හිම දියවෙයි: ලෝකය උණුසුම් වෙයි


ලෝකෙන් ටිකක්

 

ගතවූ වසර පහක කාලය තුළ වැඩිම උෂ්ණත්වය වාර්තා වී තිබෙන්නේ 2019 වසරේදී බව එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවේදී ප්‍රකාශ කෙරිණි. පසුගිය අවුරුදු හතර යනු ලෝකයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් පැවති කාලයකි.   

1990 සිට ආක්ටික් කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක තුනකින් වැඩිවී ඇත. ලෝකයේ සාගර මට්ටම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ගොඩබිම් යටවීමේ අවදානමට මුහුණ දී සිටී. සාගරවල තිබෙන වැදගත් පරිසර පද්ධතියක් වන කොරල් පර මියැදෙමින් පවතී. ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය දැනටමත් මියගොස් හමාරය. උෂ්ණත්වය වැඩිවීම හා වායු දූෂණය නිසා මෙම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මිනිසාගේ සෞඛ්‍යයටත්, ආහාර සුරක්ෂිතතාව කෙරෙහිත් සෘජුවම බලපායි.   


එම සංවිධානයේ ලේකම් ජනරාල් අන්තෝනියෝ ගුටෙරස් පසුගිය සඳුදා පැවති ලෝක දේශගුණ සමුළුවේදී රටවලින් සිදුකරන හරිතාගාර වායු විමෝචන තවදුරටත් අඩු කළ යුතු බව පැවසීය. 


1850 ජූලි මාසයෙන් පසු වැඩිම උෂ්ණත්වය මෙම වසරේ ජූලි මාසයේ වාර්තා විය. එය 1850න් පසු ලෝක ඉතිහාසයේ වාර්තා වූ උණුසුම වැඩිම මාසය ජූනි මාසයයි. පසුගිය මාස කිහිපය තුළ ආක්ටික් කලාපයේ මෙන්ම ඇන්ටාක්ටික් කලාපයේ අයිස් වැස්ම නොසෑහෙන ලෙස දියවී ගියේය. 


මිනිසා විසින් කාබන් ඩයොක්සයිඩ් හා අනෙකුත් හරිතාගාර වායු නිකුත් කිරීම දිගුකාලීනව ලෝකය උණුසුම් වීම කෙරෙහි බලපා ඇති අතර පෘථිවි දේශගුණයේ කෙටිකාලීන වෙනස්වීම්වල එල්නිනෝ හා ලා නිනා වැනි පාරිසරික සංසිද්ධි බලපායි. 


ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් සකසා තිබෙන වාර්තාවකට අනුව 2015 සිට 2019 දක්වා වසර හතරක කාලය ලෝක ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ කාල පරාසය ලෙස හැඳින්වේ. 2011-2015 අතර පැවති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 0.2 ඉහළ යාමක් මෙම වසර හතර තුළ පෙන්නුම් කරයි. 


2018 දී ලෝක කාබන් ඩයොක්සයිඩ් මිලියනයකට කොටස් 407.8ක් වාර්තා වී තිබුණේ 2017ට වඩා මිලියනයකට කොටස් 2.2ක වැඩිවීමක් පෙන්නුම් කරමිනි. මේ වසර වෙන විට එම අගය මිලියනයකට කොටස් 410 ක් හෝ ඊට වැඩි වෙන බවට අනතුරු ඇඟවේ. 


නාසා හි කාලගුණ විද්‍යාඥවරියක වන සින්තියා රොසෙන්වීග් විසින් එක්සත් ජාතීන්ගේ සැසිවාරයකදී ඉදිරිපත් කරන ලද ඉහත තොරතුරු අඩංගු වාර්තාවට අනුව මීට පෙර වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මිලියනයකට කොටස් 400 ක් අඩංගු වූ අවසාන අවස්ථාව නම් මීට වසර මිලියන 3 - 5 කට පෙර අවධියයි. එකල උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය යන ස්ථාන දෙකෙහිම අයිස් වැස්ම දියවෙමින් පැවති අතර මුහුදු මට්ටමද මිටර් 10 - 20 දක්වා ඉහළ නැග තිබිණි. 


2015 පැරිස් සමුළුවේදී ලෝකයේ රටවල් වාර්ෂිකව සෙල්සියස් අංශක දෙකකින් හෝ සෙල්සියස් අංශක එකයි දශම පහකින් පමණ උෂ්ණත්වය අඩු කිරීමට උපකාර වන පරිදි එම රටවල කාබන් නිකුත් කිරීම් සීමා කිරීමට ජාතික වශයෙන් සීමා පනවා ගන්නා ලදී. ඒ හැම රටක්ම තමා පනවා ගන්නා ලද සීමාවලට පැමිණියද ගෝලීය උෂ්ණත්වය අඩු කරගැනීමට නොහැකි බව කියැවේ. 


ලෝකය උණුසුම් වෙතැයි ගණන් බලා තිබූ වකවානුවට පෙර ලෝකය උණුසුම් වීම වේගවත් වී ඇති බැවින්, එය නැවැත්වීමට නම්, පොසිල ඉන්ධන දහනය නැවැත්විය යුතු බව කාලගුණය පිළිබඳ විශේෂඥයෝ කියති. 2018 වසරේදී අපේක්ෂා කර තිබුණේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය පහළ බැසීම වුවත්, එය අංශක දෙකකින් වැඩිවී තිබුණේ ටොන් බිලියන 37ක් වාර්තා කරමිනි.

 


අන්තර්ජාලය ඇසුරිනි 
නිසංසලා දිසානායක