හිරුගෙන් වැඩගත් අපේ මිනිස්සු


නාලන්දා ගෙඩිගෙය

 

  • ලෝකයේ මැද ලංකාවේ නාලන්දා ගෙඩිගෙයද?   
  • මුන්නේෂ්වරමේ කොග්ගල අරන්කැලේ පුරාණ කාලේ හිරු දෙවියන් වැන්ද දේවාලද?   
  • අවුරුදු උදාව තීන්දුවන්නේ දෙවුන්දර ගල්ගෙයි දේවාලයෙන් කියන්නේ ඇත්තද? 

 

රාවණ රජතුමාගේ කාලයේ නර්තනය පිළිබඳ දැනීමක් හා තෙල්මේ නැටුම ද තිබී ඇත. මෙම නැටුම විශේෂයෙන් දැකිය හැක්කේ සූර්යාට කළගුණ සැලකීමක් වශයෙන් කරන සූර්ය වන්දනා උත්සවයක දී ය. අද උත්සව අවස්ථාවන් හිදී ද දැකිය හැකිය. අතීතයේ එය අපේ රටේ තිබූ බව ද පිළිගනී. රාවණ පරපුරෙන් පැවත එන විශ්ව බ්‍රාහ්මණ, සූර්ය වංශ, යක්හෙළ, විශ්වකර්ම, නවන්දන්නා නමින් හඳුන්වන මේ සඳහා නටන නැට්ටුවා සූර්යයාට වැඳගෙන පෘථිවියේ ආනතියට සමාන ආනතියකින් යුතුව (ඇළවී) තමා වටා කැරකෙමින් සූර්යා වටා ද කැරකෙයි. ඒ අනුව සූර්යා වටා පෘථිවිය කැරකෙන බව රාවණ රජතුමා මුලින්ම සනාථ කර ඇති බව සිතමි. 


1980 වසරේ චීන මහජන දින සංස්කෘතික උත්සවය කොළඹ දී පැවැත්වුණේ ජෝන් ද සිල්වා සමරු රඟහලෙහිය. චීන තානාපතිතුමා ප්‍රධාන අමුත්තා විය. අවසානයට පැවැත් වූයේ තෙල්මේ නැටුමයි. එය ඉතා ආකර්ෂණීය හා වේගවත් විය. එම රංගනය අවසානයේ සංදර්ශනය ද අවසන් විය. රංගන ශිල්පීහු වේදිකාවට විත් සභාවට ආචාර කළහ. මැද සිටි තෙල්මේ රංගන ශිල්පියාට තානාපතිතුමා විසින් මල් කලබක් පිළිගැන්විණ. තානාපතිතුමා එය ශිල්පියා අතට නොදී දෙපා මුල තබා බිමටම පාත් වී වැඳ ආචාර කළේය. මුළු සභාවම පුදුම විය. නමුත් එය එසේ සිදුවිය. එදා එම සභාවේ සිටි අය මීට සාක්ෂි දරති. හිස නොනමන අභිමානවත් චීන ජාතිකයාට එදා එසේ වීම අබිරහසකි. සූර්යා උදාව හා ඉන්පසු සූර්යාගේ බැබළීම මූර්තිමත් කරන ශිව තාණ්ඩව ස්තෝත්‍රය ද රාවණ රජතුමාගේ නිර්මාණයකි. 


රාවණ රජු පටන් සිංහල අවුරුදු විශේෂ දවස යක්හෙළයෝ කෙළෙහිගුණ දත් අය වශයෙන් සූර්ය වන්දනාවේ යෙදෙති. සෑම වසරකම මාර්තු 20 වැනි දින සිට අප්‍රේල් 13 වැනි දින දක්වා කාලය ඇතුළත කොග්ගලට හිරු මුදුන් වෙයි. ඒ බව කොග්ගලින් බිහි වූ මහා වියතෙකු වූ අරීසෙන් අහුබුදු තුමා විසින් ලියා ඇති “හෙළ අවුරුදු වග” නමැති කෘතියේ සඳහන් වේ. එමෙන් මේ සමය එරබදු මල් පිපෙනවා පමණක් නොව ස්වභාවධර්මය ද වෙනස්වීම් ඇති වී බොහෝ සුන්දර දසුන් පවා දැකිය හැකි කාලයකි. 


“නීල කොබෝ රෑන ඇවිත් වී අහුලන ඉපනැල්ලේ... 
මාල ගිරව් රංචු  ගැසීලා නව අවුරුදු ගීත ගයනවා...” 


ඉතා පුරාණයේ හිරු වන්දනා කරන දේවාල බොහොමයක් ශ්‍රී ලංකාවේ තිබී ඇත. මෙවැනි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් හිරු දෙවොලක් මුන්නේශ්වරම් හි තිබී ඇති බැව් පර්​ෙ‌ය්ෂණවලින් හෙළි වේ. තවත් හිරු දෙවොලක් අරන්කැලේ දී හමුවී ඇත. කොග්ගල හිරු දෙවොලත් ඉන් එකකි. බුදු දහම ශ්‍රී ලංකාවට ඒමටත් පෙර රාවණ යුගයේ පටන් කොග්ගල හිරුගල් දේවාල වන්දනාව සිදු වී තිබේ. දැනට අනතුරට පත්වෙමින් තිබෙන මෙම දෙවොල වන්දනාවට ඒ කාලයේ ඉන්දියාවෙන් පවා බැතිමතුන් පැමිණ ඇති බව දැනගන්නට ඇත. එපමණක් නොව පසුව අපේ සිංහල අවුරුදු උත්සවය ඉන්දියානුවන් විසින් පවා මේ දක්වා පවත්වාගෙන එයි. 


දෙවුන්දර නගරයේ පිහිටි හෝරා ස්තම්භය අසලින් උතුරට ඇති මාර්ගයේ කි.මී. 1 ක් පමණ යනවිට මෙවැනිම දෙවොලක් සහිත ගල් ගෙයක් හමුවනු ඇත. මෙම ගල්ගෙයි දොරටුව නැගෙනහිර දෙසට වන්නට පිහිටා ඇති නිසා සූර්ය දෙවියන් නැමදීම කළ දේවාලයක් ලෙස හඳුන්වති. මෙම ගල්ගෙයි වහලයේ සිදුරක් ඇත. හිරු එළිය එම සිදුර හරහා ගල්ගෙයි ඇතුළට පතිත වේ. ලංකාවේ අවුරුදු උදාව තීන්දු කරන්නේ මේ ස්ථානයෙන් බවට මතයක් ද පවතී. මෙහි බොහෝ නිදන් වස්තු තිබෙන බවට ගැමියෝ පවසති. අදටත් හිරු දෙවි වන්දනාව සඳහා ඇතැම්හු මේ ස්ථානයට පැමිණ තම දුක්ගැනවිලි කොළයක ලියා ගෙනවිත් සූර්ය වන්දනාව කොට ඒ දුක් ගැනවිල්ල ලියූ කොළයට ගිනි තබා හිරු දෙවි වන්දනාව කරති. 


එමෙන් ම දෙවැනි පෑතිස් යුගයේ සිට අද දක්වා සිතුල්පව්ව බෞද්ධ පූජනීය ස්ථානයකි. නමුත් එය ද රාවණ යුගයේ දී සූර්ය වන්දනාවට පාත්‍ර වී ඇත. යක්ෂ ගෝත්‍රික හෙළයන් වර්ෂයකට වරක් සරත් සමයේ පුන් පොහෝ දිනක සිතුල්පව්වට ඒකරාශී වී සූර්ය දෙවියන්ට පුද පූජා පවත්වා භාවනානුයෝගීව හැසිරුණ බැව් “රාවණ කතා” ග්‍රන්ථයේ සඳහන් වේ. සත් වැනි වීරමුණ්ඩ රජතුමා ද භාවනා කිරීමට ගොස් ඇත්තේ සිතුල්පව්වටය. දෙවන රාවණ රජතුමෙකු ගිරුවාපත්තුවේ දෙවොලකට ගොස් දෙවියන් පිදූ බවත්, දැන් එම ස්ථානය “ගැටබරු දෙවොල” ලෙස හඳුන්වනු බවත් “රාවණ කතා” පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වී ඇත. මෙවැනි 10, 11 රාවණ රජවරු සිටි බව තවත් ස්ථාන කීපයක සඳහන් වේ. ඒ අනුව මේවා සූර්ය වන්දනාව කළ රාවණ යුගය දක්වා දිවෙන ඉපැරණි අතීතයක් ඇති ස්ථානයන් ය. 


ලකේගල පාවුල රාවණ රජතුමාගේ මාලිගයක් තිබූ බව ජනප්‍රවාදයේ පවතී. ලකේගල හා නාලන්දා ගෙඩිගෙය ලෝකයේ මැද ඉදිකෙරුණක් බව ඉපැරණි මහායාන බෞද්ධ ලියකියවිලිවලින් ද ගම්‍ය වෙයි. ඒ බව මෙයට වසර 2000 කට පමණ පෙර කලෙක රචිත “දෛවඥ කාමධෙනු” නම් වූ නක්ෂත්‍ර විෂය සම්බන්ධ ග්‍රන්ථයේ මෙම ශ්ලෝකයෙන් ද කියැවේ. 


“අස්තිලංකෝති වීක්‍යාතා - රාජධානි සාරංවිෂා 
භාර්තෂ්‍යා මධ්‍යරේඛායං - සපලස ජන සච්ච 
ශෛව ශවා හෙවෙත් භාර්තොර් - තත්ත්‍ර විෂුවන් 


බධ්‍යාචායාෂ්‍යාත් ගෝලයේ ගෝලයඃ 


නාලන්දා ගෙඩිගේ පිහිටි තැන ලංකා දිවයිනේ හරි මැද බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව ද පිළිගනී. එහි ඇති පිළිමය පුරාවිද්‍යාඥ බෙල් මහතා විසින් විස්තර කර ඇත්තේ දේව ප්‍රතිමාවක් බවටය. හිරු උදාවන විට ඕවරකය මත පතිතවන හිරු රැස්වලින් සූර්ය දේව ප්‍රතිමාව බබළන්නට සලස්වා තිබේ. ඒ අනුව මෙහි දී සූර්ය වන්දනාව කළ බව කිසිම සැකයක් නැත. හිරු මුදුන්වන විට අවට අයට දැන ගැනීම සඳහා ගෙඩිය ගසනු ලැබේ. අනික් ස්ථානවල ගෙඩි ද ඒ අනුව නාදවන්න ඇති බවට සිතිය හැකිය. ලංකා පුරයේ රාවණ සටන කෙරෙන අතරතුර රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් (මේඝ නාද කුමරා) විජයග්‍රහණය සඳහා රාමායණයේ යුද්ධ කාණ්ඩ 22 සර්ගයෙහි සඳහන් පරිදිත්, මෝනියර් විලියම්ස් පඬිවරයා පවසන අන්දමටත්, දේව පූජාවක් පැවැත්වීමට යන ලද්දේ ද මෙම නාලන්දා ගෙඩි ගෙට විය යුතු බවට විශ්වාස කරති. රාවණ රජතුමාගේ සීයා පුලස්ති ඍෂි මියයාමෙන් පසු ආදාහනය කළ ස්ථානය මත මෙම නාලන්දා ගෙඩි ගෙය නිර්මාණය කළ බව පැවසේ. මෙය සිව් හෙළයටම ඇවැසි ශක්තිය ලබාදුන් ස්ථානයකි. 


මෑතදී බෝවතැන්න ජලාශය ඉදිකිරීම සඳහා මෙය ඉවත් කිරීම අපේ හෙළ ඉතිහාසය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමක් සේ බොහෝ දෙනෙක් සලකති. එමෙන්ම මිහිර කුල රජ සූර්ය දේව ප්‍රතිමාව සටහන මුද්‍රණය කරන ලද “යමූෂ දේව” නම් වස්ත්‍ර වර්ගයක් ලක්දිවෙන් කාශ්මීරයට රැගෙන ගොස් ඇත. (මෝ:වි:සං:ඉං:ශ:කෝ 847 පිටුව) මෙසේ, “ශ්‍රී ලංකාවේ රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය” හි සඳහන් විය. පසුව දඹදිව මිසරය දක්වා මෙම සූර්ය වන්දනාව පමණක් නොව ඒ සමග හිරු ගමන අනුව කාලය මැනීම ද, පලස්තීනය ග්‍රීසිය දක්වා ද ඉන් ඔබ්බට ද පැතිරී ගොස් ඇත. ඒ අනුව අපේ පෑතැටිය, ගල් ඔරලෝසුව, වැලිගල අද නවීනතම ඔරලෝසුව නිර්මාණය සඳහා පාදක කරගෙන ඇති බවට සිතමි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව අංශය රජගලතැන්න පුණ්‍ය භූමිය සහ දාන ශාලා ගොඩනැගිල්ලේ කැණීම් කිරීමේ දී මෙවැනි ගල් ඔරලෝසුවක් හමුවීම, මීට සමානම ඔරලෝසුවක් අභයගිරි කැණීම්වල දී හමුවී තිබීම, වල්මීතලාවේ නියෝලිතික බිමෙන් හමුවූ තවත් සුවිශේෂී උපකරණයක් වූ ඉහත සඳහන් තිත් 19ක් සලකුණු කළ වැලිගල, ගිම්හාන කාලයේ දී පායන ඔරියෝන් තාරකා පංතිය බවට හැඳිනගෙන ඇත. මේ ගල් පුවරුව ධාන්‍ය අස්වැන්න නෙලන කාලය මැන බැලීමට භාවිත කළ බවට පැහැදිලි වීමෙන් ද ඉහත සඳහන් කරුණු මොනවට සනාථ වේ. 


විවාහයකින් තොරව සීසර් හා ක්ලියෝපැට්රා එක්වීමෙන් ලැබුණු දරුවා අවජාතක බව එරටේ සම්ප්‍රදාය අනුව පැවසීම වසන් කිරීමට උපායක් කල්පනා කරන ලදී. ඉන්පසු මහා රාජනියට පුතෙක් ලබාදීම සඳහා සූර්ය දිව්‍ය රාජයා සීසර්ගේ ආත්මයට ආවේශ වූ බවට රට පුරා පැතිරවීමට පවා අපෙන් ලොව පුරා ගිය එම සූර්ය වන්දනාව ප්‍රයෝජනයට ගෙන ඇති බවට ද සිතමි. ක්ලියෝපැට්රා.... මැරුණාද? මැරුවාද? ඒ ගැන ද ක්‍රි.පූ. 31 ග්‍රීසියේ දී මියගිය වීනස් දෙව්දුව පරදින නයිල් නදියේ අසිරිමත් රූසපුවක් අැති අභිරූපිකාවක් පිළිබඳව ලිපි ලේඛනවලින් බොහෝ තොරතුරු පැහැදිලි වේ. 


එපමණක් නොව සූර්ය වන්දනාව සමග අපේ කලා ශිල්ප ද ලොව පුරා ගියේය. වල්මීතලාවේ අතින් සෑදූ මැටි වළං ද, ලුණුගල් ගෙයි සකපෝරුවේ සාදා පිලිස්සූ වළං ද, රංචාමඩමෙන් හමු වූ පොසිලෝන් මෙන් රත්කර රක්තවර්ණ තීරුවලින් අලංකරණය කළ මැටි වළං ද පෙළ ගැස්වූ විට ශත වර්ෂ ගණනාවක් පුරා බලංගොඩ යක්හෙළ මිනිසා කළ අත්හදා බැලීම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස උසස් කලාත්මක මැටි බඳුන් කර්මාන්තයක් පිළිබිඹු වෙයි. නමුත් මේ දේශීය තාක්ෂණික දැනුම මගහැර ඊට බොහෝ පසුකාලීනව ග්‍රීසියේ නිපද වූ ඇම්පෝරා වැනි බඳුන් පිළිබඳ මෙරට පාසල්වල ඉගැන්වීම කොතෙක් දුරට විහිළුවක් දැයි සිතාගත හැක. ඊජිප්තුවේ ආරම්භ වූවා සේ සලකන බතික් කලාව ද අපට උරුම ශිල්පයක් ලෙස සලකමි. 


 රාවණ රජතුමා සූර්ය ශක්තියෙන් බොහෝ වැඩ ගත් අයෙකි. යක්හෙළ ඉංජිනේරුවන් විසින් ඊජිප්තුවේ පිරමීඩ් ඉදිකළ බවට සැලකේ. ප්‍රධාන පිරමීඩ තුන (Menkavra, Kahafre, Khufa) හා ලංකාවේ ප්‍රධාන ස්තූප තුන වූ මිරිසවැටිය, රුවන්වැලිසෑය, ජේතවනාරාම චෛත්‍යය අහසේ පිහිටි ඔරියෝන් තාරකා තුනට සමාන්තරව ඇති බව හා අනුපාතිකව ශක්ති කලාපයක් ලෙස විශ්වයේ ඉහළ සහ භූමිය මත පිහිටා ඇති බව විද්‍යාත්මකව සැලකේ. පිරමීඩවල හා ස්ථූපවල ත්‍රිකෝණය එකමය. ස්තූපවල දේහයන් දවාලූ ධාතූන් හා පිරමීඩවල දේහයන් ද තැන්පත් කර ඇත. 


මේවා නිර්මාණයට ටොන් 2 - 3 බරැති ගල් කුට්ටි උඩට ගෙන ඇත්තේ සූර්ය ශක්තියෙනි. සීගිරිය නිර්මාණය, ලෝවාමහාපායේ ගල් කණු සිටුවීම ආදිය සිදුවී ඇත්තේ ද එසේ විය හැක. “රාජ තරංගනී” නමැති කාෂ්මීර රාජ වංශ කතාව ප්‍රකාශ කරන්නේ ද පිරමීඩ ඉදිකළේ යක් හෙළයන් බවය. රාවණ රජතුමා සූර්ය ලිත (ශිවා ලිත) භාවිතා කළ මහා විද්‍යාඥයෙකි. එම ලිත අද දක්වා ඌවේ ජ්‍යොතිර්වේදීන් භාවිත කරනු ලබයි. පසුකාලීනව මායාවරුන්ගේ දින දසුන විස්සෙන් විස්සට ගණිතය මායා ගණන් හෝඩිය පවා සූර්ය යුගයන් වශයෙන් ද බෙදේ. එපමණක් නොව අහමෙන් තොප් රජු විසින් හිරු දෙවියන් පමණක් මිසර වැසියා ඇදහිය යුතු බවට ප්‍රකාශ කර ද ඇත. “රා” යනු රාවණද, බැස්ටෙට් දෙවඟන යනු “රා” ගේ දියණියයි. “රා” යනු ඔවුන්ගේ ඇදහීම අනුව ද සූර්ය ශක්තියයි. 


“ආදි අපේ මුතු මිත්තෝ 
ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ” 


තව දශක දෙකක දී පමණ ලොව ද්‍රව්‍ය පදාර්ථ අවසන් වී පොසිල ඉන්දන යුගය අවසන් වේ. එවිට සූර්ය ශක්තිය තුළින් පමණක් අවශ්‍යතා නිපදවා ගැනීමට නැවත රාවණ යුගයට යෑමට මිනිසාට සිදුවන්නේය. එවිට පරිසරයට ද හානියක් නොවී හරිත ලොවක් ද නැවත ඇති වේ. සූර්ය ශක්තිය තුළින් එය කළ හැකි දැයි බටහිර විද්‍යාඥයින් අසනු ඇති. ශක්ති විද්‍යාව දන්නා වූ අදටත් ශේෂ වී සිටින රාවණ පරපුරේ අතළොස්සක් යක් හෙළයන් වන ඔවුන්ට එය හැකිවනු ඇත. එසේ කිවහොත් බොහෝ දෙනා සිනාසෙනු නොඅනුමානය. අද එය සිනාසුණ ද තව දශක කීපයකින් එසේ වන්නට පුළුවන. 


ඔවුන් කළ ලොව මවිත කරන විශ්වකර්ම නිර්මාණ නොමැති නම් අද ශ්‍රී ලංකාවේ සංස්කෘතියක් කියා පෙන්වීමට දෙයක් නොමැති තරම්ය. ඒ අනුව නවකම් දන්නා නවන්දන්නාට මෙය අරුමයක්ද? සූර්ය ශක්තියෙන් තෙල්, පොහොර නැතිව කෘෂිකර්මය කරන උකුවෙල තිලක කන්දෙගම මහතා හා ඉතිරි විදුලි බලය සූර්ය ශක්තියෙන් පිරවීමට නිපයුමක් මගින් බලාපොරොත්තු වන යක්හෙළ පරපුරේ ජලයෙන් විදුලි පහන් දැල්වූ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර තුමාගේ හතර වැනි පරපුර හොබවන “ෆ්ලෙක්ස් පෝර්ට්” ආයතනය හිමි ආචාර්ය නන්දදාස නාරායන ඉංජිනේරුතුමා එවන් දෙදෙනක් පමණි. 


මෙවැනි අය තවත් විවිධ ක්‍ෂේත්‍රවල ඇති දැයි විමසිලිමත්ව සොයා බැලුවොත් දැන ගැනීමට පුළුවන. මේ අනුව සියලුම යක් හෙළයන් නැවත එකට එකතු වන දිනය ඈතක නොවනු ඇතැයි ද කියා සිතමි. “ශ්‍රී ලංකාවේ යක්හෙළ පරපුර හා අපේ ඓතිහාසික උරුමය” 2011 මුද්‍රිත පළමු කෘතියෙන් හා 2015 මුද්‍රිත දෙවන කෘතියෙන් නැවත සූර්ය ශක්තිය නිපදවා එමඟින් අවශ්‍යතා සපුරා ගැනීම ගැන අවධානය යොමු කළෙමි. ඒ අනුව 2016 දෙසැම්බර් මාසයේ සිට දිවයිනේ මේ වන විට සූර්ය බලශක්ති සංග්‍රාමයක් ආරම්භ කිරීම හා 2018.03.11 ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවක් පැවැත්වීම ගැනත් සතුටට පත්වෙමි. 

 

මුන්නේෂ්වරන් කෝවිල

 


මෙසේ අපේ යටගියාව හෙළි කරන, ලොවට ගිය අපේ උරුමය මතුකරන සූර්ය වන්දනාව ජාතියේ පැවැත්ම, හැඩගැස්ම, ජාතික එකමුතු කිරීම, වේලාවට වැඩ කිරීම, එස් 5 ක්‍රමය මුලින් ම හඳුන්වා දීම, කළගුණ සැලකීම වැනි ගුණදම් රාශියක් ද මේ තුළින් පුරුදු පුහුණු කරන ලදී. මුළු රටම එකතුවී ළිප ගිනි මෙළවීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම ආදිය සියලුම දෙනා එකම වේලාවට කරන මෙම සිංහල අලුත් අවුරුදු වැනි පැරණි උළෙලක් ලෝකයේ කිසිම තැනක නොමැත. මෙය ආරම්භ කිරීමේ පමණක් නොව අපව විවිධ කර්මාන්තයන් කර, ගොවිතැන් කරමින් නිර්මාංශ භක්ෂිකව ජීවත්වීමට පුරුදු පුහුණු කර ලොව පළමු ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් කිරීමේ ජාතියේ ගෞරවය “මංජු ශ්‍රී” නමින් මතු බුදුවන ඒ ශ්‍රේෂ්ඨ මහා රාවණ රජතුමාට හිමි වේ. 


එදා ලංකාවට ඉන්දියාවේ මැඩගස්කරය දක්වා අයත්ව තිබුණි. එමෙන්ම මානවයා මෙම මැඩගස්කරයෙන් එනම් ලංකාවේ ඇති වී ලොව පුරා ගිය බවට සලකමි. ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ සමග රාවණ රජතුමාට රටවල් දහයක් යටත්ව තිබී ඇත. ඒ නිසා එතුමා දසිස් රාවණ නම් විය. එම ප්‍රදේශවල එතුමාගේ පරපුරේ යක් හෙළයන් ද පදිංචි වී සිටි බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ සමග හිරු වන්දනාව ද ඉන්දියාව පුරාවට ද පැතිර ගියේය. 


රාවණ රජතුමාගේ නැඟණිය වූ සුපර්ණිකා කුමරිය පාලනය කළ දණ්ඩකරණයෙහි ශාඛ පමණක් බුදින යක්හෙළ ජනතාවක් විසූ බව රාමායණයෙහි පවා සඳහන් ය. මෙම දණ්ඩකරණයට රාම බලෙන් ඇතුළු වී සතුන් මැරීම හා සුපර්ණිකාවට හිරිහැර කිරීම, රාම රාවණ යුද්ධයකට පවා හේතු විය. මෙම රාවණ යුගයේ දී මුහුදු ගැලීමකින් මෙම දණ්ඩකරණය මුහුදුබත් වූවා පමණක් නොව ලංකාපුරය කොටසක් ද මුහුදුබත් වී ලංකාව ද ඉන්දියාවෙන් වෙන් විය. මේ බව රාජාවලිය හා සද්ධර්මාලංකාරයේ ද සඳහන් වේ. 
ඉන්දියාවේ රාමේශ්වරම් සිට ලංකාවේ තලෙයිමන්නාරම දක්වා ස්වභාවික පාලමක් බඳු මුහුදු නොගැඹුරු ප්‍රදේශය භූගෝලීය වශයෙන් ද ඊට සාක්ෂි දරයි. ලංකාවට අයත් වූ ඉන්දියාවේ කොටස්වල සිටි යක්හෙළයෝ අදටත් එහි සිටිති. කාලයක් ගතවීමෙන් භාෂාවන් හා සිරිත් විරිත් වෙනස් වුවත් ලේවල නම් වෙනසක් නැත. බොහෝ දෙනෙක් වරින් වර ආපසු පැමිණි අතර, රජවරු විසින් ද ගෙන්වාගෙන ද ඇත. ඉන්දියාවේ දණ්ඩක වනයේ අගනුවර වූ ධනස්ථානය (දනව්ව) 2002 දී මුහුදු පත්ලේ තිබී සොයාගත් අතර, අවුරුදු 5000 ට වඩා කාලය නිර්ණය වීමෙන් රාවණ රජතුමා සිටි කාලය ද එතුමා බුදුබව පැතීමට වරම් ලැබූ බව පවසන කාශ්‍යප බුදුන්ගේ කාලය දක්වා දිව යයි. 


මෙම සූර්යා මුල් තැනෙහිලා සැලකීමේ ඉතිහාසය බුද්ධෝත්පත්තියට එහා දිව යන්නක් බව ඉහත ලිපියෙන් ද පිළිගෙන ඇත. මීට බොහෝ කාලයකට පසුව එනම් ක්‍රි.පූ. 1500 දී ආර්යන් ඉන්දියාවට පැමිණ ඇති බවට පිළිගැනීම. සමහරවිට එහිදී ඔවුන් ද සූර්ය වන්දනාවට පෙළඹෙන්නට ඇත. පසුකාලීනව විජය සමග ඔවුන් ලංකාවට සංක්‍රමණය වීමෙන් පසුව ද යක්හෙළයන් සමග එය ඇදහුවා විය හැක. 


බුදු සමය පැමිණීමට පෙර ලාංකීය සංස්කෘතියේ ප්‍රබල ලෙස හින්දු බලපෑමට ලක්ව පැවති බවත්, එමෙන්ම “මහා වංශයට අනුව පණ්ඩුකාභය රාජ්‍යත්වය පතා කළ සටනේ දී වළවාමුඛී ඔහුට උපකාර කළ බැවින් රජ උයන තුළ වාසයට සකස් කර වසරක් පාසා පූජාවන් දුන් බව” ද ඉදිරිපත් කරමින් පත්තිනි ඇදහීම ද එසේ හින්දුන්ගෙන් පැමිණියක් බව සනාථ කිරීමට සමහරු උත්සාහ කරති. විජය මෙහි පැමිණීමට පෙර ලංකාවට කිසිම විදේශිකයෙක් පය ගසා නැත. ඒ වනවිට මෙහි රජ කළේ දුටුගැමුණු රජතුමාගේ මුත්තා වන කම්මල්කරුවෙකු වූ යක්හෙළ පරපුරේ මහාකාලසේන රජතුමාය. 


ඒ වන තෙක් කිසිදු හින්දු බලපෑමක් වුණේ නැත. චිත්‍රරාජ, කාලවේල, වළවාමුඛී යන අය පණ්ඩුකාභය රජතුමාගේ පිය පාර්ශ්වයේ යක්හෙළයන් වන අය වෙති. මොවුන් තම වර්ගයා දිනවීමට කළ උපකාර නිසා රජ උයන තුළ පදිංචි කළා විනා ඔවුහු හින්දූන්වත්, හින්දුන් අනුගමනය කරන්නන්වත් නොවන නියම යක්හෙළයන් වෙති. බුදුන් වහන්සේගේ පරිනිර්වාරණයේ දී ලංකාවට ගොඩ බසින විජය ඇතුළු පිරිස ආරක්ෂා කිරීමට උන්වහන්සේ ශක්‍ර දිව්‍ය රාජයාට එය පවරන ලද බව ඉහත තොරතුරු සඳහන් කරන මහාවංශය කතුවරයාම පවසයි. නමුත් පරිනිර්වාණ මංචකයේ විස්තර සඳහන් මහා පරිනිබ්බාන සූත්‍රයේ හෝ එවැන්නක් සඳහන් කර නොමැත. ඇරත් මීට ඉහත බුදුහිමියන් සරණ ගිය ලක්වැසි ජනතාව විනාශ කිරීමට දූෂිත විජයට පමණක් සව්ලෝ සතුන්ට ද කරුණාව දක්වන බුදුන් වහන්සේ ආරක්ෂාව හා අනුමැතිය ලබාදෙයි ද? 


විජය බුදුන්වහන්සේගේ ඥාතියෙකු ලෙස හා රාවණ රජතුමා මෙන්ම කුවේණිය මිනී මස් කන බවට හුවා දැක්වීමටත් කටයුතු කර ඇත. නිර්මාංශ භක්ෂික හා මතු බුදු බව පතන රාවණ රජතුමා මිනී මස් කයිද? රාමට එකට එක කිරීමක් වශයෙන් සීතා දේවිය පැහැරගෙන ආවා විනා එසේ නම් සීතාව මරාගෙන කන්න තිබුණි. කුවේණියට ද විජය අත්හැර නොගොස් ඔහුට හොඳ පාඩමක් නූගන්වන්නේද? 


මෙසේ පසුකාලීනව මෙරට ඉතිහාසය ලිවීමට උත්සුක වූ මහානාම හිමියන් ඉන්දියානු ආභාෂය ලැබූ යතිවරයෙකි. එය ද යක් හෙළයන්ගේ සැබෑ ඉතිහාසය යටපත් කිරීම කෙරෙහි බලපා ඇත. බුද්ධ වංශ කතාව කීමට ඇති වූ මහා වංශයෙහි අඛණ්ඩ රාජ වංශයක පූර්ණ තොරතුරු සිංහලයාට තිබුණත් එසේ වෘතාන්ත ස්වරූපයෙන් ලියවී ඇති නිසා මේ තුළින් ඉතිහාස තොරතුරු මතුකර ගැනීම පරෙස්සමෙන් කළ යුතුය. 

 

 


එම්.ඒ. කරුණාරත්න 
ගිරාතලාන දකුණ - හෙට්ටිපොළ