ළිඳක් කැපීමට පෙර සුබ වදනක්


මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතාව අතුරෙන් ජලයද අද්විතීය ස්ථානයක් හිමිකර ගනී. දැන් දැන් නාගරික පෙදෙස්වල නිවාසවලට ජල නළ මගින් ජලය ලබාගත හැකි වෙතත් ගම්බද නිවෙස්වල මිනිසුන් මේ වන තුරුත් ප්‍රයෝජනයට ගනු ලබන්නේ ළිං ජලයයි. සමහර විට නගරබද නිවෙසක ප්‍රයෝජනය පිණිස ළිඳක් කැපීමේ ශුභ මුහුර්තයක් සකසා ගැනීම වැදගත් කටයුත්තකි.   


ළිඳක් කැපීමට පෙර ඉඩමේ කොතැනක ජලය වේ දැයි පළමුව​ සොයාගත යුතුය. ඒ සඳහා පුරාණ ආචාර්යවරුන් විසින් අපට නොයෙක් ක්‍රම කියාදී තිබේ. නිදිකුම්බා සහිත ඉඩමක නම් නිදිකුම්බා බහුලව ඇති පෙදෙසෙහි ද තුඹසක් වේ නම් ඒ අසලද ජලය වෙයි. තවද ඉඩම අසල දැවැන්ත වෘක්ෂයක් වෙතොත් එහි මහ මුල ගමන් කළ පැත්තෙන් හෝ වෘක්ෂයේ ඇති අතු අතරින් විශාලම අත්ත විහිදී ගොස් ඇති පැත්තේ ජලය විය හැකිය.   
සඳු බුද, ගුරු, කිවි, දිනෙක උතුර හෝ ඊසාන යන පසෙක ළිඳ කැපිය යුතුය. සුභ නැකැත් වශයෙන් අස්විද, රෙහෙන, මුවසිරස, පුනාවස, පුෂ, දෙනට, මුල, සුවණ, හත, මා, අනුර, උත්‍රපල්, උත්‍රපුටුප, උත්‍රසල, රේවතී යන නැකැත්ද තිථි වශයෙන් පුරපස දියවක, තියවක, විසේනිය, සතවක, දසවක, එකොළොස්වක, තෙලෙස්වක යන තිථිද ගැනේ. වෘෂභ කටක මීන ළිං කැපීමට සුභ ලග්න වේ. සිංහ හා කුම්භ යන ලග්න දෙකද පාප ග්‍රහයින්ට අයත් වුවද ළිං කැපීමට සුභ බවට මතයකි.   


චන්ද්‍රයා බලවත්ව සිටියදී සඳුදා දිනයක සඳු හෝරාවෙන් ළිං කැපීම සුභයි. ළිං කැපිය යුත්තේද සඳු හෝරාවෙනි. එවිට ළිඳෙහි වතුර මිහිරි රසවත් බවත් කියැවේ. ළිඳ කැපීමට නියමිත තත්කාල ලග්නයෙහි (එම අවස්ථාවේ පවතින ලග්නය) පුරපස චන්ද්‍රයා හෝ බුධ ගුරු යන ග්‍රහයින් දෙදෙනාගෙන් එක් ග්‍රහයකු හෝ තැම්පත් වෙතොත් වඩාත් සුබය. පුරපස චන්ද්‍රයා මීන ලග්න ගත වීමද යහපත් පිහිටීමකි.   

 


මංජුල තරුකෙම - වැල්ලවාය