​දෙවියන්ට පහනක් තියන නිවැරදි ක්‍රමය


 

 

කිලිකුණු යනු කුමක්ද?   


දෙවියන්ට පහන් තබන බැතිමතුන් බොහෝ පිරිසක් කිලිකුණු පිළිබඳව නොදන්නා නිසා පුද පූජාවන් කිරීමේදී එහි නියම ප්‍රතිඵල ලබානොගනිති. දෙවියන්ට බුදුන්ට පුද පූජා තබන විටදී අදාළ භූමිය ද කිලි කුණුවලින් තොරව තබාගැනීමට වගබලා ගත යුතුවේ. එමෙන්ම තේවා කටයුතුවලදී තමන් ද පිරිසිදු වීම ඉතා වැදගත් වන අතර කිලි කුණු යනු අපවිත්‍ර වීමයි.   


ඇතැම් පුද්ගලයින් මස්, මාළු පිනි කා බී පහන් තබන විට දිය නා ශරීරය පිරිසිදු කර එම වතාවත් සිදු කරනු ලබයි. මෙය වැරදි ක්‍රියාවකි. මස් මාංශ ආහාරයට ගත්විට ඒවා එම දවසේ අප කුසේ පවතී. දෙවියන්ට පහන් තබන විටදී බඩේ ඇති මෙම මස් මාංශ දුගඳ හමමින් මුඛයෙන් පිටවී දෙවි පහන තබන ස්ථානය අපිරිසිදු වේ.   


දිනය පුරා   


මස් මාංශයෙන් තොරව පහන් තැබීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.   


පහන් තබන බැතිමතුන් නොගත යුතු ආහාර   


පිළී මස් මාංශ - ඌරු මස්, මෝර මාළු, කුකුළු මස්, මොනර මස්, කෙරලි මාළු, හරක් මස්, වඳුරු මස්.   


පිළී ඇති එළවළු වර්ග - රතු පලා, අළුකිතල, කංකුං ආදිය   


මිනිසුන්ගෙන් ඇතිවන කිලිකුණු   

කොටහළු කිල්ල   


දැරියක් වැඩිවියට පත්වන නිවසක ඇතිවන කිල්ල ප්‍රධාන කිල්ලකි. මෙම කිල්ල මාස 03 ක් දක්වා පවතින බැවින් මෙම කාලය තුළදී දෙවියන්ට පහන් තැබීම සිදු නොකළ යුතුයි. තුන් මසක් ගෙවුණු පසු ගෙදර දොර පිරිසිදු කර නැවත පහන් තැබීම වැදගත් වේ.   


දරු කිල්ල   


පහන් තබන නිවසේ දරුවකු ලැබුණු විට එයද කිලි ගණයට අයත් වේ. එබැවින් අඩුම තරමේ තුන් මාසයක් යන තෙක් නිවසේ හෝ දේවාලයේ පහන් තැබීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් වේ.   


මරණ කිල්ල   


පවුලට අයත් ලේ ඥාතියෙකු මියගිය විටද කිල්ලක් ලෙස හැඳින්වේ. එබැවින් තුන් මාසයක් යන තෙක් දෙවියන්ට පහන් තැබීම, දේවාල භූමි වෙත ගමන් කිරීම සුදුසු නැත.   


දෙවියන්ට පහන් තබන අප වැළකිය යුතු වෙනත් ක්‍රියා   


වනා ඇති රෙදි වැල් යටින් යෑම, අනුන් කන ලද ඉඳුල් කෑම පිඟානේ කෑම, අනුන් නිදාගත් කොට්ට පැදුරු පාවිච්චි කිරීම, මත්පැන් පානය කිරීම, වැසිකිළි හා කුණු ගොඩවල් අපවිත්‍ර ස්ථාන අත් ආවරණයකින් තොරව අතපත ගෑම, මළ ගෙදරකට ගිය විට එම නිවසින් ආහාරපාන ගැනීම, මරණයකදී දේහය තැන්පත් කරන ලද පෙට්ටියට අතගැසීම, අඹුසැමි ඇසුරින් පසු වරු තුනක් ඇතුළත පහන් තැබීම නොකළ යුතුය, මාස් ශුද්ධියට පත් කාන්තාවන් පහන් තැබීම නොකළ යුතුය, අනුන් අඳින ලද ඇඳුම් ඇඳීම නොකළ යුතුය.   


දෙවියන්ට සුදුසු පලතුරු පූජාව   


අප රටේ ඇත්තන් දෙවියන්ට දේවාල වෙත ගොස් තබන පූජාවන් වැඩිපුරම වැරදි ආකාරයට සිදු කරනු ලබයි. පලතුරු යනු මොනවාදැයි ඇතැම් අය නොදන්නා නිසා දෙවියන්ට නොතැබිය යුතු පලතුරුද පුදට තබමින් පසුවෙති. කුමන හෝ දෙයක් පලතුරු වට්ටියට තබා මුදල් හම්බ කිරීමට පලතුරු වෙළෙන්දන් පුරුදුව සිටින අතර, දේවාලයේ කපු මහතා එන බැතිමතුන්ගේ සිත් නොරිදවා දෙවියන්ට පූජා කිරීමට කටයුතු කරනු ලබයි.   


පලතුරු පූජාවේ පලතුරු දේව පූජාවේදී වර්ගීකරණයට භාජනය වන බව තැකිය යුතුය. පළමුවෙන්ම සෙත් පූජාවේ පලතුරු ද දෙවනුව වස් පූජාවේ පලතුරු ද වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. මෙහිදී පලවැල පලතුරු කාණ්ඩයට කෙසේවත් ඇතුළත් නොවේ. පලතුරු යනු තුරේ පලයි හෙවත් ගහේ ගෙඩියි. එවිට වැලේ පල හෝ පඳුරේ පල පලතුරු නොවේ.   


මෙහිදී සෙත සඳහා සෙත් පූජා පලතුරු තෝරාගත යුතුය. අවැඩ සඳහා වස් පූජා පලතුරු තෝරාගත යුතුය. පලතුරු නාමාවලියෙන් මදුලු සහිත පලතුරු පිදීම වඩා වැදගත් බවත්, නොඑසේ නම් ඒ තැන ගඩාගෙඩිවලට දීමේ වරදක් නොමැති බව අප ආචාර්යවරුන්ගේ නිර්දේශයයි.   


සෙත් පූජාවේ පලතුරු   


වැල, වරකා, වැලි අනෝදා, කටු අනෝදා, බුරි අනෝදා, දූරියන්, සැපතිල්ලා, බෙලි, අඹ, දෙලුම්, රටලාවළු, ගිරිතිල්ල, පේර, වෙරළු, උගුරැස්ස (කටුලොවි), කරඹ, ජමනාරං, පැණි දොඩම්, ජම්බු, කජුපුහුලන්, වීර, පළු, මොර,​ නෙල්ලි, දං, කිරල, මැංගුස්.   


වස් පූජාවේ පලතුරු   


සිදරන්, නමිනාරන්, රඹුටන්, පැපොල්, ජම්බෝල, දිවුල්, අන්නාසි, කිරිල්ල, ඇඹිල්ල, ඇඹුල් පේර, ඇඹුල් ලොවි, කාමරංගා, යකිනාරං, ගල් අන්නාසි, ඇඹුල් දොඩම්.   


සෙත් පූජාව සඳහා ගන්නා කෙසෙල් වර්ග   


රත් කෙසෙල්, සුදු කෙසෙල්, කෝලිකුට්ටු, ඇඹුල්, හොඬරවාළු, සුවඳැල්, ඇම්බුම්, ආනමාළු, සීනි කෙසෙල්.   


වස් පූජාව සඳහා ගන්නා කෙසෙල් වර්ග 

 
ඇට කෙසෙල්, ඇටි කෙසෙල්, අළු කෙසෙල්.   


දේව පූජාව සඳහා පැණි කොමඩු, සීනි කැකිරි, වැනි දේ ද තබනු නිතර පෙනේ. ඒවා එළවළු ගණයේ වැටේ. එමෙන්ම අන්නාසි තැබීම නිතර සිදුවුවත් ඒ පූජාවෙන් සෙතක් නොවේ. සූනියම් කැපීමට ගන්නා ද්‍රව්‍ය අතර අහු, අන්නාසි, ජම්බෝල, සිදරන්, කාමරංගා, පුහුල් මූලිකත්වයෙන් ගැනෙන බව අමතක නොකළ යුතුය.   


පූජාව සෑදීමද යාග රටා ගණයට ගැනේ. පූජාව සෑදීමේදී හතර පස්දෙනකු එක් වී කතාබහ කර කර පලතුරු සේදීම, කැපීම අතරේ පලතුරු අපිරිසිදු වන බව දැනගත යුතුය. ඇසට නොපෙනෙන සෙම් සොටු බින්දු මුඛයෙන් පිටවන කෙළ බින්දු නිතරම පලතුරුවලට එක්විය හැකිය. එබැවින් පලතුරු පූජාව සකස් කිරීමේදී සුගන්ධය හමන පලතුරු හමන පලතුරු තැබීම වැදගත්ය.   


පලතුරු පූජාවට අවශ්‍ය දේවල්   


සෙත් පලතුරු වර්ග 07, තැඹිලි ගෙඩි 01, පොල් ගෙඩි 01, උක් දඬු කැබැලි 01, කෙසෙල් ඇවරි 01, කපුරු, බුලත්, හඳුන්කූරු ආදී සුවඳ ධූපය.   


කැවිලි තබන්නේ නම් තමන් විසින්ම පිරිසිදුව සෑදූ නොඉඳුල් ඒවා තැබීම වැදගත්ය.   

 


කේ.ඩී. දේවප්‍රිය
කතරගම