​රට ගිහින් එන කතුන්ගේ සේසතම ශුද්ධ කරන කොල්ලෝ


  ​කොළඹ  “ජිමික්”   

 

කොළඹ පිටකොටුවේ සිදුකෙරෙන විවිධ ක්‍රියා හා සූදු පිළිබඳ අප පසුගිය සතියේ සාකච්ඡා කළෙමු. එහිදී හමුවූ ත්‍රිරෝද රථ රියැදුරකු වන ධර්මරත්න අප සමග ආගිය තොරතුරු හා පිටකොටුවේ අද සිදුවන දේ ගැන විස්තර කළේය. අද අපි ඔහුගෙන් විමසා සිටියේ ත්‍රිරෝද රථ ඇසුරෙන් ඔහුගේ අත්දැකීම් කිහිපයක් පිළිබඳවයි.  


ඔහු කියා සිටියේ රාත්‍රී කාලයේදී මෙන්ම දහවල් කාලයේදීද කොළඹ අමුතු අමුතු වැඩ සිදුවන බවයි.  

 

අමුතු දේවල් කියන්නේ?  


මෙහෙමයි. දැන් විදේශ රටවල ඉඳලා ගුවනින් පැමිණෙන කාන්තාවන් ඉන්නවානේ. ඔවුන් කෙළින්ම කටුනායකින් බැහැලා පිටකොටුවට පැමිණෙනවා, ගම්බිම් බලා යන්න. මොකද දැන් සුඛෝපභෝගී බස් රථ තිබෙනවානේ. ඉතින් කටුනායක ඉඳලා වාහනයකින් ගමට යනවාට වඩා ලාභයි කොටුවට ඇවිල්ලා බස් එකෙන් යන එක.  


මේ අය ගොඩක් දෙනෙක් එන්නේ රාත්‍රී කාලයේදීයි.  


ඔය අතරේ ඉන්නවා හොඳට ජැන්ඩියට හැඳ පැලඳගන්න තරුණයෙක්. ඔහුගේ අතේ තිබෙනවා ගුවන් ගමන් බලපත්‍රයක් වගේම විදේශ ගමන් බලපත්‍රයක්. ඒක ඉතින් පරණ එකක්ද අලුත් එකක්ද කියලා අපි හොයලා බලන්නේ නැහැනේ. කොහොම හරි අර කාන්තාව සමග අර තරුණයා කථා බහා කරල යාළුකමක් හදාගන්නවා. මාත් රට ඉඳලා ආවේ. අවුරුදු ගණනක් හිටියා. ඔයා කොහේද හිටියේ. ඔය වගේ ආගිය තොරතුරු කථා බහ කරනවා හරියට හොඳට අඳුනනවා වගේ.  


ඉතින් අර කාන්තාවත් වසර කිහිපයක් රට ඉඳලනේ එන්නේ. අලුත් යාළුවෙක් හමුවුණා කියලා ඒ කාන්තාවත් සතුටුවෙනවා. ඔය අතරේ තමයි මාතෘකාවට එන්නේ.  


මාතෘකාව කියන්නේ?  


දෙදෙනා හොඳ යාළුවෝ වගේ තමයි ඉන්නේ. ඉතින් කවුරුත් සැක හිතන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේ පුද්ගලයා කව්ද කියලා. අපිත් ඇහැ ගහගෙන ඉන්නේ. ඔය අතරේ අර තරුණයා, තරුණියට ගෙනෙනවා යෝජනාවක්.  


දැන් රෑ වෙලානේ හෙට උදෙන්ම ගෙදර යමු. එතකම් මම දන්න හෝටලයක් තිබෙනවා අපි එතනට ගිහින් කෑම ටිකක් කාලා රෙස්ට් එකක් අරගෙන ඉමු කියලා.  


අපේ ​අර කාන්තාවත් ඉතින් රැවටෙනවා. මොකද ජැන්ඩියට හැඳ පැළඳ ගෙන ඉන්න කොට හිතන්නේ රට ඉඳලා ආව කෙනෙක් කියලනේ. කථා කරන්නේ බොහොම සුකුමාල විදිහටනේ. කොහොම හරි කථාවෙන් අර කාන්තාව දැලේ දාගන්නවා. ඊට පස්සේ ත්‍රීවීල් එකක් කතා කරන් එක්ක යනවා ලොජ් එකකට හරි හෝටලයකට.  


ඒවත් රෑ එළි වෙනකම් ඇරලා තිබෙනවානේ. ඒ තරුණයාම තමයි අර කාන්තාවගේ ගමන් මලු ටිකත් රැගෙන යන්නේ. ඉතින් ඒ කාන්තාව තවත් ඔහුට සමීප වෙනවා අර තරුණයා සමග. ඒ තරුණියට දැන් ගෙදර ගැන සම්පූර්ණයෙන්ම මතක නැහැ. අමුතු ලෝකෙකට ගියා වගේ තමයි සිතන්නේ.  


ඔය අතරේ තමයි මොනවද ගමන් මල්ලේ තිබෙන්නේ? ඔයාට පඩි ගොඩක් ලැබුණද? ඩිනාර් ද රියාල් ද තිබෙන්නේ කියලා අහනවා.  


ඉතින් අර මෝඩ කාන්තාව සියලු විස්තර කියනවා. හරියට වසර ගණනාවක සිට හඳුනාගත් කෙනෙක් විදිහට. අපිත් ඉතින් හොඳට කන් දීගෙන ඉන්නේ දෙදෙනාගේ සංවාදයට. අපි දන්නවා දැන් මේ හාදයා එන්නේ මොකටද කියලා. ඉතින් අපිට අර තරුණියට තේරුම් කරලා දෙන්නත් බැහැ. අපිට කියන තැනට අපි ගිහිල්ලා අැරලනවා. අපේ රාජකාරිය ඒකනේ.  


ඉතින් හෝටලයේ හෝ ලොජ් එකේ අයත් වැඩිය හිතන්නේ නැහැ. ඔවුන්ටත් අදාළ නැහැනේ. කාමරයක් ඉල්ලනවා. හැඳුනුම්පත හෝ ගුවන් ගමන් බලපත්‍රය පෙන්වලා කාමරයක් වෙන්කර ගන්නවා. ඊට පස්සේ තමයි හොඳම හරිය.  


ඒ කිව්වේ?  


අපි දන්නේ නැහැ. කාමරය ඇතුළේ මොනවද වෙන්නේ කියලා. නමුත් පසුවදා තමයි දන්නේ කෙල්ලගේ ඔක්කොම සුද්ද කරලා කොල්ලා පැනලා ගිහින් කියලා. ඉතින් ඒ කෙල්ල සදා අසරණයි. කාට කියන්නද? හෝටලයේ හෝ ලොජ් එකට පැමිණිලි කළාට වැඩක් නැහැනේ. හැඳුනුම්පත හෝ ගුවන් ගමන් බලපත්‍රය පරික්ෂා කිරීමේදී තමයි දන්නේ මේ දේවල් සියල්ලම බොරු ඒවා කියලා. ලොජ් එකේ බලන්නේ හැඳුනුම්පතේ අංකය හා නම ගම තිබෙනවාද කියලා විතරයිනේ.   


ලොජ් එකේ හෝ හෝටලයේ අය බලන්නේ නැහැ මේකේ තියෙන විස්තරවල සත්‍ය තත්ත්වය.  


ඒ වගේ පුද්ගලයෙක් මගේ ත්‍රීවීලර් එකේ යද්දි මගේ අතටම හසුවුණා. ඉතින් ඒ පුද්ගලයාටම දොස් කියන්නත් බැහැ. ඒවාට හසු​ෙවන කාන්තාවන්ගේත් වැරැද්ද. සැතපුම් ගණනාවක් දුර කතර ගෙවාගෙන කීයක් හරි හම්බකරගෙන ගෙදරට යන්නේ නැතුව ඔය වගේ දේවල්වලට හසුවෙන එකත් ඔවුන්ගේ වැරැද්දක් හැටියටයි මම නම් දකින්නේ.  


එක දවසක් මට එහෙම කාන්තාවක් හමුවුණා.  


අන්තිමේදී ඒ කාන්තාව හරි හම්බකරපු දේවල් පැය කිහිපයකින් විනාශවෙලා. පස්සේ හෝටලේ අය මාව දන්නවානේ. මට එන්න කියලා පණිවිඩයක් එව්වා පාන්දරම. මම ගිහින් හම්බ වුණා. මම කිව්වා ඔයාලාගේ මෝඩ වැඩ නිසානේ මෙහෙම වෙන්නේ කියලා. මම දැනගත්තා මිනිහගේ කථාවෙන්. නමුත් මට ඒ වෙලේ ඔයාට කියන්න බැහැනේ. හරියට ඔය දෙන්නා හිටියේ බැඳපු ජෝඩුවක් වගේනේ. කව්ද ඉතින් සැක සිතන්නේ මං කීවා.  
කොහොම හරි අන්තිමේදී හෝටලෙන් ඒ කාන්තාවට ගමන් වියදම් දීලා මම ගිහින් බස් රථයට ඇරලුවා. ආයෙමත් මේ වගේ මෝඩ වැඩ කරන්න එපා කියලා. මොකද මේ වගේ දෙයක් වුණාම පොලිසි ගානේ ගිහින් රස්තියාදු වෙන්නත් බැහැ. පෞද්ගලික ජීවිතයත් විනාශ වෙනවානේ. හොඳම දේ තමයි මේ වගේ දේවල් වලට නොයා තේරුම්ගෙන සිටින එක.  


මේ අයට ඔබ දෙන පණිවුඩය මොකක්ද?  


කොහොම වුණත් අපිට කියන්න තිබෙන්නේ ආපු වැඩේ කරගෙන යන්න කියලයි. අඳුනන්නේ නැති අය එක්ක තිබෙන සබඳතා අත්හරින්න කියලා. විශේෂයෙන් කොළඹට ආවාම බලෙන් කථා කරන්න පැමිණෙන අය ගැන පරිස්සම් ​ෙවන්න. මොකද ඔවුන්ගේ මූලික අරමුණ කාන්තාවන් රවටා මිල මුදල් රන්භාණ්ඩ රැගෙන යාම.  


ඔවුන් රට රටවල දුක් විඳලා කීයක් හරි හොයාගෙන ලංකාවට එන්නේ හොඳ ජීවිතයක් ගත කරන්න බලාගෙන නේ. ඉතින් ඔය වගේ අයගෙන් පරිස්සම් වෙන්න කියලයි මට කියන්න තිබෙන්නේ.  

 


පිටකොටුවේ සිදුවෙන තවත් අගති ක්‍රියා පිළිබඳ ලබන සතියේ කතාකරමු.  

 

 

 

 


සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර