​මෝදර වැල්ලේ චණ්ඩින්ගේ රජදහන


අවිගත් දඩබ්ම

වත්තල ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ මට්ටක්කුලිය අසිතගේ විවාහ මංගල උත්සවයට කඩා වැදී ඔහු ඇතුළු ඔහුගේ සොහොයුරා සහ ගෝලයන් ඝාතනය කිරීමට ගත් සැලසුම පොලිසියේ මැදිහත් වීමෙන් වැළකී යාමෙන් වැල්ලේ සුරංගගේ නම යළිත් කරළියට පැමිණියේය.   


වැල්ලේ සුරංග මෙම මංගල උත්සවයට ප්‍රහාර එල්ල කිරීමෙන් පැතිරවීමට ගත් පාතාල භීතිය පොලිස් බුද්ධි අංශ වෙත කල්තියා වාර්තා වීම හේතුවෙන් ගත් ක්‍රියාමාර්ග නිසාවෙන් වැල්ලේ සුරංගගේ බලාපොරොත්තු බිඳී ගියේය. 
  
වැල්ලේ සුරංග සිය ගෝල බාලයින් යොදාගෙන මිනිමැරීම්, මත්කුඩු, ගංජා, කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධ හා ජාවාරම්වල නිරත වෙමින් සිටින බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.   


වැල්ලේ ආධිපත්‍යය පතුරමින් සිටි වැල්ලේ සුරංගට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිවිරුද්ධ කල්ලියක් බිහිවීමෙන් පසු ඔහුගේ බලයෙන් ඔපවත්ව තිබූ වැල්ලේ බලය දෙකඩ වී තිබුණි. එම දෙකඩ වීමෙන් පසු අතුරුදන්ව සිටි වැල්ලේ සුරංග පිළිබඳ නැවතත් කථිකාවක් මතු වූයේ මට්ටක්කුලිය අසිතගේ මංගල්‍ය සිද්ධිය කරළියට පැමිණීමෙන් පසුවයි.   


වැල්ලේ සුරංග මීට වසර තුන හතරකට පෙර මාළු සහ ඉස්සන් වෙ​ෙළඳාමේ නිරත වෙමින් ජීවිකාව කරගෙන ගිය පුද්ගලයෙකි. එසේ සිටින අතරේ කොස්ගස් හන්දිය ප්‍රදේශයේ සිදු වූ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලේ සුරංග සහ ඔහුගේ සොහොයුරා පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයට පත්කර තිබුණි.   


ඔහු චෝදනා කරන්නේ පොලිසිය තමන් සහ සොහොයුරා අත්අඩංගුවට ගෙන නිකරුණේ රිමාන්ඩ් බාරයට පත් කළ බවයි. තමන් අද පත්ව තිබෙන තැනට පොලිසිය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි.   
එම ඝාතනයෙන් බන්ධනාගාරගතව සිටි වැල්ලේ සුරංග නැවත ඇප මත එළියට පැමිණෙන්නේ බන්ධනාගාරගතව සිටින පාතාල හා මත්කුඩු ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් හා හිතවත්කම් පවත්වමින් ඔවුන්ගේ ආශිර්වාද හා උපදෙස් ලබාගනිමිනි.   


ඒ අනුව වැල්ලේ අයියා කෙනෙක් වශයෙන් වැල්ලට යළි පැමිණි සුරංග වැල්ලේ අණසක පැතිර වීය. ඒ සඳහා ඔහුට අවශ්‍ය ආයුධ, මත්කුඩු සියල්ල බන්ධානාගාරයේ සිටි අයියලාගෙන් නොඅඩුව ලැබුණු බව පොලිස් ආරංචි මාර්ග කියයි. 

 
වැල්ලේ සුරංගට පිටින් කිසිවකුට යන්න ඉඩක් නොමැති තරමට ඔහු ජනප්‍රිය චරිතයක් වූ අතර නොයෙක් ක්‍රියාකාරකම් තුළින් වැල්ලේ සුරංග දිනෙන් දින උත්සාහ ගන්නේ සිය බළකොටුවේ බලය රැක ගැනීමටයි.   
මොහු වටා ගෝල බාලයන් රැසකි. ඔහුගේ ජීවිතය ප්‍රතිවිරුද්ධ කල්ලි සාමාජිකයන්ගෙන් ආරක්ෂා කිරීමට එම ගෝලයන් ආයුධ සන්නද්ධව මුර ක්‍රමයට දිවා රාත්‍රියේ ඔහු රකිති. මේ හේතුව නිසා වැල්ල පිටස්තර කල්ලි සාමාජිකයන්ට තහනම් ප්‍රදේශයකි.   


 එසේම ප්‍රදේශයේ ජනතාවගේ සතුටේ දී හෝ දුකේ දී අත දිගහැර වියදම් කළේය. එම නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔහු වටා ගම්වාසීන් එක්රොක් වී සිටියහ. වැල්ලට පොලිස් ජීප් රථයක් හෝ පොලිස් කණ්ඩායම්, පිටස්තර කල්ලි සාමාජිකයන් පැමිණියහොත් ඒ පිළිබඳව සෙවිල්ලෙන් ඉන්නේ ඔහුට හිතවත් වැල්ලේ ජනතාවයි. පොලිස් ජීප් රථ වටකර ගන්නේ එම ජනතාවයි. ඒ හේතුවෙන් වැල්ලේ කිසිවකුගේ ඇසට වැලි ගසා කිසිවකුටත් වැල්ලට හොර රහසේ ඇතුළු විය නොහැක.   


සුරංග සිය බළකොටුව තවත් බබලවමින් බළකොටුව තුළ පුංචි මුහුදේ අනවසරයෙන් ලෙල්ලමක් ඉදිකළේය. ඔහුගේ ආරක්ෂාවට මෙන් විශේෂිත මිතුරන් සමඟ කිසිදු බාධාවක් නොමැතිව කාලය ගත කිරීමෙන් ඔහු එහි පුංචි හෝටලයක් ඉදිකළේය. මෙම හෝටලය ඉදිකළේ සම්පූර්ණයෙන්ම මුහුදේය. මෙම ඉදිකිරීම බොහෝ දුරට සම්පූර්ණ කර තිබූ අතර එය ඉදිකිරීම් අවසන් වනතෙක් ඔහුට එය රිසිසේ සිදුකර ගැනීමට හැකි වූයේ ඔහුගේ බලය මතයි.   


 මෙය කෙතරම් නීති විරෝධී ගොඩනැගිල්ලක් වුව ද එය ඉදිකිරීමට රජයේ කිසිදු වගකිව යුතු ස්ථානයකින් ඔහුට බාධා එල්ල නොවීය. මේ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් වෙරළ සංරක්ෂණ දෙපර්තමේන්තුවට තවදුරටත් නිහඬව සිටීමට නොහැකි වූ අතර අවසානයේ ඔවුන් මෙම ස්ථානයට නඩු දමා තිබූ අතර එම ලෙල්ලම ඉවත් කිරීමට අධිකරණ නියෝග ලබාගත්තේය.   


 අධිකරණ නියෝග ලබා ගත්ත ද එය ඉඩා ඉවත් කිරීමට විශාල බාධක එල්ල වූ අතර එම ඉවත් කිරීමට මාස ගණන් ප්‍රමාද කිරීමට බලධාරීන්ට සිදුවිය.   


 මෙම බළකොටුවේ සිටි විවිධ ක්‍රියාකාරකම්වල නිරත සුරංගගේ ගෝලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය හෝ කිසියම් ආරක්ෂක අංශ කඩා පනින අවස්ථාවේ සුරංගගේ කීමට ගම්මු ඔවුන්ගේ රාජකාරියට බාධා කරති.   
ඉකුත් වසරේ නොවැම්බර් මස දිනක සුරංගගේ ගෝලයන් තිදෙනෙක් මත්කුඩු සමඟ මෝදර පොලිසිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ සුරංග ගම්මුන් පිරිසක් සමඟ පොලිසිය ඉදිරිපිටට කැඳවා විරෝධතාවක නිරත වූ අතර ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ පොලිසිය අත්අඩංගුවට ගත් සිය ගෝලයන් නිදහස් කරන ලෙසටයි.   


රටේ නීතිය ඔවුන්ට අදාළ නැත. වැරැදිවලට දඬුවම් දෙන්නේ ඔවුන්ගේ පාතාල උසාවියෙන් පමණි. එම උසාවියෙන් මුල් වරට සිදුකරන්නේ තර්ජනයක්, පසුව වැල්ලට කැඳවා දන ගැස්සවීම, පහර දී නිවාසවලට අලාභ හානි සිදුකිරීම මේ සියල්ල අවසානයේ අධිකරණ නඩු විභාගයෙන් තොරව පාතාලයකුගේ අනු අංකයක් නොමැති ගිනි භටයකින් ජීවිතය උදුරාගනිති. වැල්ලේ බොහොමයක් ජනතාවගේ අසාධාරණකම්වලට පොලිස් නීතියෙන් නොව විසඳුම් දෙන්නේ පාතාල නීතියෙනි.   


වැල්ලේ සුරංගගේ ඥාතියකු මෙන්ම සමීපතමයකු වශයෙන් කටයුතු කළ මෝදර සාරංග සහ ප්‍රධාන ගෝලයකු වූ වැල්ලේ ප්‍රදීප් යන සාමාජිකයන් යම් යම් සිද්ධීන් මුල්කරගෙන වැල්ලේ සුරංගගෙන් ඈත් වීමෙන් පසු වැල්ලේ චණ්ඩි රජදහන දෙකඩ වීම කෙමෙන් කෙමෙන් ආරම්භ විය. 

 
 එම ගැටුම් සාරංග සහ වැල්ලේ ප්‍රදීප් යන අය වැල්ලේ සුරංගගෙන් වෙන් වන තරමට දුරදිග ගියේය. පසුව ඔවුහු සුරංගට එරෙහි වූහ.   


සුරංගගෙන් වෙන් වුණ ද සාරංගට සහ ප්‍රදීප්ට වැල්ලේ සුරංගගෙන් වැල්ලේ බලය අත්පත් කර ගැනීමට අසීරු වූයේ සුරංගට ඇති අසීමිත බලය හේතුවෙනි.   


වැල්ලේ බලය ලබා ගැනීමට අසීරු වුව ද එය තමන් වෙත නතුකර ගැනීමට සාරංග සිය උත්සාහය අත්හැරියේ නැත. මේ හේතුව නිසා වැල්ලේ සුරංගගෙන් සාරංග සහ ප්‍රදීප් වෙත එල්ල වූ බලපෑම් තර්ජන දිනෙන් දින වැඩිවන්නට විය.   


සුරංගගෙන් දිනෙන් දින එල්ල වන තර්ජන හා බලපෑම් හේතුවෙන් සාරංග හා ප්‍රදීප් තමන්ගේ ජීවිතයට කොයි මොහොතේ හෝ සතුරාගෙන් තර්ජනයක් එල්ල වනු ඇතැයි සිතා රැකවල් තරකර ගත්හ.   


වැල්ලේ සුරංග තමන්ට එරෙහිව අවි ඔසවන්නට මාන බලන අවස්ථාවේ වැල්ලේ ප්‍රදීප් ගැටුමකට මුල පිරීය. අවසානයේ වැල්ලේ ප්‍රදීප්ට ආරක්ෂාව පතා මෝදර අතහැර යාමට සිදුවිය.   


වැල්ලේ සුරංග කළ අපරාධ සම්බන්ධයෙන් මෝදර පොලිසියේ පමණක් නඩු 5ක් තිබුණි. 2015.4.14 දින මෝදර ප්‍රදේශයේ පුද්ගලයකුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීම. ඒ වෙනුවෙන් අලුත්කඩේ උසාවියේ නඩු අංක 26/734/4 දරන නඩුව විභාග වේ. මෙම නඩුවට අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර ඇත.   


2017.7.4 දින මට්ටක්කුලිය ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනකු කපා කොටා තුවාල සිදුකර අයුතු ජනරාශියක සාමාජිකයකුව සිට නිවාස 6කට, ත්‍රිරෝද රථ 6කට, යතුරුපැදියකට පහර දී අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් අලුත්කඩේ අධිකරණයේ 76372/4 2017 යන අංකය යටතේ නඩු විභාග වෙමින් පවතියි.   


මේ අතර 2017.2.15 වැනි දින මෝටර් රථයකින් ගොස් වැල්ලේ කාන්තාවකට සුරංග වෙඩි තැබීය. එම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගියාය. 89239/4 යන අංකය යටතේ මෙම නඩුව විභාග වෙමින් පවතියි.   


 සිද්ධියෙන් මියගියේ මෝදර ප්‍රදේශයේ වෙළෙඳසලක් පවත්වාගෙන ගිය කාන්තාවක බවත්, ඇය මෝදර සාරංගගේ පුංචි අම්මා කෙනකු බව ද පොලිසිය කියයි.   


 මෙම කාන්තාවට වෙඩි තබා ඝාතනය කරමින් වැල්ලේ සුරංග සාරංගට අනතුරු ඇඟෙව්වේය. සිය පුංචි අම්මාව වෙඩි තබා ඝාතනය කිරීමෙන් කුපිත වූ සාරංග මෙම ක්‍රියාවට ලෙයට ලෙයින්, උණ්ඩයට උණ්ඩයෙන්, පළි ගැනීමට සිතා ගත්තේය. ඔහු ද සුරංගගේ අභියෝගයට අභියෝග කරමින් අනතුරු ඇඟෙව්වේය.   


 සාරංග ගෝලයන් යොදවා සුරංග පිළිබඳ තොරතුරු රැස් කරන්නට වූයේය. සාරංගගෙන් තමන්ට කිසියම් මොහොතක මෙයට ප්‍රතිප්‍රහාර එල්ල වෙතැයි සිතා කල්තියාම වැල්ලේ සුරංග වැල්ලෙන් අතුරුදන් විය.   
 සාරංග ඔහු සෙවීමේ උත්සාහයන් අත්හැරියේ නැත. වැල්ලේ සුරංග සොයා සාරංගගේ සොහොයුරා ඇතුළු ගෝලයන් 5 දෙනෙක් කුලී මෝටර් රථයකින් දෙමටගොඩ ප්‍රදේශයේ රැඳී සිටියදී ලැබුණු බුද්ධි තොරතුරු මත ඉකුත් පෙබරවාරි මස දිනක දෙමටගොඩ ප්‍රදේශයේ දී බස්නාහිර පළාත් කොට්ඨාස බුද්ධි ඒකකය හා විශේෂ කාර්ය බළකාය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.   


 මෙම අවස්ථාවේ එම මෝටර් රථයේ තිබී හමුදා නිල ඇඳුම්, හිස් වැසුම්, කඩු මන්නා පිහි, ඇතුළු ආයුධ රැසක් හමුවී ඇත. සාරංගගේ සොහොයුරා ඇතුළු පිරිසට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නඩු පවරා ඇත. එසේ වුව ද සාරංග තවමත් සුරංග සෙවීමේ මෙහෙයුම් අතහැර නැත.   


මෙවන් අර්බුද මැද කාලය ගෙවෙද්දි වැල්ලේ සුරංගට අභියෝග කරන ප්‍රදීප්ගේ සොහොයුරා වන මට්ටක්කුලිය අසිතගේ විවාහය සිදුවීමට නියමිතව තිබුණි.   


වැල්ලේ ප්‍රදීප් හා වැල්ලේ සුරංග අවුල අළු යට ගිනි මෙන් ඇවිළෙමින් තිබෙන අවස්ථාවේ ප්‍රදීප්ට එරෙහිව ඔහුගේ ඉලක්කය සපුරා ගන්නට සුරංගට අවස්ථාවක් උදාවිය. ඒ ප්‍රදීප්ගේ සොහොයුරාගේ මංගල උත්සවය පැවැත්වෙන දිනයි.   


එදින එම ස්ථානයේදීම ප්‍රදීප්, අසිත හා ඔවුන්ගේ ගෝලයන් ඉලක්ක කර මහා ඝාතනයක් සිදුකර කෝන්තරය සපුරා ගන්නට ඔහු මුලපිරුවේය. එම දිනය එනතෙක් ගෝල බාලයන් යොදාගෙන ඇඟිලි ගැන්නේය.   
වැල්ලේ සුරංගගේ සැලසුම් කල් තියා පොලිස් ‍බුද්ධි අංශවලට තොරතුරු ලැබෙන්නේ මේ අතරය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය වැල්ලේ සුරංගගේ බලාපොරොත්තු බිඳ දැමීය.   


වැල්ලේ සුරංග දැන් වැල්ලේ නොමැත. සාරංගලා, ප්‍රදීප්ලා ගනුදෙනු බේරා ගැනීමට ඔහු එන පෙරමඟ අවි අමෝරා බලා සිටිති.   


සුරංග විදේශ රටකට පැන ගොස් සිටින බවට ඇතැම්හු පවසති. වැල්ලෙන් ගිලිහුණ විට ඔහුගේ වැල්ලේ බළකොටුවත් ඔහුට අහිමිව ගොස්ය. අධිකරණ නියෝගයට අනුව එම මාලිගාව කොළඹ නගර සභාව විසින් කඩා බිඳ දමා ඇත.   


නමුත් වැල්ලේ සුරංග සැඟව සිය සියලු කටයුතු නවීන තාක්ෂණයට අනුව මෙහෙයවමින් සිටින බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.   

 

 

 

 


ඉන්දිකා රාමනායක