​පේරාදෙණියේදී රටක් හෙල්ලූ කුරුණෑගල ශිෂ්‍යයා


 

 

  • වීරසූරිය ශිෂ්‍යයා මරු වැලඳ ගත්තේ අහක ගිය උණ්ඩයකිනි. ඔහු සිසු සටනට සහභාගි නොවූ ශිෂ්‍යයෙකි.

 

කුරුණෑගල, මීගමුව මාර්ගයේ උහුමීය කොට්ටගස් හන්දියෙන් හැරී කිලෝමීටර් තුනක් පමණ ගමන් කර තලයාය හන්දියෙන් වමට හැරී තවත් කිලෝමීටරයක් ගමන් කළ විට මුදුන්න නමැති ගම්මානයට ළඟාවිය හැක.   


ශ්‍රී ලංකාවේ පිහිටි ගම් අතරින් හැත්තෑව දශකයේ වැඩියෙන්ම කියැවුණ ගම වනුයේ මෙකී මුදුන්න ගම්මානයය. ඒ ශ්‍රී ලංකාවේ සරසවි පද්ධතිය පමණක් නොව මුළුමහත් සමාජයම ප්‍රකම්පනයට පත් කරමින්, පේරාදෙණිය සරසවි භූමිය ඇතුළත පොලිස් වෙඩි පහරින් මියගිය වීරසූරිය මුදියන්සේලාගේ වීරසූරිය, උපත ලබා හැදී වැඩුණේ මෙකී මුදුන්න ගම්මානයේ වීමය.   


ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය සටන් ඉතිහාසයේ පෙර ගමන්කරුවා වූ වීරසූරිය ඝාතනය අපේ රටේ ඉතිහාසයේ බොහෝ පාසල්වල සිසුන් ප්‍රථම වරට පාරට බස්සවා උද්ඝෝෂණ පැවැත්වීමට තරම් කම්පනයක් රට තුළ ඇති කළේය.   


එමතුදු නොව 1970 - 1977 සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව ආසන 8 කට බස්සවා ගෙදර යැවීමටද වීරසූරිය ඝාතනය ඍජුවම බලපෑවේය.   
උහුමීය, මුදුන්න හද්දා පිටිසර ගමේ ඩබ්ලිව්.එම්. පුංචි බණ්ඩාට දාව ආර්.එම්. ටිකිරි මැණිකාගේ කුසයෙන් වීරසූරිය මුදියන්සේලාගේ වීරසූරිය උපන්නේ 1954 සැප්තැම්බර් මස නව වැනි දිනය. කටුමැටි ගැසූ පොල්අතු සෙවිලිකළ කුඩාම කුඩා නිවසක උපන් වීරසූරිය ඉපදෙන විට අතමිට මොළවාගෙන පැමිණියේ දුප්පත්කම පමණි. 

 
පිරිමි පහක් සහ එකම එක ගැහැනු දරුවෙකුගෙන් යුක්තවූ පවුලක දෙවැනි පිරිමි දරුවා ඔහු විය. ඩබ්ලිව්.එම්. නායකරත්න වීරසූරියගේ වැඩිමහල් සොහොයුරා විය. වීරසූරියට බාල සොහොයුරන් තිදෙනෙක්ද එකම නැගණියක්ද විය. 

 
වීරසූරියගේ පියා ඩබ්ලිව්.එම්. පුංචි බණ්ඩාගේ රැකියාව වූයේ ගොවිතැනය. ගොවිතැන් කිරීමට කියා ඔවුනට මහා වපසරියක කුඹුරුයායක් තිබුණේ නැත. දෙකන්නයම වගා කළ හැකි ලියැදි තුන හතරකින් යුක්තවූ කුඹුරෙන් ලැබුණු අස්වැන්න අටදෙනෙකුගේ සාගින්න නිවීමට දායක වුණේ යාන්තමිනි.   
පළමු වැනි ශ්‍රේණියේ සිටම මුදුන්න මහා විදුහලේ ඉගෙනුම ලැබූ වීරසූරිය බාල කාලයේ පටන් ඉගෙනීමට දක්ෂයෙකු විය.   
වීරෙ අයියා ඉගනගන්න දක්ෂය. මට මතක ඇති කාලයේ පටන් අයියා පන්තියේ පළමු වැනි තුන්දෙනා අතර හිටියා. කුරුණෑගල උහුමීය ඩී.එස්. සේනානායක ප්‍රාථමික විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කළ ඩබ්ලිව්.එම්. රණසිංහ සිය සොයුරා පිළිබඳ අතීත මතකය ආවර්ජනය කරමින් වරක් මා සමග පැවසීය.   
වීරසූරිය මුදුන්න විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විය. ඔහු පාසලේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේද සාමාජිකයෙකු විය. මුදුන්න පාසලේ නාට්‍ය කණ්ඩායමේ උද්​ෙ‌යා්ගීමත් සාමාජිකයෙකු විය. ජවන හා පිටිය තරඟ වලින් වීරසූරිය දිස්ත්‍රික් ජයග්‍රහණය කර තිබුණි. කෙටියෙන් කිවහොත් පාසල් සමයේ වීරසූරිය ඕල් රවුන්ඩර් කෙනෙක් විය.   
පාසලේ මේ සියලුම දක්ෂකම් හමුවේ ඔහු පියාගේ ගොවිතැන් කටයුතුවලටද සහාය විය. පාසල් ගොස් නිවසට පැමිණ තියෙන දෙයක් කටට දෙකට අනුභව කරන වීරසූරිය උදැල්ලක් රැගෙන නතර වෙන්නේ තාත්තාගේ කුඹුරේය. වීරසූරිය පමණක් නොව පවුලේ අනෙක් සාමාජිකයෝද කුඹුරු වැඩවලට හවුල්වූහ. තමන්ගේ බඩකට පිරෙන්නේ, මෙම කුඹුර සාරවත් අස්වැන්නක් ලබාදුන්නොත් පමණක් බව පවුලේ සියලුදෙනාම අවබෝධ කරගෙන සිටියහ.   


පාසල් යන සමයේම වීරසූරිය පෙම්වතකුද විය. ඔහුගේ හිත ගත්තේද ඔහුගේ මෙන්ම ආර්ථික පසුබිමක් තිබූ යුවතියකි. එය අප නිතර අසා පුරුදු බොළඳ පාසල් ආදරයක් නොවීය. තමන් වැනි දුප්පතුන්ගේ ජීවිත ජයගත යුත්තේ අධ්‍යාපනයෙන් පමණක් බව දෙදෙනාම අවබෝධ කරගෙන සිටියහ.   
මේ නිසාම උසස් පෙළ පන්තිවලදී වීරසූරිය වඩාත් උනන්දුවෙන් ඉගෙනීමේ කටයුතුවල නිරත විය. උසස් පෙළ සමත්වී උපාධිය ලබාගතහොත් ගුරුවරයකු වශයෙන් හෝ රැකියාව කළ හැක. පොල්අතු සෙවිලිකළ කටුමැටි බිත්ති ඇති නිවස උළු හෙවිලිකර සිමෙන්තියෙන් බැඳුණ ගෙයක් කර මල්ලිලා තිදෙනාට සහ එකම නැගණියට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වීරසූරිය දිවා රෑ සිහින දැක්කේය.   
විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රතිඵල නිකුත්වුණි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පොල්ගහවෙල පාර්ලිමේන්තු ආසනයේ උහුමීය මුදුන්න පාසලෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිසුවෙක් සරසවි ප්‍රවේශය ජයගෙන තිබුණි.   


ඒ සිසුවා වීරසූරියය.   


විශ්වවිද්‍යාල ප්‍රවේශ ප්‍රතිඵල පිටවූ දින පවුලේ සියලුදෙනාටම ඉතාමත් ප්‍රීතිදායක දවසක් විය.   
කැඳ ටිකක් හරි බොන්න තියෙන කුඹුරු කෑල්ලක් විකුණලා හරි උඹට මම උගන්වනවා. උඹ හොඳට ඉ​ෙගනගනින් මගෙ බුදු පුතේ, උඹත් ඉගෙන ගෙන අනික් පොඩි උන්වත් උඩට ගනින් පුතේ, ඉස්තෝප්පුවේ ලෑලි බංකුවේ දිගාවී සිටි වීරසූරියගේ පියා පැවසුවේ දෙනෙත් බොඳවන කඳුළු කැට කරගැට පිරුණු අතින් පිසදමනා අතරතුරය.   
මහගමසේකරගේ නොමියමි කාව්‍ය සංග්‍රහයේ පියා මෙන් වීරසූරියගේ පියා දැවැන්ත සිහින මැව්වේ නැත. මුළු අහසම එළිය කරන සඳක් නොව තම පවුලට මග එළිය දක්වන පුංචි තාරකාවක්වත් වේ යැයි වීරසූරියගේ පියා ඩබ්ලිව්.එම්. පුංචි බණ්ඩා සිතුවේය. නමුත් නොමියමි කාව්‍ය සංග්‍රහයේ පියා මෙන්ම, පුංචි බණ්ඩාගේද සිහින පලදැරුවේ නැත.   
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යනවිට ලොකු සූට් කේසයක ගෙන යෑමට තරම් ඇඳුම් කැඩුම් වීරසූරියට තිබුණේ නැත. වීරසූරියට අවශ්‍ය කොට්ටා උර ඔහුගේ පාසල් පෙම්වතිය මසා දුන්නීය. අප්පොච්චා ද අලුත් ඇඳුම් කීපයක් මිලදී ගෙන දුන්නේය.   
ඒ වනවිට වීරසූරියගේ ලොකු අයියා, ඩබ්ලිව්.එම්. නායකරත්න බම්බලපිටිය පොලීසියේ කොස්තාපල් වරයකු ලෙස රැකියාව කරමින් සිටියේය. ඔහුද තම සොහොයුරාගේ විශ්වවිද්‍යාල ගමන සඳහා හැකි පමණින් දායක විය.   


එක්දහස් නමසිය හැත්තෑ හයේ මුල් කාර්තුවේදී වීරසූරිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයට ඇතුළුවිය. හිල්ඩා ඔබේසේකර ශාලාවේ වීරසූරියට නේවාසික පහසුකම් සැලසුණි.   
එකල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මණ්ඩපාධිපති වශයෙන් කටයුතු කළේ මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මෙම මණ්ඩපාධිපතිගේ ක්‍රියා කලාපයට එරෙහිව 1975 සිට ශිෂ්‍යයෝ අරගල දියත් කළහ.   
මේ සියල්ල පුපුරා ගියේ 1976 නොවැම්බර් දොළොස් වැනි දින උදෑසන යාමයේය.   
මුළු සරසවි පද්ධතිය පමණක් නොව, සමස්ත ලාංකික සමාජයම කම්පනයට පත්කරමින් සරසවි සිසුවෙකු මුල්වරට පොලිස් වෙඩි පහරකින් මරු වැලඳගත්තේය.   
ශිෂ්‍ය සටනකදී දිවිදුන් පළමු සිසුවා ලෙස ඉතිහාසයට එක්වෙමින් වීරසූරිය පොලිස් වෙඩි පහරකට ලක්ව විශ්වවිද්‍යාල භූමියක් තුළ ඝාතනය වූයේ එදිනය. වීරසූරිය ඝාතනයත් සමග අපේ රටේ සියලුම පාසල්වල සිසුහූ ඉතිහාසයේ ප්‍රථම වරට දැවැන්ත උද්ඝෝෂණයක යෙදුනහ. රටපුරා විශ්වවිද්‍යාල, වෘත්තීය සමිති සංවිධාන සහ කම්කරුවෝ විරෝධය පළකරමින් වීදිබටහ. මෙම උද්ඝෝෂණ වඩාත් යොමුවූයේ එවකට සිටි අධ්‍යාපන ඇමතිවරයා සහ උප අධ්‍යාපන ඇමැතිවරයා වෙතය. වීරසූරිය ඝාතනය පාර්ලිමේන්තුව උණුසුම් කරන්නට සමත්විය.   


සභාපතිතුමෙනි, පේරාදෙණිය සිද්ධිය සම්බන්ධයෙන් අපි ඊයේ යෝජනාවක් කල් දුන්නා. අපි යෝජනා කළේ පේරාදෙණිය සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කොමිටියක් පත්කර විභාගයක් පවත්වන්න කියායි. වැඩ බලන අගමැතිතුමාගෙන් දැනගන්න කැමැතියි, ඒ යෝජනාවේ තියෙන අදහස් පිළිගන්නවාද එහෙම කොමිටියක් පත්කරනවාද කියා. නොයෙක් නොයෙක් අවස්ථාවලදී ආණ්ඩුවේ ඇතැම් උදවිය මෙම වගකීම විරුද්ධ පාර්ශ්වයේ කරඋඩ දාන්න හදනවා. තව කොටසක් සමසමාජ පක්ෂය කර උඩ දාන්න හදනවා. අනුර බණ්ඩාරනායක හදනවා අධ්‍යාපන ඇමැතිගේ කර උඩ දාන්න. නමුත් මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනැ ආණ්ඩුවයි. විශ්වවිද්‍යාල පාලනය කරන ආණ්ඩුව තමයි පොලීසිය පාලනය කරන්නේ. එනිසා මධ්‍යස්ථ විභාගයක් පවත්වන්නේ නම් පාර්ලිමේන්තුවේ සෑම පක්ෂයක්ම නියෝජනය කරන කොමිටියක් පිහිටවිය යුතුයි. නැතිනම් කොමිෂන් සභාවක් පත්කරන්න. වීරසූරිය ඝාතනය සම්බන්ධයෙන් එවකට විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන කළ ප්‍රකාශය 1976 නොවැම්බර් 16 දින හැන්සාර්ඩ් වාර්තාවේ සඳහන් ​ෙවන්නේ එසේය.   


වීරසූරිය ඝාතනය පිළිබඳව සොයා බැලීමට කොමිෂන් සභාවක් පත්කෙරුණි. එහි කොමසාරිස්වරයා වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩී. විමලරත්නය. කොමිසම රැස්වූයේ මහනුවර රතුකුරුස සමාජ රැස්වීම් ශාලාවේය. වීරසූරිය ඝාතන කොමිෂන් සභා වාර්තාවේ සමහර කොටස් 1977.02.03 දින ප්‍රසිද්ධියට පත් කරන ලදී.   
වීරසූරිය ඝාතනය සිදුවන කාලයේ ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක්ව තිබුණි. විශ්වවිද්‍යාලයේ තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂවලට හිතවත් ශිෂ්‍ය සංගම්ය.   
කොමිෂම් වාර්තාව අවධාරණයෙන් සඳහන් කළ අන්දමට කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් එක් ශිෂ්‍ය නායකයකු හැර අනික් ශිෂ්‍ය නායකයන් සියලුදෙනාම සාක්ෂි දී ඇත්තේ කිසියම් දේශපාලන හිතවත්කමක් සිතෙහි සඟවාගෙනය.   


දේශපාලන පක්ෂ ජාතීත්වයෙන් තොරව සාක්කි දුන් ශිෂ්‍ය නායකයා ලෙස සඳහන්ව තිබුණේ නිහාල් සෝමරත්නය. වීරසූරිය ඝාතන කොමිසමේ සාක්ෂි දෙනවිට නිහාල් සෝමරත්න ඉංජිනේරු පීඨ සංගමයේ සභාපතිවරයා විය.   
පසු කාලයක ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු විය.   
වීරසූරිය ඝාතනයවීම දිගින් දිගටම සිදුවුණ සිද්ධීන් මාලාවක එක් පුපුරා ගිය ස්ථානයක්. නිහාල් සෝමරත්න වසර හතළිස් හතරකට එහා අතීත හන්තාන මතකයන් සිහිපත් කරන්නට විය.   
ඔය සිද්ධිය වෙන කාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මණ්ඩපාධිපති මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේය. විශ්වවිද්‍යාලය තුළ එයට විරුද්ධව ගැටුම් ගොඩක් තිබුණා. වීරසූරිය ඝාතනය සිදුවෙන්න ටික දිනක ඉඳලම විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ මණ්ඩපාධිපති මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ අතර අර්බුද ගොඩනැගී තිබුණා. එ්වා විසඳුණේ නැහැ. ඒක නිසා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනය කළා. ඔය වැඩ වර්ජනය දින කීපයකට දිග්ගැස්සුනා. නිහාල් සෝමරත්නට එම අතීතය හොඳින් මතක තිබුණි.   


ඔහු පැවසූ පරිදි එකල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල නේවාසිකව සිටින සිසු සිසුවියන්ට ආහාර පිසින ලද්දේ එම නේවාසිකාගාර තුළමය. අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩ වර්ජනය කිරීම නිසා නේවාසිකයින්ට ආහාර සැපයීම වැලකුණි. මෙනිසා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වර්ජනය සිසු සිසුවියන්ට තදින් දැනුණි. එනිසා සිසුන් රාශියක් සෙනෙට් ගොඩනැගිල්ලෙහි වූ මණ්ඩපාධිපති කාර්යාලය වටලා මණ්ඩපාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය කාර්යාලය තුළම රඳවාගෙන සිටියහ. නොවැම්බර් එකළොස් වැනි දින සවස් කාලයේ සිට දොළොස් වැනි දින පාන්දර දක්වා මණ්ඩපාධිපති කාර්යාල අඩස්සියේම රඳවා ගැනීමට සිසුහු සමත් වූහ.   
විශ්වවිද්‍යාල පාලන අධිකාරියේ ඉල්ලීම පරිදි දොළොස් වැනි දින පාන්දරම පොලිසිය විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවූයේ කැරලි මර්දනයට අවශ්‍ය උපකරණ හා ආරක්ෂාවද ඇතිවය. සෙනෙට් ගොඩනැගිල්ල සමීපයට පැමිණි පොලිසිය මුලින්ම සිදුකළේ මණ්ඩපාධිපති කාර්යාලය වටලා සිටි සිසුන් වෙත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමය. කඳුළු ගෑස් ප්‍රහාරයෙන් අඩපණව සිටි සිසුන් වෙත කඩාවැදුන පොලිසිය සිසුන්ට දිගටම බැටන් ප්‍රහාර එල්ල කරන්නට විය. බැටන් ප්‍රහාර නිසා තුවාල ලද සිසුහු ආරක්ෂාව පතා දුවයන්නට වූහ. කඳු ගැටයක් උඩ පිහිටි සෙනෙට් ගොඩනැගිල්ලේ සිට ගලහ පාර ඔස්සේ ද සිසුන් දිවයන්නට වූහ.

   
වීරසූරිය, නේවාසිකව සිටියේ හිල්ඩා ඔබේසේකර ශාලාවේය. අනධ්‍යයන කාර්යය මණ්ඩල වර්ජනය නිසා අනික් නේවාසිකාගාරවල මෙන්ම වීරසූරියගේ නේවාසිකාගාරයේද ආහාර පිළියෙල වීමක් සිදුවූයේ නැත. වීරසූරිය ශිෂ්‍ය උද්ඝෝෂණයට සහභාගී වූවෙක් නොවීය.   
උදෑසන නින්දෙන් අවදිවූ ඔහුට තේ කෝප්පයක් පානය කිරීමට අවශ්‍යය විය. ඒ වනවිට ප්‍රධාන ශිෂ්‍ය මධ්‍යස්ථානය අසලවූ ආපනශාලාව විවෘත කර තිබුණි.   
ඒ හාල් නැතිව බත් කන, සීනි නැතිව තේ බොන කාලය විය.   


වීරසූරිය තම කාමරයේ තිබූ සීනි බෝතලයෙන් සීනි බිඳක් කුඩා කොළ කැබැල්ලක ඔතාගෙන තම කමිසය සාක්කුවේ රුවාගෙන නේවාසිකාගාරයෙන් පිටවූයේ හිස්ව තිබූ කුස කහට කෝප්පයකින් හෝ පුරවා ගැනීමටය. වීරසූරියට පොලිස් වෙඩි පහර එල්ලවනුයේ එම අවස්ථාවේය.   
වීරසූරියට වෙඩි වැදුණ ස්ථානයේ සිට සෙනෙට් ගොඩනැගිල්ලට මීටර් 100 ක දුරක් තිබුණි.   
සෙනට් ගොඩනැගිල්ල සිට ගලහ පාර ඉලක්කකරගත් වෙඩි හඬවල දෝංකාරය හන්තාන කඳු මුදුන් සිසාරා විසිරෙන්නට විය. කුරිරු වෙඩි උණ්ඩයක් වීරසූරියගේ සිරුර පසාරු කරගෙන ගියේ, කහට කෝප්පයක් බීමට මැණිකක් මෙන් පරෙස්සමින් සාක්කුවේ දමාගෙන ආ සුදු සීනි රත්පැහැ ගන්වමිනි.   
මෙම සිදුවීමත් සමඟ සරසවි සිසුන්ගේ ප්‍රතික්‍රියා වඩාත් ප්‍රචණ්ඩ විය. අරුණාචලම් ශාලාව ඉදිරිපිට මාර්ගය හරහා ගසක් කපා දමා මාර්ගය අවහිර කළෝය. ඒ අතිරේක පොලිස් හමුදා විශ්වවිද්‍යාලයට ඇතුළුවීම වැළැක්වීමටය. පොලිස් වාහන, මාර්ග බාධක ඉවත්කරමින් සරසවි නිලධාරීන් විශ්වවිද්‍යාලයෙන් බැහැරට ගෙන ගියහ.   
සිසුහු පොලිස් වෙඩි පහරට ලක්වූ වීරසූරියගේ සිරුර රථයක දමාගෙන කඩිනමින් රෝහල වෙත ගෙනගියද ඒ වනවිටත් ඔහු මියගොස් තිබුණි.   
පවුලක සුබ සිහින වගකීම් විරහිත පොලිස් උණ්ඩයක් සුනුවිසිනු කළේ එසේය.   


ගමේ කට්ටිය මහනුවර ගිහිල්ල වීරෙ අයියගෙ දේහය අරගෙන ආවා. පැය විසිහතරක් ඇතුළත මිනිය පිළිබඳ අවසාන කටයුතු කරන්නය කියල තිබුණා. පොලිසියෙ හිටිය නායකරත්න ලොකු අයියත් ඒකම තමයි කිව්වෙ. විශාල සෙනඟක් මැද මුදුන්න සුසාන භූමියේදී වීරෙ අයියගෙ අවසාන කටයුතු සිදුකළා ඩබ්ලිව්.එම්. රණසිංහ පැවසුවේ සොයුරු පෙමින් නැඟෙනා කඳුළු පිසදමමිනි.   


1977 එක්සත් ජාතික පක්ෂ රජය බිහිවීමෙන් පසු එවකට නිවාස හා ඉදිකිරීම් ඇමැති ආර්. ප්‍රේමදාස මහතා පැමිණ වීරසූරියගේ මවට සහ පියාට නිවසක් ඉදිකර දුන්නේය. මුදුන්න පාසලට රැස්වීම් ශාලාවක් ඉදිකරදී එය වීරසූරිය ශාලාව යනුවෙන් නම් කළේය. මුදුන්න පාසලේ වීරසූරිය සමරු ප්‍රතිමාවක් ඉදිකර දුන්නේය.

 

 

පීටර් කැනියුට් පෙරේරා