සේ සේ


කෙටි කතාව​

එකවරම මගේ සිරුර වතුර පාරකින් නැහැවී ගියේ කරපිංචා ගසමුල ඇති මාළු සේදූ වතුරට ඉව ඇල්ලූවිටය. මගේ ලොම් සියල්ල තෙත බරි වී එකට ඇලී ගියේය. දිවෙන් ලෙවකා වේලාගත නොහැකි තරම්ය.   


‘කොහෙ ඉඳල ආවද මන්ද? ස්වාමි දියණිය මා දෙස නුරුස්නා බැල්මක් හෙළා ආපසු හැරුණාය. ඇගේ කතාව සත්‍යයකි. මට ගෙයක් දොරක් නැත. අපේ කට්ටියේ අයට ඔවුන්ට උරුම වූ නි​ෙවසක්ද අයිතිකාරයන්ද සිටි නමුදු මා තැනින් තැන ඇවිදිමින්, කුස ගින්නට යමක් බඩට දමාගත් අසරණ එකියක් වූවෙමි. ඉඳුල් පාර වැටීමෙන් පසු මම ඒ නිවසේ දැවැන්ත කොස්ගස යටට මුවා වූයෙමි.   


‘සේ ... සේ ...   


එන්න පැටියෝ ... චූටි මැණික ... මට වඩා හොඳින් හැදුණ, වැඩුණ, සේ ... සේ .... නමින් හැඳින් වූ තරුණ පෙනුමෙන් යුත් එකකු වහා නි​ෙවස තුළට දිව ගියේ විදුලියක් සේය. කුමක් කරම්දෝ නොවැටහුණ හෙයින් මම බය බිරාන්තව නි​ෙවස දෙසට දෙනෙත් හෙළා බලා සිටියෙමි. 

 
දැන් සේ සේ රස ආහාර බුදිනු ඇත. එය මට මැවී පෙනෙයි. එක්වරම මා මේ නි​ෙවසට කෙසේ පැමිණියේදැයි මට පුදුම හිතෙයි. නන්නත්තාරේ පාර දිගේ ඇවිද යනවිට වමට තිබූ පටු පාරට වැටී වත්තකට ඇතුළු වූයෙමි. එක යායටම ඇති මේ වත්ත මල් හා ගෙඩිවලින් යුක්ත වූවකි. බැලූ බැල්මට ප්‍රිය උපදවයි. ගත අප්‍රාණිකව තිබූ හෙයින් උඩ පැන හෝ කුරුමානම් අල්ලාගෙනවත් සතෙකු දඩයම් කර ගැනීමට මට හැකි නොවීය.   


නිවසේ ස්වාමිදුව එනම් බණ්ඩාර මැණිකේ කෙසෙල් කොළයකට දමා අනාගත් මාළුපිනි රැගෙන අවට සෝදිසිකර බලන හැටි මම දුටුවෙමි.   
‘කෝ ... කෝ .. දැන් මෙතන හිටියනෙ කොහේ ගියාද?   
සිරියලතෝ අර පූසිට මෙන්න මේක දීපං   
සතෙක් හරි බඩගින්නෙ බලා ඉන්නකොට අපට කන්න පුලුවනැයි’   
මම කොස් ගසේ මුවා වූ තැනින් පිටතට ආවෙමි.   


ආ! මෙන්න සිරියෝ ඕක දාපං හැබැයි රජෝ මේක කාල ආපු දිහාටම යන එකයි ඇත්තෙ.   
සිරියා බත්පත ඩොඃ ගා බිම ඇරියාය. එහි සුවඳින් මගේ රස නහර පිනායන්නට විය. මැණිකේ යළිත් මොනවාදෝ කියවන්නට වූයේ, මා බත්පත කාගෙන යන අතරේය.   
‘අද විතරයි. ආයෙ එන්න බෑ. මම දැන් මේවයින් මට්ටුවෙලා ඉන්නෙ’   


ඇගේ කට සැරය. ඒත් ඇය මා නොහඳුනන නමුදු මා සමඟ කතා කළ හැටියට මට සතුටක් දැනේ. පුංචි අනුකම්පාවක් ඇය වෙතින් මා කෙරෙහි පවතින බව මට හැඟෙයි. ගෙදරට වුව ඇය ඇඳ පැළඳ සිටිනුයේ මහා ගාම්භීර තාලයටය. මේ කෑම ටික ඉස්තරම්ය. මවගේ දෙතනේ කිරි උරා බොමින් සිටි මා බතට හුරු පුරුදුවන්නට ඔන්න මෙන්න කියා තිබියදී ගෙහිමියෝ පෙට්ටියක දමා පාරට දමා ගියේ උදෑසන අඳුර පැතිරෙමින් තිබියදීය. යා යුතු මග නොදැන මම අතරමංවී සිටියෙමි. ගාටමින් හෝ මෙතැන පැමිණියේ හොඳ වෙලාවටය. මා බත්පත කාගෙන යනතුරු මැණිකේ මා දෙස බලා සිටියේ බර කල්පනාවකින් යුතුවය.   


කෑමෙන් පසු මා හෙමින් හෙමින් වත්ත පහළට ගෑටුවෙමි. ඒ වත්ත විශාලය. මෙහි පැත්තක ජීවත් වෙන්න ඇත්නම් කොයිතරම් අපූරු දෙයක්ද?   
ඒත්..... සිදුවූ දෙයින් මම අන්ද මන්ද වූයෙමි. තරබාරු, කැහැටු, මහලු, එවුන් එකාට එකා පුම්බාගෙන දත් විලිස්සා, කලහයකට සූදානම් වෙති. මෙබඳු බිය ජනක දෙයක් මට අත් විඳින්නට සිදුවෙතැයි මම කිසිවිටක නොසිතුවෙමි. ඔවුන් පැමිණෙනුයේ මා සිටින දෙසටය. මා පැන දිවුවොත් ඔවුන් මා හඹා එනු ඇත. මම බිම වැතිරුණෙමි. හදිසියේම ගොරවමින් ආ දැවැන්තයෙක් කලහකාරයන් සියලු දෙනා පලවා හැරිය ආකාරය මට දක්නට ලැබුණේ සිහිනයෙන් මෙනි. ඔවුන් හිස් ලූ ලූ අත පැන දුවන හැටි මා බලා සිටියේ ගැහෙන හදින් යුතුවය.   
‘කවුද මගේ ගැලවුම්කාරයා... ඔහු සතුරා පලාව හරින සෙන්පතියකු බඳුය. මම බියෙන් යුතුව ඔහු වෙතට දෙනෙත් යොමු කළෙමි. මා වෙතට ආවොත් මම ඌට මගේ කෘතගුණය පුදකරමි. එසවූ කොඩියක් සේ වල්ගය උඩට ඔසවා ජයග්‍රාහී විලාශයෙන් සේ සේ ආපසු එයි. ඒ වුවද තවත් දෙතුන් දෙනකු තාප්පය උඩට වී දත් විළිස්සා ලොම් පුම්බාගෙන සිටින්නේ කවර මොහොතක හෝ එකිනෙකා හඹා යන අභිලාශයෙන්ය.   


චණ්ඩියා මා දෙසට ආවේය.   


‘අනේ! කොයි තරම් උදව්වක්ද ඔයා මට කළේ?’ ඔහු මගේ සිරුර ඉවකර ගෙතුළට ගියේ ගාම්භීර තාලයටය. මේ ආගන්තුක ස්ථානයේ මට මහත් බියක් දැනේ. මම හබරල පඳුරට මුවා වූයෙමි.   
සේ සේ මාළු කෑල්ලක් කටින් ඩැහැගෙන විත් මා අසලින් තැබුවේය. මට කුසගිනි නොදැනෙයි. තවමත් මගේ බිය පහවී නැත.   
දිනෙන් දිනම හැංගි හොරා වත්තේ සැඟවෙමින් මැණිකේගේ අනුකම්පාව ලැබ ගනිමින් මේ පරිසරයට මම ඉබේම හුරු පුරුදු වූවෙමි. කාලයක්ම මගේ බත්පංගුව දමන ලද්දේ තාප්පයෙන් එහාය. ඒත් බත් ටික කා මා යළිත් පැමිණියේ ඒ වත්තටමය.   
‘කොච්චර එලෙව්වත් මේකි යන්නෙ නෑ මැණිකේ’ සිරියලතා මැණිකේට ගතු කියයි.   
‘ජාති ණයකාරයෙක්ද කොහෙද?’ මැණිකේ එයට පිළිතුරු සපයයි. මේ අතර සේ සේ මට හුරුපුරුදු වූයේ සංසාරයේ පතාගෙන ආවා සේ ය. මම දැන් බළල් නඩයට බිය නොවෙමි. ඔවුන් අතර ප්‍රධානත්වය ලැබී තිබුණේ ඌට ය. අහල ගං තුලානේම අය සේ සේට ඉමහත් බියක් දක්වති. මම එළිමහනේ වත්තේ කවර තැනක හෝ ලැගුම්ගත්තෙමි.   
එදා ධාරානිපාත වැස්සක් පැවතුණි. මා බයාදු ගතියෙන් බලා සිටියදී මැණිකේ මා වෙත දෙනෙත් යොමුකරගෙන සිටියේ අමුතු ලෙසටය. මේ මහා වැස්සේ වුවද මුළු තැන් ගේ තුළින් ඉදෙන මාළු වෑංජනයක සුවඳ මගේ නැහැයට දැනෙයි.   


‘ඇයි මැණිකේ, බලා ඉන්නෙ සර්පයෙක්වත්ද?’   
මේ රෑ ජාමෙ පරිස්සමෙන්’ ..... සිරියා පැවැසුවාය.   
.... නෑ බං අරකි ...   
අර අර ....   
ඒකිගෙ අංග පුලාව නම් මට ඇල්ලුවෙ නැ’   
ආ! හැබෑවමයි.   
දෙදෙනාම මා දෙස බලා තුෂ්ණීම්භූතව සිටියෝය.   
‘බලන්න මැණිකේ, වටෙන් පිටෙන් ගෙටම ඇවිත් ... සිරියලතා කෑ ගැසුවාය.   
ඒ මදිවට ....   
සිරියලතා දෙතොල් තදකරගෙන නි​ෙවස තුළට වැදුණාය.   
‘ඒකි තෙමෙනව නේද බං’ 

 
මැණිකේගේ අනුකම්පාව මා වෙතට එල්ලවෙයි. සිරියා ලවා නොතෙමෙන තැනක පරණ තුවාලයක් දමා මට නොතෙමී ඉන්නට ඉඩ සලසා දුන්නේ මැණිකේය.   
පසුගිය කාලය පුරා සේ සේ මට මහත් ඇඟෑලුම්කමක් දැක්වුවද දැන් දැන් ඌ මා දෙස නොබලාම යන්නේය. මට තද කුසගින්නක්ද වෙනදාට වඩා අපහසු ගතියක්ද දැනේ.   
‘මට මොනවද වෙලා තියෙන්නෙ?’   
මම මගේ සිරුර පුරා දෙනෙත් යොමු කළෙමි. මගේ ඇඟපත ආරා ඇත. වරින් වර කුසගිනිද දැනේ. මුළුතැන්ගෙට රිංගා හොරා කෑමේ ආශාවක් සිත තුළ නලියයි.   
මැණිකේගේ මුහුණේ අප්‍රසන්න ඉරියව් වෙනස්වන අයුරු මට පෙනේ. ඈ මා ගැන නිතර සොයා බලන්නට වූවාය.   
‘සිරියෝ .... සේ සේට බත් දුන්නද?   
‘නෑ මැණිකේ,   
‘මේකෙන් කොටහක් අරකිටත් දීපං’   
මොකීටද?   
අර බඩදරු එකීට’

   
මම මගේ යහළුවා සේ සේ යයි රෙජිස්තර කළෙමි. ඒත් ඌට වෙන මොකක්දෝ ලස්සන නමක් වෙයි. මැණිකේ මා අමතනුයේද සේ සේ යනුවෙනි.   
සිරියා ලොකු මාළුකෑල්ලක් සමග බත් අනා මා අසලින් තැබුවාය. මා ඒ බත්පත කාගෙන ගියේ එක හුස්මටය. මගේ කුස දවසට දෙකට ලොකු මහත්වන්නට විය. මැණිකේ කෑමට පෙර මා ගැන විපරම් කර බලයි. මම මගේ දුබල නෙත් පා ඇය වෙත කෘතගුණය දක්වමි.   


මේ ගෙදර සිටි චණ්ඩියා එනම් සේ සේ මට දැන් පිටස්තරයකු වගේය. ඌට මා උන්නාද මළා දැයි වගක් නැත. දැන් මට වෙනදාට වඩා සැලකිලි ලැබෙයි. ඒත් සිරියා මට ඇනුම්පද කියයි.   
‘වටෙන් පිටෙන් ගෙටම ආව කීවලු’ මැණිකේ, මා දෙස බලා පවසන්නේ තීරණාත්මක දෙයකි. මොනව වුණත් මං උඹව ගෙට ගන්නෙ නෑ ගොයියො ...’   
ඈ සිනාමුසුව එසේ පවසමින් නි​ෙවසට යාබදව වූ ගරාජය කොනක මගේ සූතිකාගාරය සකස් කර දුන්නාය. ඇගේ පරණ ඇඳුම් කිහිපයක් එහි අතුරා තිබුණි. ඒවායින් ඇඟට සනීපයක් දැනේ. එදා අනෝරා වැස්සය. වැස්සේ මඳ විරාමයකදී අපේ අය රාත්‍රිය පුරා කරන ගෝරනාඩුව මට ඇසේ. මම ඒ මොහොත් හැකිතාක් වේදනාවෙන් කෑ ගැසුවෙමි.   
වැස්ස පායා ඇත. මා මහා බරකින් නිදහස් වූවා සේ අසීමිත සුවයක් දැනේ. මගේ තන පුඩුවලින් එරෙන කිරි උරාබීමට කිහිප දෙනෙකු මගේ සිරුර බදාගෙන පොරකන හැටි මට දැනේ. මම ගණන් කරන්නට පටන් ගතිමි.   


එකයි දෙකයි තුනයි   


පොහොරා කළු සුදා එකෙක් අනෙකකුට නොපරදියි. මට ඉන්නට හෝ කැමට අවශ්‍ය නැත. මගේ සම්පත මා ඉදිරියේය. මැණිකේ පසුදා පාන්දර මා දැක මුව පුරා සිනාරැල්ලක් නඟා ගත්තාය. කුසයෙන් හෑල්ලු වුණ එකීට කුසගිනි ඇතැයි කියමින් ඈ සියතින් බත්පත මා වෙතට ළං කරයි. දරුවෝ මා හඳුනති. ඒ මා උන්ගේ මව නිසාය. පියා කවුදැයි පෙන්වාදීමට මම නිර්භය වෙමි. ඒත් දරුවෝ පියා නොහඳුනති. සේ සේ මට පුප්පා බැහැර වෙයි.   


‘දරුවනේ, නුඹලාට මම එකක් කියමි. ඒ නුඹලා මව හඳුනන නමුදු පියා නොහඳුනන බවයි. 

 

 

පියසීලි විජේනායක