​කොස්තා තුන්වේලම හොරෙන් කෑ අපූරූ උපවාසය


 

 

හැත්තෑව දශකයේ අග භාගයේදීත්, අසූව දශකයේ මුල් භාගයේදීත් වැඩ අධිකම සිනමා නළුවන් අතර මුල්තැන සිටියේ විමල් කුමාර ද කොස්තාය.  


ඔහු දර්ශන තලයෙන් දර්ශන තලයට ආවේ විශාල බෑගයක් ද සහිතවය. එක චිත්‍රපටයක රූ ගත කිරීම් නිම වූ විගස ඔහු ඊළඟ දර්ශන තලයට ගියේය. ඒ සමග ඔහුගේ විශාල බෑගය ද නවාතැනට ආවේය.  


ඇත්තෙන්ම බෑගයක් යයි කීව ද එය කුඩා අල්මාරියක් වැන්න. වෙනස එය ලෙදර්වලින් තනා තිබීම පමණි. එහි උස ද කොස්තා තරමටය. මෙය වෑන් රථයේ පටවාගෙන පැමිණීම ද තරමක් අපහසු කාර්යයකි.  


බෑගය ලොජ් එක නොහොත් නළු නිළියන් නවතින ස්ථානයට ගෙනාවේ කීප දෙනෙකුගේ සහයෙනි. බොහෝ පිරිස මේ බෑගය හැඳින් වූයේ කොස්තාගේ “ඇනෙක්ස් එක” යනුවෙනි.  


ඩැනි ඩබ්ලිව්. පතිරණ වික්‍රමගේ ජනප්‍රිය චිත්‍රකතාවක් වූ චන්දිරා ඇසුරෙන් චිත්‍රපටයක් රූගත කිරීම් පටන් ගත්තේ මේ කාලයේය.  
මෙහි රූගත කිරීම් සිදු වූයේ කුරුණෑගල හක්වටුනාව ප්‍රදේශයේය. ඒ 1979 දී පමණය. (මේ චිත්‍රපටය තිරගත වූයේ 1983 දීය).  


රෙක්ස් කොඩිප්පිලි, සබීතා පෙරේරා, ශ්‍රියානි අමරසේන, විමල් කුමාර ද කොස්තා, මර්වින් ජයතුංග ආදී ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටයේ රඟ පෑ අතර විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඉතා සොඳුරු මිනිසකු වූ ලයනල් සිල්වා, කලා අධ්‍යක්ෂණයෙන් දායක වීමය. කොස්තා “ඇනෙක්ස්” එක රැගෙන හක්වටුනාවට ද ආවේය.  


බොහෝ විට රූගත කිරීම් සඳහා වෑන් රථයේ යන විට පිරිස එක් වී ගී ගයති. කොස්තා හැම විටම ගායනා කළේ එම්.එස්. ප්‍රනාන්දුගේ ගීතය. ඒවා අත්පුඩි හඬත් සමග මනාව ගැළපෙයි.  
කොස්තා මහ හඬින් ගී ගයද්දී ලයනල් සිල්වා ඔහුට හැමවිටම බාධා කරමින් “මම බඳින වයස දන්නේ නැද්ද? මාගෙ මවුපියෝ නම් ගීතය වරද්දමින් ගයයි.  
“ෂික් විතරක් (කොස්තා ෂික් විතරක් යන්න නිතර පාවිච්චි කරන වචන දෙකකි) මූට මේ සිංදුව ඇර වෙන සිංදුවක් ඇත්තේම නෑ. කට ඇරියොත් ඕකම තමයි” ඔහු තවත් මොන මොනවාදෝ කියයි. එය අභිනයෙන් පමණයි.  


ලයනල් සිල්වා තනිකඩයෙකි. එවකට ද හතළිස් ගණන්වල පසු වූ ලයනල් නොහොත් ලයියා කලා අධ්‍යක්ෂණයෙහිලා දක්ෂයකු මෙන්ම දර්ශන තලය රසවත් කරන්නෙකි.  
චන්දරාගේ කුඩා නි​ෙවස හක්වටුනාව ප්‍රදේශයේ තනා තිබුණේ වනමැද ගල් පර්වතයක් පසුබිම් කරගෙනය. වහලට පිදුරු දමා වහල ඉතා කලාත්මක ලෙස නිර්මාණය කරන ලද්දේ ලයියා විසිනි.  
මමත් කැමරා ශිල්පී තිලක් රත්නායකත් “චන්දිරා” චිත්‍රපටයේ විශේෂාංගයත් සඳහා හක්වටුනාවට ගොස් සිටියෙමු.  


ලයියාගේ පෙරැත්ත කිරීම උඩ ඔහුගේ දර්ශන තලයේ ඡායාරූප ගන්නට අප එහි ගියේ සැන්දා වරුවේය.  
ඡායාරූප ගනිමින් කතා බහ කරන අතරේ අඳුර වැටෙන්නට පටන් ගත්තේය. ඒ සමගම වැස්සක් ද කඩා වැටුණේය. වැස්සත් සමගම දල්වා තිබූ එකම විදුලි බුබුල ද නිවී ගියේය. වැස්ස නිසා ජෙනරේටරය ක්‍රියා විරහිත කරන්නට ඇත.  


වැස්සෙන් බේරීමට දර්ශන තලයට ගියත් වහලයේ පිදුරු අතරින් වැහි බිඳු බේරී එළියේ සිටිනවාටත් වඩා අප තෙත බරිත වන්නට විය. වර්ෂාව නිසා අඳුර ද දැඩි විය.  
කාගෙදෝ අතක විදුලි පන්දමක් තිබිණි.  


විදුලි පන්දම ඒ මේ අත කරකවද්දී පිදුරු අතරින් විශාල ගරුඬෙක් බිමට වැටී දිව යන්නට විය.  
“ගරුඬෙක් ගරුඬෙක්” යැයි කොස්තා කෑ ගැසුවේය.  
කවුදෝ අසල තිබු විශාල ලී කැබැල්ලක් අතට ගත්තේය. සියල්ලෝම ගරුඬා සොයති.  
“මෙහෙ දියන් ඔය ටෝච් එක” කියමින් ලයියා ටෝච් එක උදුරා ගත්තේය. දැන් ලයියා ඒ මේ අතට ටෝච් එක අල්ලමින් ගරුඬා සොයයි. එහෙත් ගරුඬා සොයා ගන්නට නැත.   
“ලයියො උඹ ටෝච් එක අල්ලන්නෙ ගරුඬට නෙමෙයි පොල්ලටනෙ. යකෝ ගරුඬට ටෝච් එක අල්ලපන්” කොස්තා කෑ ගැසුවේය.  


ඉතාම ළාබාල වියේ පසු වූ සබීතා, චන්ද්‍රිකා රූගත කිරීම් සඳහා පැමිණ සිටියේ සිය මව වූ ගර්ලි ගුණවර්ධන සමගය. ඇය ද පැරණි ජනප්‍රිය නිළියකි. ඇය එකල තරමක් තර බාරුය.  
චන්ද්‍රාණි එක් දර්ශනයක දී චන්දිරා ගල් බෝරයක් වැදී මිය යයි. ගල් බෝරය වැදෙන ජවනිකාව සඳහා සබීතාගේ පෙනුමට සමාන ඩමියක් නිර්මාණය කිරීමට බාර ගත්තේද ලයනල් සිල්වාය. ගල් බෝරය පිපිරීම දුර දර්ශනයක් ලෙස රූගත වන බැවින් ඩමියට ඇඳුම් අන්දවා පිපිරීම සිදු කිරීමට නියමිතව තිබිණ.  
ලයියා කඩදාසි පල්ප රැගෙන චන්දිරා (සබීතා) නිර්මාණය කරනුයේ දින කිහිපයක සිටය. ඔහු හැන්දෑවට හැන්දෑවට ලෑල්ලක් මත තබාගෙන සබීතාගේ ඩමියේ අඩුපාඩු හදමින් සකස් කරයි. එහෙත් එහි තවමත් සබීතාගේ හැඩය නැත.  


කොස්තා ඒ අසලින් යමින් සිටියේය. ඔහු ඩමිය දෙස මද වේලාවක් බලාගෙන උන්නේය.  
කී දවසක් ද බං උඹ ඔය හදන්නේ සබීතාගෙ ඩමිය ද ගර්ලිගේ ඩමිය දැයි අසමින් ඒ දෙස මද වේලාවක් බලා උන්නේය.  


හක්වටුනාව ප්‍රදේශයේ බොහෝ සෙයින් වියළිය. ඒ නිසා රූගත කිරීම්වලින් පසුව හැම දෙනාම දිව යන්නේ වැව් හෝ දිය කඩිති සොයා ගෙනය.  
මමත් තිලක් දිනක් එවැනි දිය කඩිත්තක් සොයාගෙන ගොඩ වූ වැව ඔස්සේ ඇවිද ගියෙමු. ඒ ප්‍රදේශයට එවැනි දියකඩිති බොහොමයක් තිබිණි. අප යන විට කුඩා වළක දිය බුං ගසමින් සිටියේ කොස්තා හා මර්වින් ජයතුංගය.  


“වරෙල්ලා වරෙල්ලා මරු මචං” කොස්තා කෑ ගැසුවේය.  
“බැහැපල්ලා බැහැපල්ලා ” අපිද නාන ඇඳුමකින් සැරසී දිය කඩිත්තට බැස ගතිමු.  
කොස්තාත්, මර්විනුත් දිය කඩිත්තේ දඟලති. දැන් නම් එය තරමක් මඩ වෙලාය. එහෙත් වෙලාවේ හැටියට අපි ද එයට බැස ඒ මේ අත දැඟලුවෙමු.  


ප්‍රතිඵලය ආවේ රාත්‍රියේය.  
මගේ ඇඟ කසන්නට ගත්තේය. සිහින් පළු වගයක් ද දැම්මේය.  
“යකෝ මගෙ ඇඟත් කහනවා” කොස්තා කීවේ ද තම නිරාවරණ උඩුකය කසමිනි.  
“මාර වැඩේ. මගෙත් එහෙමයි” මර්වින් ද හූ මිටි තැබුවේය. තිලක්ගේ ද ඇඟ කසන්නට පටන් ගෙන තිබිණ.  
අර උඹල දැඟලුවේ මී හරක් ලගින වළකනෙ. ඉතින් කසන්නේ නැත්දැයි” කීවේ කුරුණෑගල පදිංචි රිචඩ් වීරක්කොඩිය.  


ඉන්පසුව කොස්තා ඇඟ කසමින්ම මහ හඬින් බනින්නට පටන් ගත්තේය. ඔහු බනින්නේ කාටදැයි කාටවත්ම සිතාගත නොහැකි විය.  
කොස්තා ඉපදුනේ කැලණියේ තොරණ හන්දියේ පවුලකය. හය දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවාය. කැලණියේ ධර්මාලෝකයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු කැලණියේ ගුරුකුලයට ඇතුළු විය. පසු කලෙක කොස්තා කීවේ බොහෝ කලාකරුවන් තමන්ගේ ගමේ නම වාසගම ලෙස භාවිත කරන බැවින් ඔහුත් තම ගමේ නම යොදාගන්නා බවය.  


“මොකක්ද උඹ අගට දාන නම.. එවිට කිසිවෙක් ඇසීය.   
“විමල් කුමාර ද තොරණ හන්දිය ඒ මගේ ගමනෙ.   
ඔහු පාසලට ගියේ කැමැත්තකින් නොවේ. ඉගෙනීමට හැර දුවන්න, පනින්න, ගහගන්න, සින්දු කියන්න, රඟපාන්න ඔහු පෙරමුණේ සිටියේය. ඒ නිසා හතළිස් දෙනකුගෙන් යුත් පන්තියේ ඔහු 40 වැනියා විය.  
ගුරුකුලය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙට පවරා ගැනීමේ අර්බුදය මෙකල පටන් ගැණින. මේ හේතුව මත දෙපිරිසම ගැටෙන්නට පටන් ගත්හ.  
කොස්තලා ඒ කාලයේ ගණංකාරයෝ වූහ. ඒ නිසා කොස්තලගේ මූලිකත්වයෙන් උපවාසයක් සංවිධානය කෙරිණ.  


“මටත් එන්න කිව්වා උපවාසෙට. මම කිව්වා ලෝක විනාසෙ ආවත් මට නං බඩගින්නේ ඉන්න බෑ කියලා. මට කාටත් හොරෙන් කන්න දීපල්ල, එහෙම නම් මං එන්නම්. හැබැයි කෑම නොදුන්නොත් මට කෑම දෙන්න පොරොන්දු වුණු බව ප්‍රසිද්ධියේ කියනවා.”  
මිතුරන් ඔහුගේ මේ යෝජනාවට එකඟ වූ නිසා තුන්වේලම හොඳ හැටි කමින් කොස්තා නිරාහාරාව සිටිනා බව පෙන්වමින් උපවාස කළේය.  


ඔහුගේ එකම අභිප්‍රාය වූයේ නළුවකු වීමටය. ඔහු එකල එකට පාසලේ ඉගෙන ගත් පතිරාජ එල්.එස්. දයානන්ද සමග එකතු වී ‘‘සිත් පෙරළිය’’ නමින් නාට්‍යයක් පටන් ගත්තේය.  
ඉන්පසුව ඔහු ඩබ්ලිව්.ඒ. බී. ද සිල්වා මාර්ගයෙන් ‘‘රෑන ගිරව්’’ චිත්‍රපටයේ සුළු කොටසක් රඟපෑවේය.  
පසුව ඔහු හැඳල විජය චිත්‍රාගාරයේ වෙස් ගැන්වීමේ සහායකු ලෙස බැඳුණේ සිනමාවට එන්නට පාරක් සොයා ගන්නටය. “එකල විජය චිත්‍රාගාරයේ වැඩ කළේ තංගප්පන් කියල මහා සැර මේකප් ආටිස්ට් කෙනෙක්. මම උදේට ‘ගුඩ් මෝනින්’ කිව්වත් මිනිහා රවල ඔරවලා යනවා” කොස්තා කීවේය.  
ඉන් පස්සේ ඔහු විජය චිත්‍රාගාරයේ ඡායාරූප අංශයට බැඳුණේ මේකප් ජොබ් එක පලක් නොවුණ බැවිනි. “මම පාන්දරම වැඩට ගිහිල්ලා දවසම බුදියගෙන ඉඳල ආපහු එනවා” ඔහු එකල පැවැසීය. ඡායාරූප අංශයේ රැකියාව ද ඔහුට එපා විය.  


ඔහුගේ ප්‍රථම වේදිකා නාට්‍යය ඒ.ජී.එස්. සෙල්ලදොරේගේ “ගොඩෝ එනකං”ය. ඉන්පසුව ඩබ්ලිව්. ජයසිරි ඔහු සුගතපාල ද සිල්වාට හඳුන්වා දීම නිසා හිත හොඳ අම්මණ්ඩි නාට්‍යයේ චරිතයක් ලැබිණ. එහි වේදිකා පරිපාලනය වූයේ ධර්මසේන පතිරාජය ගෙනී. කොස්තාගේ පාසල් මිතුරා වන ඩොනල්ඩ් කරුණාරත්න හා එක්ව පතී සතුරෝ කෙටි චිත්‍රපටය හදද්දී කොස්තා එහි ප්‍රධාන නළුවා විය.  
ඔහු සිනමා නළුවකු ලෙස ප්‍රබුද්ධ රසිකයා හඳුනා ගන්නේ ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව චිත්‍රපටයෙනි.  
පතිරාජ එල්.එස්. දයානන්දගේ ‘කවුරුවත් එන්නේ නෑ’ වේදිකා නාට්‍යය ද ඔහු බෙහෙවින් ප්‍රිය කළේය.  
කොස්තා ඇසුරු කළ කෙනෙකුට ඔහු ගැන ලියන්නට බොහෝ දෑ තිබේ. ඒවා බොහොමයක්ම හාස්‍යජනක කතාය. නැතහොත් උපහාස කතාය.  


මේ මොන කතා තිබුණත් ඔහු ඕනෑම චරිතයකට අවතීර්ණ වූ විට එයට උපරිම දායකත්වය ලබා දුන්නා පමණක් නොව එය සාර්ථකව නිරූපණය කළේය.  
අහස්ගව්ව, බඹරු ඇවිත් වැනි කලාත්මක චිත්‍රපටවල පමණක් නොව වානිජ යැයි සම්මත චිත්‍රපටවල පවා ඔහුගේ රංගනය කැපී පෙණුනේය.  


ඔහු හා දර්ශන තලයක සිටීම අපමණ වින්දනාත්මක අත්දැකීමකි. කුමන විහිළුවක් කළ ද ඔහු කිසිවකු හා දබර කරගත්තේ නැත. ඔහු ඇත්තෙන්ම සොඳුරු අහිංසක රංගධරයෙකි.  
මෙවන් දක්ෂතාවෙන් පිරිපුන් සොඳුරු කලාකරුවන් යළි හමුවේ දැයි සිතෙන තරමට ඇසුරු කළ අපගේ හදවත් තුළ ඔහු සදාකාලිකව ජීවත් වෙයි. 

 

රොඩ්නි විදානපතිරණ