​පෙරභවයේ පොළඟා කෑ කකුල පෙන්වූ දරුවෙක්


පෙර භවයේ  ප්‍රබල සාක්කි

පොළඟා දෂ්ට කළ කකුල පෙන්වයි

 

 

වෙළෙඳ ව්‍යාපාරික තම පියාගේ මරණින් පසු පවුලේ සොයුරු සොයුරියන්ට මහත් ආදරයෙන් සැලකූ තරුණයෙකු නම් ලබා තිබුණේ ‘විමලවීර’ යනුවෙනි. මවගේ දැඩි ආදරයද ඔහුට හිමි වී තිබිණි. ඔවුන් විසින් පවත්වානෙ ගිය වෙළෙඳසල පිහිටා තිබුණේද නිවසට ආසන්නයේ ය. දිනකට කීප විටක් නිවසේ සිට නගරයට යාමද මෙම තරුණයාගේ සිරිත වී තිබිණි.   
එදා 1976 දෙසැම්බර් 20 වැනිද‌ාය. ඔහුගේ විසිවැනි උපන් දිනය පසු කර ගතවූයේ හරියටම දින දොළහකි. රාත්‍රි ආහාර ගත් ඔහු නිවසින් පිටව නගරය දෙසට යෑමට මාර්ගයට පැමිණියේය. ටික දුරක් ගමන් ගත් ඔහුට හදිසියේම තම කකුලේ කිසියම් දෙයක් පැටලුණු බවත් දැනුණි. සර්පයෙකු විය හැකියයි ඔහුට සිතුණි 

 
පියවර කීපයක් ඉදිරියට යාමත් සමග ඔහුට කකුලෙන් වේදනාවක් දැනෙන්නට විය. විසකුරු සර්පයන් පිළිබඳව අවබෝධයක් ඇතිව සිටි ඔහුට තම කකුලට නිසැකවම කිසියම් සර්පයෙකු දෂ්ට කර ඇතැයි සිතුණි. ඔහු ආපසු නිවසට පැමිණියේය. සිය සොහොයුරාටද ඒ බැව් දැනුම් දුන්නේය. මවට ඒ බැව් කන වැටුණි. මව මහත් සේ කලබල වූවාය.   
තම කකුලට දෂ්ට කළේ පොළ​ෙඟකු විය යුතු බැව් තරුණයාට අවබෝධ විය. ඔහු ඒ බැව් මවටද ප්‍රකාශ කළේය. මව ඇතුළු පවුලේ සියල්ලෝම එකතු වී ඔහු වහා වෙද මහතෙකු වෙත ගෙන ගියහ. සර්ප විෂ වෙද මහතා ප්‍රතිකාර ආරම්භ කළේය. දෙදිනක් ගතවිය. සුවයක් ලැබෙන බව දක්නට නොලැබිණි. ‘‘මාව සනීප කරන්න පුළුවන්ද?’’ තරුණයා නිතර නිතර වෛද්‍යවරයාගෙන් විමසා සිටියේය.   


සුවයක් නොලැබෙන බැව් දුටු මව වහා පුත්‍රයා රජයේ රෝහලට රැගෙන ගියාය. එහිදී ප්‍රතිකාර ආරම්භ කැරිණි. එහෙත් ඔහුට සුවයක් ලබාගැනීම අපහසු විය.   
1976 දෙසැම්බර් 27 වැනිදා ඔහු අවසන් හුස්ම හෙළීය. පවුලේ අය පමණක් නොව ප්‍රදේශ වැසියන්ගේද ඉමහත් ආදරය ලබා සිටි මෙම තරුණයාගේ මරණය පිළිබඳව අැසූවන් සියල්ලෝම බලවත් කම්පාවට පත්වූහ. ඔහුගේ අවමංගල්‍යයට විශාල පිරිසක් පැමිණ සිටියහ. ඔහු හොඳින් දන්නා හඳුනන විවාහකයෙකු වූ කරුණාරත්න ද එම මළගමට සහභාගි වූයේ සිය බිරියත් සමගය. ඒ වන විට කරුණාරත්න මහතා සේවය කළේ ගිනිගත්හේන තැපැල් කාර්යාලයේය.   


සති කීපයක් ගතවිය. කරුණාරත්න මහතාගේ බිරිය ප්‍රේමලතාටද මියගිය තරුණයාගේ මව ඇතුළු සොයුරු සොයුරියන් දුක්වන අයුරු දකින විට ඇයටද ඇතිවූයේ දැඩි කම්පාවකි.   
‘මළ ගෙවල්වලත් ගියා මෙහෙම මළගේක නම් ගියේ නැහැ’ ප්‍රේමලතා සිය සැමියා සමගද කීවාය. සති කීපයක් ගතවිය. තවත් දරු සම්පතකට ඇය උරුමවී සිටියාය. දරුවා බිහිවීමේ කාලය සම්පූර්ණ වීමත් සමග 1977 සැප්තැම්බර් 17 වැනිදා රජයේ ​ෙරා්හලේදී ඇය පුතෙකු බිහි කළාය. එම දරුවාට වසන්ත යනුවෙන් නම් තැබිණි.   
මාස කීපයක් යන විට තම සිඟිති දරුවා මහත් සේ බියපත්වී හඬන බවක් මවට දක්නට ලැබිණි. අන් දරුවන්ට වඩා මෙම දරුවාගේ සිහිනෙන් බියපත්වීම වැඩි වශයෙන් සිදුවන බවත් මවට දක්නට ලැබුණි. මේ අයුරින් ඔහු බහතෝරන වියට පත්විය. වචනයක් දෙකක් ප්‍රකාශ කරන අවධිය වන විට ‘කයියෝ කෑවා’’ ‘කයියො එනවා’ යයි ඇතැම් විට නිදියහනේ සිටම ඔහු කියන්නට විය.   


තම සිඟිති දරුවා කරන මෙම ප්‍රකාශයත් සිහිනෙන් බියපත්වීමත් මවට ගැටලුවක්ව තිබිණි. තවත් දිනක් මව ඇමතු දරුවා ‘මගේ කකුල කයියෙක් කෑවා’ යයි පැවසීය. කලබල වූ මව දරුවාගේ කකුල පිරිමැද කකුල පරීක්ෂා කළාය. ඔහු පවසන ස්ථානයේ කිසිවක් මවට දක්නට නොලැබිණි. කෑවේ කොහේදිද? යයි මව පුංචි වසන්තගෙන් විමසීමක් කළාය. ක්ෂණිකව පිළිතුරු දුන් දරුවාගේ පිළිතුර වූයේ ‘ඉස්කෝලෙ ළඟදි’ යනුවෙනි.   
තම පුත්‍රයා ඒ වන විට කිසි දිනක පාසල ඇති ප්‍රදේශයට හෝ ඇවිද ගොස් නොතිබූ නිසා එම ප්‍රකාශය මවගේ මවිතයට හේතුවීය. නැවතත් මව ඇමතු වසන්ත ‘ඉස්කෝලෙ තියෙන්නෙ ගේ ළඟ’’ යයිද කීවේය. තම පුත්‍රයාගේ මෙම ප්‍රකාශ ඔහුගේ පෙරභවයක් පිළිබඳව හෙළි කිරීමක් ලෙස මව නොසිතුවාය. ඒ වන විට දෙහැවිරිදි වියේ පසු වූ වසන්ත ප්‍රකාශ කරන ඇතැම් වචන තරුණයකු භාවිත කරන වචනවලට සමාන වන බවක්ද මවට දක්නට ලැබිණි.   
දිනක් ගෙමිදුලට බැස සිටි වසන්ත ඒ දෙස බලා ‘‘මචං වත්ත සුද්ද කරලා’’ යැයි කීවේය. වැඩිහිටියන් ප්‍රකාශ කරන වදනක් තම දරුවාගේ මුවින් පිටවීම පිළිබඳවද මව අවධානයක් යොමු කර සිටියාය. තවත් දිනක් වත්තේදී සර්පයෙකු දුටු වසන්ත ‘අනේ මගේ කකුල කාවිද දන්නේ නෑ’’ යැයි මහත් බියෙන් කීවේය. තවත් දිනක ඔහු එක්වරම ‘අපිට කඩයක් තියෙනවා’’ යයිද කීවේය.   


තම පුත්‍රයා පෙරභවයක තොරතුරු හෙළි කරන්නේද යන්න පියාටද සැක පහළ වී තිබිණි. විශේෂයෙන්ම කඩයක් තිබීම ගැනත් පාසල අසලදී කකුල කෑ බවකුත් හෙළි කිරීම නිසා වසන්ත හෙළි කිරීමට උත්සාහ කරන්නේ පොළ​ෙඟකු දෂ්ට කර මියගිය තරුණයාගේ තොරතුරු යයි මාපියෝ සැක සිතුහ.   
මල්ලි කෙනෙක් සිටි බවත් අම්මා ගෙදර ඉන්නවා යනුවෙන්ද ඔහු නැවත දිනක ප්‍රකාශ කළේය. එම තොරතුරු අතර පෙර භවයේ පුද්ගල නමද ඔහු මතකයෙන් හෙළි කළේය. වසන්ත අනාවරණය කරන තොරතුරු ප්‍රදේශය පුරා පතළවීමත් සමග මියගිය තරුණයාගේ පවුලේ අයටද දැන ගන්නට ලැබිණි. ඒ අනුව පෙරභව නිවසට යාමටද කුඩා වසන්තට අවස්ථාව ලැබිණි.   
මේ අයුරින් අනාවරණය වූ වසන්ත​ෙග් පුනර්භව සිදුවීම පිළිබඳව පර් යේෂණයක් පැවැත්වීමට අපටද අවස්ථාව ලැබිණි. වසන්තගේ මාපියන් සහ ඔහුගේ පෙරභවයේ මව ඇතුළු ඥාතීන්ගෙන්ද කරුණු විමර්ශනය කිරීමට හැකිවිය.   


වසන්ත පෙරභව නිවසට ගිය අවස්ථාවේ පෙරභවයේ ඔහුගේ කාමරයට ගොස් එය හඳුනාගැනීමද සිදු වූ බැව් පෙරභව මවගෙන් අසන්නට ලැබිණි. නිවස සොයාගිය අවස්ථාවේ ඔවුන් ඇති කළ ගවයන් පිළිබඳවද වසන්ත නිවැරැදිව හෙළිකරනු ලැබීය. වසන්ත පෙරභව නිවසට පැමිණි අවස්ථාවේ සිදු වූ හඳුනාගැනීම් පිළිබඳව එදා පෙරභවයේ මව අප සමග හෙළි කළේ මෙසේය.   
‘‘මෙම පුනර්භව කතාව හෙළිවනතුරු වසන්තගේ මව​ හෝ පියා මා හැඳිනගෙන සිටියේ නැහැ. ඒ වුණාට මගේ මැරුණ පුතයි වසන්තගෙ තාත්තයි දැනහැඳුනුම්කම් තිබුණා. ඒ ළමය මගේ පුතාගෙ තොරතුරු හෙළි කරන බැව් මට ආරංචි වුණාට පස්සෙ එයාව අපේ ගෙදරට එක්ක එන්න කියල මම කිව්වා.   
එද‌ා වසන්ත හැසිරුණේ ගෙදර හොඳට හුරු පුරුදු කෙනෙක් විදියටයි. ‘අම්ම කියල මාව පෙන්නුවේ නැහැ. ඒ වුණත් ගෙදරට ඇවිත් හොඳට වට පිට බලලා ගේ ඇතුළේ කාමරයට ගියා. ඒ වෙලාවේ කාමරය ඇතුළේ දිය රෙද්දක තිබිල වතුර හැලිල තිබුණා. ඒක දැකපු ගමන් වසන්ත ‘කව්ද මගේ ඇඳ ළඟ වතුර හලලා’’ යළි කීවා. ඒ කාමරය තමයි මැරුණ පුතා හිටපු කාමරේ.   


ඊට පස්සෙ එයා ගේ ඇතුළට ගිහින් බල්ල කෝ? කියලා ඇහුවා. එයා හිටපු කාලෙ සිටි කුකුළො ගැනත් හරක් ගාල ගැනත් ඇසුවා. ගේ පිටුපස්සට ගිහින් හරක් හිටි තැනට ගියා. ටික වේලාවක් ඒ දෙස බලා හිටියා. එක පාරටම ‘ඉන්නවා ඉන්නවා’ කියල කෑගැහැව්වා. එයා හිටිද්දි ගෙදර සිටි එළදෙනෙක් එ් වන විටත් එතන හිටියා. ඒ සතාව අඳුනගත්තා කියල මට හිතෙනවා’’ යයි පෙර භවයේ මව එදා අප සමග කීවාය.   
‘කයියො කෑවා කියල ඒ පුංචි දරුවා එයාගෙ කකුල පෙන්වපු ස්ථානය මගේ පුතාට පොළඟා දෂ්ට කළ ස්ථානය එක සමාන බවක් තිබුණා යැයි එදා වසන්තගේ පෙර භවයේ මව පැවසුවාය.   


වසන්තගේ පෙරභව තොරතුරු විමර්ශනයෙන් වසර ගණනකට පසු ඔහුගෙන් පෙරභව මතක සටහන් පිලිබඳවද විමසීමට අපට අවස්ථාව ලැබිණි. එහිදී අසන්නට ලැබුණු අතිවිශේෂ හමුවීමක් තිබේ. එනම් වසන්ත විසින් කීප විටක්ම පොළගුන් සොයා උන් ඉවත් කිරීමය. එහෙත් ඒ සියලු අවස්ථාවලදී ඔහුගේ ජීවිතයට කරදරයක් වී නොමැත. පෙර භවයේ පොළගා දෂ්ට කළ මාර්ගය පසු කර යන විට ඔහුට පෙර සිදුවීම යළි මතකයට නැගුණු බැව්ද වරක් ඔහු අප සමග පැවසීය. මෙම ලිපිය ලියන විට වසන්ත පිළිබඳව දුක්මුසු පුවතක් අනාවරණය කිරීමට සිදුවී තිබේ. එනම් මීට මාස තුනකට උඩදී ඔහු මෙලොවින් සමුගෙන තිබීමය. හදිසි හෘදයාබාධයක් ඇති වී ඔහු මියයන විට 42 වැනි වියේ පසුවිය. ඒ වන විට ඔහු විවාහක දෙදරු පියෙකු වී සිටියේය.   


වසන්තගේ පුනර්භව සාධකය පිළිබඳව සිදු කළ පර් යේෂණයකදී ඔහු පෙරභව නිවසට ගිය විට සිදු වූ හඳුනාගැනීම් පිළිබඳව වර්ජිනියා විශ්වවිද්‍යාල​ෙය් පුනර්භව පර් යේෂණ වාර්තාව පෙරභව නිවසේදී වසන්තගේ හඳුනාගැනීම් අතර ඔහුගේ නිවසේ කාමරය සහ ඇඳ ප්‍රධාන තැනක් ගෙන තිබූ බවද සඳහන් කර ඇති ඇත. එය මෙසේය.   
WHEN VASANTHA WAS TAKEN TO THE HOUSE OF PREVIOUS BIRTH HE BEHAVED LIKE A PERSON FROM THAT HOUSE HIS MOTHER OF THE PREVIOUS BIRTH WAS AT HOME ALONG WITH THE OTHER BROTHERS AND SISTERS HE LOOKED ABOUT THE HOUSE CAREFULLY AS IF COME AFTER A LONG ABSENCE AND ASKED ''WHERE IS MY DOG? SO SAYING HE CAME INTO THE HOUSE AND WALKED INTO A ROOM AND HE FOUND THE FLOOR NEAR THE BED WET WITH WATER SEEING THIS HE ASKED AS TO WHO SOILED WATER NEAR HIS BED. THIS WAS THE SAME BED THAT WIMALAWEERA USED WHEN HE WAS LIVING   


වසන්ත පෙරභවය හෙළිකිරීමේ පුනර්භව සාධකයේ තවත් විශේෂ සිදුවීමක් තිබේ. එනම් වසන්ත මව් කුස පිළිසිඳ ගැනීමට ප්‍රථම ඇය දුටු සිහිනයකි. වසන්තගේ මව වෙත සිහිනෙන් පැමිණි අයෙකු මගින් මියගිය තරුණයාගේ නම ශ්‍රවණය වීමයි. 

 

 
තිස්ස ජයවර්ධන