​දෙවියන්ට තබන පූජා වට්ටියට මොකද වෙන්නේ?


කෘෂි අර්ථ ක්‍රමයකට නෑකම් කියන අපේ සංස්කෘතියේ ඇදහිලි, ආකල්ප, භාරහාර ඔප්පු කිරීමට හිමිවන්නේ සුවිශේෂ තැනකි. අපේ මුතුන් මිත්තන් තම දිවිය ගෙන ගියේ දඩයමෙනි. ඉන්පසු එම සමාජ ක්‍රමය වැව ආශ්‍රිත ගොවි අර්ථ ක්‍රමයක් දක්වා පරිවර්තනය විය. අතීතයේ සිට පැවත එන මේ ජීවන රටාව පොදුවේ විග්‍රහ කළ හැක්කේ කෘෂිකාර්මික චක්‍රයක් (Agricultural Circle) ලෙසය. අස්වැන්නෙන් පළමු කොටස හැඳින්වූයේ ‘අඩුක්කුව’ යනුවෙනි. එය දෙවියන් වෙනුවෙන් කැපකොට දානයක් දී දෙවසරකට පමණ අස්වැන්නට දේව ආරක්ෂාව පැතීම එම දානයේ අරමුණ විය. අස්වැන්න වෙනුවෙන් දෙවියන්ට ‘පලතුරු’ පූජා වට්ටි පූජා කිරීමද දුරාතීතයේ සිටම පැවත එන්නකි. මෙම ‘පලතුරු’ පූජා වට්ටිවලින් පිදුම් ලබන දෙවියන් මෙරට ජනතාවගේ ජනාදරයට පත්වන්නේ නිතැතිනි. 

කතරගම, විභීෂණ, සමන්, උපුල්වන් ආදී දෙවිවරු ලක්දිව පුරාම මෙසේ ‘පූජාවට්ටි’ වලින් පිදුම් ලබති. ලංකාවේ කෙතරම් දෙවිවරුන් ‘පූජාවට්ටිවලින්’ පිදුම් ලැබුවද ලක්දිව පුරාම පුද සත්කාරයට ලක්වන්නේ ‘පත්තිනි දේවතාවිය’ යයි කිවහොත් වරදක් නැත. ලංකාවේ ගැමි දිවියට මෙන්ම නාගරික ජීවිතයේද පත්තිනි දේවිය පුද සත්කාර ලබන්නේ වෙනසක් නැතිවය. බොහෝ දෙව්වරුන් අණසක පතුරුවන ප්‍රාදේශීය දෙවිවරුද සිටිති. උන්වන්සේලා ද ‘පූජාවට්ටි’ වලින් පුද පූජා කිරීම ප්‍රදේශවාසීන්ගේ මෙන්ම දුරබැහැරින් පැමිණෙන භක්තිකයින්ගේද සිරිතය. කැලණි ප්‍රදේශය විභීෂණ දෙවියන්ටත්, සබරගමුව සමන් දෙවියන්ටත්, රජරට ප්‍රදේශය අයියනායක දෙවියන්ටත් ආදී ලෙස මෙසේ ප්‍රාදේශීය දෙවිවරුන් දැක්විය හැකිය. ලක්වැසි සියලු දෙනා ගෞරවෙන් සලකන පත්තිනි ඇදහීම ජනසාහිත්‍යයේ සටහන්ව ඇත්තේ කවියෙනි.  
 
ඉර බාරයි ඉරවට යන දෙවියන්ට  
සඳ බාරයි සඳවට යන සාවුන්ට  
මල බාරයි මලවට යන බඹරුන්ට  
අප බාරයි සත්පත්තිනි දෙවියන්ට  
 
පූජා වට්ටි අලෙවියට ඇති තැන් කිහිපයකම කරක් ගැසූ අපට දැනගන්න තිබුණේ දැන් පූජා වට්ටි සඳහා ඇති ඉල්ලුම එන්න එන්නම වැඩිවන බවය. විභාග ඇති කාලයක පූජා වට්ටි අලෙවිය ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වයකි. කවදත් විශ්වාසයෙන් දෙවියන් අදහන බැතිමතුන් තමන් මුහුණ දෙන ප්‍රශ්න හා ගැටලුවලට විසඳුම් සොයා ගැනීමටද පූජා වට්ටියක් පූජා කිරීම සිරිතකි. සමහරුන් භාරය වන්නේ තමන්ගේ අරමුණ සාර්ථක වුණොත් පමණක් ‘පලතුරු’ පූජා වට්ටියකින් භාරය ඔප්පු කරන බවය.
 
 අපේ අරමුණ වූයේ දෙවියන්ට තැබූ මේ පූජා වට්ටිවලට සිදුවන්නේ කුමක්දැයි සොයා බැලීමය. එහෙත් ඊට කලින් මේ පූජා වට්ටියක් නිසි ලෙස සකසා ගන්නේ කෙසේදැයි දැනගැනීමට අපිට අවශ්‍ය විය. ඇත්තෙන්ම මෙහි අරමුණ පලතුරු පූජාව දෙවියන්ට පුදකොට දෙවියන් තුටුකොට ආශිර්වාදය ලබාගැනීමය. බොහෝ පූජා වට්ටි පූජාව මෙන්ම යන්තම් හෝ දැනුවත්ව ඇත්තේ චතුමදුර පූජා ගැන පමණක් බව අපට පෙනී ගිය කරුණකි. එහෙත් සොයා බැලීමේදී පෙනී ගියේ පූජා වර්ග කීපයක් ඇති බවකි. මේ අතරින් වඩාත් ප්‍රචලිත පූජාවන් නම් ප්‍රදීප පූජාව, භෝජන පූජාව, පංචමධු පූජාව, සුගන්ධවත් පූජාව හා පානක පූජාවන් බැතිමතුන් අතර ජනප්‍රිය ය.  
පූජා වට්ටියක් සූදානම් කිරීමේදී මුලින්ම කළ යුත්තේ එම ස්ථානය කහ දියර ඉස පිරිසිදු කර ගැනීමය. භාවිත කරන සියලු භාජන කහ වතුරෙන් සෝදා මුඛවාඩම් බැඳගත යුතුය. තමන් පූජා වට්ටියට තබන්නට තීරණය කරන බුලත් කොළ කහවතුරෙන් සෝදා ගැනීමය. එය 21, 54 හෝ 108 ක් විය හැකිය. නිශ්චිත බුලත් කොළ ප්‍රමාණය නැට්ට උඩට හිටින්නට පූජා වට්ටිය වටේට අතුරා හොඳම තත්ත්වයේ පිරිසිදු තැඹිලි ගෙඩියක් පොල් ගෙඩියක් තෝරා ගත යුතුය.   
 
පූජා වට්ටියට බොහෝ විට තෝරා ගන්නේ සුවඳ ගසන පලතුරුය. අන්නාසි, අඹ, දෙළුම්, දොඩම්, වරකා, ඇපල්, මිදි, උක්, නාරං, පේර මෙන්ම දිවුල් ද බැතිමතුන්ගේ තෝරා ගැනීම වී ඇත. මේ හැම පලතුරකම ඇස්ස උඩිනුත් යටිනුත් ඉවත් කෙරේ. එහෙත් ගස්ලබු හෝ දුරියන්, මැංගුස්, ගඩුගුඩා වැනි පලතුරු අප ගිය දේවාල එකකවත් පූජා වට්ටිවල තිබුණේ නැත. පූජා වට්ටියේ කටයුතු එතැනින් හමාර බව කිව්වොත් ඔබ වැරදිය. හඳුන්කූරු, පඬුරු, කපුරු ආදිය තබා එයට පිරිසිදු මල් මාලයක් එක්කර ගත යුතුයි. අවසානයේ පිරිසිදු රෙදිකඩකින් පූජා වට්ටිය වසා දැමිය යුතුය.  
 
පූජා වට්ටියට තබන පඬුරු පසුව නෝට්ටු බවට පත්විය. එය දැන් ධනවතුන් රු. 5000 නෝට්ටු දෙක තුන තබා තම සමාජ තත්ත්වය පෙන්වන පැතිකඩක් වී තිබේ. ඇත්තෙන්ම මේ පූජා වට්ටි සඳහා තැබිය යුත්තේ ලෝහමය පඬුරු විනා කඩදාසි නෝට්ටු නොවේ. පඬුරු නියෝජනය කරන්නේ පූජාව දෙවියන්ට කැප කළ බවය. අදටත් ගම්වල කතරගම යාමට පඬුරු එක්කිරීම සිරිතකි. කතරගම ගිය දිනක දේවාලයට ඒවා පූජා කිරීම සාමාන්‍ය සිරිතයි.  
 
පූජාවට තබන මුදල් නෝට්ටු ගැන නිසි විගණනයක් නැති බැවින් එම මුදලට වන්නේ කුමක්දැයි සිතනවාට වඩා එම මුදලට ‘දෙවියන්ගේම පිහිට’ යයි සිතා සිත හදා ගැනීම කෝකටත් හොඳයැයි කියති. අලින් සමීපව ගැවසෙන එක් දේවාලයක කපු මහතකු අපිට මේ පලතුරු පූජා වට්ටි ගැන සඳහන් කළේ මෙවැනි අදහසකි.  
 
සමහර පූජා වට්ටිවල පලතුරු කුණුවෙලා. අව්වට වේළිලා, සමහරක් ඉදිලත් නෑ. උණ ගැට, මේවායේ පූජාවට්ටි තියෙන අපිත් බිස්නස් එකට හදන පූජා වට්ටි කඩකාරයොත් කර ගන්නේ පවක්. මේ පූජාවට්ටි අලින්ට දුන්නම උන් කන්නෙත් නෑ. මේ වගේ පූජා වට්ටි දේවාල බිමේ ඉන්න රිලවුන්ට, වඳුරන්ට නම් කීයටවත් දෙන්නේ නෑ. මොකද උන් ඒවායින් අපට දමල ගහනවා.  
 
 මේ කපු මහතා කියන පරිදි මෙවැනි පලතුරු පූජා වට්ටිවල තැබීම නිසා ඔවුන්​ෙග් දේවාල භූමිය බරපතළ ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමේ අර්බුදයකටද මුහුණ පා ඇත. කසළ කළමනාකරණයේදී මෙම නරක් වූ සහ ප්‍රමිතියෙන් තොර පලතුරු යොදා ගැනීම නිසා කසළ අර්බුදයක් දේවාලවලට උරුම වී ඇත්තේ නිරායාසයෙනි. දේවාල භූමියට ඇතුළු වන ගේට්ටුව ළඟම පූජා වට්ටියේ පලතුරුවල ප්‍රමිතිය සොයන නිලධාරියකුගේ පිහිට පතන්නට අවසානයේ දේවාලයේ භාරකරුට සිදුවනු නියතය.  
 
මේ පූජා වට්ටිවලට සිදුවන දේ ගැන අප අසා නැති විදියේ කතන්දරයක් කිව්වේ කළුතර ප්‍රදේශයේ හිමි නමකි.  
 ‘දැන් මේ දෙවියන්ට තියන පලතුරු වට්ටි, රසකැවිලි වර්ග පූජාව තියල වන්දනා මාන කරල ඉවරවෙලා යන ගමන් ආයෙමත් ඔතාගෙන යන පුරුද්දක් පටන් අරන් දැන්. පන්සලේ ඇතිකරන අලියකුටවත් කන්න දෙයක් ඉතුරු කරන්නෙත් නෑ. පන්සලට දෙන දානවලත් පලතුරු පූජා කරනවා ස්වාමීන් වහන්සේලාට. ඒවා සාංඝික කරනවනේ. දානෙ ඉවරවෙලා සාංඝික කරපු පලතුරු රසකැවිලි ටිකත් ඔතාගෙන යනවා පුදුම මිනිස්සු ටිකක්.
 
දේවාලවල තබන පලතුරු පූජා වට්ටිවලින් බැතිමතුන්ට වඩාත් උපයෝගිතාවයෙන් පුද සේවා සපයන දේවාල ද තිබේ. සමහර දේවාලවල පලතුරු කාමරයක් තිබේ. ගම්වැසියන්ට හෝ බැතිමතුන්ට තමන් කැමැති පලතුරක් එහිදී බාධාවකින් තොරව රැගෙන ගිය හැකිය. මෙවැනි කාමරවලට යැවෙන්නේ නොම්මර එකේ පලතුරු ටික පරෙස්සමට තියා කපු මහත්තුරු ගෙදර ගෙන යාමෙන් පසු ඉතිරිවන ඒවා බව නොලියුවහොත් අපේ කපු මහත්තුරු තරහ විය හැකිය.  
 
එමෙන්ම ඇතැම් දේවාලවල හොඳ පලතුරු තෝරා ජූස් එකක් ලෙස සාදා නොමිලේ බැතිමතුන්ට දීමද ඔවුන්ට විඩාව නිවා ගැනීමට හේතුවනු ඇත.  
 
දේවාලයේ පහනේ පොල්තෙල් ටික නොකැපූ පලතුරු ටික මෙන්ම කහට නොපිපෙන පලතුරු ටික නැවතත් පලතුරු කඩයකටම යන ක්‍රමවේදයටද ඇත්තේ ඈත ඉතිහාසයකි. අප හට එක් කපු මහතකු පවසා සිටියේ වත් පොහොසත්කම් අනුව පූජා වට්ටියේ වටිනාකම වෙනස්වන බවය. වංචා, දූෂණ, අපරාධ කරන අය කොතරම් අධි මිල මුදල් වැයකර පූජා වට්ටි පූජා කර දේවාශිර්වාදය ඉල්ලා සිටියත් ලැබෙන්නේ දේව ආශිර්වාදය නොව දේව උදහසට ලක්වීම බවය. මෙවැනි දූෂිතයින්ට දේව කරුණාව අයැදින කපු මහත්වරුන් පවා දේව උදහසට ලක්වන බව ඔහුගේ අදහස විය.  
 ‘මොනවද මහත්තයා, සල්ලි නැත්නම් පූජා වට්ටිවලට වද වෙන්න ඕන නැහැ. වියදම් කරන්න සල්ලි නැත්නම් හොඳට බුලත්කොළ දෙක තුනක් කහවතුරෙන් හෝදල හඳුන්කූරු එක්ක පූජා කළත් ඒක දෙවියන්ට කරන පූජාවක් තමයි.  
 
‘වත පුටුව’ යනු දේවාලයේ දෙවියන් වැඩමවන ආසනයයි. බැතිමතකු වරක් භාරයක් ඔප්පු කළේ පවුම් දහයක රන් මාලයක් වත පුටුවට පැළඳවීමෙනි. තම පැතුම් ඉටුවූ නිසා බැතිමතා ඉන්පසු ඉස්පාසුවක් නැතුව පෙරහැරේ නටන්නට වූ​ෙය් එදා පෙරහැර දිනයක් වූ නිසාය. රන් මාලය දුටු කපු මහතෙකු පසුදා අලුයම පැමිණ එයට වැඩ දුන්​ෙන් උදේ ​ෙවන්නට පෙර ඊට සමාන ඉමිටේෂන් මාලයක් ගෙනවිත් තබන්නටය. ගෙදර ගොස් අලුයමම තම බිරිඳට රන් පවුම් දහයේ මාලය දන් දුන් හොර කපුවා ගෙදරින් එළියට බැස්සේ දේවාලය අසල දිවා රාත්‍රි ඉමිටේෂන් ආභරණ කඩයකින් ඊට සමාන මාලයක් ගෙන ‘වත පුටුවට’ පැළඳවීමටය. ඔහු එළියට බහිනවාත් සමඟම හෙණගසා වහින්නට විය. අලුයම පූජාවට පෙර මාලය ගෙන ආයුතු බැවින් දැඩි වැස්ස නොතකා ගමන් කළ ඔහු පාරේ වැටී ක්ෂණිකව පරලොව ගොස් තිබුණි. කපු මහතාගේ නිවසේ කොටසක්ද ප්‍රචණ්ඩ සුළගෙන් කඩා වැටුණ නිසා කපුවාගේ දේහයවත් තියන්නට නොහැකි විය. දෙවියන්ට පිදූ පූජා භාණ්ඩ කන කපුවන්ට මේවා හොඳ පාඩම් ය.
 
 
 
 
වජිර ලියනගේ