​කොටින්ගෙනුත් වැඩගත් පාතාල නායකයා


පාතාල දඩබ්ම

 

 

පාතාල ලෝකයේ රජුන් බිහි ​ෙවන්නේ හතු පිපෙන්නාක් මෙනි. බලය රැකගැනීමටත් විරුද්ධවාදියා විනාශ කර දැමීමටත් මාන බලමින් සිටින මොවුන්ගේ ලෝකය මේ ​ෙවනවිට මොහොතකට නිහඬව ඇත්තේ මුළු මහත් ලෝකයක් ගිලගෙන සිටින කොරෝනා වයිරසය හේතුවෙනැයි කිව හැකිය. එහෙත් රටේ තැනින් තැන මොවුන්ගේ චක් ගෝලයන් ආයුධ සමග මත්ද්‍රව්‍ය සහිතව රඟමින් සිටින අයුරුද වාර්තා වෙයි.   


පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙසට සිහින මවමින් සිටි මාකඳුරේ මධූෂ් අද යළි නොඑන්නම ගොසින් ය. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් වැඩ ගත් අය අතර මදූෂ්ගේ නම ද ඉහළින් කියැවුණු බව ආරක්ෂක අංශ සඳහන් කර තිබිණි. එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයකු වූ “කෙනඩි” නොහොත් “බුම්මා” නමැත්තාගෙන් වැඩ ගත්තේ මාකඳුරේ මධූෂ් පමණක් නොවේ. “බුම්බා”ව යොද‌ාගනිමින් මිනීමැරුම් සිදුකළ පළමු පාතාලයා වශයෙන් “කොස්ගොඩ සුජී” නමැත්තා ද හඳුනාගෙන ඇති බව ද බුද්ධි අංශ කියයි. “කොස්ගොඩ සුජී” මේ ​ෙවනවිට රටින් පැන ගොස් සිටින අතර, සුජී මෙරටට ගෙන්වූ නවීන අවි ආයුධ තොග ගැන තොරතුරු රාශියක් බුද්ධි අංශ වෙත ලැබී තිබූ බවද ආරක්ෂක අංශ සඳහන් කරයි.   


කොස්ගොඩ සුජීගෙන් පසු එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබල ගනයේ සාමාජිකයින්ගෙන් වැඩ ගත් එකම පාතාල කල්ලි නායකයා ‘මාකිලංගමුවේ සංජීව’ නොහොත් ‘ගනේමුල්ලේ සංජීව’ බවට මේ වනවිට බුද්ධි සේවාවන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.   


සංජීව සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව නොහොත් මාකිලංගමුවේ සංජීව යනු කවුද?   
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්ව විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබ සිටි සංජීව අධ්‍යාපනයට ‘ආයුබෝවන්’ කියා පාතාල සරසවිය තෝරාගෙන තිබුණේ “අයියා” කෙනෙකු වීමේ උණ නිසාවෙනැයි ඔහු පිළිබඳව තතු දත්තෝ පවසති. ‘ගනේමුලලේ සංජීව’ පාතාලයේ අයියා කෙනෙකු ලෙසින් ගොඩනැගෙන්නේ 2009 වර්ෂයේදීය. ඒ ​ෙවනවිට මෙරට සිදුවූ විශාලම බැංකු මංකොල්ලය සිදුකරමින් කරළියට එන සංජීව, පාතාලයේ නම රැක ගනු වස් නොකළ දෙයක් නැති තරම්ය.   


සංජීව, ආයුධවලින් සෙල්ලම් දැමීමට අමතරව පස් ජාවාරමට ද හවුල් වී ඇති බවට සඳහන් වෙයි. ගම්පහ පස් පාතාලයේ ප්‍රසිද්ධ චරිතයක්ව සිටි “පස් පොඩ්ඩා” ගනේමුල්ලේ සංජීව සමඟ “පස් සෙල්ලම” පටන් ගන්නේ ‘හීනැටියන අසිත’ මරා දමමිනි.   


මොවුන්ගේ කල්ලියේ සිටි තවත් ප්‍රබල සාමාජිකයකු වූයේ අජිත් කුමාර නොහොත් කළු අජිත් නොහොත් “අජා”ය. කලක් ගනේමුල්ලේ සංජීවගේ හොඳම වෙඩික්කරු වූයේ “අජා”ය. පසුපස හඹාගොස් වෙඩි තැබීම සඳහා දක්ෂයකු වන කළු අජිත්ව සිය ඉලක්ක සපුරා ගැනීමේ හොඳම වෙඩික්කරු ලෙස ගනේමුල්ලේ සංජීව විසින් තෝරා ගනු ලැබ තිබුණේ එළියේ සිට මෙන්ම ඇතුළේ සිටියදී ද වැඩ ගැනීම සඳහාය. ඉලක්කය සපුරණ අජිත්ගේ ගාස්තුව ගෙවීමට කිසිදු අවස්ථාවක සංජීව අමතක කළේ නැත. එහෙත් අජිත්ගේ ඉලක්කය වැරදී ගියේ ගම්පහ ඔස්මන් මරා දැමීමට සංජීව විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවෙනි.   

 

 

“කෝ යකෝ ‘ඔසා’ගේ එක කෙස් ගහක්වත් හොල්ලන්න තොට බැරි වුණානේ. තොගේ කයිය විතරයි.” සංජීව කෑ ගැසුවේ අජිත්ගේ පොරොන්දු මුදල ලබා නොදෙන බවට පවසමිනි.   


එදා සිට අජිත්, ගනේමුල්ලේ සංජීවගේ ගැන්සියෙන් පල්ලම් බැස්සේය. පොරොන්දු මුදල ලබා නොදුන් හේතුව මත පස් පොඩ්ඩාගේ හිතවතෙකු වූ සුරේෂ්ගෙන් කප්පම් ඉල්ලුවේ අජිත් ය.   


ගනේමුල්ලේ සංජීවගෙන් ලද ආශීර්වාදයෙන් ගම්පහ පස් ජාවාරමේ සිටින පස් පොඩ්ඩාට අජිත් හිසරදයක් වූයේ නැත. එහෙත් සුරේෂ්ට වෙඩි තබා සියල්ලෙන්ම ඉවත් කර දමන්නට අජිත් ගත් උත්සාහය සාර්ථක විය. බරපතළ තුවාල ලැබූ අජිත් පස් ව්‍යාපාරයෙන් ඉවත් වූ පසු පස් පොඩ්ඩා ගෙනෙන්නේ “චමී” වය. වැඩිකලක් පස් ව්‍යාපාරය කරන්නට චමීට හැකියාවක් ලැබෙන්නේ නැත. විරුද්ධ කල්ලියක් ඔහු ද ඝාතනය කර දමන්නේය. අවසානයේදී අජිත් ද අවසන් ගමන් යන්නේ “හීනැටියන සංඛ” නමැත්තාගේ අතිනි. ඒ ගනේමුල්ලේ සංජීවගේ උපදෙස් මත බවට මේ වනවිට ආරක්ෂක අංශ කරුණු තහවුරු කරගෙන තිබිණි. 

 
චමින්ද රවී ජයනාත් නොහොත් “දෙමටගොඩ චමින්ද ” නමැති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තුන් වැනි විත්තිකරුට බන්ධනාගාර බස් රථය තුළදී වෙඩි තැබීමේ සිද්ධියක් හේතුවෙන් ද ගනේමුල්ලේ සංජීව චෝදනා ලැබ සිටින්නේය.   


 බන්ධනාගාරයේ සිටි දෙමටගොඩ චමින්ද අලුත්කඩේ අධිකරණයේ පැවැති නඩුවට ඉදිරිපත් කොට නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී දෙමටගොඩ ඉන්ගම් හන්දියේදී බන්ධනාගාර බස් රථය හරස් කර නැවැත්වූ යතුරුපැදිකරුවෝ දෙදෙනකු “චමින්දට” වෙඩි තබා පලා යති. චමින්ද බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ අතර සිද්ධියට අදාළව සංජීව බන්ධනාගාර ගත වෙයි.   


එම සිද්ධියට අදාළව ඇප මත මුදා හැරුණුද දැන් ගනේමුල්ලේ සංජීව සිටින්නේ බූස්ස බන්ධනාගාරයේය. ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ විභාගවන නඩුවක සැකකරුවකු ලෙසිනි.   


එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා ආයුධ එක්රැස් කිරීම සහ එම ආයුධ දකුණේ පාතාල ක්‍රියාකාරීන්ට ලබාදී සංවිධානාත්මක අපරාධ සිදුකළැයි කියන සිද්ධියකට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් ජනවාරි මස 24 වැනිදාය. කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකරුවන් 12 දෙනා අවස්ථා කිහිපයකදී එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.   


සැකකටයුතු අන්දමින් බෑගයක් කරේ දමාගෙන මාර්ගයේ ගමන්කරමින් සිටි පුද්ගලයකු පුලියන්කුලම පොලිසිය විසින් පරීක්ෂා කරනු ලැබ ඇත්තේ ඉකුත් ජනවාරි මස 01 වැනිදාය. පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ බියට පත්වන මේ පුද්ගලයා තමා සතුව තිබූ බෑගයද දමා පලා යන්නේ “පන එපා” කියමිනි. බෑගය අවුස්සා බැලූ පොලිසියට පෙනී ගියේ මේ පලා ගිය පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල කොටි නායකයෙකු වන “ආනන්ද රාසා” නමැත්තා බවය.


වෙඩි තැබීමට සූදානම් කර තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, ජීව උණ්ඩ 18ක්, මැගසීනයක්, ජීව අත්බෝම්බ 4ක්, හිරු එළියෙන්  ක්‍රියාකරන පවර් බෑන්ක් 1ක්, ඇපල් වර්ගයේ නවීන පන්නයේ ජංගම දුරකතනයක්, සැම්සුන් වර්ගයේ නවීන ජංගම දුරකතනයක් ඇතුළු ආම්පන්න රාශියක් ද ආනන්ද රාසාගේ මල්ලේ තිබී පොලිසිය සොයා ගත්තේය. මින් පසු ක්‍රියාත්මක වූයේ බුද්ධි අංශයි.   


ඒ අනුව ඒ 9 මාර්ගයේ මූතූර් කෝවිල දෙසට යන විට හමුවන දුම්රිය මාර්ගය අසලදී යුද උපකරණ තොගයක් ද සමග සැකකරුවන් හය දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගනී. මෙයියමුත්තු රාසා සුදාහරන් නොහොත් “ගුණා”, ශ්‍රීකාන්තන් දර්ශනී නොහොත් “පොන්නම්බලම්”, ගනේෂ් මූර්ති සිදුහත් නොහොත් “සිදූ”, පූබාලසිංගම් සුරියබාලන් නොහොත් “සදන්”, තලෛයිසිංගම් කාන්දරූබන් නොහොත් ”කාර්තික්” සහ උමාගනේෂන් දයානිදි මෙම සැකකරුවෝ වෙති. මෙම සැකකරුවන් මේ ​ෙවනවිට කිලිනොච්චිය අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.   


මෙම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් අට දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් ජනවාරි මස 02 වැනිදාය.   


රාසලිංගම් සිවරාජ් නොහාත් “වීරා” නොහොත් “කඩල් වීරන්”, කල්‍යාණ කුමාර් ශෂිකුමාර්, මනුජය ප්‍රමෝද් කාවින්ද පතිරණ, මාලන් ඩෝසර් විජයසිරිවර්ධන, ඉන්ද්‍රජිත් රංගන කරුණානායක, හිමාල් හර්ෂණ, ප්‍රදීප් දේශප්‍රිය සහ ඇනස්ලි ප්‍රභාගර්  ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි නොහොත් “වේන්ද්‍රන්” නොහොත් “අප්පා”, වසන්ත ජූඩ් නිරෝෂන්, විජයන් සැලන් කුමාර් නොහොත් “සැලඩ්” සහ ඝනපති කදිරවේලු නොහොත් “සාමි” එම සැකකරුවෝ වෙති. වේන්ද්‍රන් නොහොත් අප්පා යනු 2007 වර්ෂයේ ඔක්තෝබර් මස 22 වැනිදා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයට පැමිණ ජීවිතය ගලවාගත් ත්‍රස්තවාදීන් දෙතුන් දෙනාගෙන් කෙනෙකු බවත් යුද්ධය නිමවීමෙන් පසු යුද හමුදාවට භාර නොවී සැඟව සිටි අයකු බවටද සඳහන් වෙයි.   
යුධ හමුදාව ඔහු “අප්පා” ලෙසින් හැදින්වූ අතර නාවික හමුදාව ඔහු හදුන්වන්නේ “නෙරන්ජන්” නමිනි. මෙම තැනැත්තා ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් සංක්‍රමණිකයින් පැටවීමේ ඡාවාරමක ද නිරතව සිටි බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. අප්පා මේ සිද්ධිවලට බන්ධනාගාර ගතව සිටියදී දකුණේ පාතාලය සමග හාද කම් පැවැත්වීමට අවස්ථාව උදාවන අතර ගනේමුල්ලේ සංජීවගේ ආශ්‍රය ඔහුට ලැබෙයි.   
“ආනන්ද රාසා” ළඟ තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක්, “අප්පා” විසින් කොළඹ ගෙනැවිත් පාතාලය වෙත මුදලට විකුණා ඇති බවට කෙළඹ අපරාධ කොට්ඨාසය කරුණු හෙළිකරගෙන තිබිණි.   
“අප්පා” ලබාදුන් පිස්තෝලයත් රැගෙන යතුරුපැදියක නගින “වීරා” නොහොත් “කඩල් වීරන්” සහ ඊතනවත්ත අරච්චිගේ අමිල නුවන් නොහොත් “ගොත අසංක” අංගොඩ කැලණිමුලේලේ දී සුරංග කුමාර නොහොත් “රත්තරං” වෙඩි තබා ඝාතනය කරන්නේ ඉකුත් 2017 වර්ෂයේ ජනවාරි මස 05 වැනිදාය.   
“රත්තරං” අංගොඩ ලොක්කාගේ පාර්ශ්වයේ අයකු වන අතර, “ගොත අසංක” සහ “ගනේමුල්ලේ සංජීව” රණාලේ සමයංගේ පාර්ශ්වයේ අයකු වෙති. අංගොඩ පාතාලයේ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස 2017 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදා සමයං ඝාතනය වන්නේ කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් තුළදීය. ඒ අංගොඩ  ලොක්කාගේ වැඩක් බවට දැන් ආරක්ෂක අංශ හෙළිදරව් කරගෙන අවසන්ය.   
මේ සියල්ලටම හේතු වූ අමිල නුවන් නොහොත් ගොත අසංක, කටුගම්පලලාගේ උදේශික විදුරංග සහ සංජීව සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගන්නේ මයික්‍රෝ වර්ගයේ ගිනි අවි දෙකක් ද සමගය.   


ගනේමුල්ල සංජීව විසින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හත් දෙනෙකු මෙහෙයවන බවට මේ වනවිට බුද්ධි අංශ කරුණු තහවුර කරගෙන තිබේ. මෙතෙක් කර ඇති විමර්ශනවලට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පිස්තෝල 10ක්, ටී 56 ගිනි අවි 10ක් ගනේමුල්ලේ සංජීවගේ කල්ලිය සතුව ඇතැයි ආරක්ෂකඅංශ තොරතුරු හෙළිකරගෙන තිබේ.   


ගනේමුල්ලේ සංජීවගේ ප්‍රබල හතුරෙකුව සිටින ගම්පහ ඔස්මන් සිටින්නේ කොයි මොහොතේ හෝ සංජීවට වැඩක් දෙන්නට බව බුද්ධි අංශ මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ඒ මදිවාට කංජිපානි ඉම්රාන් ද ගනේමුල්ලේ සංජීවගේ කල්ලියට තර්ජනයක් වී ඇත. වරක් කංජිපානි ඉම්රාන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රසිද්ධියේ තර්ජනය කළේ ගනේමුල්ලේ සංජීවගේ ගෝලයකු වූ කටුගම්පලලාගේ උදේශ් විදුරංගයට.   


“උඹලටත් සමයං වගේ බස් එකේ බුදියගන්න ඕනද?’’ කංජිපානි ඉම්රාන් එසේ ඇසුවේ එස්.ටී.එෆ්. නිලදරුවන්ගේ ආරක්ෂාව මැද අධිකරණයෙන් එළියට නික්මෙන මොහොතේදීය.   


ඒ මොහොතේදී ගොත අසංකත් ගනේමුල්ලේ සංජීවත් කුඩුවේ යකඩ කූරුවල එල්ලීගෙන කංජිපානි දෙස බලා සිටියහ.   


පාතාලයෝ ආයුධවලින් සෙල්ලම් දමන්නේ මේ ආකාරයටය. මේ සීතල යුද්ධය මැඩලීම සඳහා ආරක්ෂක අංශ දැන් සිටින්නේ සීරුවෙනි. අවි ගත්තෝ නසින්නේ අවියෙනි. සාධාරණ සාමකාමී පරිසරයක ජීවත්වීමේ පරම අයිතිය සියල්ලන්ටම උරුම ​ෙවන්නා සේම, එය ළගා කර දීමට සීරුවෙන් සිටින ආරක්ෂක අංශ වෙත අපි හිස නමා ආචාර කරමු.   

 

 

නිරංගි අබේවික්‍රම