​ලොවටම ආදර්ශවත් දර්ශනීය රට මැලේසියාව


රටකින් රටකට

 

කොළඹ 02 මැලේ වීදිය වසර ගණනාවක් තිස්සේ ඒ නමින් පවතිනුයේ මැලේවරුන් එහි පදිංචිව සිට ඇති බැවින් විය හැක. පැසිපික් හා ඉන්දීය සාගර අතර නිරක්ෂයට සමීපව පිහිටි මැලේසියාව හෙවත් මලයාව දෙවැනි ලෝක මහ යුද සමයේ ජපන් හමුදාවට නවාතැනක් වී තිබුණි. මෙම මැලේසියාව පුදුම ආකර්ශනයක් ඇති රටකි. සංචාරකයන් සිත්ගන්නා විවිධ ක්ෂේත්‍රයන් මෙහි වෙයි.  


විස්එක්වන සියවස බොහෝ රටවල් සංවර්ධනය කරා යන්නේ ස්වභාවිකත්වය පාගාගෙන වුවද මෙම දේශය නම් තාමත් වනාන්තර, සතා, සිව්පාවුන්, පරිසරය ආරක්‍ෂා කර ගනිමින් දියුණුවට යන රටකි. කොපමණ නාගරිකකරණය වුවද ඒ සංවර්ධනය කරාගොස් ඇත්තේ ස්වභාව ධර්මය මතය. එබැවින් ඕනෑම කාර්මික නගරයක වුවද නගර මැද්දේ ගහකොළ දක්නට ඇත්තේය. මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර් ද එසේය.  


ස්වභාව ධර්මය සමගම ක්‍රියාත්මක වෙමින් වූවද අපූරු සංවර්ධනයක් කරා මැලේසියාව පිය නඟා ඇත. එයට හොඳම උදාහරණය සංචාරකයන් මවිතයට පත් කරන පෙට්රොන්ස් (Petrons twin Tower) ද්විත්ව කුලුනයි. ලෝක ප්‍රකට මෙම කුලුන නරඹන විට හැඟී යනුයේ ක්වාලාම්පූර් නගරය තුළ තවත් නගරයක් ඇති බවකි. එක්තරා සමාගමක් විසින් ඉදිකර ඇති මෙම කුලුන සාප්පු සංකීර්ණයකි. තවත් අතකින් කාර්යාල පරිශ්‍රයකි. අඩි 1453ක් උස තට්ටු 88කින් සමන්විත ලොව උසම කුලුන වන මෙය සෑදීම ආරම්භ කොට ඇත්තේ 1992දීය.  


වසර 06ක් තිස්සේ වැඩ නිමවා අවසන් කර ඇත්තේ 1998 දී ය. මෙම කුලුනු දෙක යා කරන දැවැන්ත පාලම ද (Sky Bridge) අපූරු දර්ශනයකි. 41 හා 42 යන මහල් හරහා තනා ඇති මෙම පාලම අපූරු නිර්මාණයකි. මෙම ද්විත්ව කුලුන අභ්‍යන්තරයේ අධිවේගී විදුලි සෝපාන, ස්වයංක්‍රීය පඩිපෙළවල් වෙයි. කුමන ක්‍රමයකින් හෝ මෙම විශාල උස ප්‍රමාණය ගෙවා කුලුන මතට ගිය විට ක්වාලාලම්පූර් නගරය පමණක් නොව මුළු ආසියාකරයම අපගේ ඇස් හමුවෙහි පෙනෙන්නාක් මෙනි.  


මේ හැර මෙරට ඇති මොනරා කුලුන ද සංචාරකයින්ගේ සිත් ඇදගන්නා තැනකි. උසින් ලොව හතරවෙනි ස්ථානය ගන්නා එයද අවන්හල්, සාප්පු සංකීර්ණයන්ගෙන් පිරී ඇත. එයට නැඟීම සඳහා පඩිපෙළ මෙන්ම සෝපානයද වේ. මෙවන් කුලුනු හැරුණු විට එරට දුම්රිය මාර්ග පිළිබඳ දැකිය හැකි විශේෂත්වයක්ද​ වේ. මෙම අධිවේගී දුම්රිය ගමනේදී බද පටි පැළද ගත යුතු වේ. ඒ ගුවන් යානයක යන ලෙසය. එ් හාම සෑම විනාඩි 05ක් 10ක් තිස්සේ දුම්රිය ධාවනය වනු දැකිය හැක.  


ඉන්දීය පැසිපික් සාගර දෙක අතර සබඳතා පැවැත්වෙන ප්‍රධාන නැව් මාර්ගය වැටී ඇත්තේද මැලේසියාව හරහාය. ඒ මෙරට අපූරු සංචාරක දේශයක් ලෙස හැඳින්විය හැකිය. ඒ අපූරු බවට හේතුව පෙර කී ලෙස විධිමත්ව ගහකොළ සතා සිව්පාවා මිනිස් සමාජයට සමීප කරගෙන ඇති බැවිනි. වෙනත් ලෙසකින් කියතොත් එරට ජනතාව ජීවත් වන්නේ ගහකොළ සමගමය. සෑම ගමකම නගරයකම වෘක්ෂලතා වවා ඇත. සමහර ස්ථානවල තාප්ප වෙනුවටද වවා ඇත්තේ ගස්ය.  


එ් හැර සතා සිව්පාවාට වෙන් වුණු නගරයක් පවා මැලේසියාවේ වෙයි. ඒ අපාමෝසා (Apamosa) ය මේ දර්ශනීය නගරය සතුන්ගේ රජදහනකි. විශාල භූමිභාගයක පිහිටි මෙම සත්ව නගරය තවත් අතකින් කැලෑවකි, නයින්, පිඹුරන්, වගවලසුන් මෙන්ම විවිධාකාරී ලෙස කරක්ගහන ගවයන්, අලි ඇතුන් ඒ ඒ ස්ථානවල නිදැල්ලේ හැසිරෙතත් ඔවුන් වටා ආවරණ යොදා ඇත්තේ නරඹනන්න්ගේ ආරක්‍ෂාවටය. තවත් තැනක කුරුලු රජ දහනකි. ගිරවුන්, පරවියන් නිදහසේ ඒ ඒ අත පියාඹන්නේ නරඹන්නන්ගේ සංදර්ශනයක් ලෙසය.  
ස්වභාවික වන සිරිය ඇති අපාමෝසා නගරය තවත් අතකින් ක්‍රීඩා පිට්ටනියකි. මෙහිදී විවිධ රැඟුම් පාන අලිඇතුන්, රිළවුන් පමණක් නොව ගවයන්ද දැකිය හැක. මලය අර්ධද්වීපයේ දකුණින් පිහිටි මලක්කා නගරය සංචාරක සිත් පැහැරගන්නවා පමණක් නොව ලෝක උරුමයක් ලෙසද එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. පලතුරුවලටද ඉතා ප්‍රසිද්ධියක් උසුලන මැලේසියාවේ රඹුටන් ඉතා රසවත්ය.  


මෙසේම ‘‘ජෙනටර් හයිලන්ඩ්’’ නගරයද විනෝදාස්වාදය ගෙනදෙන ස්ථානයකි. මෙම නගරය සුන්දර දර්ශනයක් වුවද එහි ළඟාවීම තරමක් දුෂ්කරය. පොඩි පොඩි කඳුගැට පල්ලම් සහිත කැලෑවක් පසු කිරීමෙන් මෙහි ළඟාවිය හැක. ඒ සඳහා කේබල් රථ යොදා තිබේ. නගරය තුළ අවන්හල්, වෙළඳ සංකීර්ණ, ක්‍රීඩාගාර ආදී සුන්දර ස්ථාන රැසකි. ඒ හැරුණුවිට බෝට්ටු සවාරි ද වෙයි. මැලේසියාවට සංචාරකයන් එතරම් ඇදී එන්නේ මෙවන් අපූරු ස්ථාන නිසාය.  


වග වලසුන් පමණක් නොව ගිරා, පරෙවි වැනි විවිධ පක්‍ෂීන් ද සංචාරකයන්ගේ සිත් ඇදගන්නා ලෙස සැරසරනු දැකිය හැක. මලය අර්ධද්වීපයේ දකුණින් පිහිටි මලක්කා නගරය සංචාරක සිත් පැහැරගන්නවා පමණක් නොව ලෝක උරුමයක් ලෙසද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත.  


කෙසේ වුවද ලොව පවතින ආක්‍රමණික සංක්‍රමණිකයන්ටද මෙරට ගොදුරු නොවූවා නොවේ. වරෙක පෘතුගීසි බලයද මෙහි විය. 19 වන සියවස මුල දී මැලේසියාවේ සුවිශේෂි සිද්ධියක් ද සිදුවිය. 1819 දී බ්‍රිතාන්‍යයන් විසින් නැගෙනහිර ඉන්දීය වෙළෙඳ සමාගම එවකට මැලේසියානු බලධාරින්ගෙන් වරායක් සෑදීමට කුඩා ඉඩම් කැබැල්ලක් ඉල්ලා ගති. එය පෘතුගීසින් විසින් ලංකාවේ ගෙරිහමක් ඉල්ලා කොළඹ කොටුව තැනුවා වැනි දෙයකි. එසේ ඉල්ලා ගත් ඉඩම අද ලොව ඉහළම තලයේ වෙළෙඳපොළ බවට පත්ව ඇති සිංගප්පූරුවයි. මැලේසියාව බ්‍රිතාන්‍යයන් නැගෙනහිරින් ලද ලොකුම දායාදයයි. මුළු ලොවටම නැව් බඩු පටවන දැවැන්ත වරායක් වන සිංගප්පූරුව අද ලෝකයේ ප්‍රසිද්ධම වෙළෙඳපොළයි.  
එසේ වුවද මැලේසියාව අද තම රටින් වෙන් වූ සිංගප්පූරුවට ජලය පවා සපයයි. එදා පෘතුගීසින්ට යටත්ව තිබියදී ගොඩනංවන ලද ගොඩනැගිලි, පවුරු තාමත් ශක්තිමත්ව මෙරට දක්නට ඇත. එක් පෘතුගීසි බළකොටුවක එදා හමුදා නිලධාරින්ගේ සොහොන් වෙයි. සමුද්‍රාසන්නව තනා ඇති එම බළකොටුව සංචාරකයන්ගේ විශේෂ අවධානය යොමු වෙයි. ඒ අසල සමුද්‍රය ගොඩකර නව ගොඩනැගිලි ද සාදමින් ඇත. වික්ටෝරියා රැජින සිහිවීම සඳහා මලක්කාවේ තනා ඇති චමත්කාරජනක වතුර මල ද මෙම සුන්දර දර්ශනයන් අතර වෙයි. එමෙන්ම මලක්කාවේ බෞද්ධ පන්සල්වල චිත්‍ර කැටයම් ද ඉතා අලංකාරය. ථෙරවාදී සහ මහායාන යන බෞද්ධ අංශයන් දෙකම මෙහි අදහනු ලැබේ.  


ජේ. ශීලා වික්‍රමරත්න