​ගොඩකවෙල


ගමේ නම හැදුණු හැටි

 

 

අද වන විට ජනාකීර්ණ නගරයක් බවට පත්ව ඇති ගොඩකවෙල, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ රත්නපුර සිට කි.මී. 35 පමණ දුරින් පිහිටා ඇත. මුලින් මස්ඉඹුල ග්‍රාම නිලධාරී වසමට අයත්ව තිබූ ගොඩකවෙල පසුව ග්‍රාම නිලධාරී වසම් වෙන් කිරීමේදී වෙනම වසමක් ලෙසට වෙන් කර තිබේ.   


නෑ.දේ. 80.40 ත් උ.අ. 6.26 ත් අතර පිහිටි මෙම ප්‍රදේශයේ නැගෙනහිරට වන්නට අතර මැදි කලාපය හා වියළි කලාපය වෙන්වන මායිම් රේඛාව වැටී ඇති බව පැවසේ.   
​කොළඹ කටුනායක යාපනය අනුරාධපුරය මාතලේ මහනුවර කල්මුණේ අම්පාර මොණරාගල ඇල්පිටිය ආදී ප්‍රදේශ දක්වා දිවෙන බස් රථ දිනපතා මෙම නගරය හරහා ගමන් කරන බැවින් ලංකාවේ බොහෝ ප්‍රදේශ වෙත යෑමට ගමන් පහසුව පවතී.   


ගොඩකවෙලට වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ලෙසට නම් කර 1992 සැප්. 30 දින එම කාර්යාලය විවෘත වූ අතර ඉන් ප්‍රදේශයේ ජනතාවට තම රාජකාරිමය අවශ්‍යතා ඉටු කර ගැනීමට ඉමහත් පහසුවක් සැලසී ඇත.   


ඉංග්‍රීසි පාලන සමයේ ආරම්භ කරන ලද ගොඩකවෙල රෝහල අද වන විට නවීකරණය වී තිබුණත් ආරම්භයේදී තිබී ඇත්තේ ඩිස්පෙන්සරියක් පමණි. එවකට එවකට නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට රක්වාන රෝහල දක්වා යෑමට සිදුව තිබිණ. එදා මෙහි සිට එහි යෑමට එතරම් පහසුකම් නොවීය. අඩි පාරවල් ඔස්සේ පයින් හෝ කරත්තවලින් එහි ගොස් ඇත. එයට දවසක් හමාරක් ගතව තිබේ.   
එ් නිසා පසුකාලීනව මෙහි කොට බිත්ති සහිත වාට්ටු දෙකක් ඉදි කර එය ගැහැනු/ පිරිමි ලෙසට නම් කර ඇත. එදා වාට්ටුවල සේවය කර ඇත්තේ කංකානම් මහත්තුරු හා කංකානම් හාමිනේලා ය. මෙම රෝහල් භූමිය 1891 ජුනි 30 දින රජයට පවරා ගෙන ඩිස්පෙන්සරිවත්ත ලෙසට නම් කර ඇත.   
එදවස බොහෝ විට මෙහි සේවය කර ඇත්තේ ද්‍රවිඩ ජාතික වෛද්‍යවරුන් වූ අතර ඔවුන් ද පැමිණ තිබුණේ යාපනය ප්‍රදේශයෙනි.   
අද මෙයට යාබදව ගොඩකවෙල පොලිසිය පිහිටා ඇති අතර එය ඊට පෙර තිබුණේ පල්ලේබැද්ද ප්‍රදේශයේය.   


මෙයට අමතරව ප්‍රාදේශීය සභාව, ගොවිජන සේවා මධ්‍යස්ථානය, ලංගම ඩිපෝව, රාජ්‍ය හා වාණිජ බැංකු විවිධ ව්‍යාපාරික ස්ථාන ගොඩකවෙල නගර සීමාව තුළ දක්නට ඇත.   
පාසල් තුනක් ගොකඩවෙල නගරය සීමාවේ ඇති අතර, රාහුල මහා විද්‍යාලය එයින් පැරණිතම පාසල වේ. එය 1914 දී සමාජ, ආරම්භ කර තිබේ. එදා මෙම පාසලට යෑමට දොඹවෙල දොළ හරහා කම්බි පාලමක් තිබී ඇත. මෙයට අමතරව කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය හා කුලරත්න කනිෂ්ඨ විද්‍යාලය පිහිටා ඇත. ක්‍රි.ව. 1761 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මාකඳුරේ ධර්මාලංකාර පණ්ඩිත මුදලියාට දෙන ලද සන්නසකින් ලැබුණ මල්වත්ත නම් ඉඩමේ කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය පිහිටා තිබේ. මෙම භූමියේ අතීතයේදී මාකඳුර පරපුරට අයත් වලව්වක් ද තිබී ඇත.   


ගොඩකවෙල ගැන කතා කරන විට තවත් සුවිශේෂී වූ ස්ථානයක් නගර මධ්‍යයේ පිහිටා තිබේ. ඒ ගොඩකවෙල පුරාණ මහින්දාරාම මහා විහාරස්ථානයි. මෙම විහාරස්ථානය කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නියමයෙන් ක්‍රි.ව. 1747 - 1782 අතර කාලයේ දුම්බර මීගස්තැන්නේ අධිකාරම විසින් සාදවා ඇත. එම විහාර මන්දිරය සාදා ඇත්තේ ගල් කණු මත ලී බාල්ක යොදා ටැම්පිට විහාරයක් ලෙසටය. පැතලි උළු යොදා මහල් දෙකක් සිටින ලෙසට වරිච්චි බිත්තිවලින් ගොඩනැගිල්ල ඉදි කර තිබේ. මෙහි ඇති සමාධි බුද්ධ ප්‍රතිමාවට අමතරව සමන් දෙවි ප්‍රතිමාවක් තිබෙන අතර එය උසස් නිර්මාණයක් ලෙසට සැලකේ.  
මෙය පැරකුම්බා රජ දවස කරන ලද සමන් දෙවි රුවේ අනුරුවක් ලෙසට පිළිගැනේ. මෙහි ඇති බිතු සිතුවම් මහනුවර යුගයේ ප්‍රාදේශීය ශෛලියක් ලෙසට පිළිගන්නා අතර ඕමල්පේ සිතුවම් සම්ප්‍රදායට අයත් බවට විශ්වාස කෙරේ.   


පැරණි විහාරයට අමතරව 1920 දී පමණ තඹගමුවේ රතනපාල ස්වාමීන් වහන්සේ විසින් සැතපෙන බුද්ධ ප්‍රතිමාව සූවිසි විවරණය සහිත අලුත් විහාරය ගොඩනගා ඇත. එය හාස්කම්වලින් සපිරි ස්ථානයක් ලෙසට ජනතාව අතර ප්‍රසිද්ධය.  
මෙම විහාරස්ථානයේ ඇති තවත් විශේෂී නිර්මාණයකි මිහිඳු හිමි ප්‍රතිමාව. එය අඩි 6 ක් පමණ උසට ඇතුළත කුහර රහිතව පිත්තලෙන් නිමවා ඇත. දැනට මෙම විහාරස්ථානයේ අධිපතිත්වය දරමින් ආගමික හා සමාජ මෙහෙවරක යෙදෙන්නේ පූජ්‍ය කෝම්පිටියේ ශ්‍රී සුසිල ස්වාමින් වහන්සේය. මෙම විහාරස්ථානයේ පවත්වන වාර්ෂික මිහිඳු පෙරහර ද අලංකාර එකකි.   


මෙයට අමතරව ගොඩකවෙල නගරයට ආසන්නයේ කෙටි දුරකින් තවත් විහාරස්ථාන දෙකක් පිහිටා ඇත. දෙවනපෑතිස්ස රජ දවස දෙතිස් ඵලරුහ බෝධියෙන් එකක් රෝපණය කළ බවට සැලකෙන මැද්දේගම රජ මහ විහාරයයි. කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමීන් වහන්සේ සම්පාදනය කරන ලද සබරගමු දර්ශනය පොතේ සඳහන් වෙන ආකාරයට මෙම විහාරස්ථානයේ වැඩ වෙසෙමින් ධර්ම ග්‍රන්ථකරණයේ යෙදුණ ධම්ම රක්ඛිත ස්වාමීන් වහන්සේට රාජාධි රාජසිංහ රජතුමා විසින් මැද්දේගම ගම ලබා දී ඇති බවත් ඊට අමතරව දොඩම්වෙල හා අංගම්මන නිලමේවරුන් විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට දායකත්වය ලබා දී ඇති බව සඳහන් වේ.   
මේ ආසන්නයේම මල්වැස්සා වෙහෙර පුරාණ විහාරස්ථානය ද පිහිටා ඇත. මෙහි ඉතිහාසය ද අතීත රජ දවස දක්වා දිව යයි. කලක් කටුකොහොලින් වැසී තිබූ මෙම පුද බිම අද වන විට විශාල දියුණුවක් ලබා ශාසනික සේවාවල නිරත වන පුදබිමක් බවට පත්ව තිබේ. මෙහි ඇති බෝධීන් වහන්සේ ඉතා පැරණි වන අතර ඒ වටා පරිවාර බෝධි කිහිපයක් ද වේ.   
කුඩා කතරගම ලෙසට නම් ලද අම්මුඩුව දේවාලයට ද ගොඩකවෙල නගරයේ සිට පහසුවෙන් ළඟාවීමට හැකියාව පවතී.   


ගොඩකවෙල අද නගරයක් වුවද මෙයට සියවසකට පමණ පෙර තිබී ඇත්තේ කඩ කිහිපයකි. සොල්දර කඩේ, පාලම ළඟ කඩේ, රාජ තම්බිගේ කඩේ, පොඩි කඩේ ලෙසට ඒවා එදා හඳුන්වා ඇත. පිදුරු සෙවිලි කළ මැටි ගසා සැදු එම ගොඩනැගිලිවල වෙළෙඳාම සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් ඉතා සහයෝගයෙන් සිදු කර තිබේ.   
අතීතයේ දී ගොඩකවෙල තානායමක් ද තිබී ඇත. කොළොන්න කෝරළේ දොරපනේ විසූ මුකවෙට්ටි මුහන්දිරම් විසින් 1788 දී පමණ රචිත කැටකිරිලි සංදේශයේ එන කවියක ඒ බව සඳහන් වේ. 

 
ගානා රුදුරු විස පෙම් කුරිරු මුන වල   
නාන විරුදු අවි තෙප් රැගෙන මහ බල   
​සේනා පසිඳු අගමැති සිටින ලෙස කල   
තානායමේ සැතපී යව ගොඩකවෙල   


මේ අනුව විවිධ ඓතිහාසික තොරතුරු මූලාශ්‍රවල ගොඩකවෙල ගැන සඳහන් වන අතර මෙම නාම ප්‍රභවය පිළිබඳව සොයා බැලීමේදී මත දෙකක් අසන්නට ලැබේ. ඉන් එකක් නම් වෙල් ගොඩ කර පාර සෑදීම නිසා ගොඩකවෙල වූ බවය. මෙය බොහෝ දෙනා දරන මතයයි.  


අතීතයේ කුඩා පාරක් තවලම් සඳහා වූ අතර දොඹවෙල ඇළ දක්වාම පාර දෙපස කුඹුරු විය. පසුව එම පාර, වෙල්ගොඩ කර ටික ටික සාදා ඇති අතර 1930 පමණ වන විට එම පාරෙ දෙපස රෝද මායිමට පමණක් ගල් අල්ලා කරත්තවල ගමන් කිරීමේ පහසුවට සාදා ඇත. විශේෂයෙන් ලුණු කරත්ත යෑමට මෙම පාර වැඩි දියුණු කර ඇති අතර එදා වැඩිහිටි උදවිය මෙම පාර කරත්ත පාර ලෙසට හඳුන්වා ඇත.   


ගොඩකවෙල ග්‍රාම නාමය සම්බන්ධ එතරම් ප්‍රකට නොවූ අනෙක් මතය නම් ගෙඩකවෙල වෙල්යායේදී සිංහල සේනාව හා ප්‍රතිකාල්වරුන් අතර සිදු වූ සටනකින් ඒ ආසන්නයෛ් වූ ගමක්ම විනාශ වූ බැවින් මෙම සටන වෙලේදී සිදු වූ නිසා ගොඩකැවෙල  - ගොඩකේවෙල වී පසුව ගොඩකවෙල ලෙසට ජන වහරට එක් වූ බවය.   

 


අඟලගමුවේ ඩී. හේරත්  
ගොඩකවෙල.