හේතුවක් ඇතුවත් බොන, නැතුවත් බොන අපේ මත්ලෝලීන්ගේ කතාව


එක්දිනක් හැන්දෑවක දිගු කලකට පසු හමු වූ මිතුරන් සිව් දෙනෙක් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට එක් සුවබර නිදහස් අවන්හලකට ගොඩවූහ... සැඳෑ මදපවන් දැනෙන එළිමහනේ හිඳිමින් මධුවිතක් තොලගාමින් ඔවුන් කතාබහ කළේ ද මත්පැන් පානය ගැනය...   


“මම නම් හැමදාම පුරුද්දකට බොන්නෑ... මේ වගේ කවුරු හරි යාළුවෙක් හමුවුණොත්, හේතුවක් තිබුණොත් විතරයි බොන්නේ....” පළමු යාළුවා කීවේය.   
“මම නං වීක් එන්ඩ්ස්වල බොනවා....” දෙවැනි යාළුවා කීය.   
“මම නම් ඉතින් පඩි දාට විතරයි... අද මට පඩි....” තුන් වැන්නා ජයග්‍රාහී ලීලාවෙන් කියද්දි සිව්වැන්නා මහ හයියෙන් සිනාසී......   
“මමත් පඩිදාට විතරමයි බොන්නේ.... කරුමෙට මට දවස් පඩිනේ...” යයි කීවේය.   
මේ කතාවට සියල්ලෝම හඬනගා සිනාසෙන්නට පටන් ගත්හ. එය යම් හාස්‍යයක් දනවන කතාබහක් වුවත් ඒ කතාබහ ඇතුළේ අපේ රටේ මත්පැන් භාවිතාවේ හරස්කඩක් ඇති බව පැහැදිලිය.   


සමහරු බොන්නේ හේතුවක් නිසාය. සමහරු පුරුද්දක් නිසා මත්පැන් බොති. තවත් සමහරු හේතුව පුරුද්දක් කොටගෙන බොති. හේතු කිසිවක් නැතත් දුකට සතුටට, කාන්සියට, පාළුවට, කේන්තියට, මහන්සියට මත්පැන් බොන අය කොතෙක් ද... ඔබ සතුටු වුණත් අසතුටු වුණත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණන් මිනුම්වලට අනුව අපේ රටේ සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙක් මත්පැන් ලෝලියෙක් බව මතක තබා ගත යුතුව ඇත.   
ඒ හේතු කවරක් වුවත් අපේ රටේ ද ලොව අන් රටවල මෙන් “මත්පැන් බීමේ සංස්කෘතියක්” බිහි ව ඇති බව පැහැදිලිය. අපි අද කතා බහ කිරීම ආරම්භ කරන්නේ අන්න ඒ මත් සංස්කෘතිය පිළිබඳවය.   


සාමාන්‍යයෙන් ගත් කල ලොව දක්නට ලැබෙන සියලුම මත්පැන් වර්ග නිෂ්පාදන ක්‍රමවේදය අනුව කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය.   


1. පැසවුම්කරණයෙන් (Fermentation) පෙරණ මත්පැන්   
2. ආසවනයෙන් (distillation) පෙරණ මත්පැන්   


අප කලාපයේ බහුලව දක්නට ලැබෙන රා වර්ග, සියලුම බියර් හා වයින් වර්ග අයත් වෙන්නේ පැසවුම්කරණයෙන් සාදන මත්පැන් ගණයට ය.   
ආසවනය යනු දියරයෙන් ස්ප්‍රීතු (Sprit) වෙන්කර ගැනීමයි.   


ලෝකයේ පැසවුම්කරණයෙන් සාදන මත්පැන් පිළිබඳ ඉතිහාසය අවුරුදු 9000ටත් වඩා පැරණිය. පුරාණ ඊජිප්තුවේ ආහාර කල් තබා ගැනීමේ ක්‍රමයක් ලෙස අතිරික්ත ආහාර තොග යොදා ගනිමින් බියර් නිෂ්පාදනය කළ බවට ඇති සාක්ෂිය ලෝකයේ මත්පැන් සම්බන්ධයෙන් හමුවන පැරණිතම සාක්ෂිය වේ. ඊජිප්තුවේ අතිරික්ත ව ඇති සෝගම් (ඉදල් ඉරිඟු) (Sogam) තොග බියර් බවට පත් කර කල් තබා ගත් බවට පැරණි මෙසපොතේමියාවෙන් හා ඊජිප්තුවෙන් ලැබෙන සාක්ෂි අවුරුදු 9500 ක් තරම් පැරණි වේ. අඛිනාටන් නම් පාරාවෝවරයෙකුට සිරියානු සොල්දාදුවෙකු බියර්වලින් කරන ලද සංග්‍රහයක් පිළිබඳ දැක්වෙන සිතුවමක් පැරණි ඊජිප්තුවෙන් හමු වී ති​බේ. 

 
මිදි භාවිතාවෙන් නිපදවන ඉස්තරම් වයින් වර්ග පිළිබඳව අපිට මුලින්ම වාර්තා වන්නේ මධ්‍යධරණී මුහුද අවට කලාපයේ රටවල්වලිනි. ජෝර්ජියාව, ආර්මේනියාව, ඉරානය, සිසිලිය, රෝමය, තුර්කිය, ලේබනනය ආදී රටවල මිදි ආශ්‍රිතව කෙරෙන වයින් නිෂ්පාදනය අවුරුදු 8000ක් පමණ පැරණි බව සාක්ෂි මගින් වටහා ගත හැකිය. පුරාණ ඇලෙක්සැන්ඩ්‍රියාවට අයිති රටවල්වල වයින්වලට ආගමික සම්බන්ධයක්ද තිබිණි. වයින්වලට අධිපති ඩියෝනීසස් (dionysus) හා බාකුස් (Bacchus) නම් දෙවිවරු ගැන පුරාණ ග්‍රීක කතාවල තොරතුරු දැක්වෙන අතර ඒවා සනාථ කෙරෙන බිතු සිතුවම් හා චිත්‍ර එම රටවල්වල තවමත් ශේෂ වී තිබීම විශේෂත්වයක් ගනී.   


මැද පෙරදිගට, ග්‍රීකයට හා ඉපැරණි යුරෝපයට බීර හා වයින් පිළිබඳ එබඳු සාක්ෂි කොකෙතුත් තිබුණත් ඉන්දියාව, ලංකාව ආදී අපේ කලාපයේ රටවල්වලින් වාර්තාවන්නේ තාල වර්ගයේ ගස් විශේෂවලින් ලබාගන්නා රා වර්ග පිළිබඳ තොරතුරුය. විශේෂයෙන්ම තල්, කිතුල් හා පොල් ගසෙන් ලබාගන්නා රා වර්ග පිළිබඳ තොරතුරුය. විශේෂයෙන්ම තල්, කිතුල් හා පොල් ගසෙන් ලබාගන්නා රා වර්ග පිළිබඳ සාක්ෂි අපගේ වංශ කතා සාහිත්‍ය තුළත් බෞද්ධ ආගමික පොත පත තුළත් ජනශ්‍රැති තුළත් කිසිදු අඩුපාඩුවක් නොමැතිව දක්නට ලැබේ. බුද්ධ කාලීන භාරතයේ පවා භික්ෂුන් වහන්සේලාටත් රා පානය කිරීම අකැප නොවීය. බෞද්ධාගමික භික්ෂුන්ට රා පානය කිරීම ඇකැප වූයේ බීමත් භික්ෂුවක් සමාජයේ නො මනා ලෙස හැසිරෙන බව බුදුන්ට දැනගන්නට ලැබී පනවනු ලැබූ එක් සුවිශේෂී පාරාජිකාවක් නිසා බවට බෞද්ධ සාහිත්‍යයෙහි තොරතුරු තිබේ.   
අපේ රටේ මුල් යුගයේ පටන් ම කිතුල් මැදීමේ කර්මාන්තය ට වෙනම කුලයක් පවා තිබීමෙන් රා කර්මාන්තය කොතරම් පැරණිදැයි වටහා ගත හැකිය. ක්‍රිස්තු පූර්ව යුගයේ දී රුවන්මැලි සෑය කරවීමට දායක වූ කම්කරුවන්ට ආහාර පිණිස ලබා දුන් කජ්ජ, බොජ්ජ, ලෙයිය, පෙයිය ආහාර අතර රා වලට ද සුවිශේෂී ස්ථානයක් ස්ථානයක් තිබුණූ බව ලිඛිත සාක්ෂි පවතී.   


දීර්ඝ කාලයක පටන් අපේ රටේ පැසවුම්කරණයෙන් ලබා ගන්නා රා වැනි හා ආහාරමය මත්පැන් වර්ග තිබුණත් සැර අධික ස්ප්‍රීතුමය මත්පැන් වර්ග හුරු පුරුදු වූයේ යුරෝපීය ජාතීන්ගේ පැමිණීමත් සමඟය. ඔවුන් මේ රටේ කර්මාන්තයක් වශයෙන් මත්පැන් නිෂ්පාදනය ආරම්භ කර තහවුරු කළ අයුරු දැන් අපි සොයා බැලිය යුතු ව ඇත.   
වයින් හා බියර් වර්ගවලින් ලබාගත හැකි මධ්‍යසාර ප්‍රමාණය සීමිත විය. එය ප්‍රතිශතයක් ලෙස බලන කල තිබුණේ සීයට 5ත් සියට 12ත් අතර සුළු ප්‍රතිශතයකය. පැසවුම්කරණයෙන් ලබා ගන්නා බීර, රා, වයින් වැනි ද්‍රව්‍ය තුළ ඇත දියරමය ගතියෙන් ස්ප්‍රීතුමය කොටස වෙන් කොට ගත හැකි නම් වඩාත් සැර මත්පැන් වර්ග නිපදවිය හැකි බව පර්​ෙ‌ය්ෂණ තුළින් තහවුරු කරගන්නට යුරෝපීය ජාතිහු වටහා ගත්හ. මත්පැන් කර්මාන්තය 18 වැනි සියවසේදී වාණිජමය ව්‍යාපාරයක් ලෙස ස්කොට්ලන්ත ජාතික රොබට් ස්ටේන් (Robert Stein) හා අයර්ලන්ත ජාතික ඊනියස් කොෆී (Aeneas coffey) අත්හදා බලන්නේ ඒ අනුව ය. සැබැවින් ම එය මහා පරිමාණ වාණිජ්‍යමය මත්පැන් කර්මාන්තයේ ආරම්භය විය.   


15 වැනි සියවසේදී පෘතුගීසින් ලංකාවට ගෙන ආවේ වයින්ය. ඒ ද ඒවා ඔවුන් බිව්වා මිස ස්වදේශිකයන්ට පුරුදු කළේ නැත. ලන්දේසීන් තුළද මත්පැන් ව්‍යාප්ත කිරීම පිළිබඳ උනන්දුවක් නොවීය. එහෙත් බ්‍රිතාන්‍ය ජාතිකයෝ නොහොත් සුද්දෝ අරමුණු රැසක් මුදුන් පමුණුවා ගැනීමට මේ රටේ ජනතාවට මත් පැන් බීම හුරුපුරුදු කළහ.   
එදා හෙළදිව කෘතිය රචනා කළ, මේ රටේ එක්තරා යුගයක සිරකරුවෙකුව සිටි රොබට් නොක්ස් කියන පරිදි ද සුද්දන් එන්නට පෙර මේ රටේ බේබද්දන් සිටින්නේ නැත. සුද්දන් මේ රටට මත්පැන් ගෙන ආවා පමණක් නොව, එතෙක් මේ රටේ ස්වදේශික ජනතාවගේ ශක්තිජනක පානයක් ව පැවති කිතුල් රා තහනම් කොට රට පුරා අරක්කු තැබෑරුම් ඇති කළේය. ඒවායේ මුල් යුගයේ අරක්කු බොන්නට දුන්නේ නොමිලේය. ලොකු වීදුරුවල අඩියේ ගෑවෙන්නට දමා ඇති, ඉල්ලන ඉල්ලන අයට ඕනෑ තරම් නොමිලේ බෙදන මේ මත් වතුර ස්වදේශික ගැමි ජනතාවට අමුතුම අත්දැකීමක් විය. බඩ පිරෙන්නට රා බෝතල් දෙක තුන බොනවාට වඩා මෙයින් අඩියක් දෙකක් දමා ගැනීම අමුතු ආශ්වාදයක් විය. ජනතාව “අඩි ගසන්නට” පුරුදු වූයේ ඒ අයුරිනි. ඇබ්බැහිකමක් කොතෙක්ද යත් එදා ඒ පුරුදු වූ “අඩි ගැසිල්ල” අදටත් අපේ අයට “අඩි ගැසිල්ල”මය. එය ක්‍රියාපදයක් ව භාෂා භාවිතයට පවා එක් විය.   


සුද්දා ටික කලකින් වීදුරු අඩි නොමිලේ බෙදාදීම නතර කර දැමීය. ඒ වන විට බේබදුකම හොඳ හැටි පුරුදු පුහුණු වී සිටි ස්වදේශිකයන්ට අඩි ගසන්නට නම් වෙනම මුදල් සෙවීමට සිදු විය. එක්කෝ පාර කපන්නට යා යුතුය. නැතිනම් සුද්දාගේ කෝපි වතුවල වැඩට යා යුතුය. එසෙත් නැත්නම් සොරකම් කළ යුතුය. ලෙහෙසි පහසු ම කටයුත්ත වුයේ අඩි ගැසීම සඳහා මුදල් සොයා ගැනීමට කෝපි වතුවලට පැන කෝපි සොරකම් කර මුස්ලිම් වෙළෙඳුන් වෙත විකුණා මුදල් ලබා ගැනීමයි. ඒ සමයේ සොරකම් කිරීම බහුල වූ බව සුද්දන්ගේ වාර්තාවල ම ලියවී ඇත්තේය.   


ඒ ආකාරයට සුද්දන් විසින් ඉතා වෙහෙස මහන්සියෙන් ප්‍රචලිත කළ මත්පැන් කර්මාන්තය තුළින් 20 වැනි සියවස වෙන විට ලෝක වාර්තාවක් තබන්නට අපට හැකි විය. අද වන විට පොල් රා වලින් මත්පැන් නිපදවන ලොව පැරණිතම හා ලොව විශාලතම නිෂ්පාදකයා ශ්‍රී ලංකාවයි.   


ඒ අයුරින් උපක්‍රමශීලීව අපේ රටේ පොදු ජනතාව මත්පැන්වලට හුරු පුරුදු කිරීමෙන් සුද්දෝ ඉලක්ක කීපයක්ම සපුරා ගනු ලැබූහ. ස්වයංපෝෂිත ආර්ථික රටාවකට හුරු පුරුදු වී සිටි ස්වදේශිකයන් බේබද්දන් බවට පත් කිරීමෙන් මේ රටේ ඉහමොළ සිඳ ගත් ජාතියක් නිර්මාණය කළෝය. ජනතාව ගොවිතැන් බතින් ඈත් මෑත් කොට වතු වගාවට පොලඹවාලූහ. වතුවල වැඩට හා පාරේ වැඩට ශ්‍රමිකයෝ සොයා ගත්හ. ස්වදේශිකයින් ගේ දේශනුරාගය හා ජාත්‍යාලය වනසාලනු ලැබූහ. ගම්වල පිරිමි සුරාසොඬුන් බවට පත් කළහ. වෙළෙඳපොළ ආර්ථික රටාව මත යැපෙන පරාධීන ජාතියක් නිර්මාණය කළහ.   


අවසානයේ මත්පැන් කර්මාන්තය රජයේ ප්‍රධාන ආදායම් උපදවන මාර්ගයක් බවට පත් කරනු ලැබුවේද ඔවුන්ය. ඒ සඳහා 1912 දී සුරාබදු පනතක් ගෙනවිත් සුරාබදු දෙපාර්තමේන්තුවක්ද බිහිකරනු ලබන්නේ සුද්දෝ ලංකා ආණ්ඩුවට නීති රීති අණපනත් තුළින් ආදායම් උපදවා දෙන්නටය.   


සුදු ජාතිකයින් විසින් අපේ රට සංවර්ධනයේ මාවතට ගෙන එමින් ලෝකයට විවෘත කළේ යැයි කියා උදම් අනන අය අදටත් බොහෝ බව අපි දනිමු. එහෙත් ඒ සඳහා අප ගෙවා ඇති වන්දිය කොතෙක්ද? අප එය අමුතුවෙන් කියා දිය යුතු නොවේ. 1872 සිට 1877 දක්වා මේ රට පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරිගේ වචනයෙන්ම ඔහු ඒ ගැන ලියා තබා ඇති සටහනක් ඉදිරිපත් කරමින් මම මේ ලිපිය අවසන් කරන්නට කල්පනා කළෙමි.   


“ඉංග්‍රීසි පාලනය ලංකාවට බොහෝ යහපත් දේ දී ඇත. එහෙත් ඒ සමගම අපි දිවයින පුරා එක් ශාපයක් පතුරුවා ඇත්තෙමු. ඒ නම් බේබදුකමයි. මීට අවුරුදු කීපයකට උඩදී මත්පැන් බී වෙරි වූ උඩරැටියෙකු වී නම් ඔහු තම රට වැසියන් හමුවේ නින්දාවට පත් වනු නිසැකය. එහෙත් දැන් මත්පැන් බී වෙරි වීම කොතරම් බහුල දැයි කිවහොත් ඒ නින්දාව ජනතාව කෙරෙහි අතුරුදහන් වී ඇති බව පෙනේ...”

 

 

සිරිනිමල ගම්ලත්