හෑෂ් මත්ද්‍රව්‍ය හැදූ නාරිගම ව්‍යාපාරිකයා


හෑෂ් යැයි පවසමින් ව්‍යාජ ලෙස නිපද වූ මත්ද්‍රව්‍යයක් විදේශිකයන්ට අළෙවි කරන ජාවාරම්කාර කෝටිපති ව්‍යාපාරිකයකු පිළිබඳව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට දැනගන්නට ලැබිණ. ඒ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතා වෙත විදේශිකයෙකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුවය. 


එම පැමිණිල්ල අනුව සැකකරු හික්කඩුව නාරිගම ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක විදේශිකයන් වෙනුවෙන් නිවාඩු නිකේතනයක් පවත්වාගෙන යන්නෙකි. ඔහු පදිංචිව සිටින්නේද එම නිවාඩු නිකේතනයේ බිම් මහලේය. සැකකරුගේ උපදෙස් මත එහි නවාතැන් ගන්නා විදේශිකයන්ට හෑෂ් හා කේරළ ගංජා සැපයීමට සේවකයකු යොදවා ඇත. ලද තොරතුරු අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සැලැසුමක් සකස් කළේය. 
හේමාල් මහතා වැටලීම සඳහා ව්‍යාපාරිකයා කොටුකර ගැනීමට තිදෙනෙකු නම් කරනු ලැබිණ. ඒ පොලිස් සැරයන් 39546 වික්‍රමරත්න හා කොස්තාපල්වරුන් වන 427 ජයලාල්, 39706 සිල්වාය. ඔවුන් නාරිගම වෙරළ තීරයට ගියේ විනෝදය පිණිස ඇවිදින්නට යන තිදෙනෙකු සේය. එහිදී ඔවුහු විදේශිකයෙකු මිතුරු කරගත්හ. තමන්ට අවශ්‍ය රාජකාරිය කර ගැනීම සඳහා මේ විදේශිකයා යොදාගන්නට ඔවුහු සමත් වූහ. 
අපේ කතාවට තේමා වූ නිවාඩු නිකේතනයේ හිමිකරු සොයා ගිය වෙස්වළාගත් කොස්තාපල්වරයා තමන් විදේශිකයන්ට මග පෙන්වන්නකු ලෙස හඳුන්වා දුන්නේය. තමන් සමග සිටිනා විදේශිකයාට කේ.ජී. අවශ්‍ය බව පැවසා ඒවා සැපයීමටත් ව්‍යාපාරිකයා එකඟ කරගත්තේය. ඒ අනුව පසුදින නවාතැන් ගැනීමට විදේශිකයෙක් පැමිණියේය. අපි මේ ව්‍යාපාරිකයාට නාමල් යැයි පවසමු. 


විදේශිකයා නාමල්ට තම අවශ්‍යතාව සෘජුවම කියා සිටියේය. නාමල් ඔහුට අවශ්‍ය හැම දෙයක්ම සැපයීමට හැකි බව පෙන්වා දුන්නේය. 


 “මේකයි බොස් මම ආවේ ටික දවසක් ටිකක් විනෝද වෙලා යන්න. අපිට කේ.ජී. ටිකක් හොයාගන්න පුළුවන්වෙයිද? මට ගයිඩ් කිව්වා මෙතන ඒ පහසුකම් තියෙනවා කියලා.” විදේශිකයා වට පිට බලා හෙමින් සැරේ විමසීය. 


“මම වැඩේ කරලා දෙන්නම්.” 


ඒ අනුව විදේශිකයාට නාරිගම වෙරළාසන්නයේ පිහිටි නාමල්ට අයත් සිව්මහල් නිවාඩු නිකේතනයේ නවාතැන් ලැබිණ. එහිදී ඔහු තවත් අවසරයක් නාමල්ගෙන් ලබාගත්තේය. ඒ තමන්ගේ සිංහල මිතුරකු ලංකාවේ සිටින අතර ඔහු කොයි මොහොතක හෝ ගෙන්වා සිය නවාතැනට ගැනීමට බලාපොරොත්තු වන බැවින් එයට ඉඩ ලබාදෙන ලෙසය. නාමල්ගෙන් එයට කිසිදු බාධායක් එල්ල නොවීය. විදේශිකයෙක් තමන්ගේ නිවාඩු නිකේතනයකට ගෙන්වා ගැනීම පහසු කාර්යයක් නොවේ. ඒ නිසා නිවාඩු නිකේතන සංචාරක හෝටල් පවත්වාගෙන යන්නෙක් විදේශිකයන්ට අනවශ්‍ය පරිදි නීති රීති පනවන්නට යන්නේ නැත. නාමල්ද මේ ක්‍රමයම අනුගමනය කරන්නෙකි. 


“ෂුවර්! අවශ්‍ය වෙලාවක ගෙන්වා ගන්න. අපෙන් බාධාවක් නැහැ.” 


විදේශිකයා නවාතැන් ගත් දින රාත්‍රියේ ඔහුට කේ.ජී. නොහොත් කේරළ ගංජා ලැබිණ. ඔහු හමුවට පැමිණි තරුණයෙක් අවශ්‍ය නම් හෑෂ් ලබාදෙන්නත් හැකි බව කියා සිටියේ තරමක් හිතවත් වූ පසුවය. 
“අද එපා. මගේ යාළුවා එනවා හෙට. එතකොට අපි දෙන්නටම එක පාර ගන්න පුළුවන්නේ. අපි හෙට ගෙන්න ගමු.” 


ගැටලුවක් නැහැ. ඕන වෙලාවක දෙන්න පුලුවන්. සර් කැමති නම් අදත් ගෙන්නලා දෙන්නම්. 


එහෙත් විදේශිකයා එය ප්‍රතික්ෂේප කළේය. පසුදින ඔහුගේ මිතුරා එහි පැමිණියේය. එදින රාත්‍රියේ අමුත්තන්ට සේවා සපයන තරුණයෙකු ලෙස කටයුතු කළ තරුණයාට කතා කළ විදේශිකයා පෙර දින කතා කරගත් පරිදි හෑෂ් ග්‍රෑම් එකක් ගෙනත් දෙන්නැයි ඉල්ලා සිටියේය. හෑෂ් ලැබිණ. ග්‍රෑම් එකක් රුපියල් පන්දාහකි. විදේශිකයා අදාළ මුදල තරුණයාට ලබාදුන්නේය. හෑෂ් ගෙනත් දුන් තරුණයාගෙන් විදේශිකයා තවත් කාරණාවක් විමසා සිටියේය. ඒ නාමල් මහත්තයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසය. 


“මේ මගේ යාළුවාට නාමල් මහත්තයාව හඳුනාගන්න ඕනලු. පොඩි ගනුදෙනුවක් කතා කරගන්න.” 


“මහත්තයා ඔෆිස් කාමරයේ ඉන්නවා.” 


“හොඳයි අපි ගිහින් හමුවෙන්නම්.” 


ඒ සමගම විදේශිකයාගේ මිතුරා කාටදෝ දුරකතන ඇමතුමක් ලබාගෙන “වැඩේ හරි” යැයි පැවසීය. මේ මිතුරා අන්කවරෙකුවත් නොව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහුගෙන් ලද සංඥාව අනුව නිවාඩු නිකේතනය ආසන්නයේ වෑන් රථයකට වී බලා සිටි අනෙකුත් නිලධාරින් නිවාඩු නිකේතනය කරා පැමිණියේ නවාතැන් ගන්නට එන කණ්ඩායමක් ලෙසිනි. ඔවුන්ගෙන් කොටසක් නිවාඩු නිකේතනය වැටලූහ. තවත් පිරිසක් සැකකරුගේ කාර්යාල කාමරය කරා ගමන් කළහ. තවත් පිරිසක් අනෙකුත් විදේශිකයන් සමග කතා කර ඔවුන්ටද මත්ද්‍රව්‍ය මෙසේ ලබාදෙන්නේදැයි සොයා බැලුවේය. 


ඒ අයගෙන් බහුතරයක් කියා සිටියේ තමන් ඉල්ලා සිටින ඕනෑම වෙලාවක කේ.ජී. හෝ හෑෂ් ලබාදීමට නවාතැනේ හිමිකරු කටයුතු කරන බවය. ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගනු ලැබිණ. 


සැකකරුගේ කාර්යාලය වැටලූ කණ්ඩායමට එහි තිබී කේරළ ගංජා ග්‍රෑම් තුන්සීයක් හා හෑෂ් ග්‍රෑම් හැත්තෑ දෙකක් ලැබිණ. තවදුරටත් කළ පරීක්ෂාවේදී එම ගොඩනැගිල්ලේම වෙනම කාමරයක පවත්වාගෙන යන හෑෂ් නිෂ්පාදනාගාරය හමුවිය. හෑෂ් නිෂ්පාදනය කිරීමට සැකකාර ව්‍යාපාරිකයා යොදාගන්නා අමුද්‍රව්‍ය ද එහිදී සොයාගත හැකි විය. පොලිස් නිලධාරින් අන්දමන්ද වූයේ ඒ අමුද්‍රව්‍ය දැකීමෙනි. එහි තිබුණේ පොඩි දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ පැකට් දෙකක්, මදුරු දඟර පැකට් පහක් හා කුරුඳු තෙල් වැනි ද්‍රව්‍යයක් අඩංගු කුඩා කුප්පියකි. 


හෑෂ් නිෂ්පාදනය කරනු ලබන්නේ ගංජා මල් ඇසුරෙනි. එහෙත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව ඔහු හොඳම හෑෂ් ලෙස පවසමින් විදේශිකයන්ට සපයා තිබෙන්නේ ව්‍යාජ ලෙස නිපදවූ මත්ද්‍රව්‍යයකි. එය සකසා තිබෙන්නේ මදුරු දඟර කුඩුකර එයට කේරළ ගංජා එකතු කිරීමෙනි. එය තලපයක් සේ එකතු කිරීමට ඔවුන් යොදාගෙන තිබුණේ ත්‍රිපෝෂය. එය සුවඳවත් කිරීමට කුරුඳු යොදාගෙන ඇත. 


ලැබුණ මත්ද්‍රව්‍ය ප්‍රමාණයට වඩා තවත් තිබිය යුතු බවට සැක කළ පොලිස් කණ්ඩායම නිල සුනඛ ලියෝ ගෙන්වනු ලැබිණ. ලියෝ හැම අස්සක් මුල්ලක්ම පරීක්ෂා කර එක්තරා තැනක නැවතුණි. ඒ කාර්යාල කාමරයේ සේප්පුව අසලය. ලියෝ සේප්පුව පහුරුගාමින් කෙඳිරි ගාන්නට විය. ඒ අනුව එහි හෑෂ් ඇති බව තේරුම් ගත් පොලිසිය එහි යතුර සැකකරුගෙන් ඉල්ලා සිටියද ඔහු කීවේ එහි යතුර තිබෙන්නේ විදේශිකයෙකු සතුව බවය. අවසානයේ සේප්පුවද අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය අතරට එක්විය. අධිකරණයේ අවසරය ලබාගත් පොලිසිය එම සේප්පුව නිපදවූ ආයතනයේ නිලධාරින් ගෙන්වාගෙන සෙප්පුව විවෘත කරගත්තේය. 


සේප්පුවේ මුදල් තිබුණේ රුපියල් තුන්දාහක් පමණි. එහි වැඩිපුර තිබුණේ හෑෂ්ය. හෑෂ් ග්‍රෑම් 435ක් එහි විය. ඒ සියල්ලද සමග සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු පිණිස හික්කඩුව පොලිසියට බාරදෙනු ලැබිණ. 


සැකකරු මේ සිව්මහල් නිවාඩු නිකේතනය ආසන්නයේම දෙමහල් නිවසක් සහිත කෝටි දෙකක් වටිනා ඉඩමක්ද මිල දී ගෙන ඇතැයිද පොලිසිය පවසයි. ඔහු නිවාඩු නිකේතන පවත්වාගෙන යනු ලබන්නේ කේරළ ගංජා හා හෑෂ් නිෂ්පාදනය හා අළෙවිය මූලික කරගෙන බවද පොලිසිය සැක පළ කරයි. 


වලාන දූෂන මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් පරිදි වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂකවරුන් වන මහින්ද කුමාර, සඳරුවන්, පොලිස් සැරයන්වරුන් වන 15054 ප්‍රේමසිරි, 39546 වික්‍රමරත්න, පොලිස් කොස්තාපල් 427 ජයලාල්, 77146 මුණසිංහ, 78227 එරන්ද, 79547 මධුසංඛ, 84889 උදයකුමාර, 39706 සිල්වා, 88154 තෙන්නකෝන්, 38663 කපිල, කාන්තා පොලිස් කොස්තාපල් 3684 නයෝමි, නිල සුනඛ ලියෝ සමග පොලිස් කොස්තාපල් 292 බේවසිරි යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබිණ.

 

 

 

 


සටහන සහ ඡායාරූප :
මුදිතා දයානන්ද සමග 
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ