​දොස්තර පීල්ල ළඟ පීලි පැන්න දුම්රිය


පුංචි කෝච්චිය නුවරඑළියට ගිය පාර දිගේ-3

කඳපොළ නිල නිවස

පාලමේ දැන් තත්ත්වය

බ්‍රෝක්සයිඩ් දුම්රිය ස්ථානය

දුම්රිය අනතුර

 

‘කඳු ගැට නැග නැග පල්ලම් බැස බැස සද්දෙට හූ හඬ කෝච්චි යනවා’. දුම්රිය ගමනක දුෂ්කරතාවයත් සුන්දර බවත් එකම අරුත් අතර සැඟවුණු මෙම කවිය අතීතයේ නුවරඑළිය සිට රාගල තෙක් දුම්රිය මාර්ගය නිසා දුවා දරුවන්ට කීමට පවා හැකි කාලයක් තිබුණා නම් ඒ ඔවුන් එකල පුංචි කෝච්චිය දෑසින් දුටු නිසාවෙනි. නමුත් මීට වසර 60 කට පමණ පෙර ආර්ථික අලාභ සහ මහා මාර්ග පද්ධතියේ දියුණුව හේතුවෙන් වසා දැමුණු ලංකාවේ පටු දුම්රිය මාර්ගයක් වන උඩුපුස්සැල්ලාව (UPR) දුම්රිය මගේ නටබුන් සොයා යන චාරිකාවේ තෙවන දිගහැරුම මෙසේය.   


පෙර සතියේ දෙවන දිග හැරුමේ පරිදි අප එවකට නුවරඑළිය දුම්රිය ස්ථානය වූ නමුත් අද වන විට නුවරඑළිය ලංගම ඩිපෝව ලෙස භාවිත කරන ඉසව්වේ සිට ගමන් ඇරඹියේ කඳපොළ දුම්රිය ස්ථානය සොයා ගෙනය. කඳපොළ දුම්රිය ස්ථානය යනු මෙරට දුම්රිය පද්ධතිය තුළ වැදගත් ස්ථානයක් ලෙස එවකට පැවතුනි. මන්ද කඳපොළ යනු එවකට මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානය වූ හෙයිනි. වර්තමානය වන විට ලංකාවේ ඉහළින්ම ඇති දුම්රිය ස්ථානය යනු කොළඹ සිට පැමිණෙන විට උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි පට්ටිපොළ දුම්රිය ස්ථානයයි. උසින් අඩි 6204ක් නොහොත් මීටර් 1891ක් ඉහළින් පිහිටි පට්ට්පොළ දුම්රිය ස්ථානයේ අතීතයේ දෙවැනි වූයේ කඳපොළ දුම්රිය ස්ථානයටයි.   
කඳපොළ දුම්රිය ස්ථානය පිහිටියේ මුහුදු මට්ටමේ සිට අඩි 6316ක් නොහොත් මීටර් 1925ක් ඉහළිනි. වර්තමානයේ උඩරට දුම්රිය මාර්ගය අඩි 6226ක් ඉහළක පවා උපරිම උසකින් ගමන් කළද අතීතයේ එ් සියල්ලම වඩා උසින් කඳපොළ දුම්රිය ස්ථානය වැජඹුණු බව නොරහකි. එපමණ ඉහළින් කඳපොළ පැවතුන ද රථ වාහන ගමන් කරන මාර්ගයක් ඊට සමීපව පැවතුණි. නමුත් ලංකාවේ උසින්ම පිහිටි දුමිරිය ස්ථානයට උරුමකම් කී කඳපොළ දුම්රිය ස්ථානය අද දැඩි ලෙස අබලන් වූ ගොඩනැගිල්ලකි.   


පුද්ගලික අංශයකට අයත් එම ගොඩනැගිල්ල අද ජරාජීර්ණ වී සුන්බුන් ගොඩක් වැනිය. හාවාඑළිය පසු කොට අප වලපනේ මාර්ගයේ ඉදිරියටම ගමන් කළේ මද වැස්සක් අතරතුරය. වංගු ගැසී යන මාර්ගය අවට තේ වතුවලින් පිරී තිබුණි. පසෙකින් කන්දක් සහ අනෙක් පසින් හෙලත් පිහිටි මෙම මාර්ගය වැසි දිනවලදී එකම වතුර ගලා යන ඉසව්වක් බඳුය. උඩුපුස්සැල්ලාව දුම්රිය මඟේ දුම්රිය ස්ථාන දෙකක් අතර වැඩිම දුර පවතින්නේ නුවරඑළිය සහ කඳපොළ අතරය. එය ආසන්න වශයෙන් සැපතපුම් පහමාරක් වන අතර එම දුර වැඩි බව නිසාම ඒ අතර දුම්රිය නැවතුම්පොළවල් තුනක් ඉදි කරන ලද්දේ තේ ප්‍රවාහනයේ අවශ්‍යතාව තිබූ බැවිනි.   


නුවරඑළියේ සිට සැතපුම් දෙකක් දුරින් ප්‍රථම දුම්රිය නැවතුම්​ෙපාළ වූ පීඩ්රූ නැවතුම්පළ ඉදි වූ අතර ඊට සැතපුම බැගින් දුර අතර සමර්හිල් සහ පෝර්ට්වුඩ් දුම්රිය​ෙපාළවල් ඉදි වුණි. පෝර්ට්වුඩ් සිට සැතපුම් එකහමාරක් දුරින් කඳපොළ දුම්රිය ස්ථානය ඉදිවිණි. අතීතියේ දුම්රිය ගමන් කළේ වර්තමාන මාර්ගයට වම් පසිනි. කඳු වැටි අතරින් වංගු ගැසී ගිය පුංචි කෝච්චිය දොස්තර පීල්ල සහ ගල් පාලම අතර තවත් දුම්රිය පාලමක් උඩින් දිව ගියේය.   


ගල් පාලම යනු වර්තමාන නුවරඑළිය කඳපොළ ප්‍රධාන මාර්ගය යා කරන දැවැන්ත පාලමකි. එය ගල් මගින් සෑදූ අලංකාර පාලමක් වන අතර, ඒ යටින් කුඩා දියදහරාවක් ගලා ගෙන එයි. ඊට මීටර් සියයක් පමණ වම් පසින් දුම්රිය ගමන් කරන ලද පාලමක් වූ අතර එය තුරඟ පිටිය අසල හමු වූ පාලමට වඩා පැහැදිළි සහ ඉහළකින් පිහිටි පාලමක් විය.   
අප එහි යන දිනයේ ප්‍රචණ්ඩ වර්ෂාවක් පැවතුණු අතර පාලම යටින් ගලා යන වියරු ජල කඳ හේතුවෙන් මඩේ එරීගෙන ඉවුර අසලට ගොස් පාලමේ ඉදිරිපස ඡායාරූපයක් ගත්තේ අවද‌ානමකිනි. ඒ අසල කුඩා නිවාස කිහියක් වූ අතර පාලම නිවාසවලටත් ඉහළින් පිහිටා තිබුණි. ජලයේ සැඩ පහර හා අවද‌ානම ගැන දෙවරක් සිතාම සිය වසකට වඩා පැරණි පාලම මතට නැගීමට අප සැරසුණෙමු. පාලමේ සමහර යකඩ කැබලි ඇතැමුන් ගලවා ගෙන ගොස් තිබූ නමුත් අපි හෙමි හෙමින් යන්තමින් තිබූ කුඩා යකඩ තීරුවක් දිගේ පාලමේ මැදට ගියෙමු.   


එලෙස අප ගියේ පාලමේ මැද තිබූ ලාංඡනයක සමීප ඡායාරූපයක් ගැනීමටයි.   


රක්ත පැහැ ගැන්වූ විශෘල යකඩ ඇඳි සහිත පාලම ඉතා ශක්තිමත්ය. සීල් කරන ලද ඇණ තවමත් එලෙසය. විශාල ලෙස මල බැඳීමක් සිදුව නොමැති අතර, පාලම මතින් පිටතට එබී අප එම ලාංඡනයේ ඡායාරූපයක් ගත්තෙමු. එහි ලියා තිබුණේ මෙම වදන් පෙළ විය. The Horseley Co.Ltd. Engineers. Tipton Stafford Shire England 1901.   


 එහි පැහැදිළිවම පාලම තැනූ වර්ෂය සහ එහි එංගලන්තයේ සමාගමක් විසින් කර වූවක් බව සඳහන් විය. තුරඟ පිටිය අසල පිහිටි පාලමට වඩා මෙම පාලම ඉතා පැහැදිලිව තිබුණි. නමුත් එයද වල් වැදීමට පසෙකට කරලූවකි. පුංචි කෝචිචිය නුවරඑළිය පසු කොට ඉහළට යන මඟේ හමුවන අවසන් පාලම වූයේ මෙයයි.   


මේ අවට වැසියන් මෙම පාලම පුංචි කෝච්චිය ගමන් කළ පාලම බව දන්නා මුත් ඔවුන් හට එහි කිසිදු වටිනාකමක් දක්නට නොලැබෙන බව පැවසීය.   


කෙසේ හෝ මද වේලාවක් පාලම අසල හිඳිමින් වර්ෂාවට අසු වෙවී එහි සුන්දරත්වය චිත්තරූප මවා ගත්තේ අතීතයේ දුම් ද ද‌ා හූ හඬ නගමින් අඩි දෙකහමාරේ රේල් පීල්ල උඩ ඉබි ගමනින් යන පුංචි කෝච්චියයි. මීළඟට අපි අපේ නැවතුම්පළ වූ කඳ‌පොළ දුම්රිය ස්ථානය සොයා මාර්ගය දිගේ ගමන් කළෙමු. කඳපොළ සිට රාගලට යන වර්තමාන මාර්ගයේ අතීතයෙන් පුංචි කෝච්චිය ගමන් ගත් මාර්ගය වූ අතර ප්‍රවාහනයේ දියුණුව තුළින් පුංචි කෝච්චිය අද නටබුන් බවට පත්ව ඇත.   


 කඳපොළ නගරය ආසන්නවත්ම මාර්ගයේ දකුණු පසින් තවත් වැදගත් ගොඩනැගිල්ලක් දුටුවෙමු. එය කඳපොළ දුම්රිය ස්ථානාධිපති නිල නිවස විය. එය තවමත් හොඳ තත්ත්වයේ ඇති නමුත්, කිසිවෙකුත් එහි වාසය නොකරන බව පෙනුණි. ළා කොළ වර්ණයෙන් ආලේපිත ලෑලි ක්‍රමවත්ව තබා සෑදූ විශාල නිවසක් හා කුඩා ඉඩමක් එහි වූ අතර, ඊට මීටර් 150ක පමණ දුරින් අපට හමු වුණේ අභාවයට යන කඳපොළ දුම්රිය ස්ථානයයි. අතීතයේ ලංකාවේ උසම දුම්රිය ස්ථානය වූ කඳපොළ දුම්රිය ස්ථානය අද වන විට කස්තුරි ප්‍රවාහන සේවය නමින් පුද්ගලික අංශයකට අත්ව ඇත. පෙර අප දුටු දුම්රිය නිල නිවාසය ද ඔවුන්ටම අයත් බව ඒ අසල සිටි පිරිස අපට පැවසීය.   


නුවරඑළිය දුම්රිය ස්ථානය මෙන් නොව කඳපොළ දුම්රිය ස්ථානය බෙහෙවින් ජරා ජීර්ණ වී තිබුණු අතර දැඩි ලෙස ඉදිරිපස කොටස අබලන්ව තිබුණි.   


විස්තර දැන ගැනීමට කිසිවකුත් එහි නොසිටි අතර, පැරණි ලොරියක් සහ වාහනයක් එම වහළ යට නතර කොට තිබුණි. පසෙකින් වෙල්යායක් වූ අතර ගල් කනු මත මෙය ඉදි කර තිබුණි. දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම දුර්වර්ණ වී අපිරිසිදු තත්ත්වයේ පැවතුනන් එහි ශක්තිමත් බවේ අඩුවක් නොවීය. අතීතයේ පුංචි කෝච්චිය තේජාන්විතව දුම්රිය ස්ථානයේ නැවතූ අයුරු සිහි වූ අතර තවදුරටත් මෙම සුන්බුන් අතර යම් හෝඩුවාවක් සොයා ගැනීමට අපි උත්සහා කෙරුවෙමු. අතීතියේ වූ පරිදි දොරවල් සහ දුම්රිය වේදිකාව යැයි සිතිය හැකි ස්ථාන පවා දක්නට ලැබුණු අතර පෝර්ඩ් වුඩ් පසු කර පැමිණි පසු හමුවන කඳපොළ දුම්රිය මඟ අද වන විට ප්‍රධාන මහා මාර්ගය බවට පත්ව තිබුණි.   
ප්‍රධාන මාර්ගයෙන් මදක් ඔබ්බට ගොස් දුම්රිය ස්ථානය පිටුපසට ගොස් බැලුවද එහි වහළයක් පවා කැඩී ගොස් තිබුණි. පසුව අපි ඒ අවට ඡායාරූප කිහිපයක් රැගෙන බෲටන් සයිඩ් දුම්රිය ස්ථානය සොයා පිය මැන්නෙමු. කඳපොළ සහ බෲක් සයිඩ් අතර දුම්රිය පොළවල් 2ක් තිබූ අතර ඉන් පළමු වැන්න වූ 1240 නමැති දුම්රිය ස්ථානය වූ අතර අනෙක නානුඔය සිට සැතපුම් 14.5ක් දුරින් එනම් කඳපොළ සිට සැතපුම් දෙකහමාරක දුරින් පිහිටි ශාන්ත ජෝන් නැවතුම්පොළ විය. මේ නැවතුම්පොළ යුගලය සහ නුවරඑළිය කඳපොළ අතර පිහිටි නැවතුම්පොළ ත්‍රිත්වය සමග සමස්ත නැවතුම්පොළවල් 5ක් උඩුපුස්සැල්ලාව මාර්ගයේ තිබූ අතර ඒවායේ ප්‍රධානතම කාර්යය වූයේ තේ ප්‍රවාහනය කිරීමයි. මන්ද පුංචි කොච්චියේ සෑම විටම භාණ්ඩ ගෙන යන පෙට්ටි තිබූ අතර තේ ප්‍රවාහනය මූලික අවශ්‍යතාවය වූ හෙයින් වතුවල එක් රැස් කරන තේ මෙම නැවතුම්පොළවල් මගින් ලබා ගෙන දුම්රිය ඉදිරියටම ගමන් කරන ලදී.   


වර්තමාන නුවරඑළිය වලපනේ ප්‍රධාන මාර්ගය අතීතයේ පුංචි කෝච්චිය ගමන් ගත් මාර්ගය බවට පැහැදිළි සාක්ෂියක් මීට වසර කිහිපයක් යන තුරු තිබුණි.   


එනම් කඳපොළ හා බෲක් සයිඩ් අතර මාර්ගයේ තාරවලට වැහෙමින් ඉතිරිව තිබූ රේල් පීල්ලක කොටසයි. නමුත් අවාසනාවකට මීට වසර කිහිපයකට පෙර මෙම මාර්ග කාපට් ඇතිරූ හෙයින් එම පීලි කොටස තාරවලට යට වී කාපට් කර ඇති නමුත් ශිවන්ත සොයුරා මීට වසර 8 කට පමණ පෙර ගිය ගමනේ ගත් එහි ඡායාරූපයක් මා හට සොයා ගත හැකි වුණි.   


කෙසේ හෝ අප මීළඟට ළඟා වූයේ සමස්ත පුංචි කෝච්චිය ගිය මඟේ නටබුන් අතර ඉතිරිව ඇති සුන්දරම හා නිතැතින්ම දුම්රිය ස්ථානයක් බවට පැවසිය හැකි බෲක් සයිඩ් දුම්රිය ස්ථානයටයි. මෙම දුම්රිය ස්ථානය ප්‍රධාන මාර්ගයට ම මායිම්ව පැවතුන ද වර්තමානය වන විට මෙහි පවතින්නේ රට බීම අලෙවි කරන වෙළෙඳසළකි. ජයලත් රට බීමහල පිහිටියේ බෲක් සයිඩ් දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල තුළය. කඳපොළ නිල නිවාසය සේම සම්පූර්ණයෙන් ලීයෙන් නිමවා ඇති බෘාක් සයිඩ් දුම්රිය ස්ථානය පවා විශාල ගල් කනු මත ඉදි කරන ලද්දකි. විශාල හතරැස් ගල් කුට්ටි පහක් ප්‍රධාන මාර්ගය ආසන්නයේම තිබුණ අතර ඊට උඩ දුම්රිය ස්ථානය ලීවලින් සාද‌ා තිබුණි. එහි අලංකාර බව සහ පැරණි ජනෙල් පියන් එලෙසම වූ අතර අතිතයේ ටිකට් ගත් කවුළුව පවා අදත් දක්නට ලැබුණි. බෘෘක් සයිඩ් දුම්රිය ස්ථානයට පසෙකින් බඩු ගබඩාව සහ නිල නිවාසය තිබූ අතර ඒවා පවා සම්පූර්ණ පදම් කළ ලීයෙන් නිමවා තිබුණි. අප යන විට ඉරිද‌ා උදෑසනක් වූ අතර රට බීමහල වසා තිබුණ බැවින් ඒ අවට ඡායාරූප රැගෙන අපි ගමන නැවත පිටත් වුණෙමු.   

 

 

බ්‍රෝක්සයිඩ් බඩු ගබඩාව

දුම්රිය ප්‍රවේශපත් කවුළුව

බ්‍රෝක්සයිඩ් නිල නිවස

කඳපොළ දුම්රිය ස්ථානයේ අද තත්ත්වය

 


මීළඟට අප යා යුත්තේ ගමනේ අවසානය පිහිටි රාගල දුම්රිය ස්ථානය වෙතය. රාගල ජීවත් වන රාගල දුම්රිය ස්ථානයේ අවසන් ස්ථානාධිපතිතුමාව ද මුණ ගැසීමට නියමිත නමුත් ඔහු දුම්රිය ස්ථානාධිපතිව සිටියේ 1970 ගණන්වල වූ බැවින් 1948ට පෙර තිබූ දුම්රිය මාර්ග හා විස්තර ඔහු නොදන්නා බව කල් තියාම අපි දැන ගත්තෙමු.   


මෙම ලිපියේ අප මෙම පුංචි කෝච්චිය ගිය මාර්ගයේ හා වකවානුව සිදු වූ එකම දරුණු දුම්රිය අනතුර ගැන කති කා කළ යුතුය. එනම් වර්ෂ 1941 දී දොස්තර පීල්ල අසල සිදු වූ දුම්රිය පිලී පැනීමේ අනතුර සහ ඉන් අංක 293 දරන දුම්රිය පැද වූ රියැදුරු මියයාමයි. 1940 ගණන්වල මහා මාර්ග දියුණු වූ හෙයින් දුම්රිය ගමනට වඩා ලොරි මගින් ප්‍රවාහනය ඉක්මන් වූ බැවින් පුංචි කෝච්චිය දුවන මාර්ගය තිබුණේ තවත් ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිතා නොකරන මට්ටමේය. ඊට කදිම පිටුවහලක් වෙමින් දොස්තර පීල්ල අසල දුම්රිය පීලි පැන රියැදුරු මරණයට පත් වීම එම මාර්ගයේ වූ ඉතා කනගාටුද‌ායක සිද්ධියකි.   


ශිවන්ත සොයුරා මාර්ගයෙන් මීට වසර 67 කට පමණ පෙර සිදු වූ ඒ දුම්රිය අනතුරේ පැරණි ඡායාරූප 2ක් සොයා ගැනීමට පුළුවන් වුණි. එහි දක්නට ලැබෙන පරිදි දුම්රිය එංජිම පමණක් නොව සමස්ත පෙට්ටි සියල්ලම දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන තිබුණි. මෙම දුම්රිය සෙමින් ගමන් කළ නිසාවෙන් කිසිවකුටත් බරතපතළ හානි සිදු වී නොතිබුණ ද දුම්රියෙන් විසිවීමෙන් සහ දුම්රිය ඇඟ මතට වැටීමෙන් ආදියෙන් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් දුම්රිය රියැදුරුගේ මරණය සිදු විය.   


අතීතයේ ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කරන ලද රෝහලක් හාවාඑළිය ආසන්නයේ තිබූ අතර එහිදී එම රෝගීන්ට ස්නානය කිරීම සඳහා අසල වූ ජල පීල්ලට රැගෙන යන ලදී. එම නිසා එම පීල්ල දොස්තර පීල්ල ලෙස හඳුන්වන අතර දුම්රිය අනතුර සිදු වූයේ ඒ අසලදීය. මෙම අනතුර පිළිබඳ වැඩි විස්තර සොයා ගැනීමට ක්‍රමයක් නොතිබූ අතර එම අනතුර සිදුවීම තුළ දුම්රිය මාර්ගය තවදුරටත් තිබිය යුතු ද නැද්ද යන්න විමසා බැලීමට සුදු ආණ්ඩුකාරවරයා කටයුතු කරන ලදී.   


කෙසේ හෝ මෙම අනතුරට පත් දුම්රිය අංක 293 දරන දුම්රිය බවට ඡායාරූපවලින් දැකගත හැකි අතර එහිම තවත් ඡායාරූපයක දුම්රිය ධාවනය වන දර්ශනයක් සොයා ගැනීමට හැකි වුණි.   


අතීතයේ නටබුන් හාරා අවුස්සා මතකය විමසන විටදී ඇතැම් කරුණු කාරණා සහ ඡායාරූප දකින විට නෙතට යම් කඳුළක් නැගෙන්නේ කුමන හෝ ස්ථානයක සිදු වූ තීරණ ගැනීමේ වරදකින් අපට අහිමි වූ ලංකාවේ සුන්දරම දුම්රිය මාර්ගයේ විසිතුරු බව හා අනන්‍යතාව පිළිබඳවයි. එවකට දුම්රිය අනතුර සිදු වූ ඉසව්ව මේ වන විට ජනාකීර්ණ වී තේ වතුවලින් පිරී ඇති අතර ඒ කිසිවක් නොදොඩාම දොස්තර පීල්ල මුණිවත රකියි.   


මීළඟට අපට යාමට ඇත්තේ බෲක් සයිඩ් සිට රාගල දක්වා වූ අවසන් දුම්රිය මාර්ග කොටසට වන අතර, ඒ අතරතුර කිසිදු දුම්රියපළක් තිබී නොමැත. පුංචි කෝච්චිය අඩි දෙකහමාරේ රේල් පීලිවල නැග පෙට්ටි දුසිමක් පමණ ගැට ගසා ගෙන පුංචි පුංචි කඳු ගැට අතරින් වංගු ගැසී දුම් දමා ගෙන කුචු කුචුවේම ඉබි ගමනින් ගිය සුන්දර කාලයක මතකයන් පිරි කිසිදු වැඩිහිටියකු අද ජීවත්ව නොමැත.   


ලබන සතියේ මෙම ලිපියේ අවසන් කොටස හරහා රාගල සිටින සමස්ත (UPR) දුම්රිය වංශ කතාවේම අවසන් ස්ථානාධිපතිතුමා සොයා ගොස් ඔහුගේ අතීතාවර්ජනයට සැරසෙමු.   


විශේෂ ස්තූතිය පැරණි ඡායාරූප සොයා දුන් ශිවන්ත අමරසිංහ මහතාට සහ ඇතැම් වර්තමාන සේයා කොටස් ලබා දුන් සතිර ලක්මාල් මහතාට.   

 

 


සංචාරක සටහන හා ඡායාරූප   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු.