හොඳ ජ්‍යොතිර්වේදියකු හඳුනා ගන්නේ කෙසේද ?


හඳහනට නියම අගයක් ලැබෙන්නේ පලාපල ප්‍රකාශනයකිනි. ඔබේ හෝ ඔබේ දරුවන් ගේ හඳහන් සුරක්ෂිතව අල්මාරියක හෝ ලාච්චුවක තබා තිබුණත් එයින් ඇති වැඩක් නැත. එය හොඳ ජ්‍යොතිර්වේදියකු ලවා බලවා ගෙන හදිසි අනතුරුවලින් වැළකී ලෙඩ රෝග කලින් හඳුනාගෙන ඒවාට හොඳින් මුහුණදී අලාභ පාඩු මගහරවා ගෙන ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න.   


අල්මාරියේ හෝ වෙනත් ආරක්ෂක ස්ථානයක තිබෙන හඳහන ජංගම දුරකතනයක ක්‍රියාත්මක නොකළ සිම් කාඩ් පතක් වැනිය. ක්‍රියාත්මක නොකළ සිම් කාඩ් පතකින් කිසි වැඩක් නොකෙරේ. වෙනත් කෙනකුට කතා කිරීමට හෝ සවන් දීමට නොහැකිය. එසේ කළ හැකි වන්නේ ක්‍රියාත්මක කළ සිම් කාඩ් පතකින් පමණය. ඒ නිසා ඔබේ හඳහනත් හොඳ ජ්‍යොතිර්වේදියකු ලවා බලවා ගන්න.   


පලාපල විස්තර දැන ගැනීම අඳුරේ යන කෙනකුට විදුලි පන්දමක් දෙනවා වැනිය. ගල් මුල්වල පය නොගැටී වළවල්වල නොවැටී හරි පාරේ ගමන් කිරීමට විදුලි පන්දම උදව් වන ලෙස ජීවිතය හරි පාරේ ගෙන යාමට පලාපල විස්තරය උදව් කරගන්න. අනාගතයේදී වෛද්‍යවරයකු වෙතැයි කීවොත් එම ඉලක්කය කරා ළඟා වීමට උත්සාහ ගන්න.   
එසේ නැතිව නිකම් බලාගෙන සිටියොත් එම ඉලක්කය කරා ළඟා වීමට නොහැකි වනු ඇත. යම්කිසි කාලයකදී හදිසි අනතුරක් සිදුවේ යැයි කීවොත් ඒ කාලයේදී බො​හෝ පරිස්සම් විය යුතුය. හදිසි අනතුරක් සිදුවන තුරු බලා නොසිටිය යුතුය.   


ඔබේ හඳහන බලවා ගැනීමට ​​හොඳ ජ්‍යොතිර්වේදියකු තෝරා ගන්නේ කෙසේද? නැකතක් සාදවා ගැනීමට විශ්වාසවන්ත ජ්‍යොතිර්වේදියකු සොයා ගන්නේ කෙසේද? අද ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ජ්‍යොතිර්වේදීහු අපමණ සිටිති. එහෙත් ඔබ යා යුත්තේ හොඳ ජ්‍යොතිර්වේදියකු වෙතය. පහත සඳහන් කරුණු හොඳ ජ්‍යොතිර්වේදියකු හඳුනා ගැනීමට උදව් වෙතැයි සිතමි.   


ජ්‍යොතිර්වේදියා අවංක විය යුතුය. කපටියකු නොවිය යුතුය. ඔබේ කටින් පිටවන වචන අල්ලා ගෙන ඒ මගින් සත්‍ය කරුණු ප්‍රකාශ කරන බවක් සේවාද‌ායකයාට පෙන්වන සමහර ජ්‍යොතිෂඥයෝ සිටිති. උද‌ාහරණයක් ලෙස ගත්තොත් ඔබේ ගෙට ඇතුළු වන ප්‍රධාන දොරකඩින් ඇතුළු වූ විට වම් අත පැත්තේ තවත් කාමරයකට ඇතුළු වන දොරකඩක් තිබෙනවා නේද? ඒ උළුවස්ස කඩා ඉවත් කරන තුරු ඔබේ ගෙදර රෝගීන්ගෙන් අඩුවක් නොවේ. ගෘහමූලිකයා දැනටත් ලෙඩින් නේද? ආදී වශයෙන් කියන කපටි කෛරාටිකයින්ට අසු නොවන්න.   


ඕනෑම ගෙදරක ගෙට ඇතුළු වූ පසු දකුණු පැත්තේ හෝ වම් පැත්තේ තවත් කාමරයකට ඇතුළු වන දොරටුවක් තිබේ. කාමරය තිබෙන්නේ වම් පැත්තේ නොව දකුණු පැත්තේ යැයි ඔබ කීවොත් හරි හරි ගෙට ඇතුළු වූ පසු තිබෙන පළමු කාමරය ගැන තමයි මම කිව්වේ. කියමින් ඔහු තම වරද වසා ගනී. මිථ්‍යාවට නතුවූ ඔබ එම ප්‍රකාශය දේව වාක්‍යයක් සේ සලකා උළුවස්ස කඩා දමන තෙක් ඉවසුමක් නැතිව සිටිති.   


හතේ නීච රාහු සිටින ස්ත්‍රියකගේ හතේ රාහු නැතැයි අලුතින් හඳහනක් සාද‌ා පෙන්වා ඇයගේ විවාහය සිදුවීම සඳහා රුපියල් විසිද‌ාහක යන්ත්‍රයක් එම ස්ත්‍රියට පැළඳ වූ බව එක් ජ්‍යොතිර්වේදියකු ගැන දැනගන්නට ලැබුණි. එහෙත් අලුතින් සෑදූ හඳහනේ රාහු හයට ගත්තත් කේතු ලග්නයෙන් බැහැර කිරීමට ඔහුට අමතක වී තිබුණි. ජ්‍යොතිෂයේ ‘අ’යන්න කියවූ අයෙක් වුණත් කේතු ලග්නයේ සිටී නම් අනිවාර්යයෙන්ම රාහු හතේ සිටිය යුතු බව දනිති.   


හොඳ ජ්‍යොතිර්වේදියකුට ප්‍රචාරය සඳහා පුවත්පත් දැන්වීම් ආදිය අවශ්‍ය නොවේ. වැඩිම වුණොත් තම කාර්යාලයේ හෝ නිවසේ දැන්වීම් පුවරුවක් සවිකිරීම සෑහේ. විශ්මිත වැඩ කරන බව කියන ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්ට නොරැවටෙන්න. විවාහයේදී පොරොන්දම් පමණක් බලා සියයට අසූ පහක් ශුභයි ආදී වශයෙන් කියන අයට ඔබ රැවටෙන්න එපා. පොරොන්දම්වලින් කියවෙන්නේ විවාහයේ සියයට විසි පහකටත් අඩුවූ සුළු ප්‍රමාණයකි. විවාහය ගැන කියවෙන, ලිංගික ශක්තිය ගැන කියවෙන හත් වන කොටුව ගැළපේදැයි පළමුවෙන්ම පරීක්ෂා කළ යුතුය.   


එයින් පසු වෙනත් නොගැළපීම් අද්දැයි බැලිය යුතුය. පොරොන්දම් බැලිය යුත්තේ ඒ කිසිත් නොගැළපීම් නැත්නම් පමණය. විවාහය කඩාකප්පල් වුණු එක්තරා ස්ත්‍රියක් විවාහයට කලින් පොරොන්දම් බැලූ පස්දෙනකුගේ සටහන් මට පෙන්වූවාය. ඒ එකම අයකුවත් හත් වන කොටුව ගැළපේදැයි පරික්ෂා කර නොතිබුණි.   


තවද විශේෂයෙන් දැකිය යුතු එක් කරුණක් ඒ එක අයකුගේවත් ඇස නොගැසී තිබුණි. ඒ පිරිමි හඳහනේ කුජ ශනි යෝගයක් තිබීමයි. ඔවුන් එය දුටුවා නම් කුජ ශනි යෝගයක් නැති අැයට කවද‌ාවත් එම විවාහ යෝජනාව අනුමත නොකරනු ඇත. ඔවුන් සියලු දෙනාම බලා තිබුණේ පොරොන්දම් පමණය.   


ඔබ බෞද්ධයකු නම් ග්‍රහ අපල නැති කිරීමට කියා හින්දු ආගමික චාරිත්‍ර අනුගමනය කරවන අයකු වෙත යන්න එපා. ඔබ හින්දු ආගමිකයකු නම් ගියාට වරදක් කිව නොහැකිය. හින්දු අාගමික චාරිත්‍ර අනුගමනය කරවීමෙන් එක අතකින් බුදු දහම නිගාවට ලක්වේ. ඒවායින් ප්‍රතිඵලයක්ද අත් නොවේ. දෙවියන්ගෙන් පිහිට ලබාගෙන ග්‍රහ අපල නැති කරන හින්දු බෞද්ධ ජ්‍යොතිෂඥයන් නොදැනුම්වත්ව හෝ ඔබට කරන්නේ මහත් වූ අපරාධයකි.   


සෙත් කවිය කොතරම් හොඳ වුවත් දේව කන්නලව් ඇතුළත් වූ සෙත් කවි ඔබ ප්‍රතික්ෂේප කරන්න. කතරගම දෙවියන්ගෙන් හා විෂ්ණු දෙවියන්ගෙන් තොරවූ සෙත් කවි දකින්නටවත් නොලැබේ. අනන්ත වූ බුදු ගුණ බලයෙන් ග්‍රහ අපල අඩු කරගත හැකිව තිබියදී බුදුරජාණන්වහන්සේගේ දේශනාවට පිටින් ගොස් ඊට වඩා දේව පිහිට හොඳ යැයි ඔබ සිතන්නේ මිථ්‍යාවෙන් අන්ධ වී ඇති නිසාය. මිථ්‍යාදෘෂ්ටිකයින්ට කවද‌ාවත් නිවන් ලබාගත නොහැකි බව ඔබ දන්නවාද?   


මිථ්‍යා දෘෂ්ටිකයින්ට කවද‌ාවත් ග්‍රහ අපලවලින් මිදීමටත්, ග්‍රහ අපල අඩුකර ගැනීමටත් නොහැකි වේ. දේවාල කෝවිල්වල හෝ පන්සල්වල මිථ්‍යාව වපුරනවා නම් ඔබ එතැනින් ඈත් වී සිටින්න.   


දරුවකුට අත් පොත් තැබීමේදී හෙවත් පළමුවෙන් අකුරු කියවීමේදී සරස්වතී පූජාව හා ගණදෙවි පූජාව තැබීම දැන් බෞද්ධයින්ටත් අත්හළ නොහැකි සිරිතක් වී තිබේ. එම පූජාවල් කරන්නේ හින්දු ආගමේ දෙවිවරු උදෙසාය. සිතින් මවාගත් සරස්වතියක් හා ගණ දෙවියකු බෞද්ධයින්ට කුමටද? දරුවාගේ නැණ පහන දැල්වීමට කලින් ඔබේ නැණ පහන දල්වා ගන්න. දරුවාට මිථ්‍යාව උගන්වා ඔහුගේ ආත්ම ශක්තිය බිඳ නොදමන්න.   


බෞද්ධයින්ට බෞද්ධ සිරිත් විරිත් විනා හින්දු සිරිත් විරිත් උගන්වන අය ඔබ ප්‍රතික්ෂේප කරන්න. ඔබ හින්දු බෞද්ධයකු නොවන්න. බුද්ධ ශ්‍රාවකයින් මෙන් පෙනී සිටිමින් ප්‍රායෝගිකව හින්දු ආගමේ චාරිත්‍ර කිරීමට උපදෙස් දෙන අය හඳුනා ගෙන ඔවුන්ගෙන් ඈත්වන්න. බුද්ධාගමේ අයකු ලෙස පිටින් පෙන්නා බෞද්ධයින් රවටා හින්දු ආගම ප්‍රචාරය කරන අය වෙත හින්දු ආගමිකයින්ටම යාමට ඉඩදී ඔබ තෙරුවන් පිහිට ලබාගන්න.   

 

 


ජ්‍යොතිර්වේදී  විශ්‍රාම ලත් විදුහල්පති   
එඩී කරුණාතිලක,   
32 ගලවැටිමෝදර පාර,   
නල්ලූරුව, පානදුර.