​හොරගොල්ල වලව්වට වසර දෙසීයයි


හොරගොල්ල වලව්ව

බ්‍රිතාන්‍ය යුගයේ මෙරට වාසය කළ ලාංකීය ප්‍රභූ පන්තියේ සෑම පුද්ගලයෙකුටම “වලව්ව” ලෙසින් හැඳින්වෙන නිවසක් හෝ දෙකක් තිබිණි. ඒවා කොළඹ නගරයේ මෙන්ම ගම්වලද පිහිටා තිබිණි. මෙම නිවාස වලව්ව ලෙසින් හඳුන්වා ගත් ප්‍රභූන් අපේක්ෂා කළේ ඒ මගින් තමන් වෙත රදල තත්ත්වයක් ආරෝපණය කර ගන්නටය.   


බණ්ඩාරනායක පවුලට අයත් “වලව්” දෙකක් තිබිණි. ඒ කොළඹ පිහිටි “රොස්මිඩ්” වලව්වත්, අත්තනගල්ලේ පිහිටි “හොරගොල්ල” වලව්වත්ය. සොලමන් ඩයස් බණ්ඩාරනායක හෙවත් මහමුදලිට තම පියාගෙන් හිමි වූ හොරගොල්ල වලව්ව ඉදිකර ඇත්තේ 1820 දී බව සැලකේ. මේ නිසා තව මාස කීපයකින් හොරගොල්ල වලව්ව තම දෙසීය වැනි සංවත්සරය සැමරීමට සූදානම් වෙයි.   


හොරගොල්ල වලව්ව සමග මහමුදලි සතුව පැවැති ඉඩම් ප්‍රමාණය අක්කර විසිපන්දහසකි. එම ඉඩම් ප්‍රමාණයේ දිග පළල එක් පසෙකින් යක්කල සිට පස්යාල දක්වාත්, අනෙක් පසින් කිරිඳිවැල සිට නයිවල දක්වාද විහිදිණි. මහමුදලිගේ මෙම ඉඩම් අක්කර ගණන දෙවැනි වූයේ අක්කර 25,176ක් සතුව ප්‍රථම ස්ථානයේ සිටි මොරටුවේ ජෙරොනිස් ද සොයිසාට පමණි. 1797 - 1862 යුගයේ ජීවත් වූ ජෙරොනිස් ද සොයිසා ජීවිතය ආරම්භ කළේ බරකරත්ත කුළියට දෙන්නෙකු ලෙසය. පසුව අරක්කු ඒකාධිකාරියේ හිමිකරුවා වූ ඔහු මියගියේ මෙරට ලොකුම ධනපතියා ලෙසය.   


මහමුදලි සතුව තිබූ අක්කර විසිපන්දහසෙන් ප්‍රථම වරට අක්කර 1,105ක් අඩුවූයේ මුඩුබිම් පනත යටතේ එම ඉඩම් ප්‍රමාණය රජයට ලබාදීමට සිදුවූ බැවිණි. ඒ වෙනුවෙන් මහමුදලිට රුපියල් විසිදහස් තුන්සිය අනූවක් (20,390) රජයෙන් ලැබිණි. මහමුදලිගේ බිරිඳගේ පියා වූ එස්.සී. ඔබේසේකර මහතාගේ අක්කර 1,242ක් වෙනුවෙන් රජයෙන් ලද මුදල රුපියල් 23,951කි.   
මහමුදලි විවාහ වූයේ 1898 වසරේදීය. ඒ ඩේසි එස්ලින් ඔබේසේකර සමගය. ඇය පසුව ඩේසි බණ්ඩාරනායක නමින්ද හැඳින් වූවාය. ඇගේ පියා වූයේ එස්.සී. ඔබේසේකරය. ඔහුගේ සොහොයුරා වූයේ ජේ.පී. ඔබේසේකරය. මේ දෙදෙනා සතුව ඉඩම් අක්කර හතළිස් දහසක් (40,000) පමණ තිබිණි. මහමුදලිට හා ඩේසි ඔබේසේකරට අයත් ඉඩම් ප්‍රමාණය තම දරුවන් තිදෙනා අතර බෙදා දුන්හ. ඒ පිරිමි දරුවා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඇනා ෆ්ලෝරින්තිනා සහ ඇලෙක්සැන්ඩ්‍රා කොරනේලියා අතරය. පිරිමි දරුවා වූ බණ්ඩාරනායක මහතාට හොරගොල්ල වලව්ව සමග වැඩි ඉඩම් ප්‍රමාණයක් හිමිවිය.   


මහමුදලි සතුව තවත් නිවසක් කොළඹ අලුත් කඩේ උසාවියට ආසන්නව ඇති, එකල සිල්වර්ස්මිත් මාවතේ (අද බණ්ඩාරනායක මාවත) අංක 42 දරන ස්ථානයේ තිබිණි. ඒ “උඩුගහවලව්ව”යි. එය විකුණා දමා මහමුදලි රොස්මිඩ් වලව්ව මිලට ගත්තේ 1946 දීය. ඔහු රොස්මිඩ් වලව්ව මිලට ගැනීමේ විශේෂිතම හේතුව වූයේ සිය පුත්‍රයා වූ බණ්ඩාරනායක මහතා විවාහවීමෙන් පසුව සිරිමාවෝ මැතිනිය සමග කුලී නිවසක පදිංචි වී සිටීම නිසාය.   
මහමුදලිගේ මිතුරන් වූයේ බ්‍රිතාන්‍ය ජාතික විදේශිකයෝය. ඔහුට මහමුදලි පදවිය 1895 දී බ්‍රිතාන්‍යයින් විසින් පිරිනැමූ අතර, 1902 වසරේදී සී.එම්.ජී. (CMG) නමැති නම්බු නාමයද පිරිනැමිණි. විදේශීය ප්‍රභූවරුන් සඳහා එකල කොළඹ පිහිටියේ හොඳ තත්ත්වයේ හෝටල් කීපයක් පමණි. ගෝල්ෆේස් හා ඔරියන්ටල් හෝටල් ඒ අතර ප්‍රධාන විය. ඒ නිසා විදේශීය ප්‍රභූවරුන්ට හොරගොල්ල වලව්ව තුළ නවාතැන් දෙන්නට මහමුදලි කටයුතු කළේය. එතෙකින් නොනැවතුණු මහමුදලි විදේශීය මිතුරන් පිනවීම පිණිස හොරගොල්ල වලව්වත්, ඒ අවට පරිසරයත් අලංකාරව නිර්මාණය කළේය.   


හොරගොල්ල ඉඩම් වලින් අක්කර සියයක පමණ භූමි භාගයක සුරතල් සතුන් වත්තක් මහමුදලි විසින් නිර්මාණය කරන ලද්දේ ඒ අනුවය. අලි ඇතුන් රැසකගෙන් සමන්විත වූ හොරගොල්ල සතුන් වත්ත තුළ මෙරට ප්‍රථම “අලි නැටුම්” ප්‍රසංග පැවැති ස්ථානය බවද කියැවේ.   
“අලි රැඟුම්” සඳහා හොරගොල්ල වලව්වේ වම් පසින් ඇති ස්ථානයක් සකස් කර තිබිණි. අලි ඇතුන් “රැඟුම්” සඳහා රැගෙන එමින් සිටි හොරගොල්ල වලව්වේ සේවකයෙකුට මහා අකරතැබ්බයකට ලක්වීමට සිදුවිය. ඇතින්නියක් “රැඟුම්” සඳහා රැගෙන එනවිට යදමින් බැඳ සිටි මද කිපුණු අලියෙකු කුලප්පු විය. අලියා යදම් ද කඩාගෙන අැත්ගොව්වා පසුපස එළෙව්වේය. ඇත්ගොව්වා වහාම දිවගොස් අසල තිබූ බෝක්කුවක් තුළට රිංගා ගත්තේය. ඇත්ගොව්වාට යළි එළියට ඒමට නොහැකිවෙන සේ අලියා බෝක්කු කටවල් වල ගල් සිර කළේය. මහා කලබලයක් කළ අලියා මෙල්ල කිරීමට ඌ වෙඩිතබා මරාදැමූ බවද කියැවේ.   


හොරගොල්ල සතුන් වත්තේ සිංහයන් මෙන්ම කොටි වලස්සුද සිටියහ. භායානක සතුන් රඳවා තැබීම සඳහා විශේෂිත ආරක්ෂක කූඩු සකසා තිබිණි. කුරුලු විශේෂ සඳහාත් සර්ප විශේෂ සඳහාත් වෙනම කලාප ඇතිකර තිබිණි. සතුන්වත්තේ සිටි වැඩිම සතුන් වූයේ මුවන්ය. වැලිමුවෝ සහ තිත් මුවෝ විශාල ගණනක් සිටියහ.   
1947 දී ගොඩනගන ලද එක්සත් ජාතික පක්ෂය දේශපාලන ප්‍රවණතා ගණනාවක් එකට එකතු කොට ගොඩනගන ලද දේශපාලන ව්‍යාපාරයක් වූ අතර බණ්ඩාරනායක මහතාගේ “සිංහල මහා සභාව” ද ඊට ඇතුළත් විය. බණ්ඩාරනායක මහතා යුරෝපීය ඇඳුම වෙනුවට රෙද්ද බැනියමත් ක්‍රිස්තියානි ධර්මය අතහැර බුද්ධාගමත් වැලඳ ගැනීමත් සමගම “හොරගොල්ල සතුන් වත්තේ” ඉරණම විසඳිණි.   
සතුන් සිරකර තැබීම පිළිබඳව එතරම් කැමැත්තක් නොදැක්වූ බණ්ඩාරනායක මහතා සිය පියාගේද කැමැත්ත අනුව 1946 දී පමණ එහි සිටි සතුන්ගෙන් විශාල කොටසක් 1939 දී ආරම්භ වූ දෙහිවල සත්වෝද්‍යානයට භාරදුන්නේය. ඒ වෙනවිට දෙහිවල සත්තු වත්තේ එතරම් සතුන් සංඛ්‍යාවක් නොසිටියද හොරගොල්ල සතුන් ලැබීමත් සමගම එම සංඛ්‍යාව ඉහළ ගියේය. පසුව බණ්ඩාරනායක පවුලේ ඉල්ලීම මත අක්කර 33ක භූමි භාගයක් හොරගොල්ල සත්තුවත්ත පිහිටි භූමිය රක්ෂිත වනාන්තරයක් බවට වෙන් කරන ලද අතර 2005 වසරේදී එය ජාතික උද්‍යානයක් බවට පත්කරන ලදී.   


මහමුදලි සතුව තිබූ ඉඩම් අක්කර විසිපන්දහසෙන් විශාල ප්‍රමාණයක් ඔහු යටතේ සේවය කළ විදානආරච්චිලාටත් ආරච්චිලාටත් ගම්මුලාදෑනීන්ටත් බෙදා දුන්නේය. විදානආරච්චිලා වූ සිරිවර්ධනට විජේසුන්දර හා පේළිමුහන්දිරම්ට අක්කර 60 බැගින් ද ආරච්චිලාට අක්කර 35 බැගින් ද ගම්මුලාදෑනීන්ට අක්කර 5 බැගින් ද ලබාදුන්නේය.   
මීට අමතරව වලව්වේ සේවය කළ හා තමන්ට අචල පක්ෂපාතීත්වයක් දැක්වූවන්ට ඉඩම් අක්කර ගණනින් ලියා දුන්නේය. මහමුදලි මේ සියලු ඉඩම් ලියා දුන්නේ “වීඩෙ කොමිස්” ක්‍රමයටය. එම ක්‍රමයට පවරාදුන් ඉඩමක් යළි අන්සතු කළ නොහැකිය. තමන්ම බුක්ති විඳිය යුතුය. ඉඩම් හිමිකරුවාගේ දරුවන්ට හෝ පසුව එම ඉඩම් විකුණන්නට නොහැකි වෙන අන්දමට වීඩෙ කොමිස් ක්‍රමය සකසා තිබිණි. වලව්වේ සේවය කළ මෙහෙකාරියට මෙන්ම මුදලිතුමාට වෙදකම් කළ තිහාරියේ රාලටද ඉඩම් අක්කර 40 බැගින් ලැබිණි.   
සියලු ඉඩම් පරිත්‍යාගවලින් පසුව බණ්ඩාරනායක මහතාට ඉතිරි වූයේ හොරගොල්ල වලව්ව හා අක්කර තුන්දහසක (3,000) භූමි ප්‍රමාණයක් පමණි. 1972 සිරිමාවා් බණ්ඩාරනායක මැතිනියගේ රජයේ ඉඩම් ඇමැති හෙක්ටර් කොබ්බෑකඩුව මහතා විසින් ගෙනඑන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ පනත මගින් එම ප්‍රමාණ්‍ ය අක්කර 200 දක්වා අඩුවිය. මැතිනියට හා දරුවන් තිදෙනාට අක්කර 50 බැගින් ඉතිරි වූ අතර රජයට පවරා දුන් ඉඩම් වෙනුවෙන් ලත් වන්දි මුදල ද රුපියල් ලක්ෂය ඉක්මවා නොගියේය.   
රොස්මිඩ් පෙදෙස වලව්ව මිලදී ගන්නා තෙක් බණ්ඩාරනායක මහතා සහ මැතිනිය ජීවත්වූයේ කොළඹ කුරුඳුවත්තේ ගිල්ෆ්‍රඩ් ක්‍රෙසන්ට් හි පිහිටි ප්‍රකට චිත්‍රශිල්පී ලයනල් වෙන්ඩ්ට් ට අයත් වෙන්ඩ්ට් වර්ත් නිවසේ කුලී පදනමටය. සුනේත්‍රා හා චන්ද්‍රිකා දියණියන් දෙදෙනා උපත ලද්දේත් එම නිවසේදීය. 1956 මැතිවරණයෙන් ජයගත් බණ්ඩාරනායක මහතා වැඩි කාලය ගත කළේ හොරගොල්ල වලව්වේය. අනුර බණ්ඩාරනායක මහතා උපත ලද්දේ හොරගොල්ල වලව්ව තුළදීය. අනුර, චන්ද්‍රිකා, සුනේත්‍රා දරු තිදෙනා හැදී වැඩුණේ හොරගොල්ල වලව්ව තුළය.   


චන්ද්‍රිකා සහ සුනේත්‍රා දියණිවරුන් විසින් තමන්ට ලැබුණු අක්කර 50න් යම් කොටසක් මේ වනවිට විකුණා දමා ඇතත් මැතිනියගේ හා අනුරගේ අක්කර සියය ස්ථාවරව පැවැතිණි. එහෙත් තරමක අසනීප තත්ත්වයෙන් පසු වූ අ‍නුර බණ්ඩාරනායක මහතා 1994 දී තම අතින්ම කැමති පත්‍රය ලියුවේය. අනුර පළමුව සිතා සිටියේ හොරගොල්ල වලව්ව තම මාපියන් සිහිකර කෞතුකාගාරයක් බවට පත් කිරීමටය. එහෙත් පසුව එම අදහස වෙනස් කළ ඔහු තම සහෝදරියගේ පුත්‍රයා වූ විමුක්ති කුමාරතුංග නමින් වලව්ව ලියුවේය. 

 
තමන් සතු ඉඩම් ප්‍රමාණයෙන් වැඩි කොටස එදා සිට තමන් සමග සිටි හා තමන්ට උදව් උපකාර කළ කිහිපදෙනෙකු සඳහා ලියුවේය. එදා මෙදා තුර තමන් සමග දේශපාලන ක්ෂේත්‍රයේ සිටි ලාල් පෙරේරා, රත්නසේන කැටවලගේ, එම්.එච්.එම්. ඔනෙස්, ගාමිණි, වසන්ත හා සරත් යන අයට ද තම ඉඩම්වලින් යම් කොටසක් ඔහු ලියා දුන්නේය.   
මීට අමතරව වසර හතළිහක් තිස්සේ තමන්ගේ ඇඳුම් සකසා දුන්, කෑම ටික පිළියෙල කර දුන්, අසනීප අවස්ථාවලදී බේත්හේත් ටික දෙමින් සියලු දේ කළ සපරමාදු හා චන්ද්‍රසේන යන දෙදෙනාට ද දේපළ ලියා දුන්නේය.   


තමන්ගේ සමීපතම මිතුරන් වූ දොම්පේ ගාමිණි ගුණරත්න හා තිරුකුමාර නඩේසන් සහ චානක ලිවේරා ඇතුළු පිරිසකට ද තමන්ගේ දේපළවලින් යම් කොටසක් දිය යුතු බවට ද අනුර ලියා තැබීය. අනුරට අයත් නුවරඑළියේ වතු හා රොස්මිඩ් පෙදෙසේ වලව්ව ඇතුළු දේපළ විකුණා පිළිකා රෝගීන්ට පිහිටවීමට අරමුදලක් සෑදිය යුතු බවට ද අනුර බණ්ඩාරනායක මහතා අදහස් කර සිටි අතර ඔහුගේ මුළු දේපළ වටිනාකම රුපියල් මිලියන දසදහසකට (10,000) ඇස්තමේන්තු කර තිබිණි.   
බණ්ඩාරනායක පවුලට අවසානයේ අයත් වූ අක්කර දෙසීය තුළින් යම් කොටසක් ද මහජන සුබසිද්ධිය පිණිස පොදු ආයතන සඳහා පවරා දී තිබේ. නිට්ටඹුව ශ්‍රී සංඝබෝධි විදුහල් ඉඩම 1999 ජනවාරි 08 දින විවෘත වූ බණ්ඩාරනායක පුස්තකාලය 1973 ඔක්තෝබර් 05 දින ගැසට් කරන ලද හොරගොල්ල ජාතික අභය භූමිය ද ඒවා අතුරින් ප්‍රධානය.   
බණ්ඩාරනායක අගමැති යුවළගේ දේහ තැන්පත් කර ඇති සමාධිය ද සහිතව හොරගොල්ල වලව්ව භූමිය අද වෙන විට අක්කර කිහිපයකට සීමා වී තිබේ. තවත් දින කීපයකින් එළඹෙන තම දෙසීය වැනි සංවත්සරය සැමරීමට හොරගොල්ල සැදී පැහැදී බලා සිටිනවා වැනිය.

 

මහමුදලි හා බණ්ඩාරනායක පිය පුතු අශ්වයින් මත යමින්.

 

 

 


දොම්පේ 
අජිත් මදුරප්පෙරුම