​ලෝක උරුම බිමක පිහිටි අප්‍රිකාවේ රයිනෝ-සිංහ උයන


එය පරක් තොරක නොපෙනෙන සුන්දර වූ භූමි ප්‍රදේශයකි. මාර්ග රැසකින් සමන්විත වූ මෙම පෙදෙසේ ආධිපත්‍යය දරන්නේ සතුන්ය. එම පෙදෙසට පැමිණෙන සංචාරකයන් එම ප්‍රදේශයට අමුත්තන්ය. නිදැල්ලේ සැරිසරන සත්තු සංචාරකයන් දෙස නොබලති. තමන්ගේ පාඩුවේ ඔබ මොබ සැරිසරන මොවුන් අහිංසකයන් සේ පෙනුණද වාහනයෙන් බැස ඔවුන් නැරඹුවහොත් සංචාරකයා ඔවුන්ගේ ගොදුරක් වනව නොඅනුමානය.

දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නගරයට නුදුරින් පිහිටි රයිනෝ සහ සිංහ උද්‍යානයට එන සංචාරකයන් බහුලය. ඒ ඉතා පහසුවෙන් ළඟටම ගොස් සිංහයන්, රයිනෝසිරසුන්, දඩ බල්ලන්, චීටාවන්, පැස්බරුන්, ජිරාෆ්, කුළුහරකුන් මෙන්ම ඇන්ටිලෝන් වැන්නන් නැරඹීමට ඇති හැකියාව නිසාය.  

 

 

ජොහැනස්බර්ග් ප්‍රිටෝ්රියා නගරයේ සිට විනාඩි හතළිස් පහකින් පමණ මෙම රයිනෝ සහ සිංහ උද්‍යානයට ළඟාවිය හැකි අතර, සුන්දර වන ඉසව්වක තිබෙන මෙම උයනෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 1200කට ආසන්නය. දකුණු අප්‍රිකාවේ ප්‍රමුඛතම සංචාරක ආකර්ෂණය දිනාගත් මෙම උද්‍යානය රජයට අයත් එකක් නොව පෞද්ගලික හිමිකාරිත්වයක් යටතේ පවතින්නකි.  


මෙහි සිටින ඇතැම් සතුන් වඳවීයාමේ තර්ජනයකට ලක් ව සිටින දුර්ලභ ගණයේ සතුන්වීම සංචාරක ආකර්ෂණයට ලක්වීමට ප්‍රධාන හේතුව වී ඇත. සත්ව විශේෂ 30කින් යුක්තවූ සත්තු 650ක් පමණ මෙම උද්‍යානය පුරා සැරිසරති. මෙම උද්‍යාන ලෝක උරුමයක් වන CRADLE OF HUMAN KIND හි පිහිටා තිබීමද විශේෂත්වයකි.  


මෙම උද්‍යානය උදේ 9 සිට සංචාරකයන් සඳහා විවෘතය. උයනට ඇතුළු වූ විගසම ලැබෙන්නේ සතුන් ගැන විස්තරාත්මක අත්පොතකි. එහි අවිවාදයන්ද ඇතුළත්ය. ප්‍රධාන කරුණ වන්නේ තමන්යන වාහනයේ දොර වීදුරු කිසිම හේතුවක් නිසාවත් විවෘත නොකරන ලෙසය. සිංහ උද්‍යානය පැමිණි එක් සංචාරක කාන්තාවක් වීදුරුව ඇර ඡායාරූප ගැනීමට යාමේදී සිංහයකු පැන ඇය මරා දැමූ බව දැනගත හැකිවිය.  

 

 

උද්‍යානයට ඇතුළු වූ පසුව විවිධ පැතිකරා විහිදෙන ගුරුපාරවල් රැසකි. සිංහයන් සිටිනුයේ එක් පැත්තකය. ඇතැම් සිංහයෝ නිදැල්ලේ සිටිති. ඇතැම් සිංහයෝ කොටුකර සිටිති. ඒ ඇයි දැයි එතැන සිටි අප්‍රිකානු කතකගෙන් විමසීමේදී ඇය කීවේ ඔවුන් නිදැල්ලේ හැරීම භයානක බවය. නිදැල්ලේ සිටි සිංහයෝ ඒ මොහොතේ ගෙනැවිත් දැමු දැවැන්ත මස් තීරුවක රස බලමින් සිටියහ. ඔව්හු පැමිණෙන වාහන දෙස බලන්නේවත් නැත එහෙත් කුමන හෝ අතපසු වීමක් සිදුවන්නේ දැයි අවධානයෙන් පසුවෙති.  


රයිනෝසිරසුන් හා කුළුහරකුත් සිටින්නේ එකටය. මහා ගල්පර්වත මෙන් පැතිර සිටින රයිනෝ කුළුහරකුන් හා සාමයෙන් වෙසෙති.   


ඇන්ටිලොන්, පැස්බරුන් සිටින්නේද එකටය ජිරාෆ්ලා වෙසෙන්නේ තනිවමය මෙම සතුන් සිංහයන් සිටින ඉසව්වෙන් බොහෝ ඈතක සිටින්නට ඉඩසලසා ඇත. එමෙන්ම චීටාවන්ද දැලකින් කොටුකර ඇත. වේගයෙන් දිවයා හැකි මෙම සතුන් නිදැල්ලේ තැබීම අවද‌ානමක් බව දැනගැනීමට ලැබිණි.  


සෑම පාරක් අද්දරම රැකවලුන් යොදවා ඇත. ඒ අප්‍රිකානු කාන්තාවන්ය. ඔවුනට ඉංග්‍රීසි භාෂාව හොඳින් කතාකළ හැකිය. කිසිදු බියකින් තොර වූ ඔව්හු සිය රැකවලෙහි යෙදෙති.   


හෙක්ටයාර් 1200 පුරා ඇති මෙම බිමෙහි සැරිසැරීමට දිනක කාලයක් ගතවෙයි. එහෙත් එම කාලය ගත වෙනවා නොදැනෙයි. මෙහි සැරසරද්දී මත්පැන් පානය සපුරා තහනම්ය. ඒ මත්පැන් බීමෙන් සතුන්ට හිරිහැර වේ යැයි ඔවුන් අනුමාන කරන බැවිනි. සතුන්ට කෑම දැමීමද තහනම්ය.  


දිනක් පුරා සැරිසරා සතුන් නරඹා පිටවන අවස්ථාවේදී මහන්සිය නිවා ගැනීම සඳහා සුන්දර අවන්හල්ද අවට ඉදිකර තිබේ. දිනකට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය සුළුපටු නැත. දකුණු අප්‍රිකාවේ විශාලත්වය මෙන්ම හිස්ව තිබෙන මහා භූමි ප්‍රමාණය දෙස බැලීමේදී මෙවැනි උද්‍යාන පිහිටුවීම ඔවුනට පහසුය.  


ඔවුහු විශාල ආද‌ායමක් මෙම උද්‍යාන හරහා හරිහම්බ කරති. එහෙත් සතුන් නඩත්තුවට මෙන්ම උද්‍යාන නිසිලෙස පවත්වාගෙන යාමටත් ඔවුනට විශාල ධනස්කන්ධයක් වැය වෙනවා නොඅනුමානය. කෙසේ වෙතත් මෝටර් රියක සිට හෝ සතුන්ගේ දෙපාමුලටම හෝ ගොස් ඔවුන්ගේ චර්යාව නැරඹීමට හැකිවීම සුන්දර අත්දැකීමකි. 

 

(දකුණු අප්‍රිකානු සංචාරයකින් පසු)

කොත්මලේ සිරිසේන