හැන්දෑවේ ගෙදරක වැසුණු පියන් දොරක් නිසා ලියැවුණු ගීතයක්


ගීයක පදරුත  

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට 
කවුළු පියන්පත් වැහෙන වෙලාවට 
දහසක් දොම්නස් සිහින පවුරු මැද 
තනිවුණ ඔබෙ සුසුමන් සෙමින් විත් 
මගෙ සවනත පාරයි 


තෙරක් නොමැති සිතිවිලි සයුරක් මැද 
සරන විටදි රැය ගෙවෙන තුරාවට 
මහද සෙනෙහි ඔරුවේ නැගී ඔබ 
එතෙර වන්න නිබඳේ 


නිදි ලොව වෙත එතෙර වන්න නිබඳේ 
නිමල පැතුම් පුරවාගෙන හද තුළ 
සිහින ලොවින් නෙත හැරෙන වෙලාවට 
අරුණලු නැගෙන පැයේ 


කුසුමක් වෙමි ජීවන මල් ගොමුවේ 
ඔබෙ ආදර ජීවන මල් ගොමුවේ 

 

මීට වසර 50 කට එපිට සෞන්දර්යයට හා සංගීතයට ඇලුම් කළ තරුණයෙක් ලංකා ගුවන් විදුලි සේවයේ වෙළෙඳ අංශයේ ලිපිකරුවකු ලෙස පත් වී ආවේය. ඔහුගේ විෂයට ඇතුළත් වූයේ සරළ ගී වැඩසටහන්වලට ඇයැදුම් කළ ශිල්පීන් පරීක්ෂණයට කැඳවීම, ගුවන් විදුලි වාදක මණ්ඩලය සම්බන්ධීකරණය කිරීම ආදී කාර්යයන්ය. 

 

කුඩා කල සිටම මේ සෞන්දර්යකාමී තරුණ ලිපිකරුවාගේ සිහිනය වූයේ ගුවන් විදුලි ශ්‍රවනය කිරීමෙන් ලද උසස් රසවින්දනය නිසා හිතේ මැවී තිබුණ සුබවාදී චිත්‍රය යථාර්ථයක් කරගත හැකි ගුවන් විදුලි ආයතනයේම රැකියාවක් ලබා ගැනීමය. එය ඉටු විය. 


ඔහු ගායනයට ප්‍රිය කළේය. ඔහු නවාතැන් ගත්තේ නුගේගොඩ පාගොඩ පාරේ ​ෙබා්ඩිමකය. ඇතැම් හවසක ඔහු අමරදේවයන්ගේ ගීත ගයා බෝඩිමේ සගයන් පිනවීය. මේ අතර සංගීතඥ ඩන්ස්ටන් ද සිල්වාගෙන් ඔහු සංගීතය හදාරා තිබුණි. මේ බෝඩිමේ ගායකයාගේ නම සෝමතිලක ජයමහ ය. 


‘‘මේ කියන කාලේ මා සමඟ කුලියාපිටියේ නක්කාවත්ත මහින්ද මහා විද්‍යාලයේ එකම පන්තියේ ඉගෙනුම ලැබූ එම්.ඒ. සමරසිංහත් (පාසලේ සාහිත්‍ය සමිතියේ ලේකම් වූයේද ඔහුය) ලංකා ගුවන් විදුලි සේවයේ ස්වදේශීය සේව​ෙය් ලිපිකරුවකු ලෙස පත්වීමක් ලබා ආවා. එයා කළෙත් මගේ රාජකාරියමයි. 


1968 ගුවන් විදුලියේ සරළ ගී පරීක්ෂණයක් තිබුණා. මගේ ගායන හැකියාව ගැන දැන සිටි සමරසිංහ මා සමඟ ගුවන් විදුලියේ 5 වැනි මැදිරිය පැත්තට එක්ක ගියා. මේ පරීක්ෂණයට 2500ක් පමණ අයදුම්කරුවන් ඉල්ලුම් කර තිබුණා. ඒ වේලාවේ වාදක මණ්ඩලය විවේකයක් ගෙන තේ බොන්න ගිහින්. සමරසිංහගේ වදේට මට පරීක්ෂණයට ඉන්නැයි කීවාම මම බැහැම කිව්වා. 


මාව දුටු පරීක්ෂක මණ්ඩලය මට ගීතයක් ගයන්න අතින් සංඥා කළා. මට වුණේ හරිම ඇබැද්දියක්. එතකොටම වාදක මණ්ඩලයත් ආවා. මම අමරදේවයන්ගේ ‘අමා ගඟ ගලාලා’ ගීතය කිව්වා. මගේ මතකය හරි නම් එදා රූපසිංහ මාස්ටර් හා සුනිල් සාන්තයන් පරීක්ෂක මණ්ඩලයට හිටියේ. මට ලකුණු 77 ලැබුණා. ඊළඟට තිබුණේ විධිමත් පරීක්ෂණයක්. ඒ පරීක්ෂණයෙන් මම දෙවැනියා වුණා. ඉන්ද්‍රාණි විජයබණ්ඩාර පළමු වැනියා වුණා’ සෝමතිලක එදා තමාට සිදුවූ අපූරු අත්දැකීම එසේ විස්තර කළේය. 


එකල ගුවන් විදුලි සරළ ගී වැඩසටහන් පටිගත කිරීමේදී ගීත රචනය ගැන බැලීමට වෙනමම පරීක්ෂක මණ්ඩලයක් සිට ඇත. ඒ නිසා ඔහු ප්‍රවීණ ගීත රචකයන්ගේ පිහිට සෙවීය. ගුවන් විදුලියේ සිටි ගීත රචකයන් දෙතුන් දෙනෙකුට ඔහු තම අවශ්‍යතාව කීවේය. 


‘ජයමහගේ කටහඬ මම අහලම නෑනේ, ඒ නිසා ගීතයක් ලියලා දෙන්න අපහසුයි’ එක් ගීත රචකයෙක් කීවේය. 


‘මම ලියපු කවි වගයක් ගෙදර තියෙනවා. මම ඒක හෙට ගෙනත් දෙන්නම්’ තවත් ගීත රචකයකු කියා ඇත. 


‘මම ඔයාව දන්නවා වුණාට කටහඬ ගැන දන්නේ නැහැනේ’ තවත් ගීත රචකයෙක් කියා තිබුණි 


මේ ප්‍රතිචාර එදා සිටි ප්‍රවීණ ගීත රචකයන්ගෙන් ලැබෙද්දී සෝමතිලක ජයමහට ආවේ තමා විසින්ම ගීතයක් ලිවිය යුතු යන දැඩි අදිටනය. මේ අතර සංගීතඥ පී. ඩන්ස්ටන් ද සිල්වාගේ සංගීත වැඩ සටහනක් සිංහල අවුරුදු කාලයේ තැටිගත කිරීමට නියමිතව තිබුණි. ඔහු සෝමතිලකට කතා කළේය. 


‘සෝමතිලක අවුරුදුවලට ගමේ යනවාද? 


‘ඇයි මිස්ටර් සිල්වා’ 


‘මගේ සංගීත වැඩසටහනක රෙකෝඩින් එකක් දාගෙන තියෙනවා අවුරුදු කිට්ටුව. කීප දෙනෙක් ගම්වලට යනවලු. ඔයා තනිකඩයනෙ’ 


‘ප්‍රශ්නයක් නෑ. මම ගමේ නොගිහින් වැඩසටහනට එන්නම්’ 


සෝමතිලක පාගොඩ බෝඩිමේ තනි විය. අනිත් යාළු​ෙවා් ගම් රටවල් බලා ගොස්ය. තමාගේ සරළ ගී වැඩ සටහනද ළඟය. එහෙත් ගීත රචනාවක් ලැබුණේ ද නැත. එදා ඒ සවස් යාමයේ ඔහු සිත තුළ ඇතිවූ හැඟීම් විස්තර කළේ මෙසේය. 


‘එතකොට හැන්දෑවේ හයට කිට්ටු වෙලා. මම නිවසින් එළියට ආවා. පළාතම පාළුයි. හීන් සුළං රැල්ලකින් මගේ ගත වෙලා ගත්තා. මම එළිමහනට ඇවිත් අඹගසක් යට ඒ සෙවණේ සිට ඈත ඉඳහිට යන කාර් බස් දිහා බලා හිටියා. අහම්බෙන් වගෙ මට දකුණු අත පැත්ත බැලුණා. 


මා සිටි ගෙයට පහතින් ඇති පුංචි ගෙයක් වෙත මගේ සිත ගියා. ඒ ගෙදර නැවතිලා හිටියේ විශ්වවිද්‍යාලයට යන සිසුවියන් කිහිපදෙනෙක්. ඒ අය අපි අඳුනනවා. දැන් කළුවර වෙන්න ළඟා වුණා. එහෙත් ඈතින් අර ගෙය පැහැදිලිව පෙනෙනවා. එක පාරට කවුදෝ ඒ ගෙදර ජනෙල් පියන් දොර වැසුවා. දැන් අවට තව තවත් පාළු හුදෙකලා ගතියක් රජ කළා. අඳුර පැතිරී ගියා. 


‘සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට 

කවුළු පියන්පත් වැහෙන වෙලාවට’ 


මේ සංකල්පනාව ගීත තනුවත් සමඟ මට කියවුණා. ඊට පස්සේ ගීතයේ ඉතුරු ටික ලියැවුණා. මගේ ගීත රචනයත්, තනුවත්, ගායනයත් සමඟ ගීතය සම්පූර්ණ වුණා. මේ ගීතය ගුවන් විදුලි පටිගත කළේ ශබ්ද පරිපාලක පී.එල්. ධර්මවර්ධන. 


ගීතය පටිගත කරලා ගීත රචක හැටියට මම අන්වර්ථ නමක් දැම්මා එම්. රාජපක්ෂ කියලා. මොකද ඒ කාලයේ ගීතයක් රචනය කරලා, තනුව නිර්මාණය කරලා ගායනා කළ අය සිටියේ ටික දෙනයි. සංගීතය පැත්තෙන් ඉහළටම ගිය සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, අමරදේව මේ අතර ප්‍රමුඛස්ථානයේ හිටියේ. මගේ නම ගීත රචනයට දැම්මා නම් ඒක නුසුදුසු ගීතයක් කියාල ප්‍රතික්ෂේප වෙන්න තිබුණා’ 


සෝමතිලක කියන්නේ තම නිර්මාණ ශක්තිය දියුණු කර ගැනීමට නක්කාවත්තේ මහින්ද මධ්‍ය විද්‍යාලයේ සඟරාවක් උපකාර වූ බවය. එම විද්‍යාලයේ විදුල්පති ජයසුන්දර මහතා ළමුන්ට විද්‍යාලීය සඟරාවක් සංස්කරණය කරන්න දිරි දුන්නේය. 


‘අපේ වැඩ’ නම් මේ සඟරාවට ඔහු මුල් වරට කවි ලියා ඇත. සිංහල සාහිත්‍යයට ඔහු ප්‍රේම කළේ එච්.එස්.සී. පන්තියට මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට (ඕඩේ පන්සල) බැඳී ඉගෙන ගන්නා කාලයේ බද්දේගම විමලවංස හිමියන්ගේ සිංහල පාඩම නිසාය. 


සෝමතිලක කවි සිතුවිලි පිබිදුණි. ඔහුගේ ගීත සඳහා තමා විසින් ලියූ ගීත රචනා අතර ‘සුනිල්වන් නුවන් යුග’, ‘දෙනුවර මින් පසු’ (පුන්‍යා කස්තුරිආරච්චි සමඟ) ‘පියමං කෙරුවෙමු (නීළා වික්‍රමසිංහ සමඟ) ‘නව දැළි හේනක’ කැපී පෙණෙයි. 


‘මම ගීත රචනය කරන ගමන්ම ඉබේම තනුවත් නිර්මාණය වෙනවා. ඊට පසු සර්පිනාව වාදනය කරලා එ් තනුව අලංකාර කර ගන්නවා. මට සංගීතය ඉගෙන ගන්න අත හිත දුන්නේ ගුවන්විදුලියේ සංගීත පාලක ඩන්ස්ටන් ද සිල්වා මහත්තයා. 


එදා මම සරළ ගී ගයනු අසා සිටි ඔහු මා ගැන මගේ මිත්‍ර සමරසිංහගෙන් විස්තර අසා, පැහැදී මට වැඩිදුර සංගීතය ඉගෙන ගන්න එතුමා සුදර්ශි ශාලාවේ පැවැත්වූ සංගීත පන්තියට ඇතුළත් කර ගත්තා. 


එහිදී එතුමාගෙනුත් සංගීත නිපුන් සනත් නන්දසිරි මහතාගෙනුත් මම ඉගෙන ගත් දැනුම මට තනුවක් නිර්මාණය කර ගැනීමට ශක්තියක් වුණා. 


මා මුලදී ගීත රචනා කළත් පසුව ගීත ලියා මට ශක්තියක් වූ පණ්ඩිත විමල් අභයසුන්දර, මහාචාර්ය සුනිල් ආරියරත්න හා සුනිල් සරත් පෙරේරා ආදීන් කෘතඥතා පූර්වකව මතක් කරනවා. 


සෝමතිලක අවසන් වශයෙන් කීවේය. 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර