​කොට්ටෙ යට හංගාගෙන කියවූ ‘මාරක කතා’ පොත්


පාසල් යන අවධියේ අටේ නමේ පංතිවල මම මාරක කතා බේබද්දෙක්. වෙලාවක් අවේලාවක් නැතිව ඕනෑම වෙලාවක මත්වෙන්න සූදානම් වෙලා ඉන්න බේබද්දෙක් වගේ මමත් ඕනෑම මොහොතක මාරක කතා පොත් කියවන්න සූදානමින් හිටියා.   


එක පිහාටු තියෙන කුරුල්ලො එක අත්තක ලගිනවා වගේ, අපිත් දෙතුන් දෙනකුගේ සහභාගිත්වයෙන් මාරක කතා පොත් කියවීමේ කල්ලියක් තිබුණා. අපි දෙතුන් දෙනා එකතු කර ගන්නා සල්ලිවලින් තමයි අපේ මාරක කතා කියවීමේ බේබදුකම සංසිඳුවා ගන්නෙ. 

 
කඳාන දුම්රිය ස්ථානය ළඟ තිබුණ මල්ලිකා හෝටලයෙන්, දවල් දොළහෙ විවේකයට තෝස දෙකක් කාලා සත විස්සක් නොදී හොරෙන් පැන්නේ අපේ ඇට්ටරකමටම නොවෙයි. මාරක කතා පොත් මිලට ගන්න අරමුදල් සම්පාදනයට.   


අපේ ​යොවුන් වියට වසර විස්සකට තිහකට ඉස්සර ඩබ්ලිව්.ඒ. සිල්වා ‘ජූලි හත’ ලියල තිබුණට පියදාස සිරිසේනගෙ ‘ඩිංගිරි මැණිකා’ නවකතාවෙ කෝන්ගොඩ වික්‍රමපාල කියල රහස් පරීක්ෂකයෙක් හිටියට ඒ කාලෙ අපේ යොවුන් හිත සින්නක්කරයටම ලියාගෙන හිටියෙ ඩීමන් ආනන්ද.  


අද අපි වගේ අවුරුදු හැට හැත්තෑවෙ ඉන්න හුඟාක් දෙනා මුලින්ම කියෙව්වෙ ඩීමන් ආනන්දව. ඊට පස්සෙ තමයි මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක ආදීන් වෙත මාරු වෙන්නෙ. ඒ දෙගොල්ල අතර පාලම හැදුවෙ කරුණාසේන ජයලත්.   


රුපියල් දෙකට විකුණූ මාරක කතා පොත් ශත හැත්තෑ පහට විකුණන්න පටන් ගත්තෙ කලෙයි මගල් සමාගමින්. මුල් පිටුවෙ වගේම පසුපස පිටුවෙත් අපූරු චිත්‍ර.   
සත හැත්තෑපහට කොළ හැත්තෑපහක කතාවක්. එක හුස්මට කියවල දෙකට නමල කලිසම් සාක්කුවේ ඔබා ගත්තැකි.   
ලිංගම් මුදලාලි, ඩීමන් ආනන්දගෙ මාරක කතා පොතක් එක පාරට පිටපත් දහදාහක් ගැහුවලු. පත්තර ලෑලිවල විතරක් නොවෙයි, සිගරැට්, සුරුට්ටු, ටොෆි, ලොසින්ජර් විකුණන පෙට්ටි කඩවල චිත්‍රපට සිංදු පොත්, වෙනත් සිංදු පොත් වගේම ඩීමන් ආනන්දගෙ මාරක කතා පොත් ක්ලිප් ගහල වැල්වල එල්ලලා තිබුණා.   


සුමානෙන් දෙකෙන් පොත් දහදාහ ඉවරයි. ඒ කාලෙ කිව්වෙ උණු කැවුම් විකිණෙනවා වගෙයි’ කියල නොවෙයි. ‘ඩීමන් ආනන්දගෙ මාරක කතා විකිණෙනවා’ වගෙයි කියලා.   
ඒ කාලෙ ඩීමන් ආනන්ද වගේම තවත් ජනප්‍රිය මාරක කතා ලියපු කීප දෙනෙක් හිටියා. වැළිහිඳ මුනිරත්න, සිරිසේන මාඉටිපේ, නාරාහේන්පිට චන්ද්‍රසේන ද සිල්වා, අම්බලන්තොට චන්ද්‍රසේන ද සිල්වා, කේ. ලයනල් පෙරේරා, මොරටුවේ ඩී.එස්.පී. මැන්දිස්, ඩබ්ලිව්.පී. වැල්ලවත්ත, ජනදාස ලේල්වල ඒ කාලෙ මාරක කතා ලියූ ලේඛකයින් කීප දෙනෙක්.   
මාරක කතා ලියපු අය අතරින් අන්තිමේට ජීවිතයෙන් සමුගත්තෙ වැළිහිඳ මුනිරත්න. ඒ මීට වසර දෙකකට පමණ පෙරය.   
එක්දහස් නවසිය තිස්තුනේ දී පොල්ගහවෙල ඉපදුන වැළිහිඳ මුනිරත්න මුලින්ම ඉගෙන ගත්තෙ කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ, පසුව අනුරාධපුර මධ්‍ය මහා විදුහලට ඇතුළු වෙලා ඉංග්‍රීසි සීනියර් විභාගය සමත් වුණා.   
‘රොමාගෙ වාසනාව’ කතාව ලියූ ඊ.ආර්. එරත්න අනුරාධපුර සෙන්ට්‍රල් එකේදි වැළිහිඳට සිංහල ඉගැන්නුව ගුරුවරයෙක්.   
වැළිහිඳ මුනිරත්න තමන්ගෙ මුල්ම කතා පොත ලිව්වේ එක්දහස් නවසිය හැටේදි වගේ.   


එතකොට ඔහු වයස අවුරුදු විසි හයක විසිහතක නාඹර තරුණයෙක්. පොතේ නම ‘අබිරහස් මරුවා’ සමාජ ශාලාවක කොටස්කාර අයිතිකරුවෙක් හදිසියේ අතුරුදහන් වෙනවා. එම අබිරහස් අතුරුදහන්වීම සෙවීමට රහස් පරීක්ෂකවරයකුට භාර වෙනවා. ඔහු රහස් පරීක්ෂක ලක්ෂ්මන්.   
ඩීමන් ආනන්දගෙ සෑම මාරක කතාවකම රහස් පරීක්ෂකවරයා ඩිකී වීරකෝන් වගේ වැළිහිඳ මුනිරත්නගෙ සෑම මාරක කතාවකම රහස් පරීක්ෂක තමයි ලක්ෂ්මන්.   
කොළඹ ඔල්කට් මාවතේ කරුණාරත්න පොත් සමාගමින් පොත ප්‍රකාශයට පත් කළා. පළමුවන පාරට පොත් පන්දාහක් මුද්‍රණය කළා. කර්තෘ භාගය විදියට වැළිහිඳ මුනිරත්නට ලැබුණෙ රුපියල් දෙසීයයි.   
වැළිහිඳ මුනිරත්න කිව්වෙ තමන් මාරක කතා ලිව්වෙ බටහිර චිත්‍රපට බළලා නොවන වග.  


‘ඒවා මගේ ස්වතන්ත්‍ර නිර්මාණ. මගෙ මාරක කතා පොත්වලට, බටහිර රහස් පරීක්ෂක කතාවල ආභාෂය ලබන්න මම ඉංග්‍රීසි නවකතා, විශේෂයෙන් ඉංග්‍රීසි රහස් පරීක්ෂක කතාව කියෙව්වෙ නැහැ.’ එහෙම කිව්වෙ ඉංග්‍රීසි සිංහල ද්වී භාෂා ජ්‍යෙෂ්ඨ සමතෙකු වූ වැළිහිඳ මුනිරත්නය.   


ඔහුගේ දෙවැනි මාරක කතාව ‘මාරක ඇටසැකිල්ල’ කතාවෙන් කියැවෙන්නේ ඝන අඳුර පවතින රාත්‍රියක පැමිණෙන ඇටසැකිල්ලක් මුදල් මංකොල්ල කන හැටි. ඒ ඇටසැකිල්ල රූමත් කාන්තාවක් පැහැරගෙන යන අන්දම මාරක ඇටසැකිල්ල නවකතාවෙන් කියැවෙනවා. මේ අබිරහස විසඳන්න රහස් පරීක්ෂක ලක්ෂ්මන් එනවා. මේ ඇටසැකිල්ල පෙනෙන්නේ මහා ඝන අඳුරේ පමණයි. හදිසියේ විදුලි එළියක් වැටුනොත් ඇටසැකිල්ල අතුරුදහන් වෙලා අඳුරු ඡායාවක් ඉතිරි වෙනවා. කළු රබර් ඇඳුමක් ඇඳගත්ත පුද්ගලයකු ඒ රබර් ඇඳුමෙ රේඩියම්වලින් ඇටසැකිල්ලක් ඇඳගෙන. අඳුරු වෙලාවට රේඩියම්වලින් ඇඳපු ඇටසැකිල්ල පේනවා. විදුලි එළිය වැටුණම රේඩියම්වල දිදුලන බව නැතිව යනවා. රහස් පරීක්ෂක ලක්ෂ්මන් මාරක ඇටසැකිල්ලෙ අබිරහස විසඳනවා.   
වැළිහිඳ මුනිරත්න ‘මාරක ඇටසැකිල්ල’ ප්‍රකාශයට පත් කළේ මරදාන සමයවර්ධන පොත් සමාගමින්. එක පාර පිටපත් පන්දාහක් ගැහැව්වා. පොතක මිල රුපියල් දෙකයි. වැළිහිඳට කර්තෘ භාගය විදියට රුපියල් එක්දහස් තුන්සියයක් ලැබුණා.   
මාරක ඇටසැකිල්ල පොතේ පිටකවරය ඇන්දේ සුසිල් ප්‍රේමරත්න. පිටකවරය ඇන්දට රු. 250ක් සුසිල් ප්‍රේමරත්නට ගෙවලා. වැළිහිඳ මුනිරත්නගෙ හැම කතා පොතකම මුල් පිටකවරය ඇන්දේ සුසිල් ප්‍රේමරත්න සහ ජී.එස්. ප්‍රනාන්දු.   


‘ලේ බොන මාරයා’ මාරක කතා පොත ගැහැව්වේ කොළඹ මරදාන මාලිගාකන්ද පාරේ ඇම්.ජී. ධර්මදාස සහ සහෝදරයෝ පොත් සමාගමින්. පොතක මිල රුපියල් දෙකයි. මිනිසුන්ගෙ උගුරු දණ්ඩ කපා ලේ බී මිනිසුන් ඝාතනය කරන අද්භූත ගෝරිල්ලෙක් පිළිබඳවයි ඒ කතාව. මධුසමය ගත කිරීමට ගිය ගමනේ දී මුකලන්යාය මහා ඝන වනයේ දී අතුරුදන් වන සැමුවෙල් රන්දුනු සහ මහිලා ගජනායකගේ අතුරුදන්වීම සමග ඈඳෙන මිනී මැරුම්, මංකොල්ලකෑම් රාශියක් විසඳන්නෙ රහස් පරීක්ෂක ලක්ෂ්මන්.

   
බහිරව නිධානය, නාමලී, මතු ආත්ම​යේදී මනිලා, මල් එතනා, පව් ගෙවීම, ඇවැස්ස නෑනා වගේ පොත් හැටක් වැළිහිඳ මුනිරත්න ලියල තියෙනවා. ඒ පොත් ගොන්නෙ මාරක කතා විතරක් නොවෙයි නවකතා, ඓතිහාසික කතා, ප්‍රේම කතාත් තියෙනවා.   


‘මම මුලින්ම කතාවෙ සැකිල්ල හදනවා. කුතුහලය අවසානය දක්වා රඳවාගෙන තියා ගන්න ඕනෙ විදියට ලියාගෙන යනවා. කතාව මැද දි හිතා ගන්න බැහැ කවුද වැරදිකාරයා කියලා. සමහර වෙලාවට රහස් පරීක්ෂකයා ළඟින්ම ඉන්න කෙනා වෙන වෙලාවල්ද තියෙනවා. තමන් මාරක කතාවක් නිර්මාණය කරන අන්දම වැළිහිඳ මුනිරත්න විස්තර කළේ එහෙමයි.   


වැළිහිද මුනිරත්න තරුණ කාලෙ කඳාන, එස්.එම්. නායගම්ගෙ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයෙ රැකියාව කළේ නළු නිළියන්ට දෙබස් මතක්කර දෙන කෙනෙක් ලෙස. රුක්මනී දේවි, එඩී ජයමාන්න, රවීන්ද්‍ර රූපසේන රඟපෑ ‘නළඟන’ චිත්‍රපටියෙ එල්.එස්. රාමචන්ද්‍රගෙ සහාය අධ්‍යක්ෂ විදියට වැඩ කළා. පසුව ඔහු එක්කම ඉන්දියාවට ගිහිල්ල රෝයල් ස්ටුඩියෝ එකේදී ‘දේව සුන්දරී’ චිත්‍රපටය හදන්න සහාය වුණා. එඩී ජූනියර්, ප්ලොරිඩා ජයලත්, ජෝ අබේවික්‍රම ඇතුළු ද්‍රවිඩ නළු නිළියන් රඟපෑ ‘දේව සුන්දරී’ භාෂා හයකින් හදපු චිත්‍රපටියක්.   


එක්දහස් නවසිය හැටඅට කාලෙ ඔහු ගල්ගමුවේ ‘ශාරදා’ කියල චිත්‍රපට හෝල් එකක් පටන් ගත්තා. මුලින්ම පෙන්නුවෙ රොබින් තම්පෝගෙ ‘දෙහදක දුක’. අඟහරුවාදා ගල්ගමුවෙ සතිපොළ දවසට ශාරදා හෝල් එකේ ෂෝස් හතරක් දිව්වා.   


ඒත් කාලය කොච්චර නපුරුද? ඔක්කොම වෙනස් වුණා. හැත්තෑ එකේ කැරැල්ල කාලයේ නමයයි තිහ දුවන්න බැරිව ගියා. ඈත කැලේ හිටිය අලි රාත්‍රියට ගල්ගමුව පාරට සේන්දු වෙන්න ගත්තා. පාරවල් පාළුවෙලා ගියා. ගල්ගමුවෙ ශාරදා හෝල් එකත් වැහිලා ගියා.  

 

 

පීටර් කැනියුට් පෙරේරා