සොළීන් රට වනසද්දී මහා පරාක්‍රමබාහු රජකම ගත්තේ මෙහෙමයි


ඉතිහාසයෙන් පිටුවක්   

 

 

 

දහ වැනි සහ එකොළොස් වැනි ශත වර්ෂ වන විට දකුණු ඉන්දියාව පුරා සොලී බලය ව්‍යාප්ත විය. ඒ සමගම සොළී දේශයේ විදේශ වෙළෙඳාමද ඒ හා බැඳුණු නාවික බලයද ඉතා දියුණු මට්ටමකට වර්ධනය විය. එය බුරුමය, තායිලන්තය, ඉන්දුනීසියාව, චීනය මෙන්ම ලංකාව දක්වාද පැතිරුණි. එම විදේශ වෙළෙඳ කටයුතු සිදුවූයේ පෞද්ගලික වෙළෙඳ සමාගම් සහ ඒ හා බැඳුණු විවිධ වෙළෙඳ සංවිධාන හරහාය. ටී.ජී. කුලතුංග ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයාගේ ‘මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ ආරක්ෂක සටන්’ නමැති පර්​ෙ‌ය්ෂණ ග්‍රන්ථයට අනුව එවැනි වෙළෙඳ සංවිධාන පහත සඳහන් පරිදි ඒවා විය.   


අයික්කුඤ්ඤුරුවාර් (අයියාවෝල් විකායි අයිරන්තු අයික්කුඤ්ඤුරුවාර් නානා දේශී නානා දේශීයාර් වීර වලංජියාර් වලංජියාර් මනිග්‍රාමම් (මණික් ග්‍රාමම්) නගරාන්තර් ඈ නම් වශයෙන් ඒවා දැක්විය හැක.   


මෙම වෙළෙඳ සංවිධානවල ක්‍රියාකාරීන් ලෙස විශාල ද්‍රවිඩ පිරිසක්ද ඔවුන්ගේ ආරක්ෂාව සඳහා බලවත් අගම්පඩි හමුදාවක්ද කුලී හමුදා ද මෙරටට පැමිණ පදිංචි වූහ. ඉහත ග්‍රන්ථයේ කතුවරයා සඳහන් කරන පරිදි මෙම කුලී හමුදාව සොළී, පාණ්ඩ්‍ය, කේරළ මෙන්ම වැඩි වශයෙන් තෙලිඟු හෙවත් වඩුගයන්ගෙන් (අාඬි හෙවත් ආන්ද්‍රා වශයෙන් තෙලිඟු හෙවත් වඩුගයන්ගෙන් (ආඬි හෙවත් ආන්ද්‍රා වැසියන්) සමන්විත වූහ. මොවුහු වෙහෙර විහාර වනසමින් දේපොළ කොල්ලකමින් බලවත් පිරිසක් බවට පත්වූහ. ඇතැමුන් සිංහල කාන්තාවන් විවාහ කරගනිමින් නව කුලයක් හරහා සිංහල සමාජයට සම්මිශ්‍රණය වූහ. එසේම සිංහල පාලකයන් දුර්වල වත්ම මෙරට රාජ්‍යත්වය පැහැර ගැනීමටද උත්සුක වූහ.   
මහා විජේබාහු රජතුමා විසින් මෙම සොළී උවදුරෙන් රට නිදහස් කරගත්ත ද දකුණු ඉන්දියානු ව්‍යාප්තවාදය සම්පූර්ණයෙන් අවසන් නොවීය. චූල වංශය මෙසේ සඳහන් කරයි.   
රජුට විරුද්ධව කැරැල්ලක් ගැසූ ඔවුහු අගනුවර විශාල පෙරළියක් කර අගනුවර අල්වා ගනී. එසේම රජුගේ නැගණිය සහ ඇගේ පුතුන් දෙදෙනා ද අත්අඩංගුවට ගත්හ. රජතුමා ආරක්ෂාව පතා මලය දේශයේ වාකිරිගලට පලා ගියේය.   


සිංහල සේනාව සමග පොළොන්නරුවට පැමිණ මහා විජේබාහු කැරැල්ල මැඩ පවත්වා රට එක්සේසත් කරන ලදී. එහෙත් ඔහුගේ මරණයත් සමග නැවතත් මෙම ද්‍රවිඩයෝ නැගී සිටියහ. ගයිගර් පඬිතුමා එය සඳහන් කරන්නේ මෙසේය.   


මෙම කාලයේදී විශාල සොළී හමුදාවක් ලංකාවේ සිටියේය. එසේම ඔවුන් විශාල බලයක්ද හිමි කරගෙන තිබුණි. චෝල අධිරාජ්‍යයා ළඟ සේවයේ යෙදී සිටිය ඔවුන්ගේ බොහෝ දෙනෙක් තෙලිඟු ජාතිකයෝ වූහ.   


මහා විජේබාහුට පසුව පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත්වූයේ දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි මෙම ආක්‍රමණිකයෙකි. ජයබාහු නමින් රාජ්‍යත්වයට පත් වූ ඔහු දකුණු ඉන්දීය ආක්‍රමණිකයෙකු බව මහාචාර්ය අමරදාස ලියනගමගේ මහතා සඳහන් කරයි. මහා විජේබාහුගේ නැගණිය වූ මිත්තා කුමරිය සහ ඇගේ දරු දෙදෙනා පැහැරගත් මෙම ආක්‍රමණිකයින් අතුරින් පාණ්ඩ්‍ය වංශික ජයබාහු මිත්තා කුමරිය විවාහ කරගනී. මොහුගේ ද්‍රවිඩ නාමය හෙළිවී නැත. මොහුගේ ධන තන්හාව කොතෙක්ද යන්න චූල වංශ කතුවරයා සඳහන් කර ඇත්තේ මෙසේය.   


”12 වැනි සියවස ආරම්භයේදී සැදැහැවත් මිනිසුන් විසින් දළදා සහ පාත්‍රා ධාතු විෂයෙහි පූජා කරන ලද පූජා වස්තූන් පළමු වැනි ජයබාහු විසින් බලහත්කාරයෙන් ගනු ලැබීය.   
ජයබාහු පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත්වීමත් සමග දළදාවේ භාරකාරිත්වය පවරාගෙන එය මහා විජේබාහුගේ දේව සෙනවියා විසින් වෛලක්කාරී හමුදාවට පවරා දෙන ලද්දේ යැයි සඳහන් කර දිනයක් රහිත ව්‍යාජ සෙල්ලිපියක්ද පිහිටුවීය. පොළොන්නරුව පුලතිසි පුරය ලෙසට නම් කරන ලදී.   


පුලස්ති යනු දකුණු ඉන්දියාවේ අන්දනර් නම් තාපසයාගේ පුත්‍රයාය. දකුණු ඉන්දියාවේ වින්ධ්‍යා කඳුවැටියේ පොඩියුර් කන්දේ (අගස්ති කූඨම්) ශිව දේවාලයක් පවත්වාගෙන ගිය පුලස්ති දෙමළ භාෂාවේ නිර්මාතෘවරයාද විය. අගස්ති මුනි යනුද ඔහු ම ය. ජයබාහු විසින් සිය සේනාධිපතිවරයා ලෙස ද්‍රවිඩයෙකු වූ චේකරායන් පත්කර ගන්නා ලදී. ඒ බව පොළොන්නරුව රන්කොත් වෙහෙර සෙල්ලිපියේ සඳහන් කර ඇත්තේ මෙසේය.   


චෙයබාකු තේවාර් නීලල් වෛයිලක්කාරයන්   
මහා මණ්ඩල නායක්කන් ආහ චේත්‍යරායන්..   


ජයබාහු සහ මිත්තා කුමරිය යන දෙදෙනාට උපන් පුත්‍රයා පාණ්ඩ්‍යනාර් වීරපෙරුමාල් විය. ජයබාහු විසින් මෙම කුමරු මලය දේශයේ (දක්ෂිණ දේශයේ) යුවරජු ලෙසට පත්කර ගන්නා ලද්දේ මානාභරණ යන නමිනි. මහා විජේබාහු රජුගේ පුත් දෙවැනි වික්‍රමබාහු මේ වන විට රුහුණේ යුව රජු ලෙස කටයුතු කරමින් සිටියේය. කුමන්ත්‍රණකරුවෝ හොර රහසින් යුවරජ පදවිය පාණ්ඩ්‍ය කුමරුට පැවරීය. පාණ්ඩ්‍යනාර් වීරපෙරුමාල් හෙවත් මානාභරණ විවාහ වූයේ සොළී දේශයේ කුලෝන්තුංග නම් වූ සොළී රජුගේ කනිටු දියණීය වූ චුන්දවල්ලියාර්වාර් කුමරිය සමගය.   


සොළීන් විසින් බලය පතුරුවා ගත් ප්‍රදේශවල දෙමළ බසින් සෙල්ලිපි පිහිටුවන ලදහ. නිකවැරටියට නුදුරු බුදුමුත්තාව නමැති ප්‍රදේශයේ ඇති එවැනි සෙල්ලිපි දෙකක් අතුරින් දෙවැනි සෙල්ලිපියෙහි මෙම විස්තර ඇතුළත් වෙයි. එම දෙමළ සෙල්ලිපියේ සිංහල අරුත මෙසේය.   


ශ්‍රී ජයබාහු දේවයන්ට අට වැනි වර්ෂයෙහි පාණ්ඩ්‍යනාර් වීරපෙරුමාල්ගේ භාර්යාව වූද කුලෝතුංග නම් වූ චෝල රජුගේ දියණිය වූද චුන්දවල්ලියාර්වාර් කුමරිය විසින් මහාගල්ල නම් වූ වික්‍රමශීලාමේඝ පුරවරයෙහි වික්‍රමශීලාමේඝ කෝවිලේ ඊශ්වර් දෙවියන්ට ඉරහඳ පවතින තුරු දල්වන පිණිස තබන ලද නොනිවන එක් පහනක් පිණිස තබා දුන් කාසි දහයයි. තුන් වියත් දිග ඇති එක පහනක්ද වෙයි.   


මෙම සෙල්ලිපියෙන් කියැවෙන්නේ රජ බිසව විසින් ඊශ්වර දේවාලයට දෙනු ලැබූ දීමනාවක් පිළිබඳ විස්තරයකි. මෙහි සඳහන් මහාගල්ල ප්‍රදේශය ආක්‍රමණික සොළී පිරිස් බලය පතුරුවාගෙන සිටි ප්‍රදේශයකි. මහා පරාක්‍රමබාහු රජුද සිය ජයස්ථම්භය පිහිටුවන ලද්දේ පදවි පරාක්‍රමපුරයෙහිය. ජයබාහුගේ රාජ කාලය ක්‍රි.ව. 1110-1113 අතර වේ. පොළොන්නරුව රාජ්‍ය ලබාගත් ජයබාහු සහ ඔහුගේ පිරිස් රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබූ සියලු වස්තූන් අත්පත් කර ගනී. අනතුරුව මහා විජේබාහු රජුගේ පුත් වූ රෝහණයේ යුවරජුව සිටි දෙවැනි වික්‍රමබාහු කුමරු අල්ලා ගැනීම සඳහා සේනා සන්නද්ධව රුහුණ බලා පිටත්වූහ. වික්‍රමබාහු රජු මහා නාගනුලයෙන් නික්ම සතුරු හමුදාවේ පෙරමුණ වෙත පැමිණියේය. ස්ථාන පහකදී කරන ලද සටන්වලින් ඔහු ජය ලැබීය. ඉන් අනතුරුව පොළොන්නරුවට පැමිණ එය අත්සන් කරගෙන රාජ්‍යත්වයට පත් විය.   


සතුරු පිරිස් රෝහණය සහ දක්ඛිණ මලය දේශය අත්සන් කරගත්හ. කිත්සිරිමේඝ දොළොස්දහස් රටේ පාලකයා බවට පත් විය. ඔහුගේ රාජ්‍ය මහානාගනුලය විය. ජයබාහු සහ මිත්තා බිසව ඔහු වෙත පැමිණ වාසය කළහ. සිරිවල්ලභ කුමරු අටදහස් රටේ (වළවේ ගඟට නැගෙනහිර පෙදෙස) පාලකයා බවට පත් විය. මානාභරණ හෙවත් පාණ්ඩ්‍යකාර් වීරපෙරුමාල් දක්ෂිණ දේශයේ එනම් මලය දේශයේ පාලකයා බවට පත් විය.   


එහෙත් ඔහුගේ රාජ්‍ය කාලය එක් වසරකට පමණක් සීමාවිය. මෙම සොළී හා පාණ්ඩ්‍ය පිරිස් දක්ෂිණ දේශයේ විශාල ලෙස සේනා රැස්කර ගනිමින් යුද්ධයකට සූදානම් වූහ. එහෙත් වික්‍රමබාහු කුමරු සිය සිංහල සේනා සමග රජරට සිට අවුත් එක්සත් සතුරු සේනාව දක්ෂිණ දේශයේ බෝධි සේන පර්වතයේදී කරන ලද දරුණු සටනකින් මහානාභරණ ඇතුළු විශාල පිරිසක් මරාදමන ලදී. සෙස්සෝ පස්දුන් කෝරළයට පලා ගියහ.   


මෙම සටන් මෙසේ අවසන් වුවද වීරදේව නම්වූ තවත් ආක්‍රමණිකයකු විශාල සේනාවක් ගෙන මන්නාරම් තොටින් ගොඩබසින ලදී. වික්‍රමබාහු කුමරු සිය රාජධානිය වූ පොළොන්නරුව බලා යන ගමන අතරමග නතර කොට සිය සේනාව සමග වීරදේව සොයා මන්නාරම දෙසට මෙහෙයවීය. සටනින් පරාජයට පත් වික්‍රමබාහු කුමරු පොළොන්නරුවට ගොස් හස්තසාර වස්තුව රැගෙන අනතුරුව කොට්ටියාර් පෙදෙසට පලාගියේය. පසුපස හඹා ආ වීරදේව සහ සතුරු හමුදාව මඩ වගුරු සහිත දුර්ගයකදී සටනකට හසුවී වීරදේව මරණයට පත් වී ඔහුගේ හමුදාව සම්පූර්ණ පරාජයකට පත් විය. දෙවැනි වික්‍රමබාහු රජු නැවත පොළොන්නරුවට පැමිණ නැවත රාජ්‍යත්වයට පත් විය.   
දෙවන වික්‍රමබාහුගෙන් පසු ඔහුගේ පුත් දෙවන ගජබා පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් විය. ඒ ක්‍රි.ව. 1131/32 වසරේදී යැයි ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය ග්‍රන්ථයෙහි සඳහන් වෙයි. අටදාස් රටේ පාලකයා වූ සිරි වල්ලභ සහ දක්ඛිණ දේශයේ කිත්සිරිමේඝ එක්ව හමුදා සේනා වාහන රැගෙන පොළොන්නරුව ආක්‍රමණය කිරීමට පිටත්ව ගියහ. එහෙත් ගජබා තෙමේ සිය සේනා සමග සතුරාගේ පෙරමුණ වෙත පැමිණි අතර දෙපිරිස අතර බිහිසුණු සටනක් ඇතිවිය. දෙවැනි ගජබාවන් සටනින් ජයගත් අතර සිරිවල්ලභගේ ඉතිරි වූ සේනාව රෝහණයට පසුබැසීය.   


ගජබා රජුගේ සේනාධිපති ගෝකන්න විසින් කිත්සිරිමේඝගේ හමුදා පරාජය කර පලවාහැරි අතර කිත්සිරිමේඝ දක්ඛිණ දේශයේ බෙලිගල් කෝරළයේ හත්නාගොඩට පැමිණ අප්‍රකටව විසීය. දෙවැනි ගජබාවන්ගේ පොළොන්නරු රාජ්‍ය බලවත් බවට පත් විය.   


සිය පාර්ශ්වයෙන් පාණ්ඩ්‍ය වංශික වුද මව් පාර්ශ්වයෙන් සොළී වූ ද මහා පරාක්‍රමබාහුගේ චරිතය කරළියට පැමිණෙන්නේ මෙම කාලය තුළදීය. ක්‍රි.ව. 1140 දී පමණ රෝහණ දේශයේ සිට දක්ඛිණ මලය දේශයට ඔහු පැමිණි බව ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ මෙසේය.   


ළමා වියේදීම මහනාගනුලයෙන් මානාවුළු නුවරින් නික්ම ආ පරාක්‍රමබාහු කුමාර තෙමේ සංඛනායකත්ථලිය (කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරළයේ හත්තාගොඩ) රාජධානි කරගෙන දක්ඛිණ දේශය පාලනය කළ තම මයිලණුවන් වූ කිත්සිරිමේඝ රජු වෙතට පැමිණ වාසය කළේය.   


පැරකුම් කුමරු දැදිගම උපන් බවත් ඔහු දැදිගම පාලකයා බවත් ඇතැම් ඉතිහාසඥයන් කරන ප්‍රකාශන වැරදි බව මෙයින් පැහැදිලි වේ. දැදිගම රාජධානිය බිහි වන්නේ සවුළු පෙළපතේ හතර වැනි පැරකුම්බාවන්ගෙනි. කුරුණෑගල රාජධානියේ රාජ්‍යත්වයට පත් වූ ඔහු අනතුරුව දැදිගමට පැමිණියේය. දැදිගම කොටවෙහෙර ඉදිකරන ලද්දේ ද එම රජතුමාය. ඔහුගේ රාජ්‍ය කාලය ක්‍රි.ව. 1302-1324 කාලයට අයත්ය. පැරකුම් කුමරු හත්නාගොඩට පැමිණීම සිදුවූයේ ක්‍රි.ව. 1140 දී පමණය. විදේශීය හමුදා සහාය කරගනිමින් ඔහු රාජ්‍යත්වයට පත්වූයේ පදවිපරාක්‍රමපුරය මුල් කරගනිමිනි.   


ළමා වියේදී හත්නාගොඩට පැමිණි පරාක්‍රමබාහු කුමරු ශිල්ප ශාස්ත්‍ර කරවීම කිත්සිරිමේඝ විසින් සිදුකරන ලදී. කිත්සිරිමේඝ රජුගේ හදිසි අභාවයත් සමග පැරකුම් කුමරු දක්ඛිණ දේශයේ පාලකයා බවට පත් විය. හත්නාගොඩ සිට හමුදා සූදානම් කළ ඔහු රජරට රාජ්‍යත්වය ලබාගැනීම සඳහා ක්‍රියාකාරී විය. ඔහු විසින් සිය හමුදාව සඳහා විදේශීය හමුදා ගෙන්වාගනී. මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ සටන් ග්‍රන්ථයට අනුව   


ඔහුගේ නිත්‍ය හමුදාවේ මූලිකාංගය වූයේ මෙම විදේශීය අගම්පඩි හමුදාවන්ය.   


පළමුවන පරාක්‍රමබාහුගේ කුලී හමුදාවට දකුණු ඉන්දියාවෙන් ගෙන්වාගත් චෞරයන් කිරාතයන් ආදින්ද යොදාගනී. මොවුන් පොළොන්නරුව නගරයේ ජන ජීවිතය අවුල් කිරීම මෙන්ම ඔවුන්ගේ දේපොළ කොල්ලකෑමටත් යොදවා ගත්හ. චෞරයන් යනු සොළී දේශයේ කුරුම්භ මාරව හා කල්ලා යන මං පාරන ගෝත්‍රයන්ය. මහා පරාක්‍රමබාහුගේ මහ සෙනෙවියකු වූ මිහිඳු මෙවැන්නකි.   


කුරුම්භ යන්න කොහොම්බල්කුළු මිහිඳු ලෙස සඳහන් කර ඇත. පරාක්‍රමබාහු විසින් පිහිටුවන ලද දෙමළ සෙල්ලිපිවල මාක්කලිංගම් කණ්වඩි දාමරන් බොරුවෙශි පයිතාන් කල්ලා, දාමරන් කෘෂියම් බණ්ඩාරත්කුල් කලච්චුක් කුලික් කුරුම්භරසේන නම්බනන් යන විජයාබරණ නමැති නායකයින් මෙවැන්නෝය.   


කිරාතයන් යනු වර්තමාන බොම්බායට නුදුරු පෙදෙස්වල පදිංචි වූ උත්තර භාරතයේ ආර්යයන් විසින් දක්ෂිණ දෙසට පලවා හරින ලද ශාක්‍යයන් හෙවත් පල්ලවයන්ය. උත්තර භාරතයේ ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය කාලයෙන් පසුව පර්නියාවේ සිටි ශාක්‍යයන් සිනියන්වරු හෙවත් පල්ලවයන්ද බලුකිස්තානය හෙවත් ශාකස්ථානයේ සිටි ශාක්‍යයන්වූ ක්‍රමයෙන් උත්තර භාරතයට අවුත් ඉන්දු ග්‍රීකයන් පලවා හැර එම පෙදෙස් අත්පත් කර ගත්හ.   


වසර 75 ක් පමණ ශාක්‍යයන්ගේ බලයට නතුව තිබූ උත්තර භාරතය ඇෆ්ගනිස්ථානය ගන්ධාරය මෙන්ම ඉන්දු නිම්නය සම්පූර්ණයෙන්ම ශාක්‍යයන්ගෙන් මුදවාගන්නා ලද්දේ දේවවංශික කනිෂ්ක රජතුමා විසිනි. ක්‍රි.ව. 78 දී මෙසේ ශාක්‍යයන් පරාජය කර සිය අභිෂේකය සිදු කරන ලද අතර එම ජයග්‍රහණය සැමරීම් වශයෙන් එදා සිට ශක වර්ෂ ක්‍රමයේ ආරම්භය ඇතිවිය.   


ධර්මාශෝක රජුගේ පරපුරෙන් පැවත එන කනිෂ්ක රජතුමාගේ රාජ්‍ය කාලය ක්‍රි.ව. 78-110 අතර විය. මෙම රජුට වාශිස්ක හා හුවිස්ක වශයෙන් පුතුන් දෙදෙනෙක් වූහ. මෙයින් වැඩි මහල් පුත් වාශිෂ්ක කනිෂ්ක රජුගේ ජීවිත කාලය තුළදීම මියගිය අතර කනිෂ්කගෙන් පසු රාජ්‍යත්වය හුවිස්කට හිමි විය. හුවිස්කගේ පුතා වාසුදේව විය. ඔහු ක්‍රි.ව. 140 දී රාජ්‍යත්වයට පත්විය. හුවිස්ක විසින් මථුරා පුරයේ (සිංහ පුරයේ) ඉදිකරන ලද විහාර සංකීර්ණයක තිබී සොයාගත් සෙල්ලිපියක කනිෂ්ක රජුගේ පෙළපත විස්තර කර ඇත්තේ මෙසේය.   


හුවිස්කගේ මුත්තණුවන් වූ දේවකුල පිතාමහ   


Devakula of the pitamaha Grand father of Huvika. JRAS 1834-402   


ලංකාවේ ශක වර්ෂ ක්‍රමය ක්‍රියාත්මක වූයේ වසභ රජතුමාගේ කාලයේදීය. ඔහු ඉන්දියාවේ කනිෂ්ක රජුගේ සමකාලිකයෙකි. කනිෂ්ක රජතුමා ‘රාජාධිරාජ’ සහ ‘දේවපුත්‍ර’ යන නාමයන්ගෙන්ද හඳුන්වා ඇත. ලංකාවේ වසභ රජු විසින් ක්‍රි.ව. 97 දි චීනය සමග ඇතිකර ගත් මිත්‍ර ගිවිසුමක දී වසභ රජු හඳුන්වා ඇත්තේද රාජධිරාජ දේවපුත්‍ර යන නාමයෙනි. උත්තර භාරතයේදී දේව කුලය යන්න ලංකාවේ ලම්භකර්ණ රජවරු දේවානම්පිය කුලය ලෙසට භාවිත කර ඇත.   


ශක වර්ෂ ක්‍රමය ක්‍රිස්තු වර්ෂ ක්‍රමයට හැරවීමේදී ශක වර්ෂයට 78 ක් එකතු කළ යුතු වේ. එසේම ක්‍රිස්තු වර්ෂ ක්‍රමය ශක වර්ෂ ක්‍රමයට හැරවීමේදී ක්‍රිස්තු වර්ෂයෙන් 78 ක් අඩු කළ යුතු වේ. ලංකාවේ මුල් යුගයේ ලියකියවිලිවල සඳහන් වන්නේ බුද්ධ වර්ෂ ක්‍රමයයි. එය චන්ද්‍ර මාස ක්‍රමය හා බැඳී ඇත. බුද්ධ වර්ෂ ක්‍රමය ශක වර්ෂ ක්‍රමයට හැරවීමේදී බුද්ධ වර්ෂයෙන් 621 ක් අඩු කළ යුතු බව නිශ්ශංක අලගක්කෝණාර හෙවත් පස්වැනි පරාක්‍රමබාහු රජතුමා විසින් සිය ගණිත ව්‍යාකරණ ග්‍රන්ථයෙහි සඳහන් කර ඇතැයි විද්වත්හු ප්‍රකාශ කරති. ශක වර්ෂ ක්‍රමය සූර්ය මාස ක්‍රමයට සැකසී ඇත.   


උත්තර භාරතයෙන් දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා පෙදෙසට පලවාහැරී ශාක්‍යයන් එහිදී පල්ලවයන් බවට පත්විය. පල්ලවයන්ගේ භාෂාව පාලි බස විය. එය ප්‍රාකෘත්‍ය හා බැඳුණකි. ආන්ද්‍රා පෙදෙසේ මුල්වැසියන් වූ අසුර හෙවත් රාක්ෂයින්ගේ භාෂාව තෙළිඟු බස විය. තෙළිඟු භාෂාවේ නිර්මාතෘවරයා රාවණා විය. එම නිසා තෙළිඟු බස රාවණ තෙළිඟු ලෙසද හැඳින්වේ. මෙසේ ආන්ද්‍රා පෙදෙසේ මුල් වැසියන් වූ ආන්ද්‍රාවරුන්ගේ තෙලිඟු බස සහ පල්ලවයන්ගේ පාලි බස සම්මිශ්‍රණය වීමෙන් අපභ්‍රංශය බිහි විය.   


අසල්වැසි සොළීන් විසින් ආන්ද්‍රා පෙදෙස යටත් කරගත් පසු සොළී බස අපභ්‍රසය සමග මිශ්‍රවීමෙන් කර්ණාටක බස ඇති විය. පල්ලවයන්ගේ පාලි බස ව්‍යවහාරයෙන් ඉවත්වීමත් සමග එය පාලිවරු හෙවත් මහායාන භික්ෂූන්ගේ ග්‍රන්ථකරණය සඳහා පමණක් භාවිත වන ලිඛිත බසකට මළ බසක් බවට පත්විය. දෙමළ බසට හුරු වූ පල්ලව ජනයා වඩුග හෙවත් වඩක්කරයින් බවට පත් වූහ. හතර වැනි ශත වර්ෂයෙන් පසු පල්ලව දේශය ද්‍රවිඩ දේශය බවට පත්විය. වර්තමානයේදී ආන්ද්‍රා (තෙළිඟු), කර්ණාටක (කණ්ණඩ), කේරළ (මලයාලම්) සහ තමිල්නාඩු (දෙමළ) වශයෙන් එය ප්‍රභේදයවී ඇත. ලාංකික අපි දෙමළ යන්නෙන් මෙම සියලු භාෂාවන් අර්ථගැන්වේ.   


මහා පරාක්‍රමබාහු විසින් කරන ලද ඉල්ලීමක් පරිදි මලයාල දේශයෙන් මුක්කරුන් පිරිසක්ද මෙරටට ගෙන්වාගෙන ඇතිබව ‘මුක්කර සටන’ නම් වු පුස්කොළ පොතක සඳහන් වෙයි. මෙම මුක්කරුන් සමග කාංචිපුර, කාවේරි පට්ටලම සහ කීලංක​ෙරයි යන ප්‍රදේශවලින් මෙම සේනාව සමන්විත වී ඇත. මෙම සේනාවට නිලමක්කාරයින් නව දෙනෙකුද ආරච්චිවරුන් දහ අට දෙනෙකුද සෙබළුන් 7740 ක් ඇතුළත් වූ බව දොස්තර ඇන්ඩ්‍රියස් නැල් මහතා සඳහන් කරයි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබී පුස්කොළ තීරු අටකින් යුත් මෙම ලේඛනය ඔහු විසින් පිටපත් කරගන්නා ලද බව ඔහු සඳහන් කර ඇත.   


මෙම පිරිස් එරටින් නැව් නැගී ඇත්තේ ශුඬ ශකරාජ වර්ෂයෙන් 1150 වර්ෂයේදීය. මෙසේ පැමිණි පිරිසේ නිලමක්කාරයින් හෙවත් නිලමේවරු මච්ඩුනාට්ටු දෙවරේ කුරුකුලනාට්ටු දෙවරේ මානික්ක කලවන් අදිරස අඩප්ප උන්නැහේ කුරුකුලසූරිය මුදියන්සේ පරදකුලසූරිය මුදියන්සේ අරසිනිල ඉට්ට මුදියන්සේ වර්ණසූරිය දොඹරනාද අඩප්ප උන්නැහේ යන නම් සඳහන් පිරිස් වූහ.   


සිංහල රජවරුන් යටතේ රජතුමා වෙනුවෙන් අවිගෙන සටනට ගියේ කුලීන පවුල්වලට අයත් සාමාජිකයන් පමණි. රජයේ වැටුප් මත බඳවාගත් එම පිරිසට වැටුප් ගෙවන ලද්දේ රටවැසියන් විසින් ගෙවන ලද බදු මුදල්වලිනි. මඩරන් බද්ද සහ ගොඩරන් බද්ද ලෙස එසේ ගෙවන ලද බදු මුදල්වලින් යුද සෙබළුන් සඳහා ගෙවන ලද වැටුප ක්ෂත්‍රීය භාගය හෙවත් කැතිඅඩ බද්ද ලෙස හඳුන්වන ලදී. එහෙත් පරාක්‍රමබාහු යුගයේදී දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද කුලහීන පිරිස් යුද සේවය සඳහා යොදවාගත් අතර ඔවුන්ට වැටුප් නොගෙවන ලදී. ඒ සඳහා කොල්ලකන ලද දේපොළවලින් කොටසක් ඔවුන්ට හිමි විය. ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසඥයන් කරන සඳහනක් මෙසේය.   


යුද්ධ සේවය කුලීනයන්ට පමණක් සීමාවී තිබුණේ නම් මෙරට සහ පිටරට යුද්ධ සඳහා අවශ්‍ය වූ භට සංඛ්‍යාව සොයා ගැනීම පළමු වන පරාක්‍රමබාහු රජුට පුළුවන් වනු සැක සහිතයි.

 

 


මතු සම්බන්ධයි....   

'
එම්​.කේ. ජයසේන
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය