හිට්ලර්ගේ නිවෙස පොලිස් සේවයට


 

 

නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් උපන් ඔස්ට්‍රියාවේ නිවස එරට පොලිසියේ භාවිතය පිණිස වෙන් කරන්නට යන පුවතක් වාර්තා වේ.   


ඉපදී සති කිහිපයක් ගත වෙන තුරු බිලිඳු හිට්ලර් මෙහි කාලය ගත කර ඇති අතර මෙය 17 වැනි සියවසට අයත් ගොඩනැගිල්ලකි. කෙසේ වෙතත්, මෙම ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව අර්බුද රැසක් ඇතිව තිබේ. දශක ගණනාවක් මුළුල්ලේ මෙම ගොඩනැගිල්ල එහි හිමිකරුගෙන් කුලියට ගෙන තිබුණේ ඔස්ට්‍රියානු රජයයි.   


කාලයක් මෙය ආබාධිත පුද්ගලයන්ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් වශයෙන් පැවැති අතර ආබාධිත පුද්ගලයන්ට ගැළැපෙන ලෙස ගොඩනැගිල්ලේ වෙනස්කම් කිහිපයක් කරන්නට ගිය අවස්ථාවේ හිමිකරු එයට විරුද්ධ වූ අතර ඉන් පසු රජය විසින් එය මිලදී ගැනීමට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට කළ සියලුම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.   
2014 දී මෙය සරණාගත මධ්‍යස්ථානයක් බවට පත් කරන්නට ගිය සැලැසුම ද ව්‍යර්ථ විය. 

 
ඉන්පසු 2016 දී ඔස්ට්‍රියානු රජය රුපියල් කෝටි 16කට අධික මුදලක් ගෙවා බලයෙන් මෙන් මෙම ගොඩනැගිල්ල මිලට ගන්නා ලදී. රජයට අයත් වූ පසුවත් එයට කුමක් කළ යුතු ද කුමක් සඳහා යොදාගත යුතු ද යන්න ගැන වාද විවාද රැසක් තිබිණි. මෙය කඩා දැමිය යුතු බවට එක් පිරිසක් කියද්දී තවත් කොටසකගේ අදහස වූයේ මෙය පින් තකා කෙරෙන වැඩවලට යොදාගත යුතු බවයි.   


ඔස්ට්‍රියානු රජයේ අභ්‍යන්තර කටයුතු ඇමැති මෙය පොලිස් ස්ථානයක් වශයෙන් භාවිත කරන බව පසුගියදා ප්‍රකාශ කළේය. එය ප්‍රතිසංස්කරණය සඳහා ගෘහ නිර්මාණ ශිල්පියා තෝරා ගැනීම සඳහා තරගයක් පැවැත්වීමට ද නියමිතය.   

 


අන්තර්ජාලය ඇසුරිනි.   
නිසංසලා දිසානායක