හිමෙන් පිරුණු හිමාලයේ තණකොළ ලියලලා


 

ගෝලීය උණුසුම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස ශාක විශේෂ ගණනාවක් එවරස්ට් කඳු කලාපය ඇතුළු හිමාල කඳුවැටිය ආක්‍රමණය කරමින් පවතින බව ගවේෂණයකින් හෙළි වී තිබේ. මීට පෙර කිසිදු ශාකයක් දක්නට නොතිබූ ප්‍රදේශ ගණනාවක මේ වනවිට විවිධ ආකාරයේ ලයිකන, පාසි වර්ග සහ මල් සහිත කුඩා පැළෑටි වර්ධනය වී ඇතැයි නාසා ආයතනයේ ලෑන්ඩ්සැටි නමැති චන්ද්‍රිකාවෙන් ලබාගත් ඡායාරූපවලින් පැහැදිලි වී ඇත. 


1993 වර්ෂයේ සිට 2018 දක්වා ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යයනය කිරීමෙන් පසු පර් යේෂකයන් මේ නිගමනයට එළැඹ ඇත. 
ග්ලෝබල් චේන්ජ් බයලොජි සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇති මෙම පර් යේෂණ වාර්තාවේ සඳහන් කර ඇත්තේ හිමාල කඳුවැටියේ පොළොව ආවරණය කරමින් වැඩෙන මෙම ශාක වර්ධනය වීමේ වැඩිම ප්‍රවණතාව ඇත්තේ මීටර 5000-5500ත් අතර උසැති ප්‍රදේශයේ බවයි. 


උස් භූමිවල පවතින සමතල ප්‍රාදේශයන්හි ශාකවල වේගවත් ව්‍යාප්තියක් දක්නට ලැබෙන අතර බෑවුම් සහිත ප්‍රපාතාකාර ප්‍රදේශවල ද ශාක පැතිරීම ආරම්භ වී තිබෙන බව එක්සෙටර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය කැරන් ඇන්ඩර්සන් පවසයි. 


මෙම පර්යේෂණය සඳහා ලෑන්ඩ්සැට් චන්ද්‍රිකාවේ ඡායාරූප යොදා ගනිමින් හිමාලයේ හින්දු කුෂ් සිට නැගෙනහිරින් මියන්මාරය සහ බටහිරින් ඇෆ්ගනිස්ථානය දක්වා ප්‍රදේශයක් ගවේෂණය කර තිබේ. අදින් වසර ගණනාවකට පෙර පිරිසිදු අයිස්වලින් වැසී තිබූ ඇතැම් ස්ථාන දැන් මල් පිපී ඇති ස්ථාන බවට පත්ව ඇතැයි ඔවුහු පෙන්වාදෙති. 


පර් යේෂකයන් පවසන්නේ මෙලෙස එවරස්ට් කලාපයේ උස්භූමිවල ශාක ව්‍යාප්තිය වැඩිවී ඇත්තේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස බවයි. මෙලෙස දැනට පවතින ස්වභාවික පරිසරය වෙනස්වීම ස්වභාවික විපත්වල වැඩි වීමකට ද හේතුවිය හැකි බව පරිසරවේදීහු අනතුරු අඟවති. 

 


සජීව විජේවීර