හෙළයේ අවුරුදු ක්‍රීඩා


සුබ අලුත් අවුරුද්දක් වේවා!

 

සංස්කෘතික බසින් “අවුර්” යනු හිරුට කියන නමකි. “ඉද්ද” යනුවෙන් හැඳින්වෙන්නේ කෙළින් යන්නයි. හිරු ලක් පොළොවට කෙළින් මුදුන් වෙන කාලය “අවුර් ඉද්ද” යන්නෙන් අවුරුද්ද යන වචනය සෑදෙන්නට ඇතැයි පිළිගත් මතයකි. අවුරුද්ද යනු මෙරට සැණකෙළි මාසයයි.   


සිංහලයෝ ද දෙමළ හින්දුන් ද මේ අවුරුද්ද එකාමෙන් සමරති. චාරිත්‍ර වාරිත්‍රයන්හි යම් යම් වෙනස්කම් ඇතත් අවුරුද්ද යනු මේ දෙපිරිසේම මහා මංගල්‍යයි.   


එය වඩාත් සාරවත් වෙන්නේ බක් මාසය එළැඹීමත් සමග අස්වනු කපා ගෙට ගැනීමෙනි. පරිසරය ද අවුරුද්දට සූදානම් වෙන බව පැරණි ජනයාගේ පිළිගැනීමයි. අස්වැන්න කපන්නා සේම එරබදු මල් පිපී, පලතුරුවලින් තුරු ලතා ගැවසී කොහාගේ කූජනයෙන් ගීතවත් වෙන අවුරුද්ද පැරණි මිනිසා තවත් විචිත්‍රවත් කළේය.   


ඒ අලුත් ඇඳුමින් ද කැවිලි පෙවිලිවලින් ද පමණක් නොවේ. වෙල් ඉපනැල්ලේ ගෙදර දොර වතුපිටියේ ද ගේ මැද සාලයේ කරන කෙළිකවට සිනාවෙනි. අවුරුදු සමයේ විශේෂයෙන් සිදු කෙරෙන මෙවැනි ක්‍රීඩාවලට අපි අවුරුදු ක්‍රීඩා යැයි කියන්නෙමු. නමුත් සිංහල ජන ක්‍රීඩා ලෙස මේ සියල්ල පොදුවේ හඳුන්වයි. එසේ වුවද අද බොහෝ දෙනෙකුට සිංහල ජන ක්‍රීඩා මතක් වෙන්නේ අවුරුදු කාලයේ දීය.   
මේ බොහෝ ක්‍රීඩා ජන ගායනා සමග ද බද්ධව තිබේ. රාජකීය ආසියාතික සංගමයේ නිල ප්‍රකාශනයේ 1873 කලාපයේ දක්වා ඇත්තේ සිංහල ජනතාව සෙසු ජන කොටස් සමග සමගියෙන් සහයෝගයෙන් එක්ව ජීවත්වීමේ කලාව ජන ක්‍රීඩා හරහා ජාතියට දායාද කරන බවයි. 

 
අවුරුදු ජන ක්‍රීඩා අතර ඔළිඳ කෙළිය, එළුවන් කෑම, මී කැඩීම, මේවර කෙළිය, පංචා දැමීම, ඔංචිලි වාරම්, ස්වර්ණමාලය, කවි කෙළිය, ඔත්තේ ඉරට්ටේ ගැහීම, නෙරංචි කෙළිය, රබන් කෙළිය, දිය කෙළිය, බඹර කෙළිය, පනා හැංගීම වැනි ක්‍රීඩා බොහොමයක් නිර්මාණය වී ඇත්තේ කාන්තාවන් මූලික කර ගනිමිනි. කාන්තාවන්ට සමූහ වශයෙන් එක් වී ගායනයෙන් හා නර්තනයේ යෙදෙමින් මහත් විනෝදයෙන් කළ හැකි ක්‍රීඩාවන් ලෙස මේවා හඳුනා ගත හැකිය.   


ඇත් පොර, ​ගොං පොර, අංගම් පොර, මල්ලව පොර, පොරපොල් කෙළිය, අං කෙළිය, බහු කෙළිය, තට්ටු පැනීම, ගුඩු ගැසීම, ලුණු පැනීම, තිරික්කල් රේස්, කඹ ඇදීම, ලිස්සන ගහ නැගීම, චක්කුඩු ගැසීම, කොට්ටා පොර වැනි ක්‍රීඩා පිරිමින්ගේ ශක්තිය හා වේගවත් බව උරගා බලන ක්‍රීඩා ලෙස සැලකිනි.   


පැරණි ජන සමාජයේ තිබූ කෙළි සෙල්ලම් ගැන විමර්ශනයක් කළ හිටපු සිවිල් නිලධාරියකු වූ පාකර් මහතා අංශ තුනක් යටතේ අපේ ජන ක්‍රීඩා වර්ග කර තිබිණි. ගෘහස්ථ ක්‍රීඩා, එළිමහන් ක්‍රීඩා සහ ආගමික ක්‍රීඩා යනුවෙන් මේ වර්ග තුන දක්වා ඇත. රාජකීය ආසියාතික සංගමයේ ලියපෝල්ඩ් ලුඩ්විකී මහතා සිංහලයන්ගේ කෙළි සෙල්ලම් වර්ග හතරක් යටතේ වර්ග කළ හැකි බව දක්වා තිබේ. කෙසේ වෙතත් අතීතයේ තිබූ දැනට දක්නට නැති ක්‍රීඩා කිහිපයක් පිළිබඳ නාමික තොරතුරු පමණක් තිබේ. ඒවා අතර ඇඹරුන් කෙළිය, ගල් කෙළිය, පොල්කුර කෙළිය, හත් දිවියන් කෙළිය, හේවකම් කෙළිය, පෙරළිකොටුව, කොටි කෙළිය, පුහුලු මුතු, වලක් පුස්ස, කොටු බැන්දුම, දරමුතු, පල්ලන් කුලි, චෝරු, චතුරංග, පාඩා කෙළිය, ආඬි කෙළිය, අරසදි කෙළිය ආදී නම් දක්නට ලැබෙයි. නමුත් මේ ගැන වැඩි විස්තරයක් නැත. දකුණේ කාන්තාවන් අතර වූ වැටිකිත්තන් කෙළිය දකුණට සීමා වෙද්දි අං කෙළිය බෙහෙවින් ම උඩරට ජනතාව අතර පැතිරුණු පූජා විධි ක්‍රමයකි. අං කෙළිය පැවැත්වූ විශේෂිත ස්ථාන අදට ද එම නමින් ම දක්නට ලැබීම විශේෂත්වයකි. අං කෙළි මැඩිල්ල, අංපිටිය, අංගම්මැඩිල්ල, අංකුඹුර වැනි නම් ඊට සාක්ෂි සපයයි.   


අාගමික ජන ක්‍රීඩා ආරම්භ වෙන්නේ දෙපිරිසකට බෙදී මල් පැලක් සාදා දෙවියන්ට ආරාධනා කිරීමෙන් පසුවය. ක්‍රීඩාවට යොදා ගන්නා දෑ පවා දෙවියන්ට කැප කිරීම මෙහි විශේෂත්වයකි.   


මෙරට ඇති බොහෝ ක්‍රීඩා හා බැඳුණු ඉතිහාස කතාවක් ද තිබේ. 

 
පංච කෙළිය   


මෙරටින් ගෙන ගිය 12,000ක පිරිස රැගෙන ඒමට ඉන්දියාවට ගිය ගජබා රජු සොලී රටින් තවත් 12,000ක පිරිසක් සමග පැමිණි අවස්ථාවේ දී එරට මිනිසුන්ගෙන් පංච කෙළිය මෙරටට සම්ප්‍රාප්ත වෙන්නට ඇතැයි පැරැණි විශ්වාසයයි. අදට ද ගැමියන්ගේ විශ්වාසය වෙන්නේ දේව සංකල්පයක් වූ පත්නිනි දේවියගේ ආශිර්වාදය පංච කෙළියෙන් තමන්ට ලැබෙන බවයි. දෙදෙනෙකුට හෝ කණ්ඩායම් දෙකකට ක්‍රීඩා කළ හැකි මෙහි ක්‍රීඩකයන් ගණන ඉරට්ටේ සංඛ්‍යාවක් විය යුතුය. පංච ලෑල්ලේ ක්‍රීඩාව සඳහා පිවිසීමට පංචයක් හෙවත් ඔණ්ඩුවක් ලැබිය යුතුය. ඔණ්ඩු යනු බෙල්ලන් එකෙක් උඩු කුරුව පිහිටීමයි. සියල්ලම උඩු කුරුව පෙරළීම සිරිමල ලෙස හැඳින්වේ. එවිට ක්‍රීඩකයාට කිසිදු අය ගණනක් නොලැබේ. පංච පෙතේ අවසාන කොටුව ජලය නමින් හඳුන්වයි. ජලයෙන් ඉත්තන් ගොඩ වෙන්නට නම් ඔණ්ඩුවක් ලැබිය යුතුය. මුලින්ම ඉත්තන් එගොඩ කරන පිලට හෝ ක්‍රීඩකයාට ජය ලැබෙයි.   


ඔළිඳ කෙළිය   


මෙය ආරම්භයේ සිට අවසානය දක්වාම අත්වැල් ගායනය සහිතව සිදු කරන්නකි. එහිදී ඔළිඳ උපතේ සිට තරග ජය ගැනීමට අවශ්‍ය උපක්‍රම ගායනා කරයි. කාන්තාවන් දෙදෙනෙකු අතර තරගය පැවැත්වෙයි. ඔළිඳ පුවරුව යනුවෙන් හඳුන්වන ලෑල්ලක් භාවිත වේ. ඔළිඳ ලෑල්ලට මුතු පුවරුව යන නම ද ඔළිඳ කොළොම්බුව යන නම ද භාවිත වේ. ඔළිඳ උපත සිදුව ඇත්තේ බංගලි දේශයේ යැයි මේ ගායනාවල පැහැදිලිව දක්නට ලැබෙයි.   


භාවිතා වෙන්නේ ගණිත ක්‍රමයකි. ඔළිඳ කොළොම්බුවේ හෙවත් ලෑල්ලේ වළවල් 14 කි. එක වළකට ඇට හතර බැගින් ඇට 56 ක් ඇත. මේ ඇට දැමීම වපුරනවා ලෙස හැඳින්වේ. එක් ක්‍රීඩිකාවක් තම පේළියේ මුල් වළේ ඇට අතට ගනු ලබයි. මෙය ඔරවනවා ලෙස භාවිතා කරයි. මෙසේ එරවූ ඇට වළකට එක බැගින් ළඟම ඇති වළවල්වලට පිළිවෙළින් දමනු ලබයි. ඊළඟ වළේ ඇති ඇට සියල්ල ද මුලින් කළ අන්දමට  සිදු කරයි. මෙසේ ඇට ඉසින අතර අතේ අැට ඉවර වුණ විට හිස් වළක් හමුවුවහොත් ඊට එහා පැත්තේ ඇති ඇට සියල්ලම ඉසීම කරන ක්‍රීඩිකාවට හිමි වේ. මෙය ඔළිඳ කෙළියේ දී කනවා යැයි භාවිතා කෙරේ. පිළිවෙළින් හිස් වළවල් දෙකක් හමු වුවහොත් තුන් වැනි වළේ ඇති ඔළිඳ අැට කෑමට ක්‍රීඩිකාවට අවසර නැත. එවැනි අවස්ථාවක් පුස්සක් ලෙස හඳුන්වයි. එවිට අනෙක් ක්‍රීඩිකාවට තරග කිරීමට අවස්ථාව සැලසෙයි. පුවරුව එක් පැත්තක ඇට සියල්ල හමාර වූයේ නම් එය රෑ පුහුල කපනවා ලෙස හඳුන්වයි. මෙහි දී ජය ගන්නේ වැඩිම ඔළිඳ ඇට ලබා ගන්නා අයයි. 

 
කජු ක්‍රීඩාව 

 
මෙය බෙහෙවින් ජනප්‍රියව ඇත්තේ දරුවන් අතරය. කජු ඇට හයක් ක්‍රීඩාවට යොදා ගනී. කජු සියල්ල දෝතින් ගෙන උඩ දමන අතර බිම වැටුණු කජු ඇට අතර ඇඟිල්ලකින් ඉරක් අඳී. කජු ගෙඩි දෙකෙහි නොගෑවෙන ලෙස ඇඟිලි යැවූ පසු එම කජු ක්‍රීඩා කළ අයට අයිති වන අතර වැඩිම කජු ගෙඩි ගණනක් ගත් අය තරගෙයන් ජය ලබයි.   


චක්ගුඩු පැනීම 

 
අස්වැන්න නෙළා ගත් වෙල් යායේ හෝ කමතේ සිදු වෙන ක්‍රීඩාවකි. සීමාව ලකුණු කර කොටස් දෙකකට බෙදී ක්‍රීඩාව සිදු කරයි. එක් පිලක ක්‍රීඩකයෝ ගුඩු ගුඩු කියමින් අනෙක් පිලේ සීමාවට ගොස් ක්‍රීඩකයන්ට පහර දී තමන්ගේ සීමාවට දුව එති. පහර කෑ ක්‍රීඩකයා මෙන්ම පහර දී ගුඩු ගුඩු කියමින් තම පැත්තට යා ගත නොහැකි වූ ක්‍රීඩකයා ද පරාජය වේ. ගුඩු කියමින් යන්නා හඳුන්වන්නේ ගුඩ්ඩා යනුවෙනි.   


කල්ලි කෙළිය 

 
මේ ක්‍රීඩාව රෑ ගුඩු පැනිල්ල, රෑ කල්ලි, සිං කෙළිය යන නම්වලින් ද හඳුන්වනු ලබයි. ක්‍රීඩකයන් දෙදෙනාගේ සිට දොළහ දක්වා ගණනක් මීට සහභාගි වේ. මේ සඳහා යොදා ගන්නා දිගැති ලීය කල්ලි ලීය ලෙසත් කුඩා ලීය, කුට්ටා නමින් ද හඳුන්වයි. කුඩා වළක් හාරා ඒ මත ලීය හරහට තබා දිග ලීයෙන් මෙම කුඩා ලීය ඈතට විදිනු ලබයි. දෙපිලකට බෙදී සිදුකරන මේ ක්‍රීඩාවේ දී රකින පිල විසින් ලීය අල්ලා ගනු ලැබුවොත් එම පිලට වාරමක් ලැබේ. අල්ලා ගැනීමට නොහැකි වුවහොත් එය වැටුණු තැන සිට කුට්ටා රකින පිලෙන් කෙනෙක් වළට විසි කළ යුතුය. කුට්ටා වළ අසලට වැටුණොත් පහර දෙන ක්‍රීඩකයා ඉවත් විය යුතුය. වළට දැමීමේ දී පහර දී නැවත එය ඈතට යැවිය යුතුය. එලෙස යවන කුට්ටා බිම පතිත වීමට පෙර රකින පිලෙන් අල්ලා ගත හොත් පහර දුන් ක්‍රීඩකයා දැවේ. කුට්ටා බිම පතිත වුවහොත් එතැන සිට කල්ලියෙන් වළට ඇති දුර මැනිය යුතුය. කල්ලියෙන් දහයක් එකතු වූ විට ගුඩ්ඩක් ලෙස ලකුණු ලැබේ.   


කල්ලියේ දිග අඩි තුනකි. කුට්ටාගේ දිග අඟල් හයකි.   


මේ ක්‍රීඩාවේ දී ද ගායනා තිබේ.   


ගුඩු ගුඩු දෙයියන් කොණ්ඩ කුරුල්ලන්   
බැදුමට අල්ලන් අල්ලන් අල්ලන්   
මට ගුඩු දුන්නට තොට හෙණ ගහපිය   
ගහපිය ගහපිය ගහපිය   
කවුදැයි කවුදැයි ගුඩු ගහන්නේ   
ගුඩු ගහන අය සබයට එන්නේ   
ගුඩු ගුඩු නාදා කොළපු ගෙනාදා   
අඹ හොදි කෑදා මට ගුඩු දුන්දා   
​කොප්පර කොප්පර පිපිඤ්ඤා   


ගමේ දරු දැරියන් අතර සිදු වෙන මෙම ක්‍රීඩාවේ දී බොහෝ පිරිසකට සහභාගි විය හැකියි.   


දරුවන් රවුමට සිට ගෙන එක් දරුවෙක් අතු කැබැල්ලක් රැගෙන රවුමට ගමන් කරනු ලබන සංවාදයකි.   


කොප්පර කොප්පර පිපිඤ්ඤා   
පස්ස බැලුවොත් දෙසඤ්ඤා   


රවුමේ සිටින අය ‘කෝ නෑනෝ පනාව’ කියන විට වටේට යන්නා ‘යට ලීයේ පනාව’ යැයි පිළිතුරු දෙයි. මේ අන්දමට කීප විටක් කියයි. රවුමේ සිටින්නන් ‘කල ගෙඩි කල ගෙඩි’ කියන විට රවුම වටේ යන්නා ‘බෝතල බෝතල’ කියමින් වටේ දුවයි. මෙසේ දුවන අතරම අත්ත කෙනෙකු පිටුපස තබයි. වටේම ගොස් එතැනට එන්නට පෙර අත්ත ළඟ ඇති තැනැත්තා වටේට යන්නා ලුහුබඳියි. එසේ නැත්නම් අත්ත ගෙන වටයේ යන්නා ඔහුට එයින් ගසයි. වටේ යද්දි වුව ද කෙනෙකු පිටුපස බැලුවහොත් පහර වදී. එකිනෙකා මාරුවෙන් මාරුවට මෙය දිගටම සිදු කරන්නේ මහත් විනෝදයකිනි.   


බහු කෙළිය   


ජල්ලි ගැසීම, මට්ට කැඩීම යනුවෙන් හඳුන්වන මෙම ක්‍රීඩාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්කම් පෙන්නුම් කරයි. ලොකු දොඩම් ගෙඩියක් හෝ ජම්බෝල ගෙඩියක් උණු අළු පල්ලේ තම්බා ගෙන පදම් කර ගනී. සමතලා බිමක උඩු පිළ සහ යටි පිළ ලෙසින් පිල් දෙකකට බෙදෙයි. උඩු පිලෙන් යටි පිලේ අය බෝලය බිම වැටෙන්නට පෙර උඩින් අල්ලා ගත්තොත් බෝලයත් රැගෙන උඩු පිලේ විසි කළ තැනට දුවති. විසි කළ අය පස්සෙන් පස්සට දුවගෙන ඇවිත් පිල් කණුව රකිති. ඔවුන් උත්සාහ ගන්නේ පිල් කණුව රකින ගමන්ම විසි කරනු ලබන බෝලය උඩදීම අල්ලා ගැනීමටයි. එසේ අල්ලා ගැනීමට බැරි වුවහොත් පෙරට ගමන් කළ නොහැක. බෝලය විසි කළ යුත්තේ බිම වැටුණු තැන සිටගෙනය. බෝලය පිල් කණුව පසු කිරීමට හෝ බිම වැටීමට පෙර හෝ අල්ලා ගැනීමට නොහැකි වුවහොත් දිනුම හිමි වෙන්නේ විසි කළ පිලටය.   


අතක පතක ක්‍රීඩාව  


මේ ක්‍රීඩාව දරුවන් අතර කෙරෙන්නකි. බිම වාඩි වී අත් බිම තබාගෙන සිටිය යුතුය. නායකයා විසින් අත්ලට තට්ටු කරමින් මෙසේ කියයි.   


‘අතට පතක සොර සූරින් අනගි පැත්ත පැඟිරි බිංදු ඉරි ඉරිගි ​කොත්තමල්ලි කොහි ද සීයේ?’ මේ වැකිය අවසන් වෙන විට තට්ටු කරන අත ඇත්තා ක්‍රීඩාවෙන් ඉවත් විය යුතුය. අවසානයේ ඉතිරි වෙන ක්‍රීඩකයාට ‘අතව් කිතව් පහුරු කිතව් අපි දිනුවෝ’ කියමින් අත ඉවතට ගන්නා තුරු පහර දෙයි.   


මේවර කෙළිය   


සිංහල අවුරුදු කාලයේ දී බෙහෙවින් ජනප්‍රිය ක්‍රීඩාවකි. කාන්තාවන් විසින් සිදු කරන්නකි. මේවර යනු වළල්ලකි. එහිදී ස්ත්‍රියක් තමන්ට අයිති වළල්ල සෙවීම මේවර කෙළිය ලෙස හඳුන්වයි. මෙහිදී මිතුරියක් විසින් වළල්ල සඟවා ගනී. එක් ක්‍රීඩිකාවක් තම වළල්ල සඟවා සිටීදැයි දිගින් දිටම ගීතයෙන් අන් මිතුරියන්ගෙන් ප්‍රශ්න කරන්නීය. අනෙක් මිතුරියන් දිවුරා දිවුරා පවසන්නේ තමන් එවැනි වළල්ලක් සඟවා ගෙන නැති බවයි. මේවර යනු කනට පලඳින ආභරණයක් යැයි ද මතයක් තිබේ. ඇතැම් පෙදෙස්වල පවසන්නේ මේවරයා යනු මෙහෙකරු යන්නයි.   


එළුවන් කෑම 

 
පිරිසක් විසින් සිදු කරනු ලබන මේ ක්‍රීඩාව ද ගායනය සහ රංගනයේ එකතුවක් ලෙස සඳහන් කළ හැකි ක්‍රීඩාවකි. එළුවකු හා කොටියකු අතර සිදුවෙන දෙබස් මෙහි දක්නට ලැබෙයි.   


පනා හැංගීම  


ඇතැම් පෙදෙස්වල මෙය හඳුන්වන්නේ ලේන්සු හැංගීම, හවරි හැංගීම යනුවෙනි. කිසියම් භාණ්ඩයක් සඟවා එය සෙවීමට වෙහෙස වෙති. මේ අතර කාන්තාවෝ ගයමින් විනෝද වෙති.   


ඔංචිල්ලා පැදීම  


අසුර නම් තැනැත්තා ඊශ්වර දෙවියන්ට ඇප උපස්ථාන කර සතුටට පත් වූ බවත් කාලයක් ගත වෙන විට ඊශ්වර දෙවියන්ගේ බලසම්පන්න බව හේතුවෙන් කිසියම් වරයක් ඉල්ලා ගත යුතු යැයි සිතූ අසුරයා විසින් ඊට ගැළපෙන කාලය බලා සිය අදහස ඉදිරිපත් කළේලු.   


අසුරයා පිළිබඳ වූ විශ්වාසය හේතුවෙන් ඊශ්වර දෙවියන් වරයක් දීමට කැමැත්ත පළ කළෙන් අසුරයා ඉල්ලා සිටියේ තමා කිසිවකුගේ හිසට අත තැබූ විට එම තැනැත්තා අළු වී යන වරමකි. ඊශ්වර දෙවියන් විසින් එම වරම ලබා දුන් තැන දී අසුරයා එය අත්හදා බැලීමේ ආශාවක් පහළ විය. එය අත්හදා බැලීමට අසුරයා ඊශ්වර දෙවියන්ගේ හිසට අත තැබූ සැණම ඊශ්වර දෙවියන් ඔහුගෙන් බේරීමට පළා යත්ම එය දුටු විෂ්ණු දෙවියන්ට ඊශ්වර දෙවියන් ගැන දුක සිතුණේලු. විෂ්ණු දෙවියන් අසුරයා යන මඟ ඔන්චිල්ලාවක් බැඳගෙන ගැහැණු වෙසින් ඔන්චිල්ලා පදිනු දැක අනේ මෙම කාන්තාව මෙසේ සිටින්නේ ඇයි දැයි සිතා නළලට අත ගසා ගත් වනම අසුරයා අළු වී ගියේලු. මෙය සිහිපත් කරමින් තවමත් ඔන්චිල්ලා සාදන බව පැවසේ.   


මෙලෙස සාදන ඔන්චිල්ලා වර්ග කිහිපයකි. කූඩු ඔන්චිල්ලා, බඹර ඔන්චිල්ලා, දෙපයට ඔන්චිල්ලා, වැල් ඔන්චිල්ලා, යතුරු ඔන්චිල්ලා සහ මල් ඔන්චිල්ලා දක්නට ලැබෙයි. ඔන්චිලි පැදීමේ දී ඔන්චිලි වාරම් ගායනා කරති.   


කඹ ඇදීම 

 
සිංහල අලුත් අවුරුදු කාලයේ දී දක්නට ලැබෙන කඹ ඇදීම සිංහල ජන ක්‍රීඩා අතරට ගැනෙන විශේෂිත ක්‍රීඩාවකි. මේ ක්‍රීඩාව නාවිකයන්ගෙන් ආරම්භ වෙන්න ඇතැයි සලකුණු ලැබේ. මාස ගණනක් මුළුල්ලේ මුහුදු ගමනේ යෙදුණු නාවිකයන් ඔවුන්ගේ විනෝදය සහ ව්‍යායාමය උදෙසා කඹ ඇදීම සිදු කරන බැව් විශ්වාස කෙරේ.   


රබන් ගැසීම   


මෙරට බොහෝ උත්සව අවස්ථාවන් හිදී යොදා ගන්නා රබන් ගැසීම අද බොහෝ විට අවුරුදු සමයට පමණක් සීමා වී තිබේ. රබාන හා බැඳී පවතින දේව විශ්වාසයන් දක්නට ලැබෙයි. ඊශ්වර දෙවියන් දුටු සිහිනයකට අනුව රබාන නිර්මාණය කළ බවත් එම නිර්මාණය සඳුන් ලීයෙන් කළ බවත් විශ්වාසයකි.   


රබන් ගසන කාන්තාවෝ මුලින් තෝරා ගැනීමට පහසු රබන් පදයෙන් පටන් ගෙන ඉතා සංකීර්ණ රබන් පද දක්වා වයති, ගයති. මෙහිදී රබාන වටා නටමින් වැලමිටෙන් පවා රබන් වාදනයේ යෙදෙන කාන්තාවෝ සිටිති. 

 

 

සජීව විජේවීර