හොලිවුඩ් ගිය ප්‍රියංකා චොප්රා සහ බොලිවුඩ් ආ සනී ලියොන්


වර්තමානයේ හොලිවුඞ් සිනමාවේ සිටින අංක එකේ ඉන්දියානු නිළිය වශයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටින්නී ප්‍රියංකා චොප්රාය. ආසියාවේ ආකර්ෂණීයම නිළියක වන ප්‍රියංකා ගායිකාවක, චිත්‍රපට නිෂ්පාදිකාවක, සමාජ සේවිකාවක ලෙසින්ද ප්‍රකටය. හින්දි චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවක රඟපෑ ප්‍රියංකා 2013 වසරේ හොලිවුඞ් සිනමාවට එක්වූයේ ‘ගර්ල් රයිසිං’ නැමැති වාර්තා චිත්‍රපටයේ චරිතයක් නිරූපණය කරමිනි. පසුව ප්ලේන්ස්, බේ වොච් වැනි හොලිවුඩ් චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය සඳහා ඇය තෝරා ගැනිණි. 2015 ප්‍රියංකා රඟ පෑ ක්වන්ටිකෝ නමැති ඇමෙරිකානු රූපවාහිනී මාලා ටෙලි නාටකයෙන් ඇයට සුවිශාල ජනප්‍රියත්වයක් හිමි වූයේය. එහි රංගනය වෙනුවෙන් ඇමෙරිකානු  පීපල්ස් චොයිස් සම්මානය ඇයට හිමි විය. බේ වොච් චිත්‍රපටය සඳහා බොහෝ විචාරක ප්‍රතිචාර හිමි වූ අතර එහි ප්‍රධාන නළු චරිතය රඟපානු ලැබුවේ ඩ්වයින්  ජොන්සන් විසිනි. ඇය රඟ පෑ තවත් හොලිවුඞ් චිත්‍රපට දෙකක් වන ‘අ කිඩ් ලයික් ජේක්’ සහ ‘ඉස්න්ට් ඉට් රොමෑන්ටික්‘ 2018දී තිරගත වීමට නියමිතය.


ගුවන්යානා ඉංජිනේරු විද්‍යාව හෝ අපරාධ මනෝවිද්‍යාව හෝ හැදෑරීම ඇයගේ සිහිනය වුවද අවසානයේ ඇය නතරවූයේ බොලිවුඩයේ සිනමා නිළියක වීමෙනි. 2002දී තමිසාන් නමැති ද්‍රවිඩ චිත්‍රපටයෙන් සිනමාවට එක් වූ ඇය හීරෝ, අන්දාස් වැනි චිත්‍රපටවල ප්‍රධාන නිළිය වූවාය. එම චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළුෑ අතර ඉන්පසු ඇය රඟපෑ මුජ්සේ සාදි කරෝගි, ක්‍රිෂ් සහ ඩොන් වැනි චිත්‍රපටවලින් බොලිවුඩ් සිනමාවේ අංක එකේ නිළිය බවට පත්වන්නට ඇය සමත් වූවාය. 


1982 ජුලි 18 දා බිහාර් ප්‍රාන්තයේ ජම්ෂෙඩ්පූර්හි උපත ලද ප්‍රියංකාගේ මව මධු චොප්රා වන අතර පියා අශෝක් චොප්රාය. ඔවුන් දෙදෙනාම ඉන්දියානු හමුදා වෛද්‍යවරු වූහ. 13 හැවිරිදි වියේදී ප්‍රියංකා ඇමෙරිකා එක්සත් ජනපදයට ගියේ අධ්‍යාපනය ලැබීම සඳහාය. අධ්‍යාපනය ලබන අතර ඇය වේදිකාව රංගනයට හා ගායනයට එක් වූවාය. ඉන්දියානුවකු වු බැවින් ඇමෙරිකානු සිසුන්ගේ විවිධ තාඩනපීඩවලට ලක්වන්නට ඇයට සිදු විය. පසුකාලයේ ඇය ඒ පිළිබඳව සිහිපත් කළේ මෙලෙසිනි. “මම ඉන්දියානු මධ්‍යම පාන්තික පවුලකින් පැමිණි, මගේ පාඩුවේ  සිටි, ආත්ම ශක්තියෙන් හීන හුදෙකලා චරිතයක්. මගේ දෙපා ලස්සන ඒවා නොවෙයි. ඒ නිසා මා ඔවුන්ගේ උසුළු විසුළුවලට නිතර ලක් වුණා. කල්යත්ම මගේ ආත්ම විශ්වාසය වැඩි වුණා. කෙසේ හෝ ජයගන්නට මා තීරණය කළා. දැන් මගේ දෙපා භාණ්ඩ 12ක වෙළෙඳ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගන්නවා”.


යළි ඉන්දියාවට පැමිණි ප්‍රියංකා ‘මේ ක්වීන්’ නමැති  රූ රුජන තරගයකින් ජයග්‍රහණය කළාය. 2000 වසරේ ෆෙමිනා මිස් ඉන්ඩියා රූ රැජන තරගයට සහභාගී වූ ඇය ඉන් ජයග්‍රහණය ලබා ලෝක රූ රැජන තරගයට ඉදිරිපත් වූවාය. ඇය විසින් ලෝක රූ රැජන කිරුළ ජයග්‍රහණය කරනු ලැබුවේ එම කිරුළ හිමිකරගත් පස්වැනි ඉන්දියානු යුවතිය ලෙසිනි. ප්‍රියංකා චොප්රාට බොලිවුඞ් සිනමාවේ දොරටු විවර වූයේ එම ජයග්‍රහණයත් සමඟය.


2000 වසරේ ලෝක රූ රැජන වූ ප්‍රියංකා 2016දී ඉන්දියානු වැසියකුට ලැබිය හැකි සිව්වැනි උසස්ම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන්ද, ජාතික සිනමා සම්මානයෙන් හා පස්වරක් ෆිල්ම්ෆෙයාර් සම්මානයෙන්ද, සිව් වරක් බිග් ස්ටාර් එන්ටර්ටේන්මන්ට් සම්මානයෙන්ද, දෙවරක් ග්ලෝබල් ඉන්ඩියන් සම්මානයෙන්ද, සය වරක් ඉන්දියානු ඇකඩමි සිනමා සම්මානයෙන්ද, පස්වරක් ලයන් ගෝල්ඩ් සම්මානයෙන්ද, පිදුම් ලද  නිළියකි.


තම ජනප්‍රියත්වය හා ජනතා ආකර්ෂණය නොකඩවා තබා ගැනීමේ අරමුණින් ඇය මෙතෙක් විවාහ දිවියට එළඹී නොමැති වුවද පෙම්වතුන් රැසක් ඇසුරු කළ බැව් ප්‍රකටය. ඇගේ පළමු පෙම්වතා වූයේ අස්මීන් මර්චන්ට් නමැති පුද්ගලයෙකි. අක්ෂේ කුමාර්, ෂාරුක් කාන්, හර්මන් බවේජා සහ ෂාහීඩ් කපූර් වැනි නළුවන් සමඟද ඇයගේ නම වරින් වර ඈඳී තිබිණි. මේ වන විට 35 හැවිරිදි ඇය ඇමෙරිකාවේ පදිංචි ඉන්දියානුවක් සමඟ සබඳතාවක් පවත්වන බවට රාවයක් පවතී.


රංගනයෙන් මෙන්ම ගායනයෙන්ද වෙළෙඳ ප්‍රචාරණ කටයුතු සඳහා පෙනී සිටීමෙන්ද ඇය විශාල ආදායමක් උපයන්නීය. එක් බොලිවුඞ් චිත්‍රපටයක රඟපෑම සඳහා ඇය අයකරන මුදල ඉන්දියානු රුපියල් කෝටි 5කි. වෙළෙඳ දැන්වීම්වලින් වසරකට ඉන්දියානු රුපියල් කෝටි 1.5ක් පමණ උපයන්නීය. 2017 වසරේ ඇය සතු සමස්ත වත්කම් ඇමෙරිකානු ඩොලර් මිලියන 10කි. මුම්බායි හා ගෝව යන නගරවල ඇය සතු නිවාස හා ඉඩකඩම් රැසකි. ආදායම් බදු නිලධාරින්ගේ වාර්තාවලට අනුව ඇය සතුව නිවාස 9ක් ඇතැයි වාර්තා වේ. පසුගියදා ඇය ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් වැය කොට කාමර  15කින් යුතු සුවිශාල මන්දිරයක් මිලට ගන්නා ලද අතර චිත්‍රපට හා වෙළෙඳ දැන්වීම් සඳහා කුලියට දීම සඳහා තවත් විශාල නිවෙසක් මිලට ගැනීමට ඇය සූදානමින් සිටින්නීය. ඇය සතුව බීඑම්ඩබ්ලිව්, බෙන්ස්, රොල්ස් රොයිස් වැනි මෝටර් රථ හතක් පමණ ඇතැයි පැවසේ.


‘ප්‍රියංකා චොප්රා පදනම’  පිහිටවූ ඇය සෑම වසරකම තමන් උපයන ආදායමෙන් 10%ක ප්‍රමාණයක් අධ්‍යාපනික හා සෞඛ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කරන්නීය. ඉන්දියාවේ නැණවතී රෝහලේ පිළිකා වාට්ටුවක් ඉදි කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 80,000ක පරිත්‍යාගයක්ද ඇය පසුගියදා කළාය.


ප්‍රියංකා  චොප්රා එලෙස හොලිවුඩයට එක් වෙද්දී හොලිවුඩයේ කාම ධේනුවක ලෙස ප්‍රචලිත සනී ලියොන් බොලිවුඩ් සිනමාව ආක්‍රමණය කරන්නට සමත් වූවාය.  සික් ජාතික මව්පිය යුවළකට දාව කැනඩාවේ උපත ලද කරන්ජිට් කවුර් වොප්රා හොලිවුඩයේ ජනප්‍රිය වූයේ නිරූපිකාවක ලෙසිනි. ‘පෙන්තවුස්’, ‘හස්ට්ලර්’ සහ ‘ඇඩම් ඇන්ඞ් ඊව්’ වැනි සඟරාවල අඩනිරුවත් ඡායාරූපවලට පෙනී සිටි ඇය ‘පෙන්තවුස් සුරතලිය’ ලෙස නම් කෙරිණි. සනී ලියොන් කාම චිත්‍රපට කලාවට පිවිසෙන්නට කිසිදා නොසිතූ යුවතියකි. ඇයට අවශ්‍ය වූයේ හෙදියක වීමටය. කලක් ඇය ජර්මානු බේකරියකද සේවය කළාය.


ඇයට තම මිතුරියක මාර්ගයෙන් පෙන්තහවුස් සඟරාවේ ඡායාරූප ශිල්පියකු වූ ජේ ඇලන්  හඳුනාගැනීමට අවස්ථාව සැලසුණේ මේ අතරවාරයේය. කරන්ජිට් කවුර්ගේ ජීවිතය වෙනස් වූයේ එම හමුව සමඟිනි. 2005දී ඇය විවිඩ් එන්ටර්ටේන්මන්ට් සමාගම සමඟ තුන්වසරක ගිවිසුමකට එළඹුණේ කාම චිත්‍රපට කලාවට පිවිසීම සඳහාය. එතැන් සිට 2013 වන තෙක් ඇය කාම චිත්‍රපට 50කට අධික සංඛ්‍යාවක රඟපෑවේ සනී ලියොන් නමිනි. කරන්ජිට් කවුර් වොහ්රා  ලොව පුරා ජනප්‍රිය වූයේ සනී ලියොන් ලෙසය. 2010දී මැක්සිම් සඟරාව  ඇමරිකාවේ හොඳම කාම චිත්‍රපට නිළියන් 12 දෙනා අතරට ඇයද නම් කර තිබිණි. 


2011දී සනී ලියොන් ඉන්දියානු රියැලිටි රූපවාහිනී වැඩසටහනක් වු ‘බිග් බොස්’ නමැති වැඩසටහනට එක් වූවාය. ඇයට බොලිවුඩ් සිනමාවේ දොරටු විවර වූයේ එම වැඩසටහනත් සමඟිනි.  සනී ලියොන් යනු කාම චිත්‍රපට නිළියක බවත් එහෙයින් ඇය බොලිවුඩ් සිනමාවට එක් කර නොගත යුතු බවටත් ඉන්දියානු ගුවන්විදුලි හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයට පැමිණිලි රැසක් ගලා එන්නට විය.  අවසානයේ සියලු විරෝධතා මැඬගෙන බොලිවුඩ් සිනමාවට එක්වන්නට ඇය සමත් වූවාය. මහේෂ් බාට් අධ්‍යක්ෂණය කළ පූජා බාට් විසින් නිෂ්පාදනය කෙරුණු  ජිස්ම් 2 නමැති ශෘංගාරාත්මක චිත්‍රපටයෙන් ඇය බොලිවුඞ් සිනමාවේ ආදරණීය තරුවක් බවට පත් වූවාය. එහි රඟපෑම සඳහා ඇය ඇමෙරිකානු ඩොලර් 250,000ක් අය කළාය. ජිස්ම් 2 චිත්‍රපටය විචාරක ප්‍රසාදයට ලක් නොවූවද වාණිජ වශයෙන් අති සාර්ථක විය. ඉන්පසු ජැක්පොට්, රාගිනී, ඒක් පහේලි ලීලා, ෂූට් අවුට් ඇට් වදාලා වැනි චිත්‍රපටවල සනී ප්‍රධාන චරිත නිරූපණය කළාය. ඇය රඟපෑ බොහෝ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළීය.


2006දී ඇමෙරිකානු පුරවැසිභාවය හිමිකරගෙන සිටි සනී ලියොන් තම මව්පියන් ඉන්දියාවේ ජිවත් වන බැවින් ඉන්දියාවේ පදිංචියට පැමිණියාය. කලක් ප්ලේබෝයි සඟරාවේ උප සභාපති මැට් එරික්සන්ගේ පෙම්වතිය වූ සනී පසුව රසල් පීටර්ස් නමැති විකට නළුවා සමඟ සබඳතාවක් පවත්වාගෙන ගියාය. ඒ සියල්ල බිඳ වැටුණු පසු 2011දී ඇය ඩැනියෙල් වෙබර් සමඟ විවාහ වූවාය. මේ වන විට බොලිවුඞ් චිත්‍රපට 26ක හා හොලිවුඞ් චිත්‍රපට 3කට ඇය රංගනයෙන් දායකවී සිටින්නීය.


අඩි 5 අඟල් 4ක්  උසැති  35 හැවිරිදි සනී ලියොන් එක් ඉන්දියානු චිත්‍රපටයක රඟපෑම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 5ත් 6ත් අතර මුදලක් අය කරන්නීය. කාම චිත්‍රපටවල රඟපෑම සඳහා 2013 වසරේ ඇයට හිමි වූ වැටුප ඇමෙරිකානු ඩොලර් 482,680කි. බීඑම්ඩබ්ලිව්, ෆෙරාරි, බෙන්ස් වැනි මෝටර් රථ රැසක් ඇය සතුය. පාපන්දු ක්‍රීඩාවට ඇළුම් කරන ඇයගේ ප්‍රියතම නළුවන් වනුයේ ජොනී ඩෙප් සහ අමීර් කාන්ය.
බොලිවුඩ් සිනමාව දැඩි තරගකාරී සිනමාවකි. එහි දිගු කලක් රැඳී සිටීම හා ජනප්‍රියත්වය රැක ගැනීම පහසු කරුණක් නොවේ. ප්‍රියංකලා, සනී ලියොන්ලා මෙන්ම ශ්‍රී ලංකාවේ ජැකලින් ෆර්නැන්ඩස්ද බොලිවුඩ් සිනමාවටත් හොලිවුඞ් සිනමාවටත් එක් වන්නට සමත් වූ නිළියකි. නිළියක වශයෙන් දිගු ගමනක් යෑමට නම් රූපය මෙන්ම දක්ෂතාවද ජනතා ආකර්ෂණයද අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත.

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා