​කෝච්චියට වතුර ගහන යෝධ ජල කරාම


 

ශ්‍රී ලංකාවට ඩීසල් දුම්රිය හඳුන්වා දෙන තෙක්ම දුම්රිය මාර්ගවල ධාවන කටයුතු සිදු වුණේ වාෂ්ප බලැති දුම්රිය ඉංජින් වලින්. වාෂ්ප බලැති දුම්රිය සඳහා විශාල වශයෙන් ජලය අවශ්‍ය වුණා. ඒ වාගේම වාෂ්ප බලැති දුම්රිය ඉංජින් සඳහා තම ගමන් වාරය අවසන් කරන විට, ජලය කිහිප විටක්ම එහි ඇති ජල ටැංකිය පුරවා ගැනීම සඳහා අවශ්‍ය වෙනවා. එසේ ජලය සපයා ගැනීම සඳහා දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන ආසන්නයේ යෝධ ජල කරාම සවි කරලා තියෙනවා සමහර විට ඔබ දැකලා ඇති.   


මෙම යෝධ ජල කරාම එකිනෙකට වෙනස් විශේෂිත හැඩයකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මෙම යෝධ ජල කරාම ජල ස්ථම්භක කියලා තමයි හඳුන්වන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් Water හෝ Water tower ලෙසට තමයි හඳුන්වන්නේ.   


ශ්‍රී ලංකාවේ තියෙන බොහොමයක් දුම්රිය ස්ථාන ආසන්නයේ එනම් දුම්රිය වේදිකාව පටන් ගැනීමේදී සහ අවසානයේ තමයි මෙවැනි යෝධ ජල කරාම සවි කරලා තියෙන්නේ. මීට හොඳම උදාහරණය තමයි බදුල්ල දුම්රිය මාර්ගයේ අඹේවෙල දුම්රිය ස්ථානය. අඹේවෙල දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවේ අන්ත දෙකේම යෝධ ජල කරාම දෙකක් දකින්නට පුළුවන්. ඒවාගේම දුම්රිය වේදිකාව දෙපස නැතිව, දුම්රිය ස්ථානයේම වෙනත් ස්ථානයක හෝ වාෂ්ප බලැති දුම්රියට ජලය ලබා ගන්නා යෝධ ජල කරාම ඉදි කරලා තියෙනවා දැකගන්න පුළුවන්. වාෂ්ප බලැති දුම්රිය ධාවනය වූ කාලයේදී දුම්රිය ස්ථානයක තිබිය යුතු උපාංග අතර මේවැනි දුම්රිය ඉංජින් සඳහා ජලය ලබා ගැනීමට ස්ථාපනය කරලා තියෙන යෝධ ජල කරාම තිබිය යුතුම උපාංගයක් වෙලා තිබුණා. මෙවැනි යෝධ ජල කරාම සවි කරලා තිබුණත් අද වාෂ්ප බලැති දුම්රිය, දුම්රිය මාර්ගයේ ධාවනය නොකරන නිසා මේවා කෞතුක වස්තුන් වශයෙන් තිබූ ස්ථාන වලම එසේ සුරැකිව තියෙනවා. සමහර ස්ථානවල අද ඒවා දකින්නට ලැබෙන්නේ නෑ. බොහෝ අය මේවා දුටුවත් කුමක්දැයි දන්නා අයත් අඩුයි.   

 

 

 පැරණි වාෂ්ප බලැති දුම්රියක් – කැලණිවැලි දුම්රිය මාර්ගය   

 


වාෂ්ප බලැති දුම්රිය ඉංජිමේ ඇති ජල මානයෙන් එහි බොයිලේරුවේ තියෙන ජල ප්‍රමාණය පෙන්නුම් කරනවා. ජලය අඩු වුණාම ළඟම තියෙන දුම්රිය ස්ථානයෙන් ඒ බොයිලේරුව ජලයෙන් පුරවා ගන්නේ දුම්රියේ පැමිණෙන බොයිලේරුකරු විසින්ය. වාෂ්ප බලැති දුම්රිය ඉංජිමක තියෙන ජල ටැංකියට වතුර පුරවන්න ඕනෑ උඩින්. ඒ නිසා තමයි දුම්රිය මාර්ගයේ තියෙන යෝධ ජල කරාම දුම්රිය ඉංජිමට වඩා උසකින් ඉදිකරලා තියෙන්නේ.   


සමහර ජල කරාම වලට ජලය සැපයෙන්නේ වෙනත් ස්ථානයක තියෙන ජල ටැංකියකින්. එහෙත් සමහර ජල කරාම එම ස්ථානයේම තියෙන ජල ටැංකියට සවි කරලයි තියෙන්නේ. මේවැනි ජල කරාම ආසන්නයට යාමට යකඩ ඉණිමගක්ද එම ජල කරාමය සහිත ජල ටැංකියට සවි කරලයි තියෙන්නේ. ජල ටැංකිය ආධාර කරගෙන තියෙන ජල කරාමය පාලක රෝදයක් කැරැකැවීමෙන් දුම්රිය මාර්ගයේ නවතා ඇති වාෂ්ප දුම්රිය ආසන්නයට ජල කරාමය ළං කරගන්න පුළුවන්. විවිධ හැඩයෙන් යුක්ත ජල ස්ථම්භක ජල කරාම වාෂ්ප දුම්රිය ආසන්නයට ගැනීම එහි තියෙන දංවැල ඇදීම මගින් කරන්න පුළුවන්. 


මෙවැනි ස්ථම්භක ජල කරාම ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Water Crane ලෙසටයි. මෙවැනි ජල කරාම උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර, හපුතලේ සහ අඹේවෙල යන දුම්රිය ස්ථානවල දැක ගන්න පුළුවන්. ජල කරාමය සවි කරලා තියෙන යකඩ කුලුන සාමාන්‍යයෙන් අඟල් 8ක් හෝ අඟල් 12 පමණ විෂ්කම්භයකින් යුක්ත වෙනවා.   


වාෂ්ප බලැති දුම්රිය ඉංජිමකට සාමාන්‍යයෙන් සැතපුම් 7 ක් හෝ 10 ක් යන විට ( කිලෝ මීටර් 11 – 16) ජලය ලබාදීම සාමාන්‍යයෙන් සිදුවෙන කටයුත්තක්. සමහරවිට ඊට වඩා දුරක් වුවත් ජලය පුරවන්නේ නැතිව යන්න හැකියාවක් තියෙනවා. ජලය ලබා ගැනීම සඳහා වාෂ්ප බලැති දුම්රියක් නතර කිරීම Water Stop ලෙසට ඉංග්‍රීසියෙන් නම් කරනවා. වාෂ්ප බලැති දුම්රිය ජලය ලබා ගැනීම සඳහා පමණක් නොව ගල් අඟුරු හෝ දර ලබා ගැනීම සඳහාද නතර කරනවා. ඒ සඳහාද ඒ එ් දුම්රිය ස්ථානවල පහසුකම් ලබලාදීලා තියෙනවා.   

 

 

 

 


ඉන්දක කරුණාදාස