​ජේත්තුකාර නාටාමිලා


කොළොම්පුරේ ජීවිතේ

 

 

පිටකොටුව, ගුණසිංහපුර, ගෑස්පහ හන්දිය අතර යම්කිසි ස්ථානයකි. දවසේ පැය විසිහතර පුරාම වීදි සරන ජනී ජනයාගෙන් හිඟ නොවන මේ සාවියේ අත්කරත්ත තට්ටුවක් මත පලතුරු අසුරාගෙන වෙළෙඳාමේ යෙදෙන කළු කෙස් අඩක් සුදුවූ මුහුණ පුරා සුදු රැවුල්කොට වලින් හැඩ වූ කළු කෙසඟයෙකි.   


බාගෙට හා හොඳටම ඉදුණු කෙසෙල් ඇවරි, කොළඹටම ඇවිත් රසායනික බෙහෙතේ පිහිටෙන් නොඉදුණත් එහෙත් කහ පැහැයෙන් දිදුළන අඹ අතරේ පැණි කොමඩු තොගයක් පෙරටු කරගෙන මහමග යන එන මිනිසුන්ට කෑමොර දෙයි.   


ආ යාපනේ අඹ සීයට 5 යි. හොඳ අඹ උදේ සිටම කෑ ගසා වෙහෙස වී ඇති නමුත් කටහඬ ප්‍රාණවත්ය. ඔහුගේ තීක්ෂණ දෙනෙත් වරින් වර ඇසට හසුවන මායිම නිරීක්ෂණයේ යෙදේ.   
මේ මා සෙවූ මිනිසාද? මගේ සැකය ඉවෙන් මෙන් හඳුනාගත් මා මෙතැනට රැගෙන පැමිණි තරුණ පහේ කොලුගැටයා. කෙසඟයාට ළං වී යමක් මුමුණයි.   
‘අඩේ මේ මහත්තයා එව්වේ අසවලා. බිස්නස් එකකට නොවෙයි. අයියා උඹට දැන් කෝල් එකක් දේවි’ කොලුවා අසුරු සැණෙන් අතුරුදන් විය.එකෙණෙහිම කෙසඟයාගේ කිළිටි කොට කළිසමේ පිටුපස සාක්කුවෙන් නාදයක් ඇසේ. ඔව් අයියේ, හරි හරි ඇවිල්ලා ඉන්නේ. ඕකේ කෙසඟයා මා වෙත හැරී දුඹුරුවන් දත් දෙපළ පෙන්වා මදහසක් නගන්නේ ඉන් අනතුරුවය. කතාව ඇරඹීමටත් පෙර ජේත්තුකාර අතනින් මෙතනින් ඉරී ගිය ඩෙනිමකින් හා රතු පැහැ ටී ෂර්ටයකින් සැරසුණු ‘2020 තරුණයෙකු’ කෙසඟයා වෙත පැමිණේ. ඔහුගේ දකුණත් බාහුවේ ඝනකම රිදී පාට වළල්ලකි. නැංගුරමක තැල්ලක් සහිතව ගෙල වටා එතුණු කඹයක් තරමට මහත රත්තරන් චේන්පොටකි. වම් කණේ කරාබුවකි. දබරැගිල්ලේ එතී කැරකෙන යතුර මොහු මෝටර් රථයකින් ආ බව කියයි. දෙනෙත් ආවරණය කරන කළු පැහැ අව් කණ්ණාඩියකි. එනමුත් එවේලේ ඉර මකා දමමින් අහස දං පැහැ වී මුළු පිටකොටුව හා අවට ප්‍රදේශය වැහි කෝඩයකින් වැසී තිබූ නමුත් ජේත්තුකාර තරුණයා කණ්ණාඩිය නොගැල වීය.   


ඩෙනිමේ පිටුපස අතපත ගා තම පසුම්බිය අතට ගත් ජේත්තුවා ඒ තුළ පිරි තිබූ රුපියල් කොළ ගොන්නෙන් කහ පැහැ නෝට්ටුවක් ඇද කෙසඟයා අත තබන අතරේ මා වෙතට ද උකුසු බැල්මක් යොමු කළේය. පලතුරු අතර පැණි කොමඩු ගොඩෙන් ලොකු ගෙඩියක් අතට ගත් කෙසඟයා තවත් වරක් හාත්පසට තම තීක්ෂණ දෑස් මෙහෙයවා කොමඩු ගෙඩියේ මුදුනින් පිටතට නෙරා තිබූ නැටි කෑල්ල වැරෙන් උඹට ඇද්දේය. රවුම් උඩු පියන් පතක් නැට්ට සමග ගැල වී කෙසඟයාගේ අතට ආවේය. එය පසෙකින් තබා ගෙඩිය තුළට අත දැමූ ඔහු කුඩා පැකට්ටුවක් ගෙන මිටින් ගුළි කර ජේත්තුවා අත තැබීය. තවත් මොහොතකදු එතැන නොරැඳුණු ජේත්තුවා අපාසු හැරී ඉදිරියට ගොස් සෙනඟ අතරට වැදිණි. රුපියල් කොළය කිළිටි කොටකලිසමේ සාක්කුවට රිංග වූ කෙසඟයා පියන විවරව තිබූ කොමඩු ගෙඩිය මා වෙත පෑවේය. රතු පැහැ මදය සමග සුදු පැහැ පැකට් ගොඩක් ඒ තුළ විය. සැණෙකින් පියන වැසූ ඔහු ගෙඩිය මා අතට දුණි. ඒ කොමඩුව කොමඩුගොඩ අතරට ගිය පසුව කෙලෙසකින් වත් වෙන් කර හඳුනා ගැනීමට නොහැකිය.   
උඩු පියන් පතේ රවුම් කැපුම ගෙඩියට හරියට නූලටම සවි වී ඇත. මෙය නම් අපූරුම නිර්මාණශිල්පියකු අතින් නිමවූවකි. කවුද මේක හැදුවෙ. මම පළමු ප්‍රශ්නය මුදා හළෙමි.   
මම. කෙසඟයා අාඩම්බරයෙන් කියයි. ඒ අතරේ පැමිණි කාන්තාවක් අඹ ගොඩ ඒ මේ අත පෙරළයි. ඕව ඔක්කොම එකයි. හොඳ යාපනේ අඹ. බෙහෙත් ගහලා ඉඳවපුව නෙමෙයි. ගහේ ඉදිල තියෙන්නේ. ඇය ද පරදින්න අකමැති පාටය. පේනව පේනව, ගහේම ඉඳුනු බව. ඔලොක්කුවට මෙන් පවසමින් අඹ ගෙඩි 6 ක් ගෙන සීයෙ නෝට්ටුවක් ගවුම් සාක්කුවෙන් ගෙන කෙසඟයා වෙත දිගු කළාය. සීයට 5 යිනෙ නෝනා. ආ මේ එකක් පොඩියිනෙ. මේ ඕව අපි ගන්නේ ලොකු පොඩි තෝරලා නෙමෙයි. එක ගෙඩියක් තියලා යන්න, නැතිනම් ඔක්කොම ටික තට්ටුවෙන් තියන්න. කෙසඟයා ද අරින්නේ නැත. කාන්තාව මුණු මුණු ගාමින් එක අඹයක් තට්ටුවෙන් තබා පිටව යයි.   
ගෑනුත් එක්ක බිස්නස් කරන්න බෑ මහත්තයා. ඊටත් මේ කොළඹ ගෑනුත් එක්ක මුං බලන්නෙම පොඩ්ඩ ඇත්නම් කනෙන් රිංගන්න. යන්තම් හරි බුරුලක් පෙන්නුවොත් අඹ ගොඩම රෙද්ද අස්සෙ ගහගෙන යයි. මට දැන ගන්න ඕන අනික් බිස්නස් එක ගැන.   


අපේ බුවා එව්ව කෙනෙක් නිසා අපි කතා කරමු. නැත්නම් මේව කියනවා බොරු. මේවා කිය කියා කරන්න පුළුවන් බිස්නස් නෙමෙයි.   
කොහොමද අර වගේ අපූරුවට, සියුම් විදියට කොමඩු ගෙඩිය හැදුවෙ. කෙසඟයාගේ වියළී දුඹුරු පැහැ වී කොළඹ දූවිල්ලෙන් පිරුණු දෑස් මඳ වේලාවක් කොන්ක්‍රීට් වනාන්තරයේ අනන්තයට දිව ගොස් ආපසු මා ඉදිරිපිටට විත් නැවතුණි.   
මගේ ගම වැල්ලවායෙ. දැන් මට වයස 54 යි. පොඩි කාලෙදීම තමයි නොමගට යොමු වුණේ. ඉස්කෝලෙන් කට්ටි පැන්න. ඒත් සාමාන්‍ය පෙළ විභාගය වෙනකම් ඉගෙනීම කළා. පාස් වුණේ වැඩ 6 යි. මාමල දෙන්නෙක් හිටිය. ඒ අය කළේ කංස වැවිල්ල. මමත් ඒ පස්​සෙ වැදුණා. තාත්ත මං පුංචි කාලෙදිම මියගිහින්. පවුලේ සහෝදරියන්ම තුන් දෙනයි. අම්ම අපිව ජීවත් කළේ කුඹුරුවල ගොයම් කපලා. හේන් කොටලා. මාමලත් එක්ක එකතු වුණාම මුලදි මුලදි අම්මා විරුද්ධ වුණත් හතරදෙනෙක්ගෙ නඩත්තුවට මහ පොළොව එක්ක හැපෙන්න උන්දැට හයියක් නැති වෙනකොට ඒ විරුධකම ඉබේටම නැතිව ගියා. ම​ගේ මහන්සියට මාමල මට සල්ලි දුන්නා. එක වතාවක ගංජා කපලා කොළඹ පැටෙව්වාට පස්සේ අතට ලොකු මුදලක් ලැබුණා.   
​කොහොම හරි අක්කල තුන් දෙනාම දීග ගියේ, වරිච්චි ගෙදර සිමෙන්ති වුණේ ඒ මුදල් වලින්. තවත් ඇඹුල් කෙසෙල් ඇවරියක් සිලිසිලි මල්ලකට වැදී ගනු දෙනුකරුවෙකු අතට පත් කළ සිරිමල් (අපි ඔහුට එසේ කියමු) නැවතූ තැනින් ඇරඹීය. 

 
අපි එක කන්නයකදී කැලේට වැදුණාම මාස 3 - 4 ගමට එන්නේ නෑ. අස්වැන්න කපල වේලල ගෝනිවල අසුරලා ලොරියට පැටවුවට පස්සේ තමයි කැලෙන් එළියට එන්නේ. දිගටම කරගෙන යනකොට එක දවසක මහ කැලේදි පොළඟෙක් දෂ්ට කරලා ලොකු මාමා මැරුණා. උන්දැට බෙහෙත් කරන්න විදියක් තිබුණේ නෑ. මහ රෑ කැලෙන් එළියට එන්න බෑ. ආවත් ගමට එන්න පැය 4 ක් 5 ක් යනවා. ඊට කලින් පොළොං විෂ පැතිරෙනව. දන්න අත් බෙහෙත් කළත් වැඩක් වුණේ නෑ. ගමට ගෙනාවෙ මිනිය. ඊට පස්සේ ලොකු මාමගේ දරු පවුලෙ බරත් වැටුණේ අපේ කර පිටට. කොහොම හරි වැඩේ කරගෙන ගියා. ඒත් එක දවසක අපි හිතුවෙ නැති විදියට පොලිසියයි, වන ජීවියයි හේන වැටලුවා. ඒ සැරේ හය මාසයකට හිරේ ගියා. ගිහින් ඇවිත් අායෙත් පටන් ගත්තා. පොඩි මාම ලොකුමාම වගේ නෙමෙයි. හරි ලෝබයි. මගේ මහන්සියට හරියන මුදලක් දුන්නේ නෑ.   
බැරිම තැන හිරගෙදරදී අඳුන ගත්ත යාළුවෙක් හොයා ගෙන ගමෙන් පැනලා ලුණුගම්වෙහෙරට ගියා. මාමට හොර රහසේ ගංජා රස්සාව කරන අයට ඒකෙන් ගැලවෙන්න බෑ. ගැලවුණොත් ඒ මරණයෙන්. ඒකට නෑකම්, සහෝදරකම් නෑ. ගමේ හිටියොත් මැරුම්කන්න වෙන නිසයි පැනල ගියේ. මාම මාව නොමැරුවත් මේවා කරවන මුදලාලිලාගෙ ගෝලයො කොයි වෙලාවෙ හොයා ගෙන එයි ද දන්නේ නෑ. සීනි කෙසෙල් නැද්ද? අඹ කළු වෙලානේ. අපේ - ඔහුගේ කතාවට එහෙන් මෙහෙන් බාධා පැමිණුනත් ඔහු කතා කරයි.   
යාළුවත් එක්ක අවුරුදු 3 1/2 ක් වැඩේ කරගෙන ගියා. අපි බඩු සප්ලයි කළ මුදලාලි තලංගම පැත්තේ. යාළුව කසාද බැන්දේ මොණරාගල ඇතිමලේ පැත්තෙන්. මිනිහ මට එහෙට යන්න කතා කළත් මම අකමැති වුණා. ඒ වෙනකොට මම මුදලාලිගෙත් විශ්වාසය දිනාගෙනයි හිටියේ. පස්සෙ ඔහුගේ ළඟම ​​සේවකයා වෙලා කොළඹ ආවා. ඉන් පස්සෙ සිද්ධ වුණු දේවල් බොහොමයි. පස්සේ කාලෙකදී මුදලාලි මාරුණා. එයාගේ පුත්තු හිටියේ කැනඩාවේ. බිස්නස් එක වැටුණා. ඉන් පස්සේ තමයි අපේ බුවා ළඟට වැටුනේ. දැන් ඉතින් මේක කරගෙන ඉන්නවා. මේ කොමඩු කැටයම් කලාව ගැන කිව්වේ නැහැනේ. මම කෙසඟයාට පුංචි පහේ තල්ලුවක් දුන්නෙමි.   
හිරේ හිටපු කාලෙ තමයි ඉගෙන ගත්තේ. එතැන දෑතේ වැඩ හැම එකක්ම වගේ උගන්වනවා. වඩු අංශෙ හිටිය මිනීමැරුමකට සපෝට් කරලා හිරේ වැටුණු කෙනෙක්. ගම සීගිරිය පැත්තේ. මිනිහා සියුම් වැඩ වලට හැබෑ දක්ෂයෙක්. නූලට ගානට කට්ට කපන්න කැටයම් වැඩ එයා මට කියලා දුන්නා. මට කොහොමත් සියුම් ලී වැඩවලට අතේ හුරුවක් තියෙනවා. ඒක ජන්මයෙන්ම එන එකක්.   
එ් හැකියාව මම යෙදෙව්වේ යහපත් විදියට නෙමෙයි. මේ වගේ දේවල්වලට. මේකට යොදා ගන්න කොමඩු ගෙඩිය බාගෙට ඉදුණු එකක් වෙන්න ඕන. අමුඒවායේ ඇතුළ කුහර කරන්න බෑ.   


ඉදිල වැඩි වුණොත් හෑරුවට පස්සේ පොත්ත වේළෙනවා. ඊළඟට නැට්ටේ කෑල්ලක් උඩට ඉතිරි වෙන්නත් ඕනැ. මුවහත් පිහිතුඩකින් ඉතාම සියුම් විදියට රවුමට ඉරක් ඇඳගෙන ගිහින් කට්ට කපා ගන්න ඕනැ ගෙඩියට යන්තම්වත් තුවාල නොවෙන විදිහට. ඊට පස්සේ මැද රතු පාට කොටස ඉවත් කර ගන්න ඕන ඔක්කොම නොවෙයි යන්තමට. රතු පාට ගෙඩිය තියෙන විදියට. එහෙම නැත්නම් දවස් දෙක තුනකදී වේළිලා ඇකිළෙනවා.   
සාමාන්‍ය පිහි වලින් මේක කරන්න බැහැ. පසාරු කැටයම් ආයුධ සෙට් එක මා ළඟ තියෙනවා. හරියට කර ගත්තොත් මාස 3 ක් මේ ගෙඩිය තියා ගන්න පුළුවන්. රෑට වතුර බාල්දියක ඔබලා තියන්න ඕන. අපුරු පැණි කොමඩු ගෙඩියේ ශාස්ත්‍රය මට කියා දුන්නේ එලෙසිනි. ඔහු මේ ගෙඩිය ද කොමඩු අතරේම තබා ඇත. ඒ සැබැවින්ම පළතුරු ගනුදෙනුකරුවන්ගේ අතපොවන්නේ නැති මානයේ කරත්ත තට්ටුවේ පතුලට වන්නටය.   
එතකොට කොමඩු අවාරෙදි ?   
එහෙම අවාරයක් එන්නෙ බොහොම කලාතුරකින්. ඇඹිලිපිටිය, හම්බන්තොට හිඟ වෙන කොට දඹුල්ල මාතලේ ලයින් එකෙන් එනව. ඒවත් හිඟ වුණොත් වව්නියාව, අනුරාධපුර පැත්තෙන් එනවා. කොළඹට ඇවුද්දෙ කවදාකවත් කොමඩු හිඟ වෙන්නේ නෑ. මිල ගණන් නම් එහෙ මෙහෙ වෙනවා. මෙතන මම බිස්නස් දෙකක් කරනවා. පලතුරු වෙ​ෙළඳාමත් ලාබයි. ළා ගැට වුණත් අපේ අයියලා බෙහෙත් ගහලා කහ පාට කරනවා. බෙහෙත් නොගහපු අඹ, කෙසෙල් කොළඹ කොහේවත් නෑ. මහත්තයා දැන් මම වුණත් කිනේනෙ මේව ගහේ ඉදුණු අඹ කියලානේ. එහෙම ඉදෙන අඹ දැන් නෑ. අනෙක් බිස්නස් එකේ කස්ටමලා මම අඳුනනවා.   
මේවත් ලංකාවේ බඩු නෙමෙයි. KG මේවා හරිම විසයි.   
සිරිමල් අවිවාහකය. වගකීමක් නැත. ගෙයක් දොරක් නැත. ජීවිතය සැහැල්ලුය. ඔහේ ගලාගෙන යයි. අපිට බඩු සප්ලයි කරන මුදලාලි ෆ්‍ලැට් එකක ගේ කෑල්ලක් කුලියට අරගෙන තියෙනවා.   


මුදලාලිගෙ බඩු විකුණන අහල පහළ ඉන්න දහ පහළොස් දෙනෙක් රෑට එතැනට සෙට් වෙනවා. රෑ 8 වෙද්දි මගේ බිස්නස් ඉවරයි. ෆ්ලැට් එකට ගිහින් දුමක් ඇදල කඩේකින් රයිස් එකක් හරි කොත්තුවක් හරි කාලා වැටිලා නිදා ගන්නවා. දවසෙ පඩිය 1000/- යි. පළතුරු බිස්නස් එකේ ලාබෙ මට. සිරිමල් කතාව හමාර කොට දිගු හුස්මක් ගත්තේ කංසා දුමෙන් වේලී ගිය පෙණහලු සිසිල් කරන්නට මෙනි.   
මේ දිනවල කොළඹට සුපුරුදු හවස මහ වැස්සය. පිට​කොටුවම මඩ කඩිත්තක් කිරීමට ආසන්නය. ඒත් මම තවමත් විථි අතර අතරමංව හිඳිමි. බෝගහපැත්තෙන් මධ්‍යම බස් නැවතුම්පොළට ඇතුළු වී ගුණසිංහපුර අන්තයෙන් එළියට ආවෙමි. එතැන කැඳ කරත්තයකි. වෙළෙඳාමේ යෙදෙන තරුණයා වට කරගෙන කීප දෙනෙකු සිටිනු පෙනේ. ඔහු යුහුසුලුව එක් අතකින් ගත් වීදුරුවට අනෙක් අතේ රැඳි ​ජෝගුවෙන් කැඳ යාර ගණන් වත්කරමින් සිටී.   
කීප දෙනා එහා මෙහා වූවායින් පසුව තරුණයා වෙතට කිට්ටු කළෙමි. ඔහු මොහොමඩ් නසීම් නම් විය. ගම ගාල්​ලේය. දැන් කොළඹය. වසර 3 ක් කැඳ රස්සාවේය. මම කසාද බැඳලා දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ අය ගමේ බිරිඳ රැකියාවක් කරන්නේ නෑ. ගෙදරට වෙලා දරුවො බලාගෙන ඉන්නවා. මට දවසෙ පඩිය රු. 1500 යි.   
මේ වැටුප ලබා ගැනීමට දිනපතා දහවල් 12 පටන් ඊළඟ දවසට පහන් වූ පසුවත් උදේ 6 වනතුරු කැඳ විකිණිය යුතුය. සේවා මුර, අතිකාල නිවාඩු, මේ රැකියාවට උරුම නැත. අව්වට වැස්සට සීතලට උණුසුමට මේ කොයි දේටත් ඇත්තේ කැඳ කරත්තයටත් ඔහුගේ හිසට ඉහළිනුත් සෙවණ දෙන පාට පාට සමර් හට් කුඩය පමණකි. නසීම්ට මේ ජීවිතය හුරු වී ඇත.   


නිදි වරන්නට ගියාම තමයි එපා වෙන්නේ. දවසටම මම නිදා ගන්තේ පැය 4 යි. ඒකත් දවල්ට. ආයෙත් 2.30 ට අවදි වෙලා කැඳ හදන්න ඕන. නසීම් තවමත් 33 හැවිරිදිය. තරුණකම පිටකොටුවේ ඕල්කට් මාවතට දිය වී යමින් පවතී. කැඳ කරත්තයේ ඇතුළත කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයකි. ළිප මත තබා තිබෙන සව් හා මුං කැඳ හට්ටි දෙකෙහි මතු පිටට පෙනෙන්නට තිබෙන්නේ කටවල් පමණකි. ඒවා ද ඇලුමිනියම් පියන් දෙකකින් වසා ඇත.   


ගෑස් ළිප හැම වෙලේම දැල්වෙන්නේ නැත. කැඳවල රස්නය අඩුවෙමින් යන විට පමණක් රත් කර ගනී. නිවී ගිය කැඳ බීමට ගනුදෙනුකරුවන් කැමති නැත. වඩාත් කැමති උණු උණුවේ කැඳ වීදුරුව ඇද බෑමටය. කැඳ වර්ග 2 ක් හදනවා. ඒක කරන්නෙත් මම. මුං කැඳයි සව් කැඳයි තමයි වැඩියෙන්ම යන්නේ. එහා පැත්තෙත් තව කරත්තයක් තියෙනවා. දෙකටම අවශ්‍ය කැඳ වඩියට පොල්ගෙඩි 8 ක් යනවා. ඒ සීනි දාලා රස කරනවා. සීනි අඩුත් නැතිව වැඩිත් නැතිව තියෙන්න ඕන. වැඩි සීනි කැඳ බොන්න සමහරු කැමැති නෑ.   
කැඳ කරත්තයේ හිමිකරු නසීම්ගේ ඥාතියෙකි. ඔහුට තවත් කරත්තයක් තිබේ. එය බස් පොළේ අනික් කෙළවරේ මහපාර අයිනේය. එක කැඳ හට්ටි දෙකෙන්ම වීදුරු 100 ක් සිටින ලෙසට සැකසිය යුතුය. නසීම් මේ ශාස්ත්‍රය හොඳින් දනී. වස විස නැත. රස කාරක නැත. පොල්, සව් හා සීනි පමණකි. මුං ඇට යොදන්නේ මුං කැඳ වලටය.   
ලොකු ප්‍රමාණයේ කැඳ වීදුරුවක් මිල රු. 50 කි. රැය පහන් වන විට ඉලක්කය සම්පූර්ණ කර ගත යුතුය. හවසටත් රාත්‍රියටත් හිමිදිරියටත් හැරුණු විට දහවලට මිනිසුන් කැඳ බොන්නේ නැත. රටෙත් නැති වස විස කවලම් කර දිව පුබුදන රයිස් එකට හෝ බිරියානියකට ඒ මුදල පූජා කෙරේ.   
රාත්‍රියට පිටකොටුවේ බස්පොළේ අතරමං වන හෝ රෑ ගමනේ යෙදෙන්නට පැමිණෙන සිය දහසකුත් එකක් ජනතාවගේ පමණක් නොව පිටකොටුවට, ගුණසිංහපුරයට සින්න වී සිටින බොහෝ දෙනාගේ රාත්‍රී ආහාර වේල පිරිමැසෙන්නේද කැඳ වීදුරුවකිනි. සමහරුන් හිමිදිරියේ ගෙදරින් හිස්බඩ පැමිණ හසීම්ගේ සව්කැඳ වීදුරුවක් බී කන්තෝරු යති.   
රෑ කෑමට කැඳ බොන අය ඕන තරම් මේ අවට ඉන්නව. සමහර අය මුළු පවුලටම අරගෙන යනව. ඒ අයට ලැබෙන දවසෙ ආදායමේ හැටියට ඊට එහා දෙයක් කරන්න බැහැ. මට වුණත් ලැබෙන පඩිය. මහන්සිවෙන තරමට මදිය. ඒත් අයිතිකාරය මගේ ඥාතියෙක්. එයාව අතරමං කරන්නට බැරි නිසා මේක අතහරින්නත් බැහැ.   
මේ දිගටම නිදිවරන එක හරිම අමාරුයි. ඊටත් රෑ තිස්සෙ පින්නයි සුළඟයි. වහින දවස්වලට නම් එපා වෙනව. මේකත් ජීවිතයක්ද කියල හිතෙනව. ඒත් ඉතින් ජීවත් වෙන්නත් ඕනනේ. කැඳ වීදුරුවක් පුරවන අතරෙම නසීම් කියාගෙන යයි.   


මධ්‍යම බස්පොළ​ කෙළවරේ කැඳ කරත්තයත් එහි කැඳ විකුණන නසීම් තරුණයත් පිටකොටුවට යන එන ඔබට සිය දහස් වාරයක් ඇස ගැටී ඇතුවා නිසැකය.   
ඔබ ඇතැම්විට ඔහුගෙන් රසට සව්කැඳ වීදුරුවක් බොන්නටද ඇත. එහෙත් ඔවුන්ගේ ජීවිත සව්කැඳ පිරවූ වීදුරුව මෙන් උණුසුම් නැත. නිදිවරමින් මහ පාරේ ගෙවීයන තාරුණ්‍යය කරත්තය තුලට දමා දුක්ඛිතව දිවිගෙවති. වීදුරුවට ලැබෙන රු 50 හෝ කැඳ ටික කුසට වැටී බඩ කුසගින්න නිවාලූ පසුව ඒ පිළිබඳ මතකයද අපේ හිත් වලින් මැකී යන නමුත් අනුන්ගේ කුසගිනි නිවන්නට නසීම් ලා හෙටද පිටකොටුවේ කැඳ කරත්තය අසල තරුණවිය කැඳ හා මුසුකරමින් සිටිති.   

 


සටහන හා ඡායාරූප   
තිලක් පුෂ්පකුමාර