​කොස්ගොඩ තාරකගේ පාතාල සෙල්ලම්


පාතාල දඩබ්ම

 

 

“දකුණේ පාතාලය” කිව් සැණින් සිහියට නැඟුණේ පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙසින් කිරුළු පැළඳීමට සිහින මවමින් සිටි ‘මාකදුරේ මධූෂ්’ ය. ඒ සින්තටික් සිහින සුන් කරමින් අද ඔහු නො එන්නටම ගොසිනි. පාතාලය මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් හට අවසාන ත්‍යාගය ලෙසින් උරුමවෙන්නේ පොලිස් වෙඩි පහරින් හෝ තමාගේ එදිරිවාදියෙකුගේ වෙඩි පහරින් මිය යෑමය. ‘අවි ගත්තෝ අවියෙන්ම නැසෙති’ යන න්‍යාය තවදුරටත් සනාථ කරමින් මාකඳුරේ මධූෂ් නික්ම ගියේ, “ලෙයට ලෙය” පළිගැනීමේ පාතාල න්‍යායට තිත තබමින් යැයි කිසිවකුට හෝ තර්ක කළ හැකි ද?   


“ලෙයට ලෙය පළිගැනීමේ” මේ න්‍යායයේ ඔස්තාර් වූයේ මධූෂ් කීවොත් එය නිවැරදිය. එහෙත් පාතාල ලෝකයේ තවත් එවැනි ඔස්තාර්ලා නැතුවාම නොවේ. දකුණේ පාතාලය ගැන කතා කරද්දී මධූෂ් ගැන මෙන්ම තවත් ප්‍රබලව කියැවුණු නම් අතර ‘පොඩි ලැසී’, ‘කොස්ගොඩ තාරක’, ‘කොස්ගොඩ සුජී’ වැන්නවුන් ද සිටිති. මේ කියන අයියලාගේ ද මුඛ්‍ය පරමාර්ථය ද වෙන්නේ ලෙයින් ලෙයට පළිගැනීමයි. කන්නට ඕනෑ වූ විට කබරගොයා ද තළගොයා කරගන්නා ලෙසින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමත් මංකොල්ලකෑම් සහ පාතාල ක්‍රියාකාරකම් ගැන සාධාරණීයකරණය කරන්නට මොවුන් යොදා ගත්තේ මේ න්‍යාය ය. අද කතාවේ කතානායකයා ද එවන් වූ චරිතයකි. ඔහු නමින් කොස්ගොඩ තාරක ය. දිවෙන් දිව ගාගෙන සිටි මිතුරන් දෙදෙනකු වූ කොස්ගොඩ සුජී සහ තාරක, පාතාල බල පරාක්‍රමය හමුවේ විරසක වන්නේ සිය පවුල් පිටින්ම ඝාතනය කර ගනිමිනි. අද සුජී සිටින්නේ විදෙස් ගතවය. තාරක සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මතය. ඒ, පිටිපන ආයුධ සිද්ධිය සම්බන්ධයෙන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධීන් පිළිබඳව කොස්ගොඩ තාරකගෙන් ප්‍රශ්න කිරීම සඳහාය.   


මේ කියන “කොස්ගොඩ තාරක” ............ යනු කවුරුන්ද?   


ධර්මකීර්ති පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක” යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කලක් සේවය කර ඇති අයෙකි. අවසන්වරට තාරක රක්ෂිත බන්ධනාගාර ගත වෙන්නේ, මාතර නිලේකා ජුවලර්ස් මංකොල්ලයේදී පොලිස් නිලධාරියකු ඇතුළු දෙදෙනකු ඝාතනය වීමේ සිද්ධියට අදාළවය. ඔහු රඳවා සිටියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ය. වැලිසර මහබාගේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 225 සිද්ධියට අදාළව කොස්ගොඩ තාරකව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකිරීමට බන්ධනාගාර මූලස්ථානය කටයුතු කරන්නේ ඉකුත් මැයි මස 17 වැනිදාය.   


එම හෙරොයින් කොස්ගොඩ තාරකගේ ඒවා බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තොරතුරු අනාවරණය කරගත් බවට සැලවීමත් සමග කොස්ගොඩ තාරක බූස්සට මාරුකර යවයි. මෙම හෙරොයින් කිලෝ 225 සම්බන්ධයෙන් මාධ්‍ය මගින් කරුණු අනාවරණය කරද්දී තාරක සිටියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේය.   


“ඕවා මගේ නෙමෙයි. ඇයි මට පටවන්නේ. මාව ගාවන්න හදන්නේ අරූ” මේ සිද්ධිය සැලවීමත් සමගම කොස්ගොඩ තාරක බන්ධනාගාරය ඇතුළේ යකා නැටූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් අද වන විට එම හෙරොයින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේද කරුණු අනාවරණය වෙමින් තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් සිදුකළ හෙරොයින් ජාවාරමක් ලෙසිනි. එදා තාරක කෑ ගසන්නට ඇත්තේ ද ඒ නිසා වෙන්නට ඇත. එහෙත් මේ සිද්ධිය පසුපස ඔහුගේ ද දායකත්වයක් නැතැයි කාට නම් කිව හැකිද? දැන් ආරක්ෂක අංශ සිදුකරන්නේ එම විමර්ශනයි.   
කොස්ගොඩ තාරක කියූ ‘අරූ’ කවුද? ඔහු, ජගමුණී සුජීව ද සොයිසා නොහොත් “කොස්ගොඩ සුජී” යි. මේ වන විට කොස්ගොඩ සුජී ජීවත් වන්නේ ඩුබායි රාජ්‍යයේ බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත. ඔහු පිටරට සිට මෙරට පාතාල ක්‍රියාකාරීත්වයට ආධාර අනුබල ලබා දෙමින් ඇතැයි ද සඳහන් වෙයි.   


සුජී රටින් පැන්න මොහොතේ ඉක්මන් වෙන්නේ තාරකය. මහ රෑ සූජීගේ මාමාගේ නි​ෙවසට යන තාරක, ඔහුටත් පාසල් වයසේ පසුවන ඔහුගේ දරුවන් දෙදෙනාටත් වෙඩි තබා ඝාතනය කළේය. බලපිටිය ප්‍රදේශීය සභා එක්සත් ජාතික පත්ෂ මන්ත්‍රීවරයකුව සිටි ජගමුණී මහින්ද රාජා ඇතුළු තිදෙනකු එක තැන මරා දැමූ තාරක ඇතුළු සහචරයෝ මහින්ද රාජාගේ හිතවතකු සොයා ගොස් ඔහුවද මරා දැමූහ. ඒ 2017 වර්ෂයේදීය. තාරක කළ හදියෙන් ගමක් හැඬවීය. සුජී වෙනුවෙන් මළ ගෙවල්වල සියලු බරපැන දැරුවේ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ උප සභාපති රංජිත් ඩොනල්ඩ් රණවීර මහතායි.   


තාරකට ‘රිටන්” එකක් දෙනන්ට සුජී ප්ලෑන් කළේ “පොඩිලැසී” මගිනි. තාරකගේ ඥාතිවරියක් ඇතුළු කාන්තාවන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමට පොඩිලැසී ප්‍රමුඛ පාතාලයෝ ක්‍රියා කළේ කොස්ගොඩ සුජීගේ මෙහෙයවීමෙනි. එයින් නොනැවතුණු සුජී ලෙයට ලෙයින් පලිය ගැනීමේ අදිටනින් බටපොල කොස්ගොඩ ප්‍රදේශයේ ජීවත් වූ තාරකගේ මාමණ්ඩිය වූ අසංක මනෝජ් සොයිසා සහ ඔහුගේ දරුවන් ඇතුළු පස් දෙනෙකුට වෙඩි තැබීමට සිය සහචරයින් මෙහෙයවන්නේ 2017 ඔක්තෝබර් මස 31 වැනිදා රාත්‍රියේදීය. එහිදී ඔවුන් තුවාල ලබා ජීවිත ගලවා ගත්හ.   


සුජී ඩුබායි ජීවත් වුවද කොස්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ලබා ගැනීම ජයටම කරගෙන ගියේ සිය සහචරයින් යොමු කරමිනි. රෝයල් බීච් සමන් යන අයගෙන් දිගින් දිගටම කප්පම් ලබාගැනීමේ උත්සාහයක යෙදුණු සුජීට, සමන්ගෙන් කප්පම් මුදල් ලබා ගත නොහැකි විය. සුජීගේ සහචරයෝ සමන් ඝාතනය කිරීමට වෙඩි තැබූහ. වෙඩි වදින්නේ සමන්ට නොව ඔහු සමග සිටි විදේශිකයකුටය. වෙඩි තැබීම ගැන විමර්ශන ආරම්භ කළ පොලීසියට සැකකරුවන් කොටුකරගත හැකිවූයේ සුජීගේ හිතවතකු වූ ඩොලන්ඩ්ගේ නිවස ආසනන්යේදීය.   


සාධාරණ හේතු ඇතුව හෝ නැතිව “සැක කිරීම’‘ පාතාලයේ හැටිය. කොතරම් හොඳ මිතුරකු වුවද සැකය මත ඩොනල්ඩ්ට රිටන් එක දීමට සුජී තීරණය කළේ ඔහු තම හිතවතුන් පොලීසියට කොටුකර දීමට කටයුතු කළ බවට සැක කරමිනි.   


“ඌ එහෙම මට ද්‍රෝහි වෙයි කියලා මම හිතුවේ නැහැ. මට එහෙම කළොත් ඌ මේ ලෝකේ ඉන්න සුදුසු කෙනෙක් නෙවෙයි. මේක මගේ තීරණය. ගමම දන්නවා ඌ මගේ හිතවතා කියලා. මූට රිටන් එක දුන්නාම මේක බැලන්ස් වෙන්නේ තාරකගේ නමට. ඌ ඉවරයක් කරපං.” සුජී ඩුබායි සිට සිය සගයින්ට අණක් නිකුත් කළේය.   


ඒ අනුව, සුජීගේ සැකයේ වාසිය, ඩොනල්ඩ් ඝාතනය කරවන්නේය. ඌරගස්මංහන්දියේ කොරකින ප්‍රදේශයේ පිහිටි මංගල උත්සවයකට සහභාගී වී පැමිණෙමින් සිටි ඩොනල්ඩ්ට ටී 56 අවි ගත් පාතාල යතුරුපැදිකරුවෝ දෙදෙනකු මග රැක ඉඳ වෙඩි පිට වෙඩි තැබූහ.   


මෙය එසේ සිදුවෙද්දී තාරක පොලීසියෙන් කට්ටි පනිමින් සිටියේය. එහෙත් 2018 වර්ෂයේදී මාතර නිලේකා ජුවලරි මංකොල්ලයේදී තාරක කොටුවෙයි. එදින තාරක සමග කොල්ලයට පැමිණි හබරකඩ වසන්ත වෙඩි වැදී මියයයි. බන්ධනාගාරයේ සිටින කොස්ගොඩ තාරක මරා දමන්නට මෙහිදී සැලසුම් සකස් කරන්නේ කොස්ගොඩ සුජීය.   


කොස්ගොඩ තාරක බන්ධනාගාරයේ ‘අයියාගේ’ චරිතය රැඟුවේය. කංජිපානි ඉම්රාන්ගේ ගෝලයින්ටත් අංගොඩ ලොක්කාගේ ගෝලයින්ටත් සුජීගේ ගෝලයින්ටත් පහර දෙමින් තාරක, ඇතුළේ හිඳිමින් සෙල්ලම් දාන බවට බන්ධනාගාරය තුළින් ආරංචි ගලා ආවේය. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදීත් තාරක, කංජිපානි ඉම්රාන්ගේ සගයකුට එලව එලවා පහර දුන් පුවතක් වාර්තා විණී. බන්ධනාගාර සිර මැදිරි, උස දොරවල් වලින් පැන නිලධාරීන්ගේ ඇස්වසා තාරක වෙනත් වාට්ටුවකට ගොස් රැඳවියෙකුට පහරදී තිබිණි’.

   
පසුව තාරකව බූස්සට රැගෙන යයි. ඉකුත් මැයි මස 26 වැනිදා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙකු ආහාර වර්ජනයක් පටන් ගත්හ. තමන්ව සිර මැදිරිවලින් පිටතට ගෙන තබන කාලය වැඩි කරන ලෙස ඉල්ලමින් මොවුන් මෙම ආහාර වර්ජනය කර ඇත. මේ වර්ජනය මෙහෙයවා ඇති ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වන්නේ කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී යන අය බවට ද මේ වෙන විට තොරතුරු අනාවරණය වී තිබේ. මොවුන් දෙදනාම දැන් සිටින්නේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළය.   
මෙරට පාතාල කල්ලි සාමාජිකයන් සතුව තිබී සොයා ගත් වැඩිම ගිනි අවි තොගය හෝමාගම පිටිපන ප්‍රදේශයේදී සොයා ගැනීමට පොලිසියට හැකිවෙන්නේ ඉකුත් ජුනි 29 වැනිදා ය.   


“කොච්චරක් බඩු තිබ්බද?”   
“ටී 56 11යි ටී 81 එකයි.”   
“කාගෙද බඩු?”   
“කොස්ගොඩ තාරකගේ.”

   
ඒ කතාව කියැවුණේ එසේය. කොස්ගොඩ තාරකගේ ගෝලයකු බව කියන “පොට්ට කපිල” මෙම ගිනි අවි තොගය හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි තොග භාණ්ඩ අලෙවි සැලේ ගබඩාව වෙත ගෙනත් දමා ඇත්තේ මීට මාසයකට පමණ පෙරදී බවට ආරක්ෂක අංශ සඳහන් කළේය. මඩපාතගේ කපිල කුමාර නොහොත් “පොට්ට කපිල” යනු 2018 ජුනි මස 22 වැනිදා සිදුවූ මාතර නිලේකා ජුවලර්ස් රන් භාණ්ඩ කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු ද වන අතර එම සිද්ධියේ සිට මේ දක්වා මොහු පොලිසියෙන් කට්ටි පනිමින් සිට ඇත.   
“මේ වෙපන් ටික පොට්ට කපිලගේ වුණාට මේකේ දායකත්වය ‘ගගනගේ’ ” පොලිස් බුද්ධි අංශ සොයා ගත් තවත් කරුණක් වූයේ මෙයයි. කොස්ගොඩ තාරක කල්ලියේ ප්‍රධාන චරිතයක් ලෙස සැලකෙන මිරිච්චමුල්ල ගමගේ ගගන චින්තක නොහොත් “ගගන” ද මේ වන විට බූස්ස බන්ධනාගාරයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් ඇත්තේ මේ පිටිපන ආයුධ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන සඳහාය.   


“මොකටද මේවා මෙතනට ගෙනාවේ? කාටද ගහන්න හදන්නේ?” 

 
“කංජිපානිට ගහන්න.”   


මේ ආයුධ එක්රැස් කිරීම පිටුපස මෙවන් වූ කතාවක් ඈඳෙන්නේ ආරක්ෂක අංශ සැකකරුවන් අත්අඩංගුවට ගෙන කරන ප්‍රශ්න කිරීම්වලදීය. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන කංජිපානි ඉම්රාන් මේ වන විට රඳවා තබා ඇත්තේ බූස්ස බන්ධනාගාරය තුළයි. නඩු කටයුතු සඳහා මොහු බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත යන අවස්ථාවේදී ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමකට අනුව කොස්ගොඩ තාරක, මෙම ආයුධ සඟවා තබන්නට ඇතැයි සැක පළකරන බව ආරක්ෂක අංශ සඳහන් කරයි.   


මන්නා කඩු පිහි, ගල්කටස් අතරින් නැගී සිටි පාතාලයෝ දැන් දැන් භාවිත කරන්නේ නවීන පන්නයේ ආයුධය. අප දන්නා ඉතිහාසයට අනුව මෙරට ත්‍රිවිධ හමුදාවන්ට පෙර අති නවීන ආයුධ භාවිත කළේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පමණි. ආර්.පී.ජී. රොකට් අවි, ගුවන් යානා නාශක, යුද ටැංකි නාශක ආදී නවීන ආයුධ එල්ටීටීඊ ත්‍රස්තයෝ සිය මෙහෙයුම් සඳහා භාවිත කළහ. ම්ලේච්ඡ එල්ටීටීඊ ත්‍රස්තයෝ මේ ආයුධ දකුණේ පාතාලය වෙත ලබාදී ඇති බවට බුද්ධි අංශ ද ඉකුත් කාලයේදී තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. ප්‍රභූවරුන් ඝාතනය කිරීම සඳහා මෙම ආයුධ ලබාදී තිබූ බවට නොයෙක් අවස්ථාවල අධිකරණවලදී පවා කරුණු ඉදිරිපත් වූ අතර “මාකඳුරේ මධූෂ්” ගේ නමද මේ සමග ඈදුණ අවස්ථා තිබිණ.   


වේන්ද්‍රන් හෙවත් “අප්පන්” නැමැති හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් සමග “ගනේමුල්ලේ සංජීව” නැමැති පාතාල ක්‍රියාකාරිකයා ඇතුළු එල්ටීටීඊ යේ හිටපු සාමාජිකයින් පිරිසක් කොළඹ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වෙන්නේ ඉකුත් ජනවාරි මාසේ දිනෙක උතුරු ප්‍රදේශයේදීය. රාජ්‍ය බුද්ධි සේවාවට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ අතර, ඉන් තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකිවෙයි. මෙහිදී අවි ආයුධ රැසක් සමග අධිබලැති බෝම්බයක් ද සොයා ගැනීමට පොලීසිය සමත් වෙයි. මෙම සිද්ධියට අදාළ නඩුව මේ වෙන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතියි. එල්ටීටීඊ ත්‍රස්තයින් සහ දකුණේ පාතාලය සම්බන්ධ වූ පාලම මෙහිදී අනාවරණය වූයේ මේ අයුරිනි.   
බුද්ධි අංශ තොරතුරු වලට අනුව කොස්ගොඩ සුජී සතුව අවි ආයුධ විශාල සංඛ්‍යාවක් මෙරට සඟවා ඇතැයි සඳහන් වෙයි. එසේම, එල්ටීටීඊ ත්‍රස්තවාදියකු යොදවාගෙන (එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ ආරක්ෂාවට සිටි බුම්බා යන අය යොදා ගනිමින්) මිනීමරුම් සිදුකළ පළමු පාතාලයා වශයෙන් කොස්ගොඩ සුජී හඳුනාගෙන ඇති බවද බුද්ධි අංශ සඳහන් කරන්නකි.   


සුජී මේ ආයුධ රැස් කරන්නේ බන්ධනාගාරයේ සිටින තාරක මරන්නටය. ඒ බව සක්සුදක් සේ පැහැදිලිවී ඇතැයි බුද්ධි අංශ පවා මේ වෙන විට තොරතුරු සොයාගෙන තිබේ. මාකඳුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කා එක්ව කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධානාගාර බස් රථයක් තුළදී රනාලේ සමයං ඝාතනය කළාක් මෙන් තාරක ද මරා දමන්නට සුජී ප්ලෑන් ගසමින් සිටියි.   


මිනුවන්ගොඩදී බන්ධනාගාර බස් රථයක් තුළදී ඝාතනයට ලක්වූ අසිත නැමැත්තා ද මෙහිදී සිහියට එයි. මිනුවන්ගොඩ පාතාලයේ සෙල්ලමකට අනුව අසිත ඝාතනය වෙන්නේ ද අධිකරණයට ගොස් හිරගෙදරට යමින් සිටියදීය. කොස්ගොඩ තරක ඉලක්ක කරගෙන මෙවන් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට මීට ටික දිනකට පෙර ආරංචියක් පැතිර ගියේය.   


කොස්ගොඩ සුජී තම එදිරිවාදියා වූ තාරක මරා දමන්නට කොන්ත්‍රාත්තුව බාරදී ඇත්තේ රණා, රාජු, කරන්දෙණියේ සුදු මල්ලි, පොඩි ලැසී ඇතුළු ගාල්ල බන්ධනාගාරයේ රජ කරමින් සිටි අයටය. ඊට අමතරව ඩුබායි හි සැඟව සිට මෙරටට පැමිණ ඇති ඌරගහ මයිකල් යන අයද සුජී විසින් මේ සඳහා යොදවා ඇතැයි ද මේ වෙන විට බුද්ධි තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.   


මාන්නගේ දොන් රොෂාන් පද්ම කුමාර නමින් අංක 55233373 දරන විදෙස් ගමන් බලපත්‍රය උපයෝගී කර ගනිමින් සුජී රටින් පැන ගොස් ඇත්තේ 2019 වර්ෂයේ පෙබරවාරි මස 14 වැනිදා බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන ඇත. ගනේමුල්ලේ සංජීව, මාකිලන්ගමුවේ සංජීව, කිඹුලා ඇළ ගුණා යන අය සමග සෘජු සම්බන්ධතා පවත්වමින් සිටින සුජී, අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ මගින් රතු නිවේදන නිකුත් කර ඇති බවද සඳහන් වෙයි.   


මොහු විදෙස් ගතව මෙරට පාතාලය හසුරවමින් ලෙයට ලෙයින් පලි ගැනීමේ කාලකණ්ණි අභිප්‍රායෙන් කුමන්ත්‍රණ කිරීම තුළ තැලී පොඩිවෙන්නේ විනාශ වෙන්නේ කිසිම දෙයකට සම්බන්ධ නැති අහිංසක ජීවිත පමණි. යම් ආකාරයකින් මොහු සඟවා ඇතැයි කියනු ලබන නවීන පන්නයේ ආයුධවලින් ප්‍රහාරයක් සැලසුම් කළහොත් ඉන් සමාජයේ ජීවිත කීයක් විනාශ විය හැකිද? බන්ධනාගාර බස් රථවලට ප්‍රහාර එල්ල කිරීමෙන් අපරාධකරුවෝ පමණක් නොව රාජකාරියේ නිරත වූ අහිංසක නිලධාරීන් කී දෙනෙකු ජීවිත වලින් සමුගත්තේද? පාතාලයෝ ලෙයට ලෙයින් පළිගනිමින් සිටින්නේ ඔවුන්ගේ ‘බලය’ බෙදාගැනීම සහ එය ‘තහවුරු’ කර ගැනීමේ එකම අරමුණෙන් පමණි. වහා විසඳිය යුතුව ඇත්තේ ද මොවුන්ගේ මේ අරමුණයි. ඔවුනොවුන් වෙඩි තබා ගනිමින් විනාශ වුවාට කම් නැත. එහෙත් මේ සමාජයේ අහිංසක ජීවිත ඒ සඳහා මැදිහත් වුවහොත් එය කෙතරම් අභාග්‍යසම්පන්න ද? රටකට පාතාලය අවශ්‍ය නැත. මේ උවදුර වහ වහා මෙරටින් අතුගා දැමිය යුතුයි. මතින් තොර පාතාලයෙන් තොර හෙට දිනක සුබ සිහින දකින්නට නම් අද කළ යුත්තේ හොඳින් හෝ නරකින් මේ සියල්ල සමාජයෙන් අතුගා දැමීම පමණි. ඒ සඳහා රාජ්‍ය පාලනය මෙන්ම ආරක්ෂක අංශ ද වහා ක්‍රියාත්මක විය යුතුය.

 

 

නිරංගි අබේවික්‍රම