හුස්ම විකුණන ඔක්සිජන් බාර්


ලෝකෙන් ටිකක්

 

 

බාර් එකක් ගැනයි මේ කතාව. එහෙත්, මෙය ඔබ හිතන විදියේ බාර් එකක් නොවෙයි. මේ බාර් එක ඇත්තේ නවදිල්ලි අගනුවර, මෙවැනි බාර් කිහිපයක් මේ වනවිට දිල්ලියේ විවෘත වී තිබේ. මේවා ඔක්සිජන් බාර් ය.   


නවදිල්ලි අගනුවර තවමත් විස දුමාරයකින් වැසී පවතී. පසුගිය දීපවාලී දිනයට පසු දිල්ලි වායු දූෂණය අහිතකර මට්ටමටත් වඩා අහිතකර වූයේය. දිල්ලි ප්‍රාන්ත රජය පාසල් සහ කාර්යාලවලට නිවාඩු දුන්නේය. පාසල් දරු දැරියන් වෙනුවෙන් නොමිලේ මුහුණු ආවරණ ලබා දුන්නේය. රථ වාහන සීමා කළේය. මොනවා කළත් අගනුවර වසා ගත් විස දුම් සහ දූවිලි වලාවේ අඩුවක් දකින්නට නොමැති බව පැවැසෙයි.   


දිල්ලි වැසියන්ට පිරිසුදු වාතය ආශ්වාස කිරීමට අවස්ථාව ලබාදීම, ‘ඔක්සිජන් බාර්’ පිහිටුවීමේ අරමුණය. බෝතල් කළ ඔක්සිජන් බාර් එකේ දී ලබා ගැනීමට හැකි අතර, බාර් එකට වී, නාසයට පළඳින නළයක් හෝ මුහුණු ආවරණයකින් හෝ පිරිසුදු නැවුම් වාතය ලබා ගැනීම කළ හැකි වෙයි.   


දිල්ලි බාර්වල මෙසේ ඔක්සිජන් ලබා දෙන්නේ නිකම් නොවෙයි. එය ද ව්‍යාපාරයකි. බිස්නස් එකකි. මිනිත්තු 15 ක් පිරිසුදු වාතය වෙනුවෙන් ඉන්දීය රුපියල් 300 ක් ගෙවීමට සිදුවෙයි. ශ්‍රී ලංකා රුපියල්වලින් 750 ක් පමණය.   


හුස්ම ගන්න බාර් එකකට යෑම අවසානයේ අපට හුස්මත් මිලදී ගන්න වී ඇත. වායු දූෂණය දිල්ලියේ ඉහවහා ගොස් ඇත. දිනෙන් දින ගස් කපමින් කොන්ක්‍රීට් වනාන්තර අහස උසට නැගෙද්දී, වායු දූෂණය ලොව සෑම ප්‍රධාන නගරයකටම අහිතකර බලපෑම් එල්ල කර ඇත. අනාගතයේ දිනෙක ලෝකවාසී අප සැමට හුස්ම ගැනීමට ඔක්සිජන් බාර් වෙත යෑමට සිදුවනු නොඅනුමානය.   

 


ලුසිත ජයමාන්න   
බී.බී.සී. ඇසුරිනි