​දෙවොල් දෙවියන් වැඩ සිටින පාණදුරේ දේවාලය


දෙවොල් දෙවියන්ගේ බ්රිඳගේ ගමේ
නෑදෑයන් සොයා ගිය ගමන-4

 

වේරගොඩ දෙවොල් දේවාලයේ අදටත් ප්‍රධාන කපු පත්තිනිකම දරනුයේ සුමතිපාල ප්‍රධාන කපුවරයායි. වසර තිස් හයක කපු පත්තිනි වරමින් දේවාල වැඩ කරන සුමතිපාල කපුවරයා ලංකාවට ගොඩබට දෙවොල් දෙවියන් තැනූ දේවාල ඇත්තේ දෙකක් බව පවසයි. අනෙක් දේවාල දෙවොල් දෙවියන් නමට ගොඩනැගූ දේවාල බව ඔහු කියනුයේ ඉතිහාසයේ ලිඛිත සාක්ෂි මත පිහිටමිනි. මේ එම කතාවයි.   


මේ කතාව මම කියන්නේ වගකීමක් ඇතුව ඒ වගේම ඉතිහාසයේ ලිඛිත සාක්ෂි මත පිහිටමින්. මේ ඉතිහාස තොරතුරු අවුරුදු සිය ගණනක් පැරණියි. මේ පොත් අයත් වෙන්නේ පුස්කොළ පොත් ගණයට.   


මේ පුස්කොළ පිටපත් අංක 502 යටතේ දක්වා තිබෙන සටහනක්. පුස්කොළ පොත ලියවිලා තියෙන්නේ කවියෙන්. අඩංගු සම්පූර්ණ කවි ගණන 123 ක්. පුස්කොළ පොත නම් කර තිබෙන්නේ දෙවොල් දෙවි අලංකාරය නමින්. ඒ පුස්තකයේ පුස්තක පිටපත් අංක 502 යටතේ දැක්වෙනවා. කවි 70 ක්. මේ ඉන් කවි කිහිපයක සරල තේරුම.   
​දෙවොල් දෙවි ලංකා වෙරළට සමීපවත්ම, එතෙක් දිවයිනේ දේව බලයට අධිපතිව සිටි පත්තිනි ගිනි කඳු සතක් මවමින් දෙවියන්ගේ ගොඩ බැසීම වළක්වාලීය. එහෙත් ගිනි දැල්වලින්ම සළුවක් හා සුම්බරයක් මවා ගත් දෙවොල් දෙවි, ගිනි වළලු ජය ගෙන ලංකාවට ගොඩ බැස්සේය.   


වැඩි කර ගිනි ජල් මවති කියන්නේ   
පොඩි කර දුම්මල සුරත දරන්නේ   
දැඩි කර යක් සෙත් දා අළුවන්නේ   
පොඩි කර ගිනි ජල් කෙළිති කියන්නේ   


දෙවොල් දෙවියන් මුලින්ම ගොඩ බැස්සේ පාණදුරටය. දේවාධිපත්‍යය අයත් කර ගෙන සිටි පත්තිනි විසින් මවන ලද ගිනි කඳු ජය ගෙන පාණදුරයට ගොඩ බැස්සේය. ගොඩබට දෙවොල් දෙවියන්ට පූජෝපහාර පැවැත්වීමෙන් තම රෝග සුව කර ගත් සීනිගම මැතිඳුන් කෙනෙකු දෙවොල් දෙවියන් වෙනුවෙන් පසු කලෙක සීනිිගම දෙවොලක් ඉදි කර පුද පූජා පවත්වන්නට යෙදුණේය.   


දෙවොල් දෙවියන් පිළිබඳ තොරතුරු සඳහන් වන පුස්කොළ පොත් ගණන 911 ක්. අද මේ සිියල්ල තිබෙනුයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ. ඒ නිවැරදිව සංරක්ෂණය කිරීමෙන් පසු.   
පාණදුරයට ගොඩ බහින්න ගිය දෙවොල් දෙවියන්ට බරපතළ ලෙස විරුද්ධ වූයේ දැඩිමුණ්ඩ දෙවියන්. ඒකට හේතුව වුණේ දෙවොල් දෙවියන් පිට රටක දෙවි කෙනෙක් වීම. මේ විරුද්ධ වීමට දැඩිමුණ්ඩ දෙවියන් එක්ක එකතු වුණා දෙවිවරු හය දෙනෙක්. එතකොට සම්පූර්ණ දෙවිවරු ගණන 7 ක්. ඒ මේ දෙවිවරු.   
දැඩිමුණ්ඩ, මැණික් බණ්ඩාර, කීර්ති බණ්ඩාර, එර්දි බණ්ඩාර, සපුමල් බණ්ඩාර, බටහිර රජ්ජුරු බණ්ඩාර, දැඩිමුණ්ඩ වාසල බණ්ඩාර.   
​මේ දෙවිවරු ලංකාවෙ බලවත්ම දෙවිවරු. වරම් ගත්තේ වෙසමුණි රජුගෙන්, බුදුරදුන්ගෙන් ගත්තු වරම වුණේ යක්ෂයන්ට අධිපතිකම් දැරීමේ වරම. යක්ෂයන් පාලනය කළේ ඒ වරම් මත පිහිටමින්.   

 

 


​මේ දෙවිවරු හත් දෙනා වගේම විරුද්ධ තවත් දෙවිවරු කට්ටියක් එකතු වුණා. අර දෙවිවරු 7 දෙනාට. ඒ කතරගම, විෂ්ණු, සමන්, නාථ, සතර වරම් යන දෙවිවරු. ඒ වගේම තමයි පත්තිනි දේවතාවිය. පත්තිනි දේවිය හිටියේ සීනිගම.   
ඊට පස්සෙයි සීනිගමට දෙවොල් දෙවියන් යන්නේ. එතනදී පත්තිනි ගිනි කඳු මවනවා හතක්. ඒ හත තරණය කරනවා දෙවොල් ඉතා ලෙ​හෙසියෙන්ම. එතනදි දොවොල් දෙවියන් කියනවා මෙහෙම පත්තිනියට.   


එක මඩුවේ කෙළි පුද ගන්න   
කුරුම්බර තටුවක් පිදේනියට දෙන්න 

 
​පෙර දවසේ අප එක පවුලක සිටියා සහෝදර ස​හෝදරියන් ලෙස. අමතකද නුඹට ඒ දවස්. ඒ මතකය සිහියට ගෙන කිරිබත් රතු මල් එක පඬුරක් දී අප පුදගන්න.   
මේ තමයි දෙවොල් දෙවියන්ට තබන පූජාව. දෙවොල් දෙවියන්ම එදා හඳුන්වා දුන් ආකාරය. ලංකාවට ගොඩබහින්න පත්තිනියගෙන් අවසර ලැබෙන්නේ ඉන් පසුව. 

 
අතින් ගිනි අල්ලති   
පයින් ගිනි පාගති   
නවාතැනේ කෙළි ගන්ට   
ආතුරයන් රැකදෙන්ට   
රටින් එන යකුන් හට   
මටත් වැඩි දෙවි කෙනෙක්   
ඇද්ද මගේ කෙළිගන්ට   
අවසරයි එන   
​දෙවොල් මඩුවේ පුදගන්ට   


ඊළඟටයි පත්තිනි දේවතාවිය වේරගොඩ දේවාලෙට යන්න පාර හදා දෙන්නේ. ඒ ගිය දෙවොල් වේරගොඩ පත්තිනි දේවාලේ, දෙවොල් දේවාලේ නමටයි හරවන්නේ. එතන ඉඳලා තමයි වේරගොඩ දෙවොල් දේවාලේ ඇරඹෙන්නේ. ඒ තොරතුරු පුස්කොළ පොතේ දැක්වෙන්නේ මේ විදියට.   


වීර තෙදැති දෙවියනි දේවාලේ   
නෑර ගන්න පුද පඬුරු දෙවේලේ   
දාර කුඹුසක් සිඳිමින් දැලේ   
වේරගොඩයි දෙවිඳුගෙ දේවාලේ   


මේ තමයි වේරගොඩ දෙවොල් දෙවියන්ගේ දේවාලය තිබෙන බව පත්තිනිය කියා පෑව ආකාරය.   


වේරගොඩට ආව දෙවොල් දෙවියො හිතින් නිතරම හිතුවෙ වෙන දෙයක්. ඒ ගොඩබහින්න ඉඩ නොදුන්නු පාණදුරයට යා යුතුයි කියන අදහස. පාණදුර ගමේ පා ගැසිය යුතුයි කියන අදහස. දෙවොල් දෙවියන්ට ඒ අදහස ඉටුකරගන්න ගියේ නෑ වැඩි කාලයක්.   


පාණදුර සීමාවෙ කෙළවර කුඩා අප්‍රසිද්ධ ගමකට දෙවොල් දෙවියො පය තබන්නේ ඔය අතරෙ. ඒ ගමනෙදි තමයි දෙවොල් දෙවියන් ජීව මානව වැඩ විසූ දෙවන දෙවොල් දෙවොල ඉදි වෙන්න. දෙවැන්න පාණදුර දේවාලේ වෙන කොට පළවෙනි හා ප්‍රධාන දෙවොල වුණේ වේරගොඩ.   
මේ දෙවොල් කතාවෙ තියෙනවා හරි ලස්සන ගැළපුමක්. ඒ මේ සියල්ල සිදුවන්නේ එකම නමගත් සමාන දවස්වල වීම. ඒ සිකුරාදා දවස. ඒ වගේම තමයි දෙවොල් දෙවියන්ගේ පාට රතු පාට වීමේ කතාව. මෙතන රතු කියලා කියන්නේ ගින්දර වල රතු පාටට. ඒ තමයි ගිනි මැල හත නියෝජනය කිරීම. දෙවොල් දෙවියන්ට පූජාවට කිරිබත් තියන්නේ මහ මුහුදේ අතරමං වෙලා ඉන්න කොට බඩගින්නට කෑ​වේ කිරිබත් විතරක් වීම හේතුවෙන්.   
දෙවොල් දෙවියො නමින් හැම දවසකම පුද පූජා තිබ්බට දෙවොල් දෙවියන් වෙනුවෙන් වෙන් වුණු දවස සිකුරාදා දිනය. මුළු දවසම කැපයි පූජා වලට.   
අද වෙන කොට දෙවොල් දෙවියන්ගේ මහ දෙවොල විදියට පිළිගැනෙන්නේ වේරගොඩ දෙවොල් දේවාලය. ඊළඟට පිළිගැනෙන්නේ පාණදුර දෙවොල් දේවාලය. මේ දේවාල දෙකම විශේෂයි.   


ඒ මෙම දේවාල, ඒ කියන්නේ වේරගොඩ සහ පාණදුර දේවාල දෙකම යහපත් පැත්තට වැඩ කරන දේවාල. එහෙම වෙන්න හේතුව දෙවොල් දෙවියන් නරකට නපුරට උදව් නොකිරීම. අවලාද කිරීම් පලිගැසීම්වලට උපකාර නොකිරීමය.   
පාණදුර සීමාවේ ගොඩ නැගී තිබෙන දෙවොල් දේවාලය හුදෙකලා වෙලා නෑ. පාණදුර දේවාලේ දෙවොල් දෙවියන් වගේම වැඩ ඉන්නවා තව වෙනත් දෙවිවරු. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ අතීතයේ දෙවොල් දෙවියන් ලංකාවට ගොඩබහින්න ආපු වෙලාවේ විරුද්ධ වුණු දෙවිවරුන්. ඒ වගේමයි මහා දේව සභාව. දෙවොල් දෙවියන් නමින් වෙන් වුණු පාණදුර දෙවොල් දේවාලය ශක්තිමත් වෙනවා අංශ දෙකකින්. එ්කෙ එක අංශයක් වෙන්නේ දෙවොල් දෙවියන් තනිවම බලවත්ව කටයුතු කරන දෙවොල් අංශය. අනිත් අංශය වන්නේ අනෙක් සියලු දෙවිවරු ඒකරාශීව කටයුතු කරන මිශ්‍ර බලවත් දේව අංශය. එම අර්ථයෙන් මිශ්‍රව පවතින දේවාලයට ඕනෑම ප්‍රශ්නයක් මුල් කරගෙන පැමිණෙන දුකට පත් අයට ලැබෙන්නේ දේවපිහිට.   


ලංකාවේ ආරක්ෂක දෙවි දේවතා සමූහය අතරින් ප්‍රධාන තැන් ගන්නේ දෙවිවරුන් පස් දෙනෙක්. ඒ විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ, නාථ කියන දෙවිවරු. උපුල්වන් දෙවියන් ගැන තිබෙනවා මත දෙකක්. ඒ උපුල්වන් දෙවියන් විෂ්ණුගේ අවතාරයක්ය යන්න. ඒ වගේම අනෙක් මතය උපුල්වන් විෂ්ණුගේ අවතාරයක් නොවේය යන්න. මේ දෙවිවරු පස් කමිටුව අයත් වෙන්නේ ප්‍රධානීන් හැටියට.   
දෙවෙනි කොටසට අයත් වෙන දෙවිවරු පොදු ආරක්ෂාව යහපත සලසන දෙවිවරු ලෙසයි හඳුන්වන්නේ. ඒ යටතට ඇතුළත් වෙන්නේ පත්තිනි, දැඩිමුණ්ඩ, දෙවොල් වැනි දෙවිවරු. ඒ අතරට තවත් දෙවිවරුන් කොටසක් සැලකුම් ලබනවා ප්‍රාදේශීය දෙවිවරු ලෙසින්. ඒ මහසෙන්, අයියනායක වැනි දෙවිවරුන් ශාසනභාර දෙවියන් ලෙසින් පුදනු ලබන්නේ කළු දේවතාවා.   


​මේ සියලු දෙවිවරුන් අතර විශේෂිතව වැජඹෙන දෙවි කෙනෙක් වනුයේ දෙවොල් දෙවියන්. මේ වනවිට දෙවොල් දෙවියන් උතුරත්, දකුණත්, බස්නාහිරිත්, නැගෙනහිරත් අතර තිබෙන දෙවොල් දේවාලවල දී මිනිසුන්ට පිහිට වන බව දකින්න පුළුවන්.   
මේ තත්ත්වය කියනුයේ මෙවන් දෙයක්. ඒ ඇතැම් දෙවිවරු යම් යම් ප්‍රදේශයන්ට සීමා වීමත් තවත් සමහර දෙවිවරු ලක්දිවටම පොදු වීමත් සිදුව ඇති බව එහිදී පැහැදිලි වන දෙය එම සියලු දෙවිවරුන් අතරින් දෙවොල් දෙවියන් ප්‍රධාන සහ ප්‍රබල වෙමින් ලංකාවේ ප්‍රබල දේවාල දෙකක ජීවමාන ලෙසින් තවමත් වැඩ සිටින බව.   
පාණදුර ඉපැරණි දෙවොල් දේවාලය, වේරගොඩ දොවොල් දේවාලය තරම්ම පැරණියි. එම දේවාලයේ බලපවත්වනුයේ ජීවමාන දෙවොල් දෙවියන්ගේ අණසක. එම අණසක අදටත් ජීවමානයි. ඒ වගේම බලවත් වේරගොඩ පානදුර දේවාලවලින් දෙවොල් පිහිට පතන අයගෙ අදහස දෙවොල් දෙවියන්ගේ ආත්මය වේරගොඩ පාණදුර දේවාල දෙක තුළම සැරි සරනවා කියලයි.   


දෙවොල් දෙවි හරි ප්‍රබලයි. ඒ තුළ අඩංගුයි කාරණ දෙකක්. පළවෙනි කාරණය වනුයේ අණ කිරීම. ඒ නියෝගයක්. දෙවෙනි කාරණය වෙන්නේ ඉල්ලීම. මේ දෙක තුළම පවතිනවා එක දෙයක්. ඒ කාරුණිකභාවය. යහපත් හැසිරීම.   
ලංකාවේ දෙවොල් දෙවිඳු අංශ දෙකකට අයත්. ඒ නරක නපුර භාවිත කිරීමෙන් දුකට පත් අයට පිහිට වීම, අනිත් අංශය වනුයේ යහපත් හෙවත් මෙත් සිතුවිලිවලින් දුකට පත් අයට පිහිටවීම.   


මෙන්න මේ දෙවන කාරණය අතින් පළවෙනි තැන ගන්න දෙවොල් දේවාල දෙක වනුයේ වේරගොඩ දේවොල් දේවාලය. ඒකෙම දෙවෙනි තැන ගන්න දේවාලෙ වෙන්නේ පාණදුර දෙවොල් දේවාලය.   
පාණදුර දෙවොල් දේවාලය මෙතුවක් කාලයක් පැවැතුණේ අප්‍රසිද්ධියේ. හැංගිලා. ඒකට හේතු වුණේ මෙම දේවාලය දෙවොල් දෙවියන්ගේ දේවාලයක් බව කිසිවකුත් නොදැන සිටීම.   
​දේවාලෙන් පිහිට පතා ආව ගිය අය අතරේ තිබුණ අමුතු කතාබහක්. ඒ දේවාලෙ තිබිච්ච, කවුරුවත් අඳුර ගත්තේ නැති එක් දේව ප්‍රතිමාවක් ගැන. මේ දේව ප්‍රතිමාව ඉතා සුන්දරයි. ප්‍රසන්නයි. නම නොදන්න නිසාම මෙම දේව ප්‍රතිමාව හඳුන්වලා තිබුණේ. නම නොදන්න අලුත් දෙයියො යන නමින්.   
දේවාලෙට ආව අයගෙ විශ්වාසය වුණේ මේ නම නොදන්න අලුත් දෙයියො තමන්ට පිහිට වන බව. ඔවුන් විශ්වාස කළා අලුත් දෙයියන්ට හාස්කම් තියෙන බව. කරණ හැම ​ඉල්ලීමක්ම අලුත් දෙයියො ලෝබ නැතුව කර දෙන බව. ඒ නිසාම ගොඩනැගුණෙ විශ්වාසයක් දේවාලෙට ආව ගිය අයගේ සිත් තුළ.   
අලුත් දෙයියො පිහිට වුණා හැම ලෙඩකටම දුකකටම. දේවාලෙට ආව ගිය අයට අලුත් දෙයියො උත්තර දුන්නේ වැඩි කල් නොගෙන. මේ අලුත් දෙයියන්ට ඕනම ගැටලුවක් විසඳන්න පුළුවන්කම තිබීමම පුදුමයක්.   


මනුෂ්‍යයාගේ හිසේ සිට දෙපතුළ දක්වා තිබෙන අටානූවක් ලෙඩ රෝගවලට ලැබුණේ පුදුම පිහිටක්. අලුත් දෙයියො ළඟ ලෙඩ රෝග වර්ග කිරීමක් නෑ තිබුණෙ.   
අලුත් දෙයියො වේරගොඩ දී ප්‍රසිද්ධ වුණේ ඉන්ද්‍රජාලිකයකු හැටියට. මිනිස්සු අලුත් දෙයියො හඳුන්වපු තවත් නමක් වූයේ මැජික් දෙයියෝ කියන නම.   
පාණදුර දේවාලේ තියන විශේෂත්වය වෙන්නේ දෙවොල් දෙවියන්ගේ ළමා අවධිය නිරූපණය කරන පිළිමයක් තිබීම. අදටත් දෙවොල් දෙවියන් පිහිට ගන්නේ පත්නිනි මෑණියන්ගෙන්. දෙවොල් දෙවියන් පත්නිනි මැණියන්ගේ පිහිට ඉල්ලීම හඳුන්වන්නේ දෙවොල් නාම බන්ධන බලය නමින්. පත්නිනි දෙවොල් පරපුරට සම්බන්ධ වීම දෙවොල් මඩුව නැටීමෙන් සංකේතවත් කිරීම සිදුවන්නක්. පත්නිනි වෙනුවෙන් දෙවොල් මඩු යාගයේ එන අංශය හඳුන්වනුයේ අඹ විදීම නමින්. අඹ විදීම කතාවෙන් කියවෙන්නේ පත්තිනි දේවිය අඹ ගෙඩියකින් උපත ලැබුවාය කියන කතාව. ඒ කතාව දිගහැරෙන්නේ මෙහෙම.   
අතීත දවසක පඬිපුර හිටියා පඬි රජෙක්. මේ පඬි රජුට තිබුණා ඇස් තුනක්. ඇස් තුන ගෙන දුන්නේ භයානක විපාකයන්. එතනදි ඒ බැල්මට අසුවන සියලුම දේ විනාශයට පත් වනේනේ මොහොතකින්.   


පඬිරජුගේ තිබුණ එක් විනෝදාංශයක් වූයේ මේ තුන්වෙනි ඇස විවෘත කර බැලීම. එය දිනපතා කළ පුරුද්දක්. මේ හේතුවෙන් මිනිසුන් සතා සීපාවන් ගහ කොළ වගේ සෑම දෙයක්ම දිනපතා විනාශ වෙන්න ගත්තා. මෙම විනාශය දැක්ක සක් දෙවියන් හිතුවා පඬි රජු කරන මෙම විනාශය නවත්වන්න.   
මෙතනදි සක් දෙවියන් හමු වුණේ පත්තිනි දේවතාවිය. පත්තිනි දේවතාවිය ඒ වෙනකොට වැඩ හිටියේ අඳුන්ගිරි පර්වතයෙ. ඒ තවුස් දම් රකිමින්. සක් දෙවියන් පත්තිනියට කිව්වා මෙම කාරණය. එතනදි පත්තිනිය සක් දෙවියන්ගේන් විමසා සිටියේ සක් දෙවිඳුන් කවරෙක් ද යනුවෙන්. ප්‍රශ්නෙට උත්තරය සක් දෙවිඳුන් දුන්නේ මම නුඹේ අයියණ්ඩිය වන සක් දෙවියන් යනුවෙන්.   


එ්ක ඇහුව පත්තිනි පත් වෙන්නේ පුදුමයට. එතනදි තමයි පත්තිනි අහන්නේ මොකද්ද කරන්න ඕන උදව්ව යනුවෙන්. එතනදි සක් දෙවිඳුන් පත්තිනියට කිව්වා මෙහෙම. පඬි රජුගේ මී අඹ උයනේ එක් ගසක අකලට පළ දරා හට ගත් අඹ ගෙඩියක් මාගේ බලයෙන් හට ගන්වමි. පත්තිනි වූ නුඹ එම අඹ ගෙඩිය ඇතුළෙ පිළිසිඳ ගන්න.   
සක් දෙවිඳුන්ගෙ මහිමයෙන් අඹ ගසක හට ගත්තා ලොකු මී අඹයක්. පත්තිනිය සක් දෙවියන්ට වූ පොරොන්දුව අනුව එම මී අඹ ගෙඩියෙ පිළිසිඳ ගනු ලැබුවා. ඊට පසුවයි. පඬිරජු මෙම මී අඹ ගෙඩිය දකිනුයේ. රජු අණ කෙරුවා මෙම අරුම පුදුම මී අඹ ගෙඩිය කඩන්න. අඹ ගෙඩිය කඩන්න ගිය උයන් පල්ලන්ට හැකි වූයේ නෑ අඹ ගෙඩිය කඩන්න. අත තියනවාත් එක්කම අඹ ගෙඩියෙන් පිටවුණා ගින්දර. ඒ ගින්දරෙන් විනාශ වුණා උයන් පල්ලන්. මේ සිදුවීමෙන් විමතියට පත් වුණේ පඬි රජු. ඊට පස්සෙයි පඬි රජු අණ කළේ මී අඹය කැඩීමට සමතෙක් සිටී නම් ඉදිරිපත් වන ලෙස දන්වමින්. ඒ අඬබෙර මාර්ගයෙන්.   


අඬබෙරේ ආරංචිය පැතිර ගියා රටින් රටටම. පිට දේශවලට. එතනදි පිට දේශ දහඅටකින් ඉදිරිපත් වුණා කුමාරවරු දහ අට දෙනෙක්. ඒ කාටවත්ම අඹය කඩා ගන්න ලැබුණේ නෑ අවස්ථාවක්. මෙන්න මේ වෙලාවේදී ආවා එක් මහලු මිනිහෙක්. ඒ අාවේ සක් දෙවිඳුන් වෙස් වළාගෙන. ඇවිත් අඹ ගෙඩිය නැට්ටට දුන්නෙත් විදලා කැඩුවා අඹ ගෙඩිය. එතනදි වුණා හරි පුදුම විස්මයජනක දෙයක්. ඒ මී අඹ ගෙඩිය බිමට නොවැටීම. නොවැටී උඩු ගුවනේ පාවීම. ඒ උඩ අතට හිටින විදියට.   
පඬි රජුට බැරි වුණා මෙම සිදුවීම අදහා ගන්න. රජතුමා අඹ ගෙඩිය දිහා බලනවත් එක්කම පා වෙලා අවා අඹගෙඩිය රජුගේ හිසට කෙළින්. නැවතුණා එක් වරම. මී අඹයෙන් වෑස්සුණු කිරි බිංදු තුනක් එක් වරම වැටුණා රජුගේ නළලේ තිබුණු තුන් වෙනි ඇහැට. ඒ එක්කම රජු ඇහැ පිස දැම්මා අතින්. මේ ඇහැ පිස දැමීමත් එක්කම රජුගේ නළලේ තිබුණු විනාශකාරී තුන් වෙනි ඇහැ මැකිලා ගියා ක්ෂණිකවම. එදායින් පස්සේ එම සිදුවීම හැඳින්නුවෙ ‘අඹ විදමන’ යන නමින්. 

 
​දෙවොල් මඩු ශාන්තිකර්මයේ නැටවෙන මෙම පත්තිනි කතා පුවත ඇරඹෙන්නේ කවි ගායනයෙන්. එය තනිකරම නාට්‍යමය අවස්ථාවක්. නාට්‍ය මතින් කෙරෙන රංගනයක්. මේ එහිදී කියවෙන සෙත් කවියක්.   


තුන් නෙත් ඇති පඬි රජුගේ උයනේ අඹ අත්තේ   
රන් කළයක් මෙන් අකලට අඹයක් හට ගත්තේ   
එකිරි පොදක් කඩා වැටී රජුගේ නෙත මැක්කේ   
පිං කළ තෙද පතිනි බලෙන් සියලු රෝග නැත්​තේ   


දෙවොල් මඩු රංගනය කියන්නේ තනිකරම ශාන්තිකර්මයක්. මුළු යාගයම පිරී තිබෙන්නේ සියලු දොස් දුරුවේවා යන අධිෂ්ඨානයෙන් හා සෙත් පැතීමෙන්. දෙවොල් මඩුවෙන් දොස් දුර ලන්නෙ හරි අපූරු ක්‍රමයකට. ඒ බලවත් ඇත්තෙක් හා බලවත් ඇත්තියකගෙ මාර්ගයෙන්. එම බලවත් ඇත්තා වෙන්නේ දෙවොල් දෙවියන්. බලවන් ඇත්තිය වෙන්නේ පත්තිනි දේවතාවිය.   
දෙවොල් මඩු ශාන්තිකර්මයේ පත්තිනි ​දේවිය එක එල්ලේම සම්බන්ධ වෙන්නේ පත්තිනි නැටීමෙන්. ශාන්ති කර්මයේ ප්‍රධාන දේවතාවුන් වහන්සේ විදියට හඳුන්වන්නේ පත්තිනි දේවතාවිය.   
පත්තිනි නැටීමේ දී පත්තිනි උපත ගත් වාරයක් ගායනා කිරීම සම්ප්‍රදායික සිරිතක්. ඒ අතීතයේ තිබුණු දෙවොල් මඩු යාගයේ ආකාරයටම පත්තිනි නර්තනය ඉදිරිපත් කරමින්මයි.   
පත්තිනි දේවියගේ උපත කවියෙන් ගායන කෙරෙන්නේ.   


ලංකාවේ දෙවොල් දේවාල අතරේ තවමත් සාම්ප්‍රදායික ක්‍රමයට දෙවොල් වන්දනා කෙරෙන්නේ වේරගොඩත්, මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොවුණු පාණදුරත් තියෙන පත්තිනි දේවාල දෙකේ. අතීතයේ ඉඳන් තිබුණු මෙම සම්ප්‍රදාය අද වෙන කල් පවතින්නේ දෙවොල්​ දෙවි නියමයට යටත්ව.
වේරගොඩ දෙවොල් දේවාලයට තිබෙනවා ලිඛිත ඉතිහාස සාහිත්‍යයක්. ඒ සාහිත්‍යය ඇතුළෙ තිබෙන්නේ සම්ප්‍රදාය රැකගෙන ආව ක්‍රමය තුළ වේරගොඩ දේවාලයේ ගාම්භීරත්වය. විශ්වාස කළ හැකි හිතවාදී සහ පැවැත්ම. වේරගොඩට ලිඛිත ඉතිහාසයක් තිබුණත් පාණදුර දෙවොල් දේවාලයට ලිඛිත ඉතිහාසයක් අහිමියි. මේ අහිමිවීම කියන්නේ ඉතිහාසයක් තිබුණේ නෑ කියන එක නෙවෙයි. ඒක තවම සොයාගෙන නෑ කියන අදහසයි.   


දෙවොල් දෙවියන්ගේ සියලු ඉතිහාස කතා පුවත් ගොනු වෙලා තියෙන්නේ එක්තරා දිශාවකට. ඒකට හේතුව අනවශ්‍ය ප්‍රසිද්ධිය. පාණදුර දෙවොල් දේවාලේ ඉතිහාසයත් ගිහින් හැංගිලා තියෙන්නේ ඒ අනවශ්‍ය ප්‍රසිද්ධිය අස්සට. ඒ වගේම වැරදි දෙයක් වෙන්නේ දෙවොල් පුවතට අලුත් අලුත් අංග වැඩිමනක් තොරතුරු දවසින් දවස එකතු වීම, ඒ තත්ත්වය දෙවොල් පුවත විකෘති කිරීමක්. බොහෝ දෙවොල් දේවාල පුරාණ සිරිත් විරිත් ඇදහිලි සම්ප්‍රදායන්ගෙන් බැහැර වීම අවාසනාවන්ත සිදුවීමක්.   
දෙවොල් දෙවියන් වැඩ හිඳිනුයේ දේව මණ්ඩලයෙ. දේව මණ්ඩලයේ වැඩ හිඳිනා දෙවොල් දෙවියන් හඳුන්වනවා ක්‍රම දෙකකට. ඒ වැරදි නොකරන අයට සහන ලබා දෙන දෙවියකු ලෙසට. වැරදි කරන්නන්ට දඬුවම් ලබා දෙන දෙවියකු ලෙසට.   


වීර තෙදැති දෙවොල් දෙවියො තෙදබලයෙන් ගොඩ ආ කල   
​වේරගොඩට ඇවිත් එතැන දේවාලය කළෝ එකල   
නෑර තිබෙන දේවාලය දෙවොල් නමින් ලොව තද බල   
බෑර ලවන් සියලු රෝග දෙඇස් වටේ දෙපිටි පතුල   
යස තෙදබල දේවාලෙක වේරගොඩත් වුයේ පැවැත   
තොස කර ඒ දෙවොල් දෙවිඳු වැඩ සිටියෝ වෙලා සමත   
දසඟිලි දසනිය අතරින් සිරුරේ වන් හැම පිරිපත   
දොස පිස හැර දුරබලවත් දෙවොල් දෙවිඳු තෙදින් මෙවැත   
ළමැද පිට දැලවරේ බැඳ වට සීමා බැඳ පින්   
බඩවැල සහ දෙවකුල දෙකලව ඉල්වට තර කරමින්   
දෙකෙන්ඩ තුළ වළලුකරේ දෙපතුළ දසනිය බැඳපන්   
දෙවිඳු අරිහත් මගේ සියොළඟ නොහැරම සීමා බැඳපන්   


සැ.යු. ​දෙවොල් දෙවියන්ට සම්බන්ධ ලංකාවේ අප්‍රසිද්ධ දේවාල යම් මූලාශ්‍ර තොරතුරු ඔබ සතුව ඇත්නම් දෙවොල් දෙවියන් පිළිබඳ සකස් කෙරෙන පර් යේෂණ ග්‍රන්ථයට ඇතුළත් කිරීමට 0773229775 අංකයෙන් මේ ලේඛකයාට කතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. පාණදුර අප්‍රසිද්ධ දේවාලය පිළිබඳ තොරතුරු ඔබ ලබා දුන් තොරතුරු මතින් හෙළිදරව් වූවකි.   


අරුණඩේල් විජේරත්න