​කොරෝනා වසංගතයෙන් කලාකරුවන්ගේ ජීවන ක්‍රමයත් ඇහිරිලා


වේල හොයා ගන්න එකයි 
   අද ඇතිවෙලා තියෙන ප්‍රශ්නය

 

රටම මුහුණදී ඇති දුෂ්කර තත්ත්වය තුළ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කළ පුද්ගලයින්ගේ වෘත්තීන් අවිනිශ්චිත තත්ත්වයට පත් වී තිබේ.   


මේ අර්බුදය රටේ කලාකරුවන්ට බලපාන ආකාරය පිළිබඳ කලා ක්ෂේත්‍ර කීපයක ශිල්පීහු මෙසේ අදහස් දැක්වීමට එක් වූහ.   


ගායන ශිල්පී
නිහාල් නෙල්සන්   


පොදුවේ රටම මුහුණ දීලා තියෙන්නේ විශාල අර්බුදයකට ඒකෙදි හැම ක්ෂේත්‍රයකම අයට මේකෙන් ගැලවීමක් නෑ. මම කලාකරුවෙක් විදියට කතා කරන්නම්. එකෙදිත් සංගීත ක්ෂේත්‍රයට අදාළව කතා කරනවනම් මේ අර්බුදකාරි තත්ත්වය නිසා අපහසුතාවයට පත්වෙලා ඉන්න ප්‍රධාන පිරිසක් තමයි අපි.   


විශේෂයෙන්ම එළිමහන් සංගීත ප්‍රසංගවල ඉන්න ශිල්පීන් හැටියට අපිට මේක බරපතළ ලෙස බලපාලා තියෙනවා. මේ වගේ ව්‍යසනයක් ඇති වුණාම ඒකෙ පීඩනය වැඩිපුරම බලපාන පිරිසක් තමයි එළිමහන් සංගීත ප්‍රසංගවල ඉන්න අය. රටේ බෝම්බ පිපිරුණා. මේ වගේ වෛරස් එකක් ආවත් ප්‍රසංග නවත්වන්න වෙනවා. මේකෙදී අමාරුවෙ වැටෙන විශාල පිරිසක් ඉන්නවා. ගායක ගායිකාවන් වගේම සංගීත කණ්ඩායම්, ශබ්ද විකාශන කටයුතු කරන අය. ඒ බඩු හයර් කරන අය, ස්ටේජ් ගහන අය, විදුලි ආලෝකකරණ ශිල්පීන්, විතරක් නොවෙයි කඩල විකුණන අය අන්නාසි විකුණන අය වගේ විශාල පිරිසක් මේ අර්බුදයෙන් බැට කනවා. දැන් මේ විදියට ජනතාවට ඒකරාශීවෙන්න බැරි වටපිටාවක කොහොමද ඒ අය යැපෙන්නේ. දැන් මාස දෙක තුනක් තිස්සේ වැඩ නෑ. උපයා ගත්තු දෙයක්, ඉතුරු කරගත්තු දේකින් කාල ඉන්නවෙලා තියෙන්නේ. තව කොච්චර දවස් මෙහෙම යන්න පුළුවන්ද කියලා බලන්න වෙනවා. එදිනෙදා මොනවා හරි කරලා වේල හොයා ගන්තු අය කොහොමද ජීවිකාව ගැට ගහගන්නේ. අපි මේ හැම දේම ගැන බලන්න ඕනෑ.   


අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මේ වගේ ප්‍රශ්නයන් ආපු වෙලාවට මේ ගැන කතා කරනවා විසඳුම් යෝජනා වෙනවා. ඒත් ටික දවසකින් ඒ සේරම අමතක වෙලා යනවා. ආණ්ඩුවත්, කලාකරුවන්ගේ සංගම් අරව මේවත් මේ ගැන උනන්දු වෙන්නේ ප්‍රශ්න උග්‍රවෙලා තියෙන වෙලාවේ විතරයි. මේකට ස්ථිර විසඳුමක් හදන්න ඕනෑ කියලා හැමදාම කිව්වත් එහෙම එකක් නෑ. උදාහරණයක් මේ වගේ ප්‍රශ්නයක් ආපු හැම වෙලාවෙම එහි යෝජනාවක් තමයි මේ අයට විශ්‍රාම වැටුපක්, සහනාධාර ක්‍රමයක් වගේ ඒවා ඒත් ඒවා හරිහමන් විදියට කෙරිලා නෑ. අමාරුවෙ වැටුණ වෙලාවට සහනාධාරයක්, බඩු මල්ලක් පොඩි ණය මුදලක් දීලා ටික දවසකින් අර යෝජනා වෙච්ච ලොකු ලොකු යෝජනා අමතක වෙනවා.   


දැන් ආණ්ඩුව යෝජනා කරලා තියෙනවා අඩු පොලිය යටතේ ණය මුදලක් දෙන්න. ඒකත් නිසි ක්‍රමවේදයකට ලැබිය යුතු අයට ප්‍රමුඛතාව ලැබෙන පරිදි සිද්ධවුණොත් හොඳයි. මේක තවත් මොකක් හරි වසංගයක් එනකම් පැලැස්තරයක් විතරක් වුණොත් වැඩක් නෑ. වගකිව යුතු අය ඒ තමන්ගේ වගකීම් හරියට ඉටු කරන්න ඕන. අපිට විතරක් නොවෙයි රටේ හැම පුරවැසියකුටම සහනයක් ලැබිය යුතුයි.   


රංගන ශිල්පී 
චාන්දනී සෙනෙවිරත්න   


මේ තත්ත්වය යම් දුරකට සමනය වෙලා ඇඳිරිනීතිය අයින් කරලා වැඩ කරගෙන යන්න පුළුවන් කියලා සෞඛ්‍ය අංශ නිර්දේශකළත් අපි එකිනෙකාව විශ්වාස කරලා පෙර පරිදිම වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්ද තියන එක ගැන තීරණ අවිනිශ්චිතයක්. අපේ අසල ඉන්න කෙනාට වෛරසය නෑ කියලා සීයට සීයක් සහතිකය ලැබෙන්නේ කවදද. අපි නිරතවන ක්ෂේත්‍රය අනුව සමාජ දුරස්ථභාවය පවත්වාගෙන වැඩ කරන්න පුළුවන්කමක් නෑ. එකිනෙකා ඇලීගැලී වැඩ කරන්න වෙනවා. කලා නිර්මාණ කරද්දී ඇඳිරි නීතිය ඉවත් කරලා සාමාන්‍ය පරිදි වැඩ කරන්න පටන් ගත්තත් කලා නිර්මාණය වගේ වැඩ කරන්න පුළුවන් වෙන්නෙ කවදද කියලා සහතිකයක් නෑ. වෘත්තීය කලාකරුවො මෙතනදී විශාල අපහසුතාවකට පත්වෙනවා. අපි වෙන ව්‍යාපාර කර කර කලාව කරපු අයත් නෙවෙයි. රංගනය වෘත්තිය කරගත් අය. වැඩ නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ. මේ තත්ත්වයෙන් ගොඩ එන්න ලේසි වෙන්නේ නෑ.   


කලාකරුවන්ගේ සංගම් හරහා ආණ්ඩුවට කරපු ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් විදියට ණය මුදලක් දෙන්න තීරණය කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ මොන මොන කොන්දේසි යටතේද කියලා තාම දන්නේ නෑ. මේ ගන්නා ණය මුදල ගත්තත් ඒක ගෙවන්නත් පස්සේ හරි වැඩ තියෙන්න ඕනනේ. ඒ ගැන තාම කිසිම පැහැදිලි අදහසක් නෑ. ආණ්ඩුවක් මේ අර්බුදය හමුවේ ප්‍රශ්න රැසකට මුහුණපාලා තියෙනවා. පුංචි ණය මුදලක් ගන්න හෝ ඒක අරගෙන ගෙවා ගන්න පුළුවන්ද කියලා ෂුවර් නැති වෘත්තියක තමයි බලනකොට ඉඳල තියෙන්නේ. රංගන ශිල්පින් වගේම මේ ක්ෂේත්‍රයේ තවත් විශාල පිරිසක් එක වගේම මේ ප්‍රශ්නය නිසා අර්බුදයක ඉන්නේ. නර්ථන ශිල්පීන් ඇතුළු හැම දෙනාම මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. මේකෙන් ගොඩ එන්න ක්‍රමයක් අපිම සකස් කරගන්න වෙනවා.   


සංගීත ශිල්පී 
නලීන් පෙරේරා   


පොදුවේ මේ ප්‍රශ්නයෙන් රටම නොසිතූ ප්‍රශ්ණ ගණනාවකට මුහුණ දීලා තියෙන්නේ. ආණ්ඩුව කලාකරුවන් පිළිබඳව අවධානය යොමු කරපු බවත් ආරංචි වෙනවා. අපෙනුත් යම් තොරතුරු විමසුවා. අපහසුතාවට පත්වෙලා ඉන්න හැම දෙනාටම යම් සහනයක් මේ වෙලාවේ අවශ්‍යයි. සංගීත කණ්ඩායම් නායකයන් හැටියට අපිට අද මුහුණපාන්න වෙලා තියෙන ප්‍රශ්නය බරපතළයි. එළිමහන් ප්‍රසංග වගේම ගෘහස්ථ සංගීත ප්‍රසංග සියල්ල නැවතිලා තියෙද්දී මේ කටයුතුවලින් යැපුණු පිරිසට කිසිම ආදායමක් නැතිවෙලා. අවසාන කතාවෙදි වේල හොයා ගන්න එක ගැන තමයි දැන් ඇතිවෙලා තියෙන ප්‍රශ්නය. මේකේදී හැම දෙනාම සතුටු වෙන විදියේ විසඳුම් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. දැන් එය රුපියල් පන්දාහේ දීමනාව තුලින් සෑහෙන්න අකටයුතුකම් සිද්ධවුණා කියලා අපිට ආරංචි වෙනවා. රජයත් හැම දෙයක් ගැනම බලන්න වෙනවා. අපි වගේම රටේ අනිත් හැම ක්ෂේත්‍රයකම අයත් අපහසුතාවට පත්වෙලා ඉන්න වෙලාවක් මේක අපි ගැන විතරක් හිතලා කටයුතු කරන්න හොඳ වෙලාවක් නොවෙයි මේක.   


මම සංගීත කණ්ඩායමක නායකයෙක් විදියට මාත් එක්ක කටයුතු කළ සියලු දෙනා ගැන බලන්න ඕන. වැඩ නෑ කියලා ඒ අය ජීවත් වෙන්නේ කෙසේද කියලා නොහිත ඉන්න බෑ. මාස දෙක තුනක් වත් අතේ සල්ලිවලින් ඒ අයට ගෙවීම් කරලා තියෙනවා. අපිත් එක්ක එකතුවෙලා වැඩ කරපු අයගේ පවුල්වල උදවිය කන්නේ බොන්නේ කොහොමද කියලා අපි බලන්න ඕනෑ. මේ තත්ත්වය එහා මෙහා වෙලා රට ටිකක් සන්සුන් වුණත් සංගීත ප්‍රසංග වගේ දේවල් කවද පවත්වන්න පුළුවන් වෙයිද කියලා කියන්න බෑ. ජනතාව ඒකරාශී වීම තමයි මේ වෛරස් ව්‍යාප්තියට නොකළ යුතුම දේ. ඉතිං කොහොමද ප්‍රසංග පවත්වන්නේ. මිනිස්සු තවත් කාලයක් යනකම් මේ විනෝද මාර්ගවලින් ඈත්වේවි. එහෙම වුණොත් මොකද වෙන්නේ. අද වෙනකොට වහපු සිනමා ශාලා, නාට්‍ය ශාලා කවදා අරින්න පුළුවන්වෙයිද දන්නේ නෑ. එතනට ඒ හරහා ජීවත්වුණු, ඒක වෘත්තීය කරගත්තු අයට මොකද වෙන්නේ. මේක අපි හිතන්නට වඩා ලොකු ව්‍යසනයක්.   


අලුතින් කලා නිර්මාණ කරන්න බැරි වෙලා තියෙනවා අද කරගෙන ආපු වැඩ ඇණ හිටිලා තියෙනවා. ඒවට අදාල ගෙවීම් ප්‍රමාද වෙනවා. මම ශබ්දාගාරයක් පවත්වාගෙන යන නිසා මට තේරෙනවා මේ රටේ ශබ්දාගාර පවත්වාගෙන ගිය අයට ඒවයි රැකියාව කළ අයට අද මුහුණ දෙන්න වෙලා තියෙන තත්ත්වය. කවුද අද අලුතින් සිංදුවක් හදන්න උනන්දු වෙන්නේ. සංගීතඥයින් ගීත රචකයින් ඇතුළු තවත් විශාල පිරිසක් මේකෙන් අමාරුවේ වැටිලා ඉන්නේ. මේ ගොඩක් අය වෙනත් ආදායම් මාර්ග තිබුණ අයත් නොවෙයි.   


අපි ආණ්ඩුවට කියනවා මේ පිළිබඳව අවධානය යොමු කරලා කළ හැකි දේවල් කරන්න කියලා. මේකෙදි දේශපාලකයන් හෝ පක්ෂ පාට නොබල අපහසුතාවට පත්වෙලා ඉන්නේ රටේ ජනතාව කියලා හිතල කටයුතු කරන්න කියලා.   


ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ 
නාලන් මෙන්ඩිස්   


මේ තියෙන තත්ත්වය ඉවරවෙලා රජය මේක විවෘත කරන තැනක් එනවනේ. එතන ඉඳලත් කොච්චර දුරට සුපුරුදු පරිදි අපිට වැඩ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා. මොකද ජනතාව ඒකරාශී කිරීම නොකළ යුතුයි. සමාජ දුරස්ථභාවය පවත්වාගත යුතුයි කියන එක තමයි සෞඛ්‍ය නිර්දේශය. එහෙම කොහොමද අපේ වගේ ක්​ෂේත්‍රයක වැඩ කරන්නේ. ඒක තමයි දැන් තියෙන බරපතළ ප්‍රශ්නය. දැනට තියෙන විදියට කාල බීලා හිටියත් තව කොච්චර දවස් මේක අල්ලගෙන ඉන්න අපිට ශක්තියක් තියෙනවාද?   


සමාජ දුරස්ථභාවයට යටත් වෙලා ටෙලිනාට්‍ය කරන්න පුළුවන්කමක් නෑනේ. ලොකු කණ්ඩායමක් එකට එකතුවෙලා මේ වගේ වැඩකදි. අනෙක් අතට දැනට වහලා දාලා තියෙන සිනමා ශාලා නාට්‍ය ශාලා කවදා විවෘත වේද කියලා දන්නේ නෑ. හදපු චිත්‍රපටි නාට්‍ය ගෙවල්වල තියාගෙන තව කොච්චරකල් බලාගෙන ඉන්න වේවිද. මීටරයක දුර තියාගෙන චිත්‍රපටි හෝල් එකක මිනිස්සු වාඩි කරවලා චිත්‍රපටි පෙන්නන එක ප්‍රායෝගිකද. මං හිතන්නේ ඇඳිරි නීතිය ඉවත් කළත් තවත් කාලයක් යනකම් යන්තම් මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමත් අපිට නෑ. සමාජය ටිකක් සන්සුන් වෙච්ච වෙලාවක තමයි කලා නිර්මාණයන් රසවිඳින්න මිනිසුන්ගේ මනස සූදානම්. මේ පීඩනකාරි මොහොතේ අලුත් නිර්මාණ කළත් ඒවා බලන්න මිනිස්සු සූදානම්ද කියන එකත් අපි හිතන්න ඕන. මේ වගේ අපහසු වෙලාවක මිනිස්සු ඉස්සෙල්ලම අතරින්නේ විනෝද මාර්ග.   


දැන් අපි අලුතෙන් ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටියක් කරන්න යද්දි මුහුණ දෙන්න වෙන ප්‍රධාන ගැටලුවක් වෙන්නේ පසුතල හොයාගැනීම. ඒවට අවසර ලැබෙයිද අපිට ඕන හැටියට. සමහර රූගතකිරීම් ගෙවල්වල කරනවා. දැන් ඒ ගෙවල් රූගත කිරීම්වලට ලැබෙයිද, ඒ ගෙවල් අයිතිකරුවෝ කණ්ඩායමක් දාලා කෙරෙන රූගත කිරීමකට දෙන්න කැමතිවෙයිද කවුද දන්නෙ. ඉස්සර වගේ හිතු හිතු හැටියට ඕන ඕන තැන ගිහින් අපිට රූපගතකිරීම් කරන්න බැරිවේවි.   


මේ තත්ත්වය අවබෝධ කරගෙන සාමුහිකව උත්තර හොයාගන්න ඕන වෙලාවක කාටවත් චෝදනා කරගෙන රණ්ඩුවෙලා වාද කරගෙන ඉන්න ඕන වෙලාවක් නොවෙයි මේක. ආණ්ඩුව යම් ණය මුදලක් ගැන අවධානය යොමු කරපු බවත් දැනගන්න ලැබුණා. කලාකරුවන්ගේ සංගම් මේ වෙලාවෙ යම් මැදිහත්වීමක් කරනවා. අපි ප්‍රාර්ථනා කරමු මේ ව්‍යසනකාරි තත්ත්වය ඉතා ඉක්මනින් තුරන් වෙලා රට හොඳ තත්ත්වයට පත් වෙන්න කියලා. 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි