හඳහනක හතර වැනි රාශියෙන් හෙළි ​ෙවන කරුණු


 

 

පලාපල කීමේදී රාශියත් එම රාශියට අධිපතියාත් හඳුනාගෙන එම රාශියට දුෂ්ටි හෙළන ශුභ හෝ පාපී ග්‍රහයා ගැනත් සොයා බැලිය යුතුය. ඒ අනුව එකී රාශිය පිළිබඳව පලාපල කිය හැකිය. එකම කොටුවකට සීමා වී කෙරෙන විග්‍රහයක් වේ.   


හඳහනක හතර වන රාශිය මවගේ රාශියයි. ගේ දොර ඉඩකඩම් ගැන කියන්නටත් මෙම හතර වැන්නම නොහොත් හතරවැනි රාශියම ප්‍රධාන කර ගනී. පලාපල කීමේදී එය විතරක් නොවේ එම රාශියට නෑකම් කියන තවත් බොහෝ කරුණු කාරණා ඇත. හතරවැන්න මවගේ රාශිය නම් හතරවැන්නෙන් දහවැන්න මවගේ රැකියාව ගැන කියවේ. හතර වැන්නේ ඇති නෑකම, රාශිය අධිපතියාගේ නෑකම එහි සිටින පාපී ග්‍රහයින්​ හෝ පාපී නොවන ග්‍රහයින්ගේ නෑකම අනුව මවගේ රැකියාව ගැන කරුණු හෙළිදරව් වේ. හතර වැන්නෙන් එකළොස් වැන්න වූ දෙවැන්න මවගේ ධනය ගැන කියයි.   


හඳහනක හතරවැන්න අධිපතියා හතර වැන්න තුළ සිකුරු වගේ ශුභ ග්‍රහයකු සමග එකට සිටියේ නම් එම හඳහනේ අයිතිකරු චරිතය හොඳය. විනයගරුකය. අධ්‍යාපනයට හොඳ පිහිටීමකි. එමෙන්ම හතර අධිපතියා අශුභ රාශියක වූයේ නම් බුධ බලවත් වුවත් ඉගෙනීමට අධ්‍යාපනයට බොහෝ බාධාවල් ඇත.   


මෙම තත්ත්වය මග හැරෙන්නට නම් හතරවැන්නට ශුභ ග්‍රහයින්ගේ දෘෂ්ටියක් වැටිය යුතුමය. ඉගෙනීම පිළිබඳව පුළුල්ව කථා කිරීමට හඳහනක පස්වැන්න පමණක්ම යොදා ගැනීම සාර්ථක නැත. හතරවැන්නද අධ්‍යාපනය හවුල් වේ. ඒ නිසා හතර අධිපතියා යම් කේන්ද්‍රයක නීචව සිටියේ නම් හෝ සතුරුව සිටියේ නම් හෝ 3, 6, 8 සහ 12 යන ස්ථානයක සිටියේ නම් එම පුද්ගලයාගේ ඉගෙනීම සාර්ථක නොවේ. හඳහනක හතරවැන්න නිවසයි. නිවස පිළිබඳව කියන කේන්ද්‍රයක හතරවැන්න හතර අධිපති පෙර කී ස්ථානයක සිටීම නිසා එම නිවසේ ඉගෙනීමට හොඳ වාතාවරණයක් නැත.   


හඳහනක හතරවැන්න බලවත් නම් සඳු සිකුරු දෙදෙනාම බල සහිත නම් තම මවගේ ආයු බලය හොඳය. 4 වැන්නේ පතිනි සෙනසුරු තවත් පාපියකුට පෙනෙමින් සිටියේදී 8 අධිපතියාද, සතුරුව හෝ නීචව සිටියේ නම් මවට ශුභ නැත. හතරවැන්නේ පාපියකු සිටියදී අවපසු සඳු පාප ග්‍රහයකු සමග 8 හෝ 12 සි​ටියේ නම් මවගේ ජීවිතය ගැන බලාපොරොත්තු තැබිය නොහැකි වේ.   


හඳහනක හතරවැන්න දෙපස රාශිවල පාප ග්‍රහයින් යෙදී හතරවැන්න පාප කර්තරීව සිව් වැන්නාධිපතින් නීචව හෝ සතුරුව රාශිගතව සිටියේ නම් මවගේ සෞඛ්‍යය යහපත් නැත. මව්කාරක සඳුත් පාප යෝග සහිතව සිටියේ නම් නිසැකයෙන්ම මව අසනීපයකින් පෙළෙයි.  


හතර වැන්න මිනිස් සිරු​රේ හදවතයි. එම රාශිය දෙපස ශුභ ග්‍රහයින් වෙතොත් බුධ ග්‍රහයා විසින් එය දකින ලද්දේ නම් එලෙස උපන් කෙනා ආගමික නැඹුරුවක් ඇති යහපත් කෙනෙකු වේ.  


හතර වැන්නාධිපතියාත්, හතරවැන්නට කාරක ග්‍රහයාත් මාතෘ භාවය වූ 4 වැන්නේ සිටින ග්‍රහයාත් අතරින් කුමන ග්‍රහයා දුර්වලද ඒ දුර්වලග්‍රහයාගේ දශා කාලයේදී මවගේ මරණය සිදු වේ.  


ගේ දොර යාන වාහන ගැන කියන 4 වැනි රාශිය අධිපතියා තවත් ශුභයකු සමග 10 වැන්නේ සිටීමත් නැතිනම් 10 වැන්නේ හෝ 11 වැන්නේ පරිවර්තන යෝග සහිතව සිටියේ නම් එම කේන්ද්‍ර හිමියා සුව පහසු මිල අධික වාහනයක ගමන් කරන අයෙකු වේ.  


රාශි 12 චර, තිර, උභය වශයෙන් ද වෙන් කෙරේ. හතර වැන්න තිර රාශියක් නම් (තිර රාශීන් වන්නේ වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ) තම නිවසේම තම ප්‍රදේශයේම හෝ තම රටේම පදිංචි වේ. චර රාශියක් නම් උපන් ප්‍රදේශය වෙනස් කරයි. උභය රාශියක් නම් පිටරටත් තම රටත් යන දෙකෙහිම පදිංචි වේ.  


හතර අධිපතියා 8 හි නම් තම ගේ, දොර, ඉඩකඩම් අහිමි වෙයි. හතර අධිපතියා 6 නම් පියාගේ ඥාතියෙකුගේ නිවසේ පදිංචි වේ. 4 අධිපතියා 12 නම් ජීවිතයෙන් කාලයක් විදේශ රටක පදිංචි වේ. හතර අධිපති සහ 6 අධිපති යෝගවී දුෂ්ඨ ස්ථාන ගතවී ඇත්නම් හිරගෙදරක හෝ රෝහලක සිටිය හැකිය.  


හතරවැන්න කටක රාශිය වී සඳු එහි සිටියේ නම් කේන්ද්‍ර හිමියා සාගරයෙන් එහා රටකට සම්බන්ධ වේ. නැත්නම් තම පදිංචිය හෝ රැකියාව කරන ස්ථානය ජලය හා සම්බන්ධ ස්ථානයකි. එහෙමත් නැත්නම් පදිංචි ස්ථානය පිරිසිදු ජලය ඇති ස්ථානයකි. හතර අධිපතියා 1, 6, 8 අධිපතීන් සමග යෝගව එකම භාවයක සිටී නම් ඔහු හොඳ පුද්ගලයකු නොවේ.  

 

 


චන්ද්‍රිකා ඩී. පතිරණ  
කරව්වැව, බිංගිරිය