​තෝම්බුවෙන් හෙළි​ෙවන පෘතුගීසි කාලේ සමාජ තොරතුරු


 

පුද්ගලයකුට අදාළ තොරතුරු අඟවන තෝම්බුව යන වදන මෙරට භාවිතයට එන්නේ මෙරට මුහුදුබඩ පළාත් අල්ලා ගැනීමෙන් අනතුරුවය. කෝට්ටේ රාජධානිය ප්‍රමුඛ ප්‍රදේශ පරංගි පාලනය යටතට පත්වීමෙන් පසු රාජ්‍ය ආදායම් එකතු කිරීමේ ක්‍රියාපටිපාටි නව මුහුණුවරක් ගෙන තිබිණ. තෝම්බුව යනුවෙන් දක්වන්නේ පුද්ගලයකුට අයත් දේපළ පිළිබඳව තොරතුරු සොයා ඒවා ඒකරාශීකොට සකස් කළ ලේකම් මිටියටය. උපත, විවාහය, මරණ වතුපිටි, හරක බාන, රැකියාව, පවුලේ තොරතුරු පමණක් නොව ඔහුගේ ජාතිය ජන්මය පිළිබඳ තොරතුරු පවා ඊට ඇතුළත්ය.   


පත් ඉරු අංක යොදා ගම්, පත්තු, කෝරල, ආදියේ නම් සහ ආදායම් නිලධාරියාගේ අත්සන සහිතව සැකසුන තෝම්බු වර්ග දෙකක් විය. ඉන් එකක් වූයේ රටවැසියන්ගේ දේපළ පාලකයන්ට සලසන සේවා දායකත්වය සහ ඔවුන්ගෙන් ලැබිය යුතු ආදායම් පිළිබඳ තොරතුරු ඇතුළත් දේපළ ලේඛනයයි. අනෙක කතෝලික සභාව සඳහා වෙන් කරන ලද ඉඩම් සහ පුද්ගලයන්ට පවරා දෙන ගම් බිම් පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනය විය. එසේ ලබාදෙන ගමේ නම, ගම් ලද්දාගේ නම ඔහු ගෙවිය යුතු බද්ද ආදිය එහි වෙන්ව සඳහන් කරන ලදී.   


රජයට පක්ෂපාත එසේම ප්‍රමාණවත් දැනුමක් ඇති ස්වදේශිකයන් තෝම්බු නිලධාරීන් ලෙස එකල යොදා ගන්නා ලදී. සෑම ගමකටම, ගොස් ගමේ ප්‍රධානීන් ගේ ද සහාය ඇතිව ගම්වැසියන් පහසු ස්ථානයකට කැඳවා මෙම ලේඛන සකසා ගන්නා ලදී. ගම්වාසීන්ට අයත් ඉඩම්වලට අදාළ පැරණි සන්නස් හා ඉඩම් පිළිබඳ වෙනත් ලියවිලි ඉදිරිපත් කිරීමට වැසියන් අකමැතිවීම තෝම්බු සකස් කිරීමට බාධාවක් වී ඇති අතර මේවා සකස් කිරීම නිසා රටේ සමාජ හා ආර්ථික ව්‍යුහය ව්‍යාකූලත්වයට පත්වීමක් ද සිදුව තිබේ.   
ඇතැම් බදු ගෙවන ලද්දේ රජයට සේවාවක් ඉටුකිරීම මගිනි. දෝලා ඔසවා ගෙන යාම ‘තුනම් බද්ද’ ට අයත් රාජකාරිය විය. කපිතාන් ජනරාල්ගේ දෝලාව ඔසවා ගෙන යන පවුල් කිහිපයක් හතර කෝරලයේ වරකාපොල සහ වැලිගල්ල යන ගම්වල විසූ බව තෝම්බු විස්තරයක දැක්වෙයි. 

 
කුරුඳු තලන ජනතාව මහබද්ද, සුළුබද්ද, සහ තැළුම්බද්ද යන කොටස් තුනක් යටතේ බදු ගෙවූහ. මහබද්ද භාරව සිටි නිලධාරියා මහබද්ද විදානේය. මහබද්දට අයත් පවුලක් ජීවත් වූ සෑම ගමකම දුරයෝ හෙවත් මුලාදෑනීන් වූහ. සෑම දුරයකු යටතේම කුරුඳු තලන පවුල් කීපයක් විය. ඒ බව තෝම්බුවක සඳහන් වන්නේ මෙසේය.   
වැලිතර ප්‍රැන්සිස්කු සුවාරිස් දවටමුන දුරයා යටතේ පවුල් 11 ක් විය. කොස්ගොඩ ප්‍රන්සිස්කු ආබ්‍රෘ අගම්පොඩි දුරයා යටතේ පවුල් 06 ක් විය. පොල්ගස් 80 ක් හා වී අමුණු හතරක් ඇති වැලිතර දෙමුන දුරයා අවුරුදු පතා කුරුඳු අරෝබා 11 ක් පෘතුගීසි පාලනයට දුන්නේය. (පෘතුගාලයේ කුරුඳු මණින මිම්ම වන අරෝබාව රාත්තල් 32 කි)   
මේ හැරුණ විට අලි ඇතුන් වෙළෙඳාම, මැණික් ගැරීම හා විකිණීම, පුවක් වෙළෙඳාම ආදිය පිළිබඳ තොරතුරු පෘතුගීසි තෝම්බුවල දක්නට ඇත. කෝට්ටේ රජු දවස අලි ඇල්ලීම, හීලෑ කිරීමේ, ඔවුනට ආහාර පාන සැපයීම කළේ පනික්කි කුරුවේ සහ පන්න යන නම්වලින් හැඳින්වූ ජන කොටස් තුනය. දොළොස් දහස් කෝරළයේ අලි අල්ලන පනික්කි ජනයාගෙන් සමන්විත ගම්මාන 44 ක් විය. රජයෙන් ලත් ගොඩ මඩ ඉඩම් භුක්ති විඳි ඔවුන් ඒ වෙනුවට වසරකට අලි ඇතුන් 30 ක් සැපයිය යුතු විය. අලියකුගේ මිල නියම කෙරුණේ උස අනුවය. උස රියනකට පාර්දාවෝ 1000 කි.   


මියගිය අයකුගේ චංචල දේපළින් අයකරන බද්ද මරාල බද්ද යි. මියගිය අයට පිරිමි දරුවකු සිටියි නම් ඔහුට තුනෙන් එකක් හිමිය. පිරිමි දරුවකු නැත්නම් එම දේපළ රාජ සන්තක වෙයි. මොහොට්ටාල සහ කනකපුල්ලේ මේ බදු අය කළහ. මියගිය අයගේ උරුමකරුවෝ ඔවුන් ඉදිරියේ පෙනී සිට චංචල දේපළ ලැයිස්තුවක් සකස් කොට රජුගේ කොටස් තක්සේරු කර නිලධාරීන්ට භාර දුන්හ. උරුමකරුවන් කතෝලික ආගම වැලඳ ගත් විට මරාල බද්ද අය කරගත්තේ නැත.   
පෘතුගීසි පාලන සමයෙන් පසු 1658 සිට 1796 දක්වා පැවති ඕලන්ද සමය තුළදී ද තෝම්බු සකස් කරන ලදී. ලංකාවේ නිරිතදිග තැනිතලාවේ තෝම්බු කොමසාරිස්වරුන් ලෙස පත් කළේ අප්පුහාමිවරුන්ය. එනමින් පැවතෙන්නෝ අද පවා සිටිති. රාජකාරි සහායට කෝරළයේ මුදලිවරුන්, ගමේ ගම්මුලාදෑනීන් සහ ජ්‍යෙෂ්ඨයන්ගේ සහාය ගන්නා ලදී. හිමිකම පැවසූ සෑම ඉඩමකටම අදාළ ඔප්පු සන්නස් ආදිය ඉදිරිපත් කළ යුතුවිය. නොඑසේනම් පරම්පරා තුනක් අඛණ්ඩව භුක්ති විඳි බවට මුලාදෑනීන් ඉදිරියේ තහවුරු කළ යුතු විය. පවුලේ අය රජයට ඉටු කිරීමට බැඳී ඇති සේවය ද දින ගණන ද එම තොම්බුවල ඇතුළත් කරන ලදී.   


ඕලන්දකාරයන් විසින් සකස් කළ තෝම්බු වර්ග තුනකි. ගෘහ මූලික පදනම යටතේ සකසන පවුල් තෝම්බුව, පවුලේ සියලුදෙනාගේ නම, වයස, අනිවාර්ය සේවාව, ගෘහමූලිකයාගේ කුලය ඉතා වැදගත් විය. භුක්තිය තහවුරු කිරීමට අමසමත් වූ විශාල ඉඩම් රජයේ අයිතියට පත්විය. සෑම ගමකම ජීවත් වූ කුල සේවාවන් ප්‍රථම වරට ලියාපදිංචි වූයේ මේ සමයේය.   
පවුල් තෝම්බුවට අමතරව ඉඩම් තෝම්බුව මෙන්ම විවාහ තොරතුරු ද තෝම්බු ගත කරන ලදී. විරිත්ත ගමගේ දොන් ප්‍රැනිසිස් ද සේනාරත්න කුමාරප්පෙරුමාල් ගජමන් ආරච්චි, ගජමන් නෝනාගේ පියා විය. ඔහුට ගජමන් ආරච්චි වසම සහ කහවත්ත තෝම්බුව භාර විදානආරච්චි වසම ද ආණ්ඩුකාරයා විසින් පවරා තිබිණ. 1758.02.05 දින තමන් බෞතිස්ම කෙරුණු කොල්ලුපිටිය මිලාගිරිය පල්ලියේදීම එම පාසලේ ප්‍රධානාචාර්ය ජසෙන්ද ග්‍රේරුගේ ප්‍රැන්සිනා ග්‍රේරු හෙවත් නෝනාබබා ඔහු ආවාහකොට ගත්තේය. දුවණිය වූ ගජමන්නෝනාගේ සම්පූර්ණ නම දෝන ඉසබෙලා පෙරුමාල් කොරනේලියා නම් විය.   
මුහුදු බට ප්‍රදේශවල පෘතුගීසි සහ ඕලන්ද අාධිපත්‍යය යටතේ පවුල් පහසුවෙන් හඳුනා ගැනීම සඳහා පෙළපත් නාමය තෝම්බුවල සඳහන් කරන ලදී. වයස අවුරුදු 12 ට වැඩි සියලුදෙනා ඇඟ බද්දට යටත් විය. වයස ගැන සැක පහළ වූ විට ‘‘උස්සාපිය අත, පෙන්නාපිය කිහිල්ල’’ යනුවෙන් පවසා කිහිල්ලේ රෝම කූප පරීක්ෂා කර ඇත.   
මාතර දිසාවේ කටුවන, කිරම, ඌරුබොක්ක යන ගම්වල විසූ ජනතාව නිපදවූ යකඩ සඳහා බදු වැඩි කරන ලදී. කඳුවැටි වලින් කපා ගන්නා යපස් වලින් වැසියෝ ද යකඩ සදති. යනුවෙන් කපිතන් ස්නයිදර් දක්වා ඇත. යහල්මුල්ල, කම්මල්ලගොඩ, කඹුරුපිටිය, කඹුරුගමුව, හික්කඩුව, කොස්ගොඩ, මීගහදණ්ඩ, බෝඹුවල යන ගම්වල යකඩ සෑදීම සිදුකර තිබේ.   


පෘතුගීසි තෝම්බුවක දැක්වෙන්නේ ගම්වාසීන් රාජ්‍ය භාණ්ඩාගාරයට යකඩ ප්‍රමාණයක් සැපයීම ගම්ලද්දන්ට පැවරී තිබුණ බවය. තෝම්බු අක්‍රමිකතාවයන් නිසා 1790 දී මාතර වැසියෝ ඕලන්දක්කාරයනට එරෙහිව කැරළි ගැසූහ. ඔවුහු තෝම්බු ලේඛන විනාශ කොට මාතර ලන්දේසි උසාවිය ගිනි තැබූහ. මාතර තාරකා කොටුව ඉදිකරමින් බලය තහවුරු කළේ ඉන් අනතුරුවය.   
තෝම්බුව ඕලන්ද සමයේ මුදල් ඒකකවල වටිනාකම දක්වයි. දොයිතුවක වටිනාකම ශත කාලකි. තුට්ටුවක අගය ශත එක හමාරකි. එනම් තඹ සල්ලි තුනකි. දොයිතු 4 ක් තුට්ටුවකි. තුට්ටු හතර පනම් එකකි. පනම් හතර කීවේ ශත විසි පහටය. පනම් අට ශත පණහය.   
වල්ගම තෝම්බු ලිපිය   


රුමීගේ හවු කෙනදි (බැඳි අකුරු) : මලලිකා (බැඳි අකුරු) ගේ කණවැනදුම් (බැඳි අකුරු) : වර්ෂ පණස්පහයි : පුත් දෙනනයි (බැඳි අකුරු) නයිදපපු (බැඳි අකුරු) තිස්හතරයි : පුත් දෙන්නයි : දූ එකයි කිරි නයිදා පහලහයි : පිලිපපු (බැඳි අකුරු) දහයයි : නාචචිරා (බැඳි අකුරු) දහතුනයි : සේපාලේ විසිපහයි : සත්‍රි (බැඳි අකුරු) නාචචිරා (බැඳි අකුරු) විසි හතරයි : පුත් දෙනනයි (බැඳි අකුරු) දූ දෙනනයි (බැඳි අකුරු) : ඩිනගි (බැඳි අකුරු) නයිදෙ හයයි : පුනචි (බැඳි අකුරු) නයිදෙ හතරයි : සිමා දහයයි : පුනචි (බැඳි අකුරු) නාවචිරා (බැඳි අකුරු) නමයයි මුලකී අයගේ දූ : නාවචිරා (බැඳි අකුරු) විසසයි (බැඳි අකුරු) මුලකී අයගේ සහෝදරියෝ නැහුනා දෙනනාගේ (බැඳි අකුරු) දරුවෝ පුත් දෙනනයි (බැඳි අකුරු) දූ දෙනනයි (බැඳි අකුරු) ජුවනදරා (බැඳි අකුරු) පහයි : කිරිසතෝඹු (බැඳි අකුරු) විස්සයි : ආදිරි විසිඅටයි : ලිසී දහඅටයි මුලකී හවුකෙනදිගේ (බැඳි අකුරු) මවුගේ සහෝදරීගේ පුත්තු තුනදෙනයි (බැඳි අකුරු) නනෙද (බැඳි අකුරු) අපපුවා (බැඳි අකුරු) තිහයි සත්‍රී (බැඳි අකුරු) කතෝනා විසසයි (බැඳි අකුරු) පුත් ජුවන් එකයි දිනෙස් විසිහතරයි සත්‍රි (බැඳි අකුරු) ගිමාරා විසසයි (බැඳි අකුරු) පුත් තුනෙදනයි (බැඳි අකුරු) දූ එකයි : මාරුකකු (බැඳි අකුරු) දහයයි අන්දිරිකකු (බැඳි අකුරු) දහයයි ඩිංගි නයිදෙ එකයි සිසිලියා තුනයි කිරිසතොම්බු පහලහයි නයිදෙ අපපුගේ (බැඳි අකුරු) සහෝදරියෝ දෙන්නයි සිබිලා තිසතුනයි (බැඳි අකුරු) නැහුනු සහෝදරීගේ පුත් දෙනනයි (බැඳි අකුරු) දූ එකයි : ඩිනගේ අපපු (බැඳි අකුරු) දහයයි බාල අපපු (බැඳි අකුරු) හතයි සිබිලා මුලකී අයගේ සහෝදරීගේ පුතා කනවැනදුමි (බැඳි අකුරු) ගිමාරා හතලිහයි දූ මරිකකා (බැඳි අකුරු) විසිපහයි : ගෙදරවතථ (බැඳි අකුරු) පොල් පනහ : උස්වතථ (බැඳි අකුරු) පොල් දොලහයි රුක්අතථන වතත (බැඳි අකුරු) පොල් තිහයි : මේවා පිය ප්‍රවේනියයි නෙටොල්ගහවතථ (බැඳි අකුරු) පොල් හතලිහයි අළුත වැව්වා : පියදි තුට්ටු හයයි දොයිතු හයයි.


මෙම තෝම්බුවේ සඳහන් දේපළ පිහිටා ඇත්තේ ගාල්ල මාතර පාරේ 98 වැනි වන මයිල කණුව ආශ්‍රිතවය. මෙම තෝම්බු ලිපිය උපුටාගන්නා ලද්දේ මාතර පඹුරන වාලුකාරාම පුස්තකාලයේ ඇති ඕලන්ද භාෂාමය ලිපිගොනුවේ තුන්වැනි පිටුවෙනි.  


කුසදා කව, සැවුල් අස්න, සුභාෂිතය, දහම්සොඬ දා කව ආදී ග්‍රන්ථ රාශියක් රචනා කර ඇති අලගියවන්න මුකවෙටි සීතාවක රාජසිංහ රජුගේ මරණින් පසු පෘතුගීසි ආණ්ඩුව යටතේ ලේකම් මිටි (තෝම්බු) සකස් කළ බවත් ඔහු දොන් ජෙරනිමෝ අලගියවන්න යන කුලවත් නාමය සහ කිතු සමය වැළඳගෙන විසූ බවත් එසමයේදී පරංගි හටන සහ කොන්තස්තීනු හටන ආදී පොත් රචනා කළ බවත් ඉතිහාසයේ දැක්වෙයි. එසමයේ තෝම්බු ලිවීම රෙජිස්ට්‍රාර් හා සමාන නිලයක් විය. අලගියවන්න පෘතුගීසි ආණ්ඩුවෙන් තාන්න මාන්න හා ගම්බිම් ලබා සිටියේය. පෘතුගීසීන්ගෙන් පසු ලන්දේසීන් යටතේ ද ඔහු එම රාජකාරිය ඉටු කර ඇත. තෝම්බු සම්පාදනයේ දී ඊට බාධා කරන හෝ ප්‍රතික්ෂේප කරන අයට මරණ දඬුවම පැනවීමට පවා අලගියවන්න මුකවෙටි තෝම්බු කොමසාරිස්ට බලයක් ලබා දී තිබේ.  


කෞරව ඉතිහාසය නම් පොතේ මෙසේ සඳහන් වෙයි. අලගියවන්න මුකවැටි තුමා තෝම්බු ලියනු පිණිස හැන්නැඳිගේ (සන්නද්ධගේ) නිවසට ළඟාවිය. එහි උන් හැන්නැදිගේ අයගේ නම් ලියූ පසු ගෘහ මූලිකයා පැමිණ සිය දියණියක ඉන්දියාවෙන් පැමිණි චන්ද්‍රභාරතී නමැති බ්‍රාහ්මනයා සමග විවාහ වී පුතුන් දෙදෙනෙකු ලැබූ බවද කලකට පසු බ්‍රාහ්මණයා මළ බවද දරු දෙදෙනා සහ දියණිය ගෙයි සිටින බවද හෙළි කර ඇත. එකෙනෙහිම මුකවැටිතුමා බැමිණිත් හැන්නැඳිගෙයි යැයි පවසා ඇත. එවක් පටන් එම කාන්තාවට හා දරු දෙදෙනාට බැමිණි හැන්නැදිගේ පෙළපත්නාමය භාවිත විය.  


අරසමුනි ජයසූරිය පතිරාජ පතිරන්නැහැලාගේ නාමය තෝම්බුවේ ලියාගන්නට පැමිණි අලගිවන්න මුකවැටිතුමා එම නාමය දොඹගහ පතිරගෙ යැයි තෝම්බුවේ ලියා තිබේ. තමා නිවසට පැමිණි මොහොතේ සිට ගෘහමූලිකයා ඔහුට හරසර නොදක්වා පැමිණි වග ගණනකට නොගෙන දොඹ ගසක් යටට වී සිටීම නිසා එසේ වෙනසත් කර ඇති බව කෞරව වංශය පොතේ සඳහන්ය.  


නිල අහංකාරය නිසා ගැමියාගේ පිළිකුලට ලක්ව සිටි අලගියවන්න මොහොට්ටාල වතුරේගම ප්‍රදේශයේ දී රහසින්ම ඝාතනය කර මිහිදන් කර ඇති බවට ජනප්‍රවාදයක් ඇත.  
පසු කාලයේදී බටහිර ජාතීන් පල්ලියේ පූජකවරුන් පාසල් ගුරුවරුන් ආදීන් යොදවා තෝම්බු සැකසීම සිදුකර ඇත. තෝම්බු සකස් කිරීම ඉඩම් භුක්තිය වෙනස් වීම, සමාජයේ කුල සහ පන්ති භේදය ඉස්මතු වීම, විවාහ ලේඛනගත වීම, පෙළපත්නාම භාවිතයට ඒම වැනි සිදුවීම් රැසකට මුල් වී තිබේ. පෘතුගීසි හා ඕලන්ද තෝම්බු සම්බන්ධයෙන් සම්භාෂා කෘතියෙහි දක්වා ඇති විමර්ශණාත්මක ලිපියක මෙම තොරතුරු දක්වා තිබේ.

 

 

නීතිවේදී සිරි සිංගප්පුලි