සෙනසුරු හත්වැන්නේ වීම විවාහයට අහිතකරද ?


සෞරග්‍රහ මණ්ඩලයේම අයත් ග්‍රහයන් අතර සෙනසුරු තරම් ප්‍රචලිත වෙනත් ග්‍රහයෙක් නොමැති තරම්ය. සෙනසුරු තුසීත කම්මැළි ග්‍රහ මණ්ඩලයේ යාචකයා ලෙසද හැඳින්වේ. ඔහුට ඇත්තේ මහල්ලෙකුගේ ස්වරූපයකි. මහලු ගතිගුණවලට වඩාත් ප්‍රකට හොඳ හෝ නරක දැනෙන්නට මෙන්ම පෙනෙන්නටද දෙන ග්‍රහයා ශනිය.  


සෙනසුරු නිරාශාව කෙරේ වැඩි නැඹුරුවක් ඇති ග්‍රහයෙකු බැවින් හත්වැන්නේ ප්‍රධාන නිවේදක කාරකයා වශයෙන් සැලකෙන විවාහය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති නොකරයි.  


මේ නිසා සෙනසුරු 7 වැන්නේ පිහිටි ජන්මීන් විවාහය හා විවාහ ජීවිතය කෙරෙහි තදබල උනන්දුවක් ඇල්මක් නොපෙන්වති. එහෙත් ඔවුන්ගේ විවාහ ජීවිතය ඉතා සැලසුම් සහගත වෙයි. ඔවුන් දැඩි අධිෂ්ඨානයකින් යුතුව විවාහයේ පැවැත්ම ආරක්ෂා කරගනිමින් ජීවත් වන අතර අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තියක්ද පවතී.  
කෙසේ වෙතත් කිසියම් කේන්ද්‍රයක 7 වැන්නේ සෙනසුරු බලවත්ව සිටී නම් එකී ජන්මියාට පරෙස්සම්කාරී උද්​ෙ‌යා්ගීමත් සකසුරුවම් සහ නිසි පිළිවෙළක් සහිත සහකරුවකු හෝ සහකාරියක ලැබීමේ භාග්‍ය හිමි වේ. එහෙත් ඔහු හෝ ඇය ප්‍රදර්ශනකාමීත්වයෙන් සපුරා බැහැර වන අතර ප්‍රේමාලිංගනයේදී සංවේදී හැඟීම් පළකරන්නේ ඉතා මද වශයෙනි. එමෙන්ම ඔවුනට විවාහය රජකාරීමය වගකීමක් වැනි වේ.  


එමෙන්ම හත්වැන්නේ සිටින ශනි ශුභයින්ගෙන් බලවත් වේ නම් සහකරු හෝ සහකාරියගේ ජීවිතය ක්‍රමානුකූලව සැලසුම් කරන බුද්ධිමත් අයෙකු වනු ඇත. ගුරුගෙන් බලවත් වූ ශනි සහකරුට ධනය හා වත්කම් ලබාදෙයි. ස්ත්‍රී කේන්ද්‍රයක 7 වැන්නේ ශනි රවි දෘෂ්ටීමය වශයෙන් සංයෝග වූ විට බලවත් පුරුෂයෙකු විවාහ වීමේ භාග්‍යය ලබයි. පුරුෂ කේන්ද්‍රයක ශනි සඳුගේ දෘෂ්ටිය සහිතව යෙදී නම් සෑම අතින්ම යහපත් යැයි සැලකෙන කාන්තාවක හා විවාහ වනු ඇත.  


සෙනසුරු 7 වැන්නේ පාප ග්‍රහයින් සමග සංයෝග වීමෙන් විවාහය විඳීමට නොව විඳවීමට සලස්වයි. ආගමික හෝ සදාචාරමය බැඳීම් ඔහු හෝ ඇය පෙරටු කරගනු ලබයි. ස්ත්‍රියකට වයසින් වැඩි හෝ වැන්දඹු පුරුෂයකු හා විවාහ වීමට සිදුවේ. පුරුෂ කේන්ද්‍රයක ශනි 7 වැන්නේ පාප පීඩිත වීමෙන් චරිත ශුද්ධියකින් යුත් සහකාරියක් නොලැබෙන අතර නිතර ඒ පිළිබඳ කනස්සල්ලෙන් සිටීමට සිදුවනු ඇත.  


එමෙන්ම කලත්‍රයා උදාසීනය. කාමාවේගයේ දී හීනය, ධන තෘෂ්ණවෙන් හිත හරිතය. මෙවන් අඹුසැමි යුවළකට විවාහ සතුට හා සමගිය භුක්ති විඳීමේ අවස්ථාවද විරලය. විවාහ ජීවිතය තුළ ප්‍රසන්න පිබිදුණු මානසිකත්වයක් නැතත් ඔවුන් වෙන්වීම හෝ දික්කසාදය අපේක්ෂා නොකරනු ඇත.  


කෙසේ වෙතත් මකර ලග්න හිමියාගේ 7 වැන්න කටක රාශිය සෙනසුරුට අයහපත්ව රාශියයි. කටක රාශි ගත සෙනසුරුට අඟහරුගේ දෘෂ්ටි ලැබුණහොත් බොහොදුරට විවාහ ජීවිතය අසාර්ථක වෙයි.  


හත අධිපති ශනි සමග සංයෝග වීම ප්‍රබල ලෙස විවාහය ප්‍රමාද කරන ග්‍රහ පිහිටීමකි. කටක හා සිංහ ලග්න හැර ඉහත ග්‍රහ පිහිටීම් අනෙක් සෑම ලග්න හිමියෙකුට අදාළ වේ. ශනි 7 සිටීමෙන් 7 අධිපති ශනි හා සම්බන්ධ වීමෙන් හත්වැන්නට දෘෂ්ටි හෙළීමත් යන අවස්ථා තුනම විවාහ ප්‍රමාද කරන ග්‍රහ පිහිටීම් වේ.  


ශනි සිකුරු සංයෝගයද විවාහය ප්‍රමාද වීමට හේතුවක් වේ. ලෞකික සැප සම්පත් නිවේදනය කරන සිකුරු දුක හා නිරාශාව නියෝජනය කරන ශනි සමග සංයෝග වීම හෝ දෘෂ්ටි ගත වීම විවාහයට ශුභදායක නොවේ. උදාසීන ග්‍රහයෙකු වශයෙන් ශනි හත්වැන්නේ නිවේදනය වූ විට අන්‍ය ග්‍රහයින්ගේ බලපෑම් අභිබවා විවාහ සතුට නැති කිරීමට මෙන්ම විවාහ කටයුතු පමා කිරීමට ක්‍රියා කරයි. මීන ලග්න හිමියෙකුට ශනි 7 වැන්නේ වීම සහ හත අධිපති ශනිට පෙනීම විවාහ උනන්දුව අඩු කරවන ග්‍රහ බලවේගයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.  


සෙනසුරු 7 වැන්නේ උචිච වීම සතුරු හෝ මිතුරු ආදී වශයෙන් පවතින රාශිගත බලය අනුව විපාක දෙනු ඇත. සෙනසුරු 7 වැන්නට දිග් බල ග්‍රහයෙකු බැවින් උචිත අවස්ථාවන් වලදී 7 වැන්නේ නිවේදක කාරකත්වයට ඉතා අහිතකර බලපෑමක් ඇති කරනු යැයි සිතිය නොහැක.  


මේෂ ලග්නයට 7 වැන්න තුලා රාශියේ ශනි තුලාවෙහි උච්ච වෙයි මෙහිදී 7 වැන්නේ වූ ශනිය ගුරුගේ දෘෂ්ටියක්ද ඇති වුවහොත් විවාහය කෙරේ ඉතා ශුභ බලපෑමක් ඇති විය හැක. කටක ලග්නයට වුවද 7 වැන්නේ ශනි ස්වක්ෂේත්‍ර වන බැවින් ශුභදායක තත්ත්වයක් නිර්මාණය විය හැක.  


ශනි 7 වැන්නේ වීම විවාහයට අශුභ පිහිටීමක් ලෙස බොහෝදෙනා උපකල්පනය කළද ඒ ඒ ලග්නයට සහ අනෙකුත් ග්‍රහ බල තත්ත්වයක්ද සැලකිල්ලට ගෙන ශුභ අශුභ විපාක තීරණය කළ යුතුය.  

 


ජ්‍යොතිර්වේදී වාස්තුවේදී  
තුෂාරා වික්‍රමසිංහ  
317, දාගොන්න වැව පාර මීගමුව.