සෙත් කවි හා වස් කවියෙන් පිහිට ලබන්න බැරිද ?


කවි තෙඅයුරකින් ජීවිතයට සමීපය. එයින් පළමුවැන්න සංගීතය සමග එකතුවෙමින් සිත්සතන් පිනවීමය. දෙවැන්න සාහිත්‍ය සමග එකතුවීමෙනි. තෙවැන්න ශබ්ද තරංග තුළින් මිනිස් ජීවිතයට බලපාන විස්මිත මෙහෙවරක යෙදීමය.   


මෙය ලොව පවතින කුමන හෝ භාෂාවක ස්වරූපය වෙයි. කවරකු හෝ කතාකරන කවර හෝ භාෂාවක ශබ්ද නිර්මාණය වී ඇත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ යන පංච භූත ගුණය අනුවය. අ, ඉ, උ, එ, ඔ ස්වරයන්ගෙනි. අක්ෂර නිර්මාණයද ඒ අනුව සිදුව ඇත. මේ අක්ෂර සංයුතිය තුළින් කළ නොහැක්කේ කුමක්ද? විස්මිත කටයුතු කිරීමේ හැකියාව ඕනෑම භාෂාවක පවතී.   


පුරාණ සංස්කෘත උගතුන්ගේ බල සම්පන්න ප්‍රතිඵල දෙන මන්ත්‍ර නිර්මාණය අදටත් වලංගුය. ඒ පංච භූත ස්වර ඝට්ඨනය තුළ ඔවුන් කර ඇති ශබ්ද හැසිරවීමය. සෙත් කවිය සහ වස් කවියද ඒ ගණයේම බලගතු ශාස්ත්‍රයන්ය. 

 
මෙම ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම ගැබ්ව ඇත්තේ නක්ෂත්‍රය තුළය. නක්ෂත්‍රය කියන්නේ කේන්ද්‍ර බැලීම ග්‍රහපල දැක්වීම පමණක් නොවේ.   


මන්තර, වස් කවි, සෙත් කවි නිර්මාණය ජ්‍යොතිර් විද්‍යාවේ එන ගැඹුරුම විෂයයකි. ජ්‍යොතිෂයේ එන නැකත් සීහුම් පංච පක්ෂි තිථි යෝග හෝරා ලග්න, අක්ෂර ස්වර යෝනි ප්‍රභේද ගණ ගණසීහුම් ගණ අධිපති, ග්‍රහයන් දෙවිවරු සහ සිද්ධි චක්‍ර පුළුල්ව හැදෑරීම සෙත්කවි සහ වස්කවි රචනයට අවශ්‍ය වේ.   


පැරැන්නන් හැදූ සෙත්කවි වස්කවි කීපයක් සොයාගෙන ඒවායේ නම් ගම් ආදිය වෙනස්කර සෙත් කවි වස් කවි කරන්නෝ අද බහුලව දක්නට ඇත. කවි හදන්න නොහැකි සමහර ජ්‍යොතිෂකරුවෝද වෙති. මෙවැන්නවුන් කරන දෙයින් ඵල ප්‍රයෝජන නොලැබෙන කල සෙත් කවිය සහ වස් කවිය කෙරෙහි ජනතාව තුළ විශ්වාසය ගිලිහී ගොස් ඇත.   
එසේ නොවන්නට පවතින දහසක් සමාජ ගැටලුවලට සෙත් කවියේ සහ වස් කවියේ පිහිට කෙතරම් ලබාගත හැකිද? අද ඇත්තේ දහසක් ප්‍රශ්නවලින් පිරුණ සමාජයකි. හිතට වදයක් වූ ප්‍රශ්නයක් හැම පුද්ගලයකුටම හැම පවුලකටම නැත්තේ නොවේ.   


මගේ ව්‍යාපාරය සාර්ථක වේද? එයට මෙතරම් බාධක ඇතිවන්නේ ඇයි? මගේ ව්‍යාපාරය අසාර්ථකවන්නේ ඇයි? මම විභාගයෙන් සමත්වේද? මට පාඩම් නොසිටින්නේ ඇයි? මට රැකියාවක් ලැබෙයිද? යන යන සම්මුඛ පරීක්ෂණයෙන් මා අසමත් වන්නේ ඇයි? නිවසක් තනාගැනීමේ බලාපොරොත්තුව දවසින් දවස ඈතට යන්නේ ඇයි? ආරම්භ කළ නිවසේ වැඩ අඩාළවන්නේ ඇයි? ආදී ප්‍රශ්නවලින් බොහෝදෙනා අසරණව සිටිති.   


මට විවාහයක් කරගත හැකිද? එන එන විවාහ යෝජනා එහෙම්මම ආපසු යන්නේ ඇයි? ඇයි මම ගෙදරට නාකිවන්නේ? මොන පාපයක් කළාටද? මම ඔහුට ප්‍රේම කරමි. එහෙත් ඔහු මට ප්‍රේම නොකරන්නේ ඇයි? මගේ ආදරය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? අපට දරු සම්පත් නැත්තේ ඇයි? මගේ දරුවා නිතර ලෙඩවන්නේ ඇයි? දරුවා දඩබ්බරයකු වන්නේ ඇයි? අනේ මගේ පවුලේ සමගියට මොකද වුණේ? සැමියා අහක බලන්නේ ඇයි? මම කිසිම අඩුවක් නොකොට සලකද්දී මගේ බිරිඳ කරන මේ පිස්සුව මොකද්ද? මගේ සහෝදර සහෝදරියන් අසල්වැසියන් ඇයි මට සතුරුකම් කරන්නේ? ආදී වශයෙන් පවුලකට වද දෙන ප්‍රශ්න අපමණය.   


මා ණයට දුන් මුදල ලැබෙයිද? මා ණයට ඉල්ලූ මුදල ලැබෙයිද? මේ දුක් කන්දරාවෙන් ගොඩ එන්න මට ලොතරැයියක්වත් ඇදෙන්නේ නැති හැටි. මගේ විදේශ ගමනට ඇයි බාධා එල්ලවන්නේ. මට මේ වළෙන් ගොඩඑන්න මළගිය ප්‍රාණ කාරයෙක්වත් උදවු කරයිද? මගේ රැකියාව අහිමි කිරීම මොනතරම් අසාධාරණයක්ද? නැවත එය නොලැබේද? යන ප්‍රශ්නද නොයෙකුත් දෙනාට වේදනා දෙයි.   


මම මිනිසුන්ට මොනතරම් උදවු කරනවාද? ඒත් මට ලැබෙන්නේ අවමානයමය. මගේ ආයතනයේ සේවකයන් ඇයි මට අවනත නැත්තේ. ඇයි මට ගෞරව නොකරන්නේ. මේ ඡන්දයෙන් මම දිනයිද? මට ඇමතිකමක් නොලැබෙන්නේ ඇයි? යන ප්‍රශ්නද හිතට වදයක් වූ අය කොතරම්ද?   


පවුලේ යම් අයකු පත්වී ඇති ලෙඩ රෝගයක් නිසා මුළු පවුලක්ම විඳින දුක්වේදනා, පාඩු අවස්ථා වැනි ප්‍රශ්නද සතුටට හා දියුණුවට ඉදිරි ගමන්වලට බලපා ඇති සැටි දැකිය හැකිය. නඩු හබවලට ගොදුරු වී ඇති අය මොන තරම්ද?   


නීතිය කණපිට පෙරළෙන මෙන්ම පෙරළන අවස්ථා ඇතැයි කීම අධිකරණයට කරන අගෞරවයක් නොවේ. එහෙත් එවැනි අවස්ථාවලට මුහුණදී කඳුළු බොන සිරබත් කන අය පතන සරණ කුමක්ද? සෙත් කවිය වස් කවිය අතීතයේ ඊට පිළිසරණවී ඇති සැටි කවි ඉතිහාසයේ පවතී.   


පුරාණ ශාස්තෘවරයන් කළ මන්තර සාස්තරයට මෙන්ම සෙත් කවි වස් කවි ක්‍රමයටද සමාජ ප්‍රශ්නවලට විශ්මිත විසඳුම් දිය හැකිය. කුසීත බව නිසා ඉලක්ක කරා යා ගත නොහැකි බව සමාජ මතයයි. එහෙත් උත්සාහයන්ද සඵල නොවී සන්තාප වන අය මොනතරම්ද? එය ග්‍රහ චක්‍රයේ දුර්වල ගමන විය හැකි බවට ජ්‍යොතිෂ්‍ය පෙන්වා ශාස්ත්‍රයට තරම් සත්‍යයක් නවීන ලෝකය සොයාගෙන නැත. එසේනම් මෙහිදී ඉතාම සාර්ථක ඵල ප්‍රයෝජනයක් ඇති ශාස්ත්‍රය ලෙස පිළිගත හැක්කේ සෙත් කවිය සහ වස් කවියයි.   


ප්‍රශ්නය වී ඇත්තේ මෙම උතුම් ශාස්ත්‍රය නිවැරදිව ඉටුකළ හැකි ශාස්තෘවරයන් අල්ප වීමය. සමස්ත ජ්‍යොතිර්වේදීන් තමන් ප්‍රගුණ කළ එම ශාස්ත්‍රයේ සුවිශේෂී අංශය වූ සෙත් කවිය සහ වස් කවිය ගැන තම අවදානය වැඩිකොට කටයුතු කරන්නේ නම් ප්‍රශ්නවලින් දුක් විඳින සමාජයට මහඟු සෙතක් වීම නොඅනුමානය.   

 


වදාකඩ නවරත්න   
විජය රජදහන, මීරිගම