හෙළ සංස්කෘතිය සහ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව


සිංහල ජාතියට යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් විද්‍යාව පිළිබඳව ඇත්තේ ඉතා පෞරාණික කීර්තිමත් ඉතිහාසයකි. ගරුඬ පුරාණයත්, භගවත් පුරාණයත් සඳහන් කරන අන්දමට විජයාවතරණයටත් පෙර සිටම හෙළදිව නමින් ප්‍රසිද්ධව තිබූ සිංහලයේ සැබෑ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3000 ටත් 6000 ටත් අතර කාලයක සිටම අපේ ජන ජීවිතයේ හා උදාරතර හෙළ සංස්කෘතියේ එක් අංගයක්ව යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව පැවැත ආ බව පෙනෙන්නට තිබේ.
   
භගවත් පුරාණය, ගරුඬ පුරාණය, ස්කන්ධ පුරාණය, උපුල්වන් පුරාණය, සමන් දෙවි පුරාණය, රාමායනය, ජ්‍යොතිෂ ඉතිහාසය, මිසර ඓතිහාසික වාර්තා හා මහාවංශය හෙළයේ සිටි දේව ගෝත්‍රයක් ගැන සඳහන් කරයි. එම ඓතිහාසික සටහන් ගැන විමසා බලන විට හෙළයේ විජයාවතරණයටත් එහා පැවැති ආර්ය හා අසුර ශිෂ්ඨාචාරයන්හි පිය සටහන් පහසුවෙන් සොයා ගත හැකිය.  


එම ශිෂ්ටාචාර යුගයන්හිදී අපේ හෙළ ජනතාව ලබා තිබුණ අධ්‍යාත්මික පාරිශුද්ධ භාවය නිසා අහසින් යාමට තරම් හැකි අතිමානුෂික බලයක් ද ලබා සිටියහ. තවද නොයෙකුත් වෙස් මාරුකර ගත හැකි බලයක් මෙන්ම අත්භූත ප්‍රාතිහාර්ය වැනි දේ කළ හැකි බලයක් ද ඔවුනට තිබිණි. ඒ ඔවුන් දියුණු කර ගත් සිතත් ජ්‍යොතිෂ විද්‍යාවත් හෙළ වෛද්‍ය විද්‍යාවත් මන්ත්‍ර විද්‍යාව හා යෝගී විද්‍යාවත් උපයෝගී කරගෙන පෑ අති විශිෂ්ට විස්මයජනක දස්කම් නිසාවෙනි.   


මන්ත්‍ර විද්‍යාවේ ඇති මූලධර්ම අනුව දියුණු කර ගත් චිත්ත ධර්මයක් නැති යෝගී බලයක් නැති හෝ අධ්‍යාත්මක පාරිශුද්ධත්වයක් නැති අයට උසස් ප්‍රාතිහාර්යයන් පෑමට නොහැකි වෙයි. එසේ නම් පුරාණ හෙළයාට අතිමානුෂික පිදීමට සුදුසු දිව්‍යමය වැඩ කිරීමට හැකි වූයේ ඔවුන් ලබා තිබුණ අධ්‍යාත්මික පාරිශුද්ධතාවයෙන් දියුණු කළ මන්ත්‍ර විද්‍යාව නිසා බව මනාව සඵුට වෙයි.   


ඉන්දීය ඉසිවරුන්ගේ ත්‍රිවේදය ලිවීමේදීත් ගුරු වූයේ ආදි හෙළයේ විසූ පුලස්ති, අගස්ති සහ මය යන ඉසිවරුන් බව ජ්‍යොතිෂ ඓතිහාසික වාර්තා අනුව පැහැදිලි වෙයි. මන්ත්‍ර විද්‍යාවේ මුල් අවස්ථා රාශියක් ගෙනහැර පෙන්වන සාම වේදය, අර්ථය වේදය, සෘග් වේදය ආදී වේද ග්‍රන්ථ ලිවීමටත් හෙළයේ සිටි ඉසිවරුන් වන පුලස්ති, අගස්ති සහ මය යන මහා පඬිවරුන් පුරෝගාමී වූයේ නම් අපගේ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ තිබූ අති පෞරාණික උත්තරීතර ඉතිහාසය අපට ආඩම්බරයක් නොවන්නේද?   


ලොව මුල්ම සූර්ය සිද්ධාන්තය නම් ජ්‍යොතීර්විද්‍යා ග්‍රන්ථය සම්පාදනය කළේ මය නම් මහා ඉසිවරයාය. හෙළයේ මායා රට වාසය කළ ඔහු හෙළයේ පමණක් නොව මුලු ලෝකයෙහිම මුලින්ම පහළ වූ මහා විද්‍යාඥයෙකු මහා පඬිවරයෙකු බව ලොව පතළය. ඔහුගෙන් සූර්ය සිද්ධාන්ත ගණිත ක්‍රමය ඉගෙන ගත් ඉන්දීය මහා ඉසිවරුන් අතර සිටි පීතෘ ගුරු හෙවත් පයිතගරස් වැනි පඬිවරයා එය ග්‍රීසිය වැනි රටවලට ගෙන ගිය බව ඉතිහාසයේ දැක්වෙයි. ග්‍රීකයන්ගෙන් එහි ආභාෂය බටහිර රටවලට ද පැතිරිණි.   


මය නම් මහා පඬිවරයා ශ්‍රේෂ්ඨ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් ද වෙයි. මධ්‍යහ්න රේඛාව අප රට හරහා ගැන ගෙන සූර්ය සිද්ධාන්තය ලියා ඇත. ඉන්පසු ග්‍රහයන්ගෙන් මනුෂ්‍යයාට හා ලෝකයට පැමිණෙන අපල උපද්‍රව දුටු ඔහු ඒවා මර්දනය කරගැනීම සඳහා යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවන් සොයා අත්හදා බලා සකස් කළ බව කියති.   


මය නම් මහා ඉසිවරයාගේ සූර්ය සිද්ධාන්තයක් රාවනාගේ රාවන තන්ත්‍ර නමින් වර්තමානයේ පවා ඉන්දියාවේ ජනතාව භාවිතා කරන කුමාර තන්ත්‍රය උඩිස් තන්ත්‍රය අර්ක ප්‍රකාශය නාඩි ප්‍රකාශය ඉන්ද්‍ර ගුරුළුව පංච පක්ෂිය ශිවා ලිඛිතය වැනි ගුප්ත විද්‍යා ග්‍රන්ථ ගැන සලකා බලනවිට පෙනී යනුයේ ඒ තරම් ඈත යුගයක සිට හෙළයේ උදවියට තිබුණ රසායනික විද්‍යා දැනුමත් තාරකා විද්‍යා දැනුමත් ගණිත විද්‍යා දැනුමත් වෛද්‍ය විද්‍යා දැනුමත් යෝගී විද්‍යා දැනුම හා යන්ත්‍ර මන්ත්‍ර විද්‍යා දැනුමත් පිළිබඳ අවබෝධය කෙතරම් ද යන්නය. මෙයින් පැහැදිලි වනුයේ අතීතයේ අපේ උත්තරීතර සංස්කෘතියේ මෙම විද්‍යාවන්ට හිමිව තිබූ ස්ථානයයි.   


මානව ධර්ම ශාස්ත්‍ර දරන සාක්ෂි අනුව මිරිවැඩිසඟලට, සාටකයට හෝ උතුරු සළුවට මතුරා ගෙන අහසින් ගිය අය අතීතයේ පෙරදිග සිටිය බව සනාථ කරයි. භෞතික ධර්ම හා ලෝකායන ධර්ම වැඩීමට ප්‍රථම භාරතීය ජන ජීවිතයේ අධ්‍යාත්මික දියුණුව ඉතා උසස් තැනක තිබූ බව මෙයින් පසක් වෙයි. ඒ අධ්‍යාත්මික බලයත් යෝගී බලයත් මන්ත්‍ර බලයත් උපයෝගී කරගෙන අහසින් පවා යාමට හැකි තත්ත්වයක් එදා උගත් අයට තිබුණ බව පෙනේ. ඒ අනුව යන්ත්‍ර මන්ත්‍රකරණය පිළිගත් විද්‍යාවක් ලෙස එදා භාරතීය ජනතාව අතර ප්‍රචලිතව පැවැති බවට නිදසුන් සපයයි.   


ලොව පහළ වූ මහා ආගම් අතර ද යක්ෂ, ප්‍රේත, භූත විශ්වාසයන් තිබූ නිසා යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව පැතිරී ගිය බව පෙනේ. 

 
හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් හා යුදෙව් ආගම්වල ඇති දේශනා හා නොයෙකුත් වාර්තා අනුව ඒ බව ඔප්පු වෙයි. ඒ අනුව භූතාත්මවලින් වන හානි දුරුකර ගැනීමට සමහර ආගම් සකස් කරගෙන ඇති ජප මන්ත්‍ර ගාථා, ස්තෝත්‍ර හා චූර්ණිකා ආදිය ගැන විමසා බලන විට ඒ ගැන හොඳින් පැහැදිලි වෙයි. ඒ නිසා ලෝකයේ පහළ වූ අති වෙසෙස් පෙළේ ආගම්වලින් පවා මේ උදාරතර විද්‍යාවට ලැබී ඇත්තේ මහඟු ආලෝකයකි.   


ලෝකයේ පහළවූ මහා ජාතීන් අතර ද ඈත අතීතයේ සිටම යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව පැතිරී ගොස් තිබූ බවට ඓතිහාසික සාක්ෂි ඇත. මිසර, ඉරාණ, ඉන්දීය, ග්‍රීක, බැලිලන්, රෝම, මැක්සිකන්, අරාබි, මායා, ඉන්කා, ජපන්, චීන, ටිබෙට්, බාලි, ශෛලේන්ද්‍ර, කේරළ, චෝල, පල්ලව, පාංඩ්‍ය ආදී රටවල ද අධිරාජ්‍යවල ද යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව ප්‍රචලිතව පැවැති බවට වාර්තා හමුවෙයි. එයට අමතරව ලොව නොදියුණු ගෝත්‍රික ජනයා අතර පවා යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව විශ්වාස කළෝ ගැන සාධක බො​හෝය.   


හින්දු දේව විශ්වාසය අනුව බ්‍රහ්ම විෂ්ණු හා සිව මහා බලාධිපති දෙවිවරුන් යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව මෙලොවට පළමුවෙන්ම ඇති කළ බව සඳහන් වෙයි. ඕං හ්රීං යන මන්ත්‍ර බීජාක්ෂර පවා ඉහත දෙවිවරුන්ගේ මුඛයෙන් පිටවූ වචන ලෙස හින්දූහු සලකති. එම නිසා හින්දු ත්‍රිමූර්තිය නමස්කාර කිරීමට පවා ඕං යන මන්ත්‍ර අක්ෂර භාවිතා කළ බව පැවසේ.   


වේදාන්ත සූත්‍ර අනුව ලොව මුලින්ම පහළවූ ත්‍රිවිද්‍යාවන්ගෙන් තුන්වැනි තැන ලබන්නේ වේදාඃ යනුවෙන් හඳුන්වන මන්ත්‍ර විද්‍යාවයි. ඊට වේදාඃ යැයි ව්‍යවහාර වූයේ ජප මන්ත්‍ර ආදියෙන් වේදයේ බොහෝ කොටස් වැසී තිබෙන නිසාය.   


සාම වේදය, අර්ථ වේදය, සෘග් වේදය පිළිවෙළින් පෙන්වන ජප මන්ත්‍ර, චූර්ණිකා හා ස්තෝත්‍ර ආදියත් බලි බිලි තොවිල් හදි හූනියම් ආදියත් වෛදික යුගයේ සිට හින්දු ජනතාව අතර තිබුණ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව පිළිබඳ විශ්වාසය වඩාත් තහවුරු කරයි.   


වෛදික ජනතාව අතර මෙම විද්‍යාව බිහිවූයේ හේතු කිහිපයක් උඩ බවට විශ්වාස කෙරේ. ඔවුන් ඇදහූ දෙවිදේවතාවුන්ට ආමන්ත්‍රණය කිරීමට මුලින්ම මන්ත්‍ර විද්‍යාවත්, ස්තෝත්‍ර චූර්ණිකා හා කන්නලව් යාදිනි ආදියත් උපයෝගී කරගෙන ඇත. මළවුන්ට භූතයින්ට මෙන්ම සූර්ය චන්ද්‍ර වැනි ග්‍රහයින්ට ආමන්ත්‍රණය කිරීමට ද ඔවුන්ගෙන් වන අපල උපද්‍රව දුරුකර ගැනීමට ද ජප මන්ත්‍ර ස්තෝත්‍ර කන්නලව් යාදිනි ආදිය යොදාගෙන ඇත.   
සමහර අවස්ථාවල අව්ව, වැස්ස, ජලය ලබාගැනීම සඳහාත් ගොවිතැන් දියුණුව, කෘෂි ඵලදාව වැඩිකර ගැනීම සඳහාත් ගව, එළු, බැටලු ආදී සතුන්ට වැළඳෙන වසංගත රෝග දුරුකර ගැනීම සඳහාත් ගම්වලට ඇතිවන මදුරු වසංගත රෝග දුරුකරවා ගැනීම සඳහාත් මන්ත්‍ර විද්‍යාවෙන් නොයෙකුත් පල ප්‍රයෝජන සලසාගත් අවස්ථා අපමණය.   


වර්තමානයේදීත් ඇතැම් ගම්වල පවත්වන ගම්මඩු, දෙවොල් මඩු, කිරි මඩු, පහන් මඩු, අංකෙළිය, පොරපොල් කෙළිය, කංකාරි ආදී ඓතිහාසික උත්සව සංදර්ශන පිළිඹිබු කරනුයේ වෛදික යුගවල සිට මිනිසා පාරම්පරිකව අදහා ගෙන ආවාවූ මන්ත්‍ර විද්‍යාවෙන් පැන නැගුන ඇදහීම් හා විශ්වාසයන්ය. භූමි දේවි හා ජගන් මාතාව පිදූ හරප්පා හා මොහෙන්ජෝදාරෝ යුගවල සිට පොළොවේත් ප්‍රජාවගේත් සශ්‍රිකත්වය පතා පැවැත්වූ කිරිමඩු හා කිරි මවුවරුන්ගේ උත්සවවලදී ද මන්ත්‍ර විද්‍යාවෙන් මිනිසා බොහෝ ප්‍රයෝජන ලබා ඇත.   


පුරාණ භාරතයේ මහා රජවරුන් විජයග්‍රහණය පතා අශ්වමේධ යාගය, පුරුෂමේධ යාගය වැනි යාගහෝම උත්සවවලදී ද යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවෙන් සහ ශාන්ති කර්මවලින් ඉමහත් පල ප්‍රයෝජන ලබාගෙන ඇති බවට ඓතිහාසික තොරතුරුවල දැක්වේ.   


එසේම අසුර හා ආර්ය ගෝත්‍රිකයින් ඇදහූ ගිනි, චන්ද්‍ර, සූර්ය, යක්ෂ, භූත, ප්‍රේත, පිසාච, සත්ව, වෘක්ෂ හා දෙවි දේවතාවුන් පිදීම සඳහා පැවැත්වූ මහා යාග හෝම බලි බිලි පුද පූජා ඇප කැප උත්සවවලදී ද යන්ත්‍ර මන්ත්‍ර ස්තෝත්‍ර කන්නලව් කච්ච හා චූර්ණිකා ආදී මන්ත්‍ර විද්‍යාවට අයත් දහසක් දේවලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන ඇති බව පැහැදිලිය.   


පුරාණ රජවරුන් සතුරන් මර්දනය සඳහා යන්ත්‍ර මන්ත්‍රවලින් විපුල ප්‍රයෝජන ලබාගෙන ඇති බව ඓතිහාසික ලේඛනවල දැක්වෙයි. හදි හූනියම් කර පිල්ලි යවා බන්ධන කරවා ශාප කරවා ශාප යාදිනි මන්ත්‍ර හා වස්කවි කියවා භූතයින් ප්‍රලය කරවා සතුරු රජවරුන් මර්දනය කළ බව වාර්තාගතය.   


එසේම රජ මැති ඇමැති ප්‍රභූන්ගේ සිත් දිනා ගැනීමට කළ රාජ වෛශ්‍ය ගුරුකම් ස්ත්‍රීන්ගේ සිත් දිනාගැනීමට කළ ස්ත්‍රී වශී ගුරුකම් නඩුහබ දිනා ගැනීමට කළ රාජවශී ගුරුකම් ආදිය එදා සිට අද දක්වාම සිදුවන බවට සාක්ෂි ඇත.   


මිනිසුන්ට හදි කිරීමට, සතුරන් විනාශ කිරීමට, වාසස්ථාන විනාශ කිරීමට, සශ්‍රික ගම් බිම් ස්ථාන ජනශූන්‍ය ස්ථාන බවට පත්කිරීමට, මිතුරන් සතුරන් කිරීමට මන්ත්‍ර විද්‍යාවෙන් එදත් අදත් කවදත් උපරිම ප්‍රයෝජන ලබාගත් අය අපමණය.   


මෙවැනි සතුරුකම් වැනි සිද්ධීන් නිසා සිංහල රාජ්‍යයන් පැවැති විශේෂ කාලවලදීත් නුවර රාජ්‍ය සමයේ අවසාන වකවානුවේදීත් මිනිසුන්ට වින කරන යන්ත්‍ර මන්ත්‍ර හා බන්ධන කිරීම රාජ නියෝගයකින් තහනම් කර තිබූ බවට ද වාර්තාගතය.   

 

 

 


සටහන   
ගම්පහ අබේසේන හේරත්