ගණන් වෙනතුරුම මේවා හඳුන්වනු ලැබුවේ වැඩ ඇඳුම හෙවත් ඕවරෝල් වශයෙනි. 


පස්, ගල්, වැලි හා ජලය සමඟ ගැටෙමින් වැඩ කළ කම්කරුවන්ට ලෙහෙසියෙන් දිරාපත් නොවන, එම සාධකයන්ට ඔරොත්තු දෙන හා කල් පවතින අමුද්‍රව්‍යයකින් මැසූ ඇඳුමක අවශ්‍යතාව ඇතිවිය. ඉදින් ඒ අවශ්‍යතාව සපුරාලන්නට ඔවුන් සතු හොඳම විසඳුම වූයේ ඩෙනිම් ඇඳුමයි. වැඩිකල් යන්නට මත්තෙන් ඩෙනිම් කලිසම පතල්වල, දුම්රිය මාර්ගවල, ගොවි බිම්වල හා අසුපිට නැගුණු ගොපල්ලන් ඇතුළු කම්කරු ජනයාගේ නිල ඇඳුම බවට පත් විය. ඩෙනිමෙහි වැකි දුහුවිලි ආදිය නොපෙනෙන්නට එය තද නිල් පැහැයෙන් වර්ණ ගන්වනු ලැබිණි. ඒ සඳහා Indigofera tinctoria නමැති ශාකයෙන් ලබාගත් ස්වාභාවික ඉන්ඩිගෝ වර්ණය භාවිත කළ අතර ඩෙනිමෙහි තද වර්ණය ඉක්මනින් වියැකී නොයනු පිණිස වියළමින් නැවත වර්ණකවල පොඟවමින් කිහිප වාරයක්ම වර්ණ ගන්වන ලදී. 


ඇ​ෙමරිකාවට ආවේ ප‍්‍රංශයෙන් 


17 වැනි සියවසේදී එවකට ප‍්‍රසිද්ධ ඉතාලියානු කොඩ්රෝයි අමුද්‍රව්‍යයක් අනුකරණය කරමින් කොඩ්රෝයි නිපදවන්නට ප‍්‍රංශයේ නිම්ස් නගරයේ පදිංචිව සිටි ආන්ද්‍රේ පවුලට අවශ්‍ය විය. ඔවුහු ඒ සඳහා විවිධ අත්හදාබැලීම් කළ අතර එම අත්හදාබැලීම්වල ප‍්‍රතිඵලයක් වශයෙන් සුවිශේෂී කල්පවත්නා ගුණයෙන් යුත් ට්විල් රෙදි වර්ගයක් නිපදවීමට සමත් වූහ. එය හැඳින්වූයේ සර්ජ් (Serge) යනුවෙනි. Serge De Nimes යන්නෙහි අර්ථය වන්නේ නිම්ස්හි සිට පැමිණි සර්ජ් යන්නයි. පසුව මෙම දීර්ඝ යෙදුම කෙටි වී De Nimes යන්න Denim ලෙස වෙනස් විය. සර්ජ් සාදනු ලැබුවේ වූල්වලින් වුවද, ඩෙනිම නිපදවනු ලැබුවේ කපු නූල්වලිනි. 


ඩෙනිම ජනප‍්‍රිය ​ෙවන්නට පෙර සිට ජීන්ස් යනුවෙන් පොදුවේ හැඳින්වූ කලිසම් නිපදවනු ලැබිණි. ඒ සඳහා යොදගත්තේ ඩන්ග්රී වැනි ගොරෝසු ඉන්දියානු කැලිකෝ රෙදියි. මුල්ම කලිසම නිර්මාණය කරන ලද ඉතාලියේ ජෙනෝවා නගරය හැඳින්වීම පිණිස භාවිත කළ ප‍්‍රංශ වචනය ඇසුරින් ජීන්ස් යන නම සම්භවය විය. 

 

 


 

ජනප‍්‍රියත්වය දුන් ගොපලු කතා 


1930 ගණන්වල හොලිවුඩයේ ගොපලු චිත‍්‍රපට හෙවත් කව්බෝයි චිත‍්‍රපට නිපදවන්නට පටන් ගැනීමත් සමඟ ඩෙනිම් ඇඳුමෙහි ජනප‍්‍රියත්වය තවත් වැඩි වෙන්නට විය. මන්ද එම චිත‍්‍රපටවල ගොපලු චරිත නිරූපණය කළ නළුවන් ඇන්දේ ඩෙනිම් ඇඳුමයි. දෙවැනි ලෝක යුද්ධය ඇරඹීමත් සමඟ ඩෙනිම් නිෂ්පාදනය පහළ ගියද, සොල්දාදුවන් සේවයේ නොයෙදෙන අවස්ථාවලදී ඩෙනිම් අඳින්නට පටන් ගත් බැවින් එය නිතර පොදුජනයාගේ ඇස ගැටෙන ඇඳුමක් බවට පත් විය. 


තරුණ පිරිස් ඩෙනිම් ඇඳීම ඇරඹුවේ 1950 ගණන්වලදීය. 1953 මාලන් බ‍්‍රැන්ඩෝ රඟපෑ මෝටර් සයිකල් කල්ලි දෙකක කතාවක් වූ Wild One චිත‍්‍රපටය මෙන්ම 1955 ජේම්ස් ඩීන් රඟපෑ විප්ලවකාරී තරුණයකුගේ චරිතය රැගත් Rebel Without A Cause යන චිත‍්‍රපට නිසා ඩෙනිම තවදුරටත් ජනප‍්‍රිය විය. එතෙක් කාලයක් කම්කරුවන්ට සීමා වී තිබූ ඩෙනිම සංස්කෘතික සීමා මායිම් බිඳ දමමින් ව්‍යාප්ත ​ෙවන්නට වූ අතර නොයෙක් තරාතිරම්වල පුද්ගලයින් විසින් අඳින්නට පටන් ගැනිණ. එහෙත් එය සියල්ලන් විසින්ම පිළිගැනුණේ නැත. 

 

ප‍්‍රතික්ෂේප වීම් හා විරෝධතා 


1970 ගණන් වෙනතුරුම පාසල්, රංග ශාලා ඇතුළු පොදු ස්ථානවල භාවිත කරන්නට තහනම් ඇඳුමක් බවට පත්වූයේ ඩෙනිම සංකේතවත් කළ විප්ලවවාදී ස්වභාවය හා එය නියෝජනය කළ දුගී පන්තිය නිසයි. දැඩි ලෙස කය වෙහෙසවන්නන්ගේ ඇඳුමක් ලෙස ඩෙනිම ගැන ගොඩනැගී තිබූ මතය නිසා ඩෙනිම පොදු ඇඳුමක් ලෙස සමාජය විසින් පිළිගැනීමට ද යම් කාලයක් ගතවී ඇත. ගායකයකු වූ බින් ක්‍රොස්බි 1951 දී සිය මිතුරෙකුද සමඟ කැනඩාවේ දඩයම් සවාරියකට පිටත් විය. එම ගමන යන විට ඔහු ඇඳ සිටියේ ඔහුගේ ප‍්‍රියතම ලෙවී ස්ට‍්‍රවුස් ඩෙනිමයි. එදින රාත‍්‍රි නවාතැන් ගැනීම පිණිස වැන්කුවර් හි පිහිටි හෝටලයක් වෙත ගිය දෙමිතුරෝ හෝටල් පිළිගැනීමේ නිලධාරි තැන විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබිණි. ඩෙනිම් ඇඳ සිටි දෙමිතුරෝ හෝටලයට පිළිගනු ලැබීමට තරම් තත්ත්වයක නොසිටීම එයට හේතුව විය. එවකට ඇ​ෙමරිකාවේ ජනප‍්‍රිය ගායකයකු වූ බින් ක්‍රොස්බි දෙස බලන්නටවත් වද නොවූ පිළිගැනීමේ නිලධාරියා නිසා ඔවුනට මුහුණ දෙන්නට වූ කරදරය වැළකුණේ හෝටලයේ තවත් සේවකයකු විසින් ඔහු හඳුනාගැනීම නිසාවෙනි. 


1960 ගණන්වලදී වෙනම උප සංස්කෘතියක් වූ ‘හිපියන්’ නිසා ඩෙනිම තවදුරටත් ජනප‍්‍රිය වෙන්නට පටන් ගති. ලෝකයේ නන් දෙස වූ තරුණ පිරිස් ඩෙනිම් භාවිත කරන්නට වූ අතර එය ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් විය. 


කම්කරුවන්ගේ සිට ගොපල්ලන් දක්වා, නළුවන්ගේ සිට නාවිකයින් හා සෙබළුන් දක්වා, හිපියන්ගේ සිට විප්ලවකාරී තාරුණ්‍යය දක්වාත්, ලොව සුප‍්‍රසිද්ධ විලාසිතා දැක්මවල් දක්වාද නවීකරණය වෙමින්, වෙනස් වෙමින් හා අලුත් වෙමින් ඩෙනිම අදටත් විලාසිතා ලෝකයේ සිය අණසක පතුරුවාගෙන සිටියි. 


වර්තමානයේදී නොයෙක් කෘත‍්‍රිම අමුද්‍රව්‍ය හා වර්ණක භාවිත කරමින් ඩෙනිම් නිෂ්පාදනය වේ. ඇ​ෙදනසුලු ඩෙනිම් නිපදවන්නේ මූලික අමුද්‍රව්‍යයට ඉලාස්ටික් එකතු කරමිනි. වර්තමාන නිපැයුම්, අතීත නිපැයුම්වලට සාපේක්ෂව ප‍්‍රමිතියෙන් බාල වුවත් එදා ඩෙනිමට තිබුණු ජනප‍්‍රියත්වය අදටත් එසේම පවතී. 


ඩෙනිම් නිෂ්පාදනය මේ වන විට අන්තර්ජාතික මට්ටමින් සුළු පරිමාණව කාබනික හා පරිසර හිතකාමී මුහුණුවරක් ගෙන ඇත. පළිබෝධ නාශක හා රසායනික නොයොදා කපු වගා කිරීමත්, කෘත‍්‍රිම ඩයි වර්ග වෙනුවට ස්වාභාවික ඩයි වර්ග භාවිත කිරීමත් නිසා පරිසර හිතකාමී නිපැයුමක් වශයෙන් එය අනාගතයේදී තවදුරටත් ජනප‍්‍රිය ​ෙවනු ඇත. 


(ලෙවී ස්ට‍්‍රවුස් සහ සමාගමෙහි වෙබ් අඩවිය හා වෙනත් අන්තර්ජාල මූලාශ‍්‍ර ඇසුරිනි.)

 

 

 

 


සටහන 
නිසංසලා දිසානායක