‘අටපට්ටම්’ නම් වැටුණු පාතාල කෙරුමෝ


පාතාල දඩබ්ම   

 

 

  • ‘පස් පොඩ්ඩා’ පස් කැපුවා   
  • අඩි අටක් උස නිසා ‘නවරියන්’ නම වැටුණා.   
  • පොළේ වම්බටු විකුණූ ‘අජිත් වසන්ත’ වම්බොට්ටා වුණා.   
  • චීන අැස් ඇති නිසා ‘චීනා’ බිහිවුණා   
  • කරත්තයෙන් තෙල් විකුණූ වාප්පු බාලන් ‘තෙල් බාලා’ වුණා.   

 

“පාතාලය” කියූ සැනින් කාගේත් සුවිශේෂ අවධානය යොමුවන කාල වකවානුවක් ලෙස මේ කාලය හැඳින්විය හැකිය. ආරක්ෂක අංශ පාතාල මර්දනය සඳහා මේ දිනවල ගෙන ඇති ක්‍රියාමාර්ග බොහෝමයකි. පාතාලය සමග ඈඳුනු මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම ගිනි අවි ජාවාරම් සම්බන්ධයෙන් වැටලීම්, අත්අඩංගුවට ගැනීම් පොලීසිය විසින් සිදුකරනු ලැබ ඇත්තේ එහෙයිනි.   


පාතාලය යනු එක්තරා අන්දමකින් දේශපාලනයත් සමග එකට අත්වැල් බැඳගෙන පවතින කිසිදා නැසිය නොහැකි සමාජ පිළිලයක් බව බහුතරයකගේ මතයයි. කාලෙන් කාලෙට විවිධ නම්වලින් මෙන්ම ගම්වල නාමයන් භාවිත කරමින් කරළියට එන මේ පාතාලයේ ක්‍රියාකාරකයින් නො එසේ නම් ‘අයියලා”, “පොරවල්” වීමටත් ප්‍රකෝටිපතියන් වීමටත් පාතාලය භාවිත කර ඇති බව පෙනෙන්නට ඇත. ඇතැම් පාතාල ක්‍රියාකාරීන් සමාජය විසින් පාතාලයට තල්ලු කර දමා ඇති බවට ඔවුන්ගේ අතීත කතා හාරා අවුස්සා බැලීමේදී පෙනෙන්නට ඇත. එසේම, ඇතැමුන් “පාතාල පොරවල්” බවට පත්කර ප්‍රසිද්ධියක් ලබාදීමට මාධ්‍ය ය ද යම් යම් දායකත්වයක් දක්වා නැතුවා ම නොවේ.   


අනෙකාගේ අවධානය දිනා ගැනීමටත්, ප්‍රතිවිරුද්ධ කල්ලි බිය ගැන්වීමටත් විශේෂයෙන්ම තමන් “පාතාලයේ පොරක්” බව හඳුන්වා දීමටත් පාතාල ක්‍රියාකාරීහු උප්පැන්න සහතිකයේ ඇති නම වෙනුවට මේ “අන්වර්ථ නාම” භාවිත කර ඇතැයි හැඟී යයි. මේ පාතාලයෝ කවුරුන්දැයි ඔවුන්ගේ සැබෑ නාමයෙන් හඳුනාගන්නට සමාජයේ කිසිවකු හෝ දන්නේ නැත. එහෙත් පටබැඳී ඇති අන්වර්ථනාමයෙන් ඔහුගේ හෝ ඇයගේ මුළු පැටිකිරියම සියල්ලෝම දනිති.   


වරෙක උසස් පොලිස් නිලදරුවකුගෙන් ලියුම්කරු මේ පිළිබඳව කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ, “නැති ගාම්භීරත්වයක් උළුප්පා ගැනීම සඳහාත් ප්‍රසිද්ධිය උදෙසාත් පාතාල සාමාජිකයන් මේ අන්වර්ථ නාම භාවිත කරන බවය.   


මව්පියන්ගෙන් උරුම වූ නාමය වෙනුවට කොහේදෝ ඇති නමක් උජාරුවට භාවිත කරන්නේ ඇයි දැයි වරෙක ලියුම්කරු මෙරට ප්‍රසිද්ධ පාතාල සාමාජිකයකුගෙන් විමසීමක් කළේය. “අපිට මේ නම් දාන්නේ පොලීසියෙන්. ඊට පස්සේ ඒක ඉබේම අපේ එවුන් අතර රෙජිස්ට්‍රර් වෙනවා. අපි කැමති නැහැ අපිට එහෙම කතා කරනවාට. ඒත් පොඩි ගැම්මකුත් තියෙනවා නේ” ඔහු පැවසුවේ එලෙසිනි.   


අතීතයේ සිටම පාතාල ක්‍රියාකාරීන් බහුතරයක් හඳුන්වා දී ඇත්තේ ඔවුන්ගේ ගම් පළාත කේන්ද්‍ර කර ගනිමිනි. නම ඉදිරියෙන් ගම ඈඳා ගැනීමේ සිරිත පිහිටා ඇත්තේ මෙරට භික්ෂූන් වහන්සේ හා පැරණි කලාකරුවන් මෙන්ම ප්‍රභූ පැළැන්තියේ අය බව අපි දනිමු. මෙම පිරිස හැරුණු කොට මෙසිරිලක නාමයට, ගමක් ඈඳා ගන්නේ පාතාලයෝ පමණකි.   
මේ කියන “පාතාලයන්” පිළිබඳව ඈත අතීතයේ නම් අපට අසන්නට ලැබී නැත. නමුත් ගම්බිම්වල අතපයේ හයිය පෙන්වමින් ‘නගරංකාරයෝ’ නොඑසේනම් “චණ්ඩි” බිහිවී සිටියහ. ඒ චණ්ඩීන් හැඳින්වීමට ඔවුන්ගේ නම ඉදිරියෙන් ගම ඈඳාගෙන තිබිණි. නාවල නිහාල්, මරදානේ චොප්පේ අයියා, අග්ගොන චන්දරේ, මොරටු සමන්, ත්‍රිකුණාමලයේ කපිල, කඩුවෙල ධම්මික, අම්පාරේ සුදා, මීගමුවේ කැප්ටන් රංජි, ගෝනවල සුනිල් මේ කියූ එදා චණ්ඩීන් ය. මේ අයියලා තම ශක්තිය පෙන්වූයේ ගතේ හිතේ ශක්තියෙනි. ඉඳහිට ඩප්පියක්, පෙට්‍රල් බෝම්බයක් හෝ කිනිස්සකින් ඔවුන් තනි නොතනිය මැකුවද ඔවුන් සිටියේ සහපිරිවරත් සමගය. ගිනි අවි මෙරටට ගලා ඒමත් සමග කඩු කිනිසි ඩප්පි කොහේ දැයි සොයා ගන්නටත් නැතිවිය. ඒ වෙනුවට අද ඇත්තේ පිස්තෝල, ටී පනස් හය, බෝම්බ වැනි ඒවාය.   


මේ ගිනිඅවි සමග පාතාලයේ පොරවල්වලට කියන සුරතල් නාමයන් ද එක්වූ තැන නිර්මාණය වන්නේ අමුතුම ලෝකයකි. ඇතැම් පාතාලයෝ ශරීර ලක්ෂණවලින් හඳුන්වන අතර, ඇතැමුන් කළ රස්සාවෙන් හඳුන්වන්නට විය. සොත්ති උපාලි, පොට්ට නවුෆර්, කළු අජිත්, කළු ඇල්බට්, සිරිසේන නොහොත් චීනා, නවරියන්, පොඩි විජේ යන අය හඳුන්වා ඇත්තේ ඔවුන්ගේ ශරීර ලක්ෂණ හේතුවෙනි. කංජිපානි ඉම්රාන්, වම්බොට්ටා, තෙල් බාලා, ආනමාලු ඉමිතියාස්, බාබර් ඉමිතියාස්, පස් පොඩ්ඩා වැන්නවුන්ට එම නාමය ඈඳී ඇත්තේ ඔවුන් කළ රස්සාවල් නිසා බවට පැවසෙයි. ඇතැමුන්ගේ කල්ක්‍රියා හේතුවෙන් ද සමාජය ඔවුන්ට යම් යම් නම් පටබැඳී ඇති අතර අවසානයේ එය ඔවුන්ට ජීවිතකාලයටම භාවිත කළ නම වී තිබිණි. රනාලේ සමයං, මෝල් පියා, හරක් කටා, බාල්දි ප්‍රියන්ත, ඌරුජුවා එවැනි නම් කිහිපයකි. 

 
ඇතැම් පාතාල ක්‍රියාකාරීන්ට එම නාමයන් පටබැඳී ඇත්තේ කෙසේදැයි සොයා බැලීමේදී රසවත් වූ කතාන්දරයක් ඒ නාමය සමග බැඳී ඇති බව පෙනෙන්නට ඇත. මීගමුව ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරිකයකු ලෙසින් අතීතයේ හඳුනාගෙන සිටි වීරප්පුලිගේ ප්‍රැන්සිස් ප්‍රනාන්දු නොහොත් නවරියන් යනු අඩි අටකටත් වඩා උස පුද්ගලයෙකි. ඔහුගේ ශරීරයේ උස ප්‍රමාණය අනුව ඔහු ‘නවරියන්” ලෙසින් ප්‍රදේශයේ ජනතාව හඳුන්වා තිබිණි.   


මීගමුව පාතාලයේ තවත් නමක් වූයේ ‘මීගමුවේ කැප්ටන් රන්ජි”ය. බොහෝ දෙනා සිතුවේ කැප්ටන් රන්ජි යනු ආරක්ෂක අංශයේ රැකියාවේ නියුතුව සිටි අයකු බැවින් ඔහුට කැප්ටන් රන්ජි යනුවෙන් අමතන බවය. එහෙත් ඔහුගේ පියා මීගමුව නගරයේ ‘කැප්ටන් බේකරිය” නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බැවින් ඔහුට එම නාමය පටබැඳී තිබිණි.   
දකුණු පළාතෙන් ඇසුනු නමක් වන කිතුල්දූව ගමගේ අජිත් වසන්ත නොහොත් “වම්බොට්ටා”ට ඒ නම පටබැඳී තිබුණේ ඔහු පාසල් යන අවදියේ සිටම බව කියැවෙයි. ඔහුගේ පියා සූරියවැව පොළේ වම්බටු විකුණන ගොවියකු වන අතර, පාසල් යන ඇතැම් දිනෙක ඔහු පියාගේ වෙළෙඳාමට හවුල් වන අවස්ථාද තිබිණි. දිනක් පාසලේ ගුරුතුමිය පැමිණීමේ ලේඛනය සටහන් කරන අවස්ථාවේ අජිත් වසන්ත යනුවෙන් නම අඬගැසීමේදී පාසලේ සිටි ගැහැනු ළමයින් “එයා පොළේ වම්බටු විකුණනවා. වම්බොට්ටා ආවේ නැහැ අද” යනුවෙන් පවසා ඇති අතර එදා සිට ඔහු ‘වම්බොට්ටා” බවට පත්වී ඇති බවට කියැවෙයි.   


“මරුවා සමඟ වාසේ” යනුවෙන් පපුවේ පච්ච කොටාගෙන සිටි ජේත්තුව ජයතුංගගේ සිරිපාල, පච්ච කොටා ගැනීමෙන් පසු “මරුසිරා” විය. මොහුගේ ගොලයකු වූ ලයනල් ද ඔහුගෙන් පසු “මරුමුස්” ලෙසින් හැඳින්විය. ඔහුද “මරුමුස්” වශයෙන් සඳහන් වචනයක් පපුවේ පච්චයක් කොටාගෙන සිටි බව කියැවෙයි. මරණීය දණ්ඩනය නියම වීමෙන් පසු මෙරට අවසන්වරට එල්ලා මැරූ තිස්සමහාරාමයේ “හොඳ පපුවා”ද ඒ ආකාරයෙන් පච්ච කොටාගෙන සිටි බව කියැවෙයි. එසේම, සිසිල් ප්‍රනාන්දු ධර්ම රත්න ද සිල්වා නොහොත් “සිසිල් මහත්තයා’ නොහොත් ‘වන්ෂොට්’ මිනුවන්ගොඩ පාතාල ක්‍රියාකාරීන්ගෙන් අයෙකි. ඔහුද සිය පිටි අත්ලේ ‘වන්ෂොට්’ ලෙසින් පච්චයක් කොටාගෙන සිටි අතර පසු කලෙක පොලීසියෙන් සැඟවී සිටියදී එම පච්චය මකා එයට මල්වැලක් සහ අම්මා යනුවෙන් පච්ච කොටා තිබූ බව පොලීසිය කියයි.   


කොළඹ කොටුවේ වරායේ කොන්ත්‍රාත්කරුවකු ලෙසින් සේවය කළ පියදාස ද කියුටෙක්ස් පියදාස ලෙසින් හැඳින්වූයේ ඔහුගේ ව්‍යාපාරය කියුටෙක්ස් ගෙන්වීම නිසාය. කනත්තආරච්චිගේ පියරත්න නොහොත් “මෝල්පියා”ටද එම නම පටබැඳී ඇත්තේ ඔහුගේ ඇති අධික රාගාධික බව නිසා බව කියැවෙයි.   


ජයලත්ගේ සිරිසේන නොහොත් “චීනා” යනු චීන ජාතිකයකුගේ ඇස් ඇති පුද්ගලයකු වීම හේතුවෙන් ඔහුට චීනා ලෙසින් පටබැඳී ඇත. අතීතයේ හිරගෙවල් හතරක් බිඳ එළියට ගිය සැකකරුවකු ලෙසින් මොහු හැඳින්විය හැකි බව පොලීසිය කියයි.   


වැල්ලම්පිටියේ මුනියන්ඩි වාප්පු බාලන් නොහොත් ‘තෙල් බාලා” යනු භූමිතෙල් කරත්තයක භූමිතෙල් විකුණූ තැනැත්තෙකි. පෑලියගොඩින් භූමිතෙල් කරත්තයට තෙල් පටවා ගන්නා මොහු තෙල් විකුණමින් පාර දිගේ ගියද මිය යන විට ප්‍රකෝටිපතියකුව සිටි බව පොලීසිය සඳහන් කරයි. එසේම මෙරටට මහා පරිමාණයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ගෙන ඒමේ මුල් පුරුකක් ලෙසින් තෙල්බාලා හැඳින්විය හැකි බවද සඳහන් වෙයි.   


මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන්ටද එම නම පටබැඳී ඇත්තේ ඔහුගේ පියා මාළිගාවත්ත ප්‍රදේශයේ කැඳ විකිණීමේ ව්‍යාපාරයක් සිදුකළ අයකු වන අතර වෙළෙඳාමෙන් පසු ඉතිරිවන කැඳ හිස මත තබාගෙන නිවසට රැගෙන යන්නේ ඉම්රාන් වීම හේතුවෙන් ඔහුට කංජිපානි ඉම්රාන් ලෙසින් නම පටබැඳුණු බව කියැවෙයි.   


මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින මොහොමඩ් නියාස් නවුෆර්, “පොට්ට නවුෆර්” වූයේ පාතාල ගැටුමකදී එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයකින් ඔහුගේ දකුණු ඇස අන්ධ වීම හේතුවෙනි.   


කෙසෙල්වත්ත ප්‍රදේශයේ ව්‍යාපාර රැසක් හිමි අයකු වූ ආනමාලු ඉමිතියාස් ඕනෑම ප්‍රශ්නයකින් ලිස්සා යෑමේ ප්‍රබලයකු වන බැවින් ඔහුට “ආනමාලු ඉමිතියාස්” ලෙසින් නම් පටබැඳුණු බව පැවසෙයි.   


කැලැත්තෑවේ ඝාතන සිද්ධියට සම්බන්ධ කළු ඇල්බට් නොහොත් අරුනෝලිස් අප්පු දැඩි කළු වර්ණයෙන් යුත් ශරීරයක් හිමි පුද්ගලකු වීම හේතුවෙන් ඔහුට කළු ඇල්බට් ලෙසින් ආමන්ත්‍රණය කිරීමට ගම්මුන් පෙළඹී සිටියහ. 

 
මෙරට ගෝඩ් ෆාදර් ලෙසින් හැඳින්වූ කොස්වත්තගේ දොන් ඩොනල්ඩ් නිහාල් නොහොත් “නාවල නිහාල්” කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කොට ගනිමින් 1960 ගණන්වලදී සිය වැඩ පෙන්වූ අයකු බව කවුරුත් දන්නා කරුණකි. ඔහු නාවල ප්‍රදේශයේ පදිංචිව සිටීම හේතුවෙන් ඔහුට ඒ නම පටබැඳී තිබිණි.   


බැද්දේගානේ සංජීවද සිය ගම හේතුවෙන් කරලියට ආ පාතාල නමක් හිමි අයෙකි. සොත්ති උපාලිට මෙන් දේශපාලන ශක්තියකින් යුක්තව සිටි බැද්දේගානේ සංජීව 90 දශයෙක් සිය බලය පතුරවමින් සිටි බව සඳහන් වෙයි. 

 
සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලා ඇළේ ගුණා 90 දශකයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන පුරුකක් බව පොලීසිය කියයි. කිඹුලා ඇළ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පාතාලයට පිවිසි හේතුවෙන් ඔහු කිඹුලාඇළ ගුණා වී ඇත. මොහු මේ වන විට ඉන්දියාවට පැන ගොස් එහි ජීවත් වන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.   


නාවල නිහාල් තරමටම ප්‍රසිද්ධ චරිතයක් වූ අරඹවෙලගේ දොන් උපාලි රංජිත් නොහොත් “සොත්ති උපාලි” ද කොළඹ ප්‍රදේශයේ සිය බලය පතුරුවා තිබුණේ 1990 වර්ෂයේ පමණය. සිය වම් අතට එල්ල වූ පිහි පාරක් හේතුවෙන් අත විරූපී වීම හේතුවෙන් ඔහු “සොත්ති උපාලි” ලෙසින් හඳුන්වා තිබිණි. තමන්ට ඒ නමින් ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඔහු උරණ වී සිටි බවද කියැවෙයි.   


අසූව දශකයේ මුළු රටක් හෙල්ලු පාතාල නායකයකු වු කැලණිය ගෝනවල පදිංචි සුනිල්ට ද ගෝනවල සුනිල් යනුවෙන් පටබැඳුනේ ගමේ නම මූලික කර ගනිමිනි.   


කඩුවෙල ප්‍රදේශයේ කරාටේ ක්‍රීඩාවෙන් ප්‍රගුණ වූ ධම්මික ප්‍රදීප් කුමාර නොහොත් ධම්මික මාස්ටර් අවසානයේ ‘කරාටේ ධම්මික’ වන්නේ පාතාල ක්‍රියාකාරිකයකු බවට පත්වීමෙන් පසුවය. එකවර කිහිප දෙනෙකුට පහර දීමේ හැකියාව ඇති එකම පාතාල සාමාජිකයා මොහු බව ද සඳහන් වෙයි.   


අරුණ උදයශාන්ත පතිරණ නොහොත් රණාලේ සමයං මෑත කාලයේ දැඩි කතාබහට පත්වූ පාතාල චරිතයකි. දැඩි දැඟලිලි සහිත පුද්ගලයකු වීම හේතුවෙන් සහ විකාර වැඩ කිරීම හේතුවෙන් ඔහුට ‘සමයං’ යනුවෙන් පටබැඳුණු බව ඔහුම කියා තිබිණි.   


අංගොඩ කැලණිමුල්ලේ පදිංචිව සිටි පණ්ඩිතගේ ශාන්ත කුමාර අංගොඩ හන්දියේ කොස් කපා විකිණීම කළ අයෙකි. සමයංගේ ගෝලයකු වශයෙන් සිටි මොහුගේ ව්‍යාපාරය හේතුවෙන් ඔහුට “කොස් මල්ලී” යනුවෙන් නම පටබැඳී තිබිණි.   


දකුණු පළාතේ කඹුරුපිටියේ උපන් සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදූෂ් මාකඳුරේ ප්‍රදේශයට විවාහයෙන් පසුව බින්න බැස තිබීම හේතුවෙන් මාකඳුරේ මදූෂ් වූ බව සඳහන් වෙයි.   


ගම්පහ ගණේමුල්ල මාකිලංගමුවේ පදිංචිව සිටි සමරරත්න සංජීව කුමාර ද ගමේ නමින් ගනේමුල්ලේ සංජීව ලෙසින් අදටත් පාතාල ලෝකයේ ජීවත් වෙයි. මොහුගේ සමීපතමයකු වූ ග්‍රෑන්ඩ්පාස් ස්ටේස්පුර පදිංචි සම්පත් කුමාර කලක් යුධ හමුදාවේ සේවය කළ අයෙකි. ඒ හේතුවෙන් ඔහු “ආමි සම්පත්” ලෙසින් හැඳින්වෙයි. ආමි සම්පත්ගේ සමීපතම හිතවතෙකු වූයේ රණසිංහ ආරච්චිගේ සංඛ නොහොත් බ්ලූමැන්ඩල් සංඛය. ඔහුට ද පටබැඳී ඇත්තේ ගමේ නමය. මොවුන්ගේ එදිරිවාදියා වූයේ චමින්ද රවී ජයනාත් නොහොත් “දෙමටගොඩ චමින්ද”ය.   


අංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ලසන්ත චන්දන පෙරේරා ට ඔහුගේ නිවසේ අය ආමන්ත්‍රණය කළේ “ලොක්කා” කියාය. පසුව එය “අංගොඩ ලොක්කා” බවට පත්විය. ඔහුගේ ගෝලයකු වූ ප්‍රියන්ත කුමාර ට “බාල්දි ප්‍රියන්ත” නම පටබැඳී ඇත්තේ ප්‍රියන්ත යන සෑම තැනකම කුමක් හෝ කරදරයක් තම ඇඟට දා ගන්නා බැවිනි. මොකක් හරි බාල්දියක් පෙරලා ගන්නා ප්‍රියන්තට, බාල්දි ප්‍රියන්ත ලෙසින් නම පටබැඳිණි.   


ත්‍රිකුණාමලය පාතාලය මෙහෙයවූ කපිලගේ අන්වර්ථ නාමය බෝම්බ කපිලය. නිතර නිතර තම විරුද්ධවාදීන්ට බෝම්බවලින් දමා ගැසීම හේතුවෙන් කපිලට ඒ නම පටබැදී ඇතැයි කියැවෙයි. බෝම්බ කපිලගේ ප්‍රතිවාදියා වූයේ අයිස් මංජුය. ත්‍රිකුණාමලය මාළු වෙළෙඳසැලේ අයිස් කඩන්නකු වූ මංජුගේ පියා අයිස් නිෂ්පාදනය කළ ‘අයිස් ආරි’ නම් විය. මේ හේතුවෙන් මංජු, ‘අයිස් මංජු’ විය.   


මිදිගම චින්තක නොහොත් “හරක් කටා” ලෙසින් ප්‍රකට පාතාල චරිතයට ඒ නම ඈදී ඇත්තේ චින්තක නිතර නිතර කුමක් හෝ දෙයක් කෑමට ගනිමින් කට සොලවමින් සිටි නිසා බව කියැවෙයි. මේ වන විට මොහු ඩුබායි රාජ්‍යයට පලා ගොස් ඇතැයි ද සදහන් වෙයි.   


ගොනාකෝවිලේ රොහා මෙන්ම ගොනාකෝවිලේ මංජු යන අය ද රත්මලාන කේන්ද්‍ර කර ගනිමින් බිහිවී තිබූ අය වීම හේතුවෙන් ඔවුන්ගේ නාමයන් ගම කේන්ද්‍රකොටගෙන පටබැඳී ඇත.   


ඇතැම් පාතාල නායකයන් තමන්ගේ නමින් ම පෙනීසිටි අවස්ථාද ඇත. චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ, ජයකොඩි ආරච්චිගේ ඕල්කට් පෙරේරා එයට උදාහරණ වෙයි.   

 

නිමන්ති රණසිංහ