හිතු මනාපයට වින ආපිට කැපීම ඉතා භයානකයි


අහසේ ගොසින් තරු යට සැඟ වුණත් වරෙන්   
පොළොවේ ගොසින් පස් යට සැඟ වුණත් වරෙන්   
මුහුදේ ගොසින් දිය යට සැඟ වුණත් වරෙන්   
වින කළ යකා කොතැනක සැඟ වුණත් වරෙන්   


අෂ්ට කර්මයට අයත් මහා මන්ත්‍ර විද්‍යාව හෙවත් ගුප්ත ශාස්ත්‍රයේ වින කැපීම හෙවත් ආපිට කැපීම මරු නග්ගා කැපීම පෙරළා කැපීම යනුවෙන් සඳහන් වන්නේ ජීවිතයත් මරණයත් අතර අතිභයානක සටනක් වැනිය. මෙහි විශේෂත්වය වනුයේ පියවි ඇසට නොපෙනි යක්ෂ යක්ෂණියන් විසින් ජීවිත බිල්ලක් ගැනීමය. එය කොයි මොහොතක කොතනදී ද යනුවෙන් නිශ්චිත තීරණයකට එළඹිය නොහැක.   


කොඩිවිනයක් යනු යමෙකු හෝ සිය පවුලම විනාශ කළ හැකි මාරණ කර්මයට අයත් වින බන්ධනයක් වශයෙන් ද හඳුන්වනු ලබයි. එයට අමතරව විවිධ ලෙඩ රෝග, ගේදොර ඉඩකඩම් භූමි පාළු, විවාහය අවුල් සහගතවී විවාහය ප්‍රමාදවීම්, රැකීරක්ෂා අහිමිවීම යන ආදී විවිධ අසුභවාදී ප්‍රශ්න ගැටලුවලට මුහුණදීමට සිදුවෙනු ඇත.   
තුන් දොස් බන්ධනය යනුවෙන් හැඳින්වෙන්නේ ශරීරගත ලෙඩ රෝග සුවපත් නොවීම පිණිස කරනු ලබන මාරණ කර්මයට වැටෙන ගුරුකම් ක්‍රමවේදයකි. එහිදී විෂ බැඳීම් ශරීරගත වස විෂ දීම මෙන්ම වණ තුවාල පිළිකා ආදී රෝග හා කාන්තාවන්ගේ ගර්භ හිර කර දරු සම්පත් අහිමි කිරීම මෙන්ම දරුණු ලෙස කිලිමාලය හැදීමෙන් නොනවතින ලේ වහනය වීමෙන් මුළු ශරීරයම කෘෂ වී මරණය පවා සිදුවෙනු ඇත. මදන හා කළුකුමාර යක්ෂ බන්ධනයේදී සිහිනුවණ විකල් වී උන්මාදගති පැවතුම් ජීවිත කාලයටම බලපානු ඇත.   
සිත්පිත් නැති සාහසික අසත්පුරුෂයින් අතින් අදටත් කෙරෙන විනබන්ධන කරනු ඇත. අසල්වැසියාගේ දියුණුව, සතුට විඳ දරා ගැනීමට නොහැකි යම් යම් අසත්පුරුෂයන් මෙවැනි මාරණ කර්මයට අයත් ඉරි පැන්නුම්, වැල් පැන්නුම්, නාම රූප කටු ගැසීම් හා පරම්පරාගත බලගතු භූමි පාළු විවිධ අයුරින් රහසිගතව කරනු ඇත.   


එයට අමතරව කාම බන්ධන වශයෙන් සැලකෙන ඉනා බේත් සහ පැණි රස කෑම වර්ගවලට ලේ හෝ දහඩිය මිශ්‍ර කර බලගතු මදන යක්ෂ දිෂ්ටි මන්ත්‍ර ජීවම්බල යොදාගෙන ඔහුට හෝ ඇයට කඳට කයට දීමෙන් සොයාගත නොහැකි රෝග පීඩාවලට ලක්වීමෙන් අනන්ත දුක්වේදනා විඳ අකාලයේ ජීවිතයෙන් සදහටම සමුගැනීමට සිදුවෙනු ඇත.   
මෙවැනි අවස්ථාවන්හි ගුප්ත ශාස්ත්‍රයේ ඇති පරතෙරක් නොමැති කැපුම් මන්ත්‍ර වේද ක්‍රමයන් අතරේ රිරී තීන්දුව, මහසොහොන් තීන්දුව, ජල තීන්දුව, නීච කුල තීන්දුව, කඩවර පෙරළුම, සැවුලා තීන්දුව හා යමකාල ගුරුකම් ඇතුළු නානාවිධ ප්‍රභේදයන්ගෙන් සමන්විත වූ තීන්දු බොහෝ සංඛ්‍යාවක් ඇත. නමුත් එයින් එක තීන්දුවක් හෝ දෙකක් තෝරාගෙන යම කාලයෙන් මරු නග්ගා ආපිට කැපීමෙන් සතුරන්ට නියමිත දඬුවම් ලැබෙනු ඇත. ආතුර ඔබට සහනය සැලසේ. 

 
විශේෂයෙන් කොඩිවිනයක් ආපිට කැපීමට​ පෙර තමාට හෝ තම පවුලේ අයට නිවසට, ඉඩකඩම් භූමිවලට විනයක් ඇද්ද නැද්ද යන්න බවත් එය කුමන වර්ගයට අයත් විනයක්ද කියා හරි හැටි අවබෝධ කරගෙන මිස හිතුමනාපයට වින ආපිට කැපීමෙන් භයානක ලෙස තමාටත් තම පවුලේ අයටත් අවැඩක් සිදුවිය හැකිය. කෙසේ නමුදු යමෙකුට යම් අපරාධයක් කරන්නේ නම් එම අයට එලොවත් මෙලොවත් දෙකේදීම එහි කර්ම විපාකය අත්විඳීමට සිදුවෙනු ඇත. බුදු දහමේ සත්‍යතාවද එය වේ.   

 

 


ගුප්ත විද්‍යාවේදී,   
ජේ.එම්. ජයන්ත ඒකනායක   
සියපත කාර්යාලය   
දංගස්පිටිය, වීරඹුගෙදර, කුරුණෑගල