සුන්දර පර්ත් පුරවරය


රටකින් රටකට

 

ගෙවතුවල තණකොළ කපා ඉවත් කරන වාහනයක්

ඩබින් ග්‍රෝව් හි ඇති හාර්මනි පොකුණ

 

සංකීර්ණ හා දර්ශනීය භූ විමතාවකින් යුත් බටහිර ඕස්ට්‍රේලියාව උතුරේ සිට දකුණට කි.මී. 3300 කින්ද නැගෙනහිර සිට බටහිරට කි.මී. 4025 කින් ද විහිදෙන විශාල භූමියකින් යුත් ප්‍රදේශයකි. එහි ප්‍රධාන නගරය වන පර්ත් ස්වෝන් නදියේ බටහිර ඉවුරේ පිහිටා ඇති අතර මෑතකදී දියුණු වූ අතිනවීන අංගෝපාංගයන්ගෙන් හා පහසුකම්වලින් සපිරුණ නගරයක් ලෙස සැල​ෙක්. 


ඕස්ට්‍රේලියා මහාද්වීපයේ හොඳම දේශගුණයක් ඇති නගර අතරින් එකකි පර්ත් පුරවරය. ලෝකයේ ජීවත්වීමට හැකි හොඳම පරිසරයක් ඇති හා ආකර්ෂණීය නගර දහය අතර පර්ත් පුරවරය රැඳී සිටින්නේ අඛණ්ඩවමය. 


වඩාත්ම හුදකලා වූ නගරය ලෙස සැලකෙන පර්ත් නගරයට ආසන්නතම විශාල නගරය වූ ඇඩ්ලේඩ් පිහිටා ඇත්තේ කි.මී. 2700 ක් දුරිනි. එහෙත් මෙහි ඇති සුන්දරත්වය හා මනස්කාන්ත බව නිසා කිසිවි​ෙටකත් හුදකලා බවක් දැනෙන්නේ නැත. 


ශ්වේතවර්ණ පුලින තලාවෙන් යුත් මුහුදු වෙරළවල් 19 ක දී ඉර බැසී​ෙම් චමත්කාරජනක සුන්දරත්වය සංචාරකයන්ට අත්විඳිය හැක. ශීත සෘතුවේදී හැර අනිකුත් කාලවලදී වලාකුළුවලින් තොර පැහැදිලි අහසක් දැකිය හැකි අතර පැය අටකට ආසන්න කාලයක් පුරා හිරු එළිය හොඳින් පතිත වේ. දර්ශනීය මෙන්ම කාර්ය බහුල නූතන නගරයක් වන පර්ත් පුරවරය ස්වභාවික සෞන්දර්යයෙන් පිරිපුන්ය. වසන්ත සමයේ පුරවරයේ හා අවට වන මලින් පිරී යන්නේ ​ෙනතට රසඳුනක් දෙමින් හරිත වර්ණ ගස් කොළන් වසාගෙනය. 
ස්කොට්ලන්තයෙන් සංක්‍රමණය වූ වැඩි දෙනකුගෙන් පැවතෙන ජනතාවක් වාසය කළ පර්ත් අගනුවරක් ලෙස ප්‍රකාශයට පත් කළේ වර්ෂ 1829 අගෝස්තු 12 වන දිනය. 1850 දී නීතියෙන් වැරදිකරුවන් වූ අයගේ ශ්‍රමය සංවර්ධන කටයුතු සඳහා හඳුන්වා දුන් අතර මුල් අවධියේ රජයේ ගොඩනැගිලි, මංමාවත් හා පාලම් ඉදිකිරීම සඳහා මොවුන්ගේ ශ්‍රමය ලබා ගන්නා ලදි. 


1890 දී කල්ගුලි (Kalgoolie) හා කූල්ගාලි (Coolgarlie) ප්‍රදේශවල රත්රන් නිධි සොයා ගත් අතර එය බටහිර ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය ශීඝ්‍රයෙන් දියුණුවීමට ඉවහල් විය. ජනතාව ද තමන්ගේ අනාගතය සමෘද්ධිමත් කර ගැනීම සඳහා මෙම පෙදෙස් කරා ඇදුණාහ. 


සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා පවතින වසන්ත (spring) සෘතුවත්, දෙසැම්බර් සිට පෙබරවාරි තෙක් බල පැවැත්වෙන ගිම්හාන ඍතුවත් (Summer), මාර්තු සිට මැයි දක්වා පවතින සරත් (Autumn) ඍතුවත් ජුනි අගෝස්තු දක්වා පවතින ශීත (Winter) ඍතුවත් යන ඍතු හතරෙහිම ආශ්වාදය විඳගැනීමේ භාග්‍යය මෙහි ජනතාවට ලැබී ඇත.
එක් එක් ඍතුවලට විශේෂිත වූ උත්සවයන් සංවිධානය කරනු ලබන අතර කාර්ය බහුල ජීවන රටාවක් ගෙන යන ජනතාවට උපරිම විනෝදාස්වාදයක් ලබාගැනීමට හැකි වී තිබේ. වසන්ත සමය උදා වන්නේ කිංස්පාක් උද්‍යානයේ (Kings Park and Botanic Garden) පැවැත්වෙන වනමල් (Wild Flower) දැක්මෙනි. වන මල් ප්‍රදර්ශනය නැරඹීමට මෙන්ම සජීවී සංගීත ප්‍රසංගවල මිහිර විඳ ගැනීමට ද මෙහි ජනතාවට අවස්ථාව ලැබේ. එමෙන්ම වසන්ත ඍතුවට හා ගිම්හාන ඍතුවලට ගැළපෙන ඇඳුම් මෝස්තර ප්‍රදර්ශන ද මෙම කාලය තුළ පැවැත්වේ. ගිම්හාන ඍතුවේදී ජනවාරි 26 ඕස්ට්‍රේලියානු දිනය ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන අතර නොමිලයේ පවත්වන විවිධ ප්‍රසංග ස්වෝන් නදියේ පැවැත්වෙන ජල ක්‍රීඩා හා අවසානයේ ගිනිකෙළි සංදර්ශනයක් ද නැරඹීමේ අවස්ථාවද ලැබේ. 


ජාත්‍යන්තර හොප්මන් (Hop man) කුසලාන ටෙනිස් තරගාවලිය ද පැවැත්වෙන්නේ ජනවාරි මාසයේය. පෙබරවාරි මාසයේ පර්ත් ජාත්‍යන්තර කලා මංගල්‍යය පැවැත්වේ. සරත් ඍතුවේ මාර්තුවල පර්ත් පුරවරයේ විශාලතම ආහාර පාන (Food And Beverage) උත්සවයට විශාල ජනතාවක් එක් වේ. ජුලි හා අ​ගෝස්තුවල ශීත ඍතු කලා මංගල්‍යය (Winter arts Festival) මෙන්ම පාසල් නිවාඩු කාලයේ අවු. 3 - 12 දක්වා වූ ළමුන් සඳහා විශේෂිත වූ වැඩසටහන් ද ක්‍රියාත්මක වේ. 


පර්ත් පුරවරය පුරා පිහිටි ජාතික උද්‍යාන ගෙන දෙන්නේ මහත් සුන්දරත්වයකි. මින් වඩාත්ම ප්‍රසිද්ධ හා දැකුම්කලු උද්‍යානය වන්නේ නගරයට බටහිරින් කුඩා කඳු ගැටයක් මත පිහිටි කිංස් පාක් උද්භිද උද්‍යානයයි. (Kings Park and Botanic Garden) වර්ග කිලෝ මීටර් 4.06 ක වපසරියක් පුරා විහිදෙන මෙම උද්‍යානයේ දේශීය පැළෑටි වර්ග 30,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇත. 


දැකුම්කලු පරිසරයක පිහිටි මෙම උද්‍යානය ආරක්ෂා කර ගැනීමටත් සංවර්ධනය කිරීමටත් බටහිර ඕස්ට්‍රේලියානු රජය මෙන්ම එහි වෙසෙන ජනතාවද ගන්නේ ඉමහත් වෙහෙසකි. ලෝක යුද සමයන් තුළ දී දිවි පිදූ රණවිරුවන් වෙනුවෙන් නිර්මාණය කළ සිහිවටන ද මෙහිදී දැක ගත හැක. සෑම වර්ෂයකම මිලියන 6 ක පමණ ජනතාවක් මෙම උද්‍යානය නැරඹීමට පැමිණෙන බැව් වාර්තා වේ. ලෝකයේ අගනගරයක් තුළ පිහිටි විශාලතම උද්‍යානය මෙය වන අතර නිව්යෝර්ක් නගරයේ පිහිටි සෙන්ට්‍රල් පාක් උද්‍යානයට වඩා මෙය විශෘලය. උද්‍යානයේ කඳු මුදුනට පර්ත් නගරයේ සුන්දරත්වයත් ස්වෝන් නදියේ මනස්කාන්ත දර්ශනයත් අපූරුවට දැක ගත හැක. වසන්ත සමයේදී උද්‍යානය වන මලින් වැසී යන්නේ සුරංගනා ලෝකයක සිරිය මවමිනි. 


මේ හැර පර්ත් පුරවරය පුරා පිහිටි ජාතික උද්‍යාන රාශියකි. මෝරි ගංගාව ආසන්නයේ පිහිටි මෝරි නදී ජාතික උද්‍යානය (Moore River National Park) යැන් චෙප් ජාතික උද්‍යානය (Yanchep N.P.) ඇවොන් වැලි ජාතික උද්‍යානය (Avon Valley N.P.) නීරබප් (Neerabup N.P.) ජාතික උද්‍යානය" වැල්යුන්ගා (Valyunga N.P.) ජාතික උද්‍යානය ජෝන් පොරස්ට් ජාතික උද්‍යානය හා සර්පන්ටයින් ජාතික උද්‍යානය ඉන් කීපයකි. 


ඉතා ප්‍රසිද්ධ හිමිනමක් වන අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ බෝධිඥාන ආරාමය පිහිටියේ මෙහිය. යැන්චෙප් ජාතික උද්‍යානයේ විශාල භූගත ගුහාවක් පිහිටා ඇති. (Crystal Cave) අතර එහි අභ්‍යන්තරයේ කුඩා පොකුණක් ද පළිඟු මෙන් දිස්වෙන හිරිගලින් නිර්මාණය වූ විස්මිත ස්වභාවික නිර්මාණයන් ද දැක ගත හැක. 


පර්ත් නගරයේ ස්ථාපිත කර ඇති මාර්ග හා ප්‍රසිද්ධ ස්ථාන දැක්වෙන සිතියම් සහිත ස්ථම්භ නිසා මඟ පෙන්වන්නකුගේ ආධාරයක් නොමැතිව අවශ්‍ය ස්ථාන දැක බලා ගැනීමේ පහසුව සංචාරකයන්ට ලැබී ඇත. පර්ත් පුරවරයේ නැරඹිය යුතු වැදගත් ස්ථාන කීපයක් ඇත. 

 

චොකලට් කර්මාන්ත ශාලාවක ඇතුළත දර්ශනයක්

විදුලි දුම්රියක ඇතුළත දර්ශණයක්

 


ස්වෝන් නදියට සමීපව බැරැක් වීදියේ පිහිටි බෙල් ටවර් (Bell Tower) මින් එකකි. මෙහි මිහිපිට ඇති විශාලතම සංගීත භාණ්ඩවල එකතුවක් හා මාටින් සාන්තුවරයාගේ සීනු ද තැන්පත් කර ඇත. නැරඹිය යුතු තවත් වැදගත් ස්ථානයක් වනුයේ පර්ත් නැගෙනහිර පෙදෙසේ හේ වීදියේ (Hay Street) පිහිටි පර්ත් මින්ට් ය. 


(Perth Mint) ලෝකයේ පැරණිම මෙන්ම තවමත් ක්‍රියාත්මක වන රන්කාසි නිෂ්පාදනාගාරය ලෙස මෙය සැලකේ. ටොන් එකක් බරැති ඩොලර් මිලියන 50 ක් වටිනා විශාල රන් කාසියක් මෙහිදී දැක ගත හැකි අතර රන් කාසි නිෂ්පාදනයේ අතීත තොරතුරු දැන ගැනීමට මෙන්ම රන්කාසි නිෂ්පාදනය කරන අයුරු ද දැක ගත හැක. 


ප්‍රිමැන්ටල් නගරයේ ද නැරඹිය යුතු වැදගත් ස්ථාන කීපයක් තිබේ. වික්ටෝරියා ජැටිය (Victoria Quay) කෙළවරට වන්න පිහිටි බටහිර ඕස්ට්‍රේලියානු සාමුද්‍රික කෞතුකාගාරය (WA Maritime Museum) මින් එකකි. වෙරළබඩ නගරයක් හා වරායක් වශයෙන් ප්‍රිමැන්ටල් නගරයේ අතීතය වර්තමානය හා අනාගතය පිළිබිඹු කරන පැතිකඩක් ලෙස මෙය හැඳින්විය හැක. දෙවන ලෝක යුද සමයේ භාවිතා කළ ඔබෙරෝන් සබ්මැරින්වල උදුන් මෙහිදී දැක ගත හැකි අතර ඊට මඳක් දුරින් ක්ලිෆ් වීදියේ (Clift Street) පිහිටි බටහිර ඕස්ට්‍රේලියාවේ මුහුදුබත් වූ නැව්වල ඉතිරි වූ කොටස් තබා ඇති කෞතුකාගාරය ද (WA Shipwrecks Museum) නැරඹිය හැක. 


මුහුදුබත් වූ නැව්වල සිය ගණනක් ශේෂ වූ කොටස් මෙහි තැන්පත් කර තිබේ. 1629 දී මුහුදුබත් වූ බතාවියා නැවේ දැව දඬු මෙන්ම මුහුදුබත් වූ ඕලන්ද නැව්වල ගණනය කළ නොහැකි ඓතිහාසික මෙවලම් ද මෙහිදී දැක ගත හැක. 


ස්වෝන් නිම්න කොලනි ආරම්භ කළ සමයේ සිරකරුවන් රැඳවීමට ගොඩ නැගූ ප්‍රථම මෙන්ම ස්ථිර ගොඩනැගිල්ලක් වූ රවුන්ඩ් හවුස් (Round House) නැරඹිය යුතු තවත් වැදගත් ස්ථානයකි. වර්ෂ 1831 ජනවාරි 18 වන දින සිරකරුවන් රඳවා තැබීම සඳහා මෙය විවෘත කළ අතර 1899 දක්වා මෙහි රඳවා සිටි සිරකරුවන් බලාගැනීම පොලිසියට අයත් රාජකාරියක් විය. මෙහිදී සිරකරුවන් රඳවා සිටි සිර මැදිරි ද සිරකරුවන්ගේ සැබෑ ස්වරූපය පෙන්වන ආකෘති ද සිරකරුවන් ද දඬුවම් පැන වූ දඬු කඳක් ද දැක ගත හැක. පහතින් පිහිටි මුහුදු දෙසට විවර වූ බිම් ගෙය 1860 දී තල්මසුන් දඩයම් කිරීම සඳහා ප්‍රවිශ්ට වූ මාර්ගයක් ලෙස යොදා ගැනුණි. 


රොකින්හැම් නගරය ආසන්න නොගැඹුරු ජලය ඇති මුහුදේ දූපත් කීපයක් ඇති අතර සංචාරකයන්ට ඩොල්ෆින් සතුන් සමග පිහිනීමට අවශ්‍ය පහසුකම් ලබා දී ඇත. එසේම පුහුණුකරුවන්ගේ මාර්ගෝපදේශය යටතේ ජෙට් පැක් (Jet Pack) ක්‍රීඩාවේ යෙදීමට අවස්ථාව උදාකර දී ඇත. පෙන්ගුවින් දූපතේ දී (Penguin Island) කුඩා වර්ගයේ පෙන්ගුවින් සතුන් නැරඹිය හැක. පතුල විනිවිද පෙනෙන බෝට්ටු මගින් සංචාරය කර මුහුදු සිංහයන් දැක ගැනී​ෙම් දුලබ අවස්ථා ද ලබා ගත හැක. 


පින්ජ්රාහි (pinjarra) පිහිටි පීල් සත්වෝද්‍යානයේ දී සතුන් ස්පර්ශ කිරීමට සංචාරකයන්ට ලබා දී ඇති අතර කුරුලු වර්ග 100 කට වඩා දැකගැනී​ෙම් භාග්‍යය ද ලබා ගත හැක. 
පර්ත් පුරවරයේ ටාන්ස් පර්ත් ආයතනය මගින් ක්‍රියාත්මක කරන විශිෂ්ට ගණයේ ගමනාගමන සේවයක් ඇත. ඕස්ට්‍රේලියාවේ ඇති ගමනාගමන මණ්ඩල අතරින් ​ෙහාඳම ගමනාගමන මණ්ඩලය ලෙස ට්‍රාන්ස්පර්ත් මණ්ඩලය පත් වී තිබේ. බස් රථ හා දුම්රිය සේවාවන් ද මෙ​ෙහයවනු ලබන්නේ මෙම ආයතනය මගිනි. පර්ත් නගරයේ සිට උතුරු දෙසට බට්ලර් දක්වාත් නගෙනහිර දෙසට මිඩ්ලන්ඩ් (Midland) දක්වාත් ගිනිකොන දෙසට තෝන්ලි (Thornlie) හා ආමඩේල් (Armadale) දක්වාත් දකුණු දෙසට මැන්ජුරා (Mandurah) දක්වාත් නිරිත දිග දෙසට පිමැන්ටල් දක්වාත් ක්‍රියාත්මක වන විදුලි දුම්රිය මාර්ග හයක් ඇත. 


සෑම විනාඩි 10 කට හා 15 කට වරක් ධාවනය වන මෙම විදුලි දුම්රියන් පැයට කි.මී. 100 ක වේගයෙන් ධාවනය කෙරේ. සෑම දුම්රිය ස්ථානයකදීම ඊළඟට නවත්වන දුම්රිය ස්ථානය දුම්රිය මගින්ම නිවේදනය කරන අතර දුම්රිය පෙට්ටිවල සවි කර ඇති විදුලි සංඥා පුවරුවක ද එය සටහන් වේ. මේ නිසා ඕනෑම අයකුට අපහසුවකින් තොරව තමන්ට අවශ්‍ය ගමනාන්තයෙන් බැස ගැනීමට පුළුවන. සෑම දුම්රිය ස්ථානයක් අසලම පාහේ බස් නැවතුම්ප​ළවල් මෙන්ම සුපිරි වෙළඳසල් ද දැකිය හැක. දුම්රිය ස්ථානයේ සවි කර ඇති යන්ත්‍ර මගින් තමන්ට අවශ්‍ය ගමනාන්තය දක්වා ටිකට් පතක් මුදල් එම යන්ත්‍රයට ඇතුළු කිරී​ෙමන් ලබා ගත හැකි අතර එම ටිකට් පතින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමේ පහසුකම ජනතාවට ලබා දී ඇත. පර්ත් නගරයේ ක්‍රියාත්මක වන කැට් බස් රථ වලින් නොමිලයේ ගමන් කිරීමේ වරප්‍රසාද ජනතාවට ලබා දී ඇත. බ්ලූ කැට් (Blue Cat) යෙලෝ කැට් (Yellow Cat) ග්‍රීන් කැට් (Green Cat) හා රෙඩ් කැට් (Red Cat) යන මෙම බස් රථ සෑම විනාඩි 8 කට 10 කට හා 15 කට වරක් උදේ 6.30 සිට රාත්‍රී 9.00 දක්වා ක්‍රියාත්මක වේ. බුල් කැට් බස් රථ එස්ප්ලනේඩ් (Esplanede) බස්නැවතුම්පළේ සිට පර්ත් උමං දුම්රිය ස්ථානය අතරත්, යෙලෝ කැට් බස් රථ ක්ලෙයාස් බෲක් (Claisebrook) දුම්රිය ස්ථානයේ සිට පර්ත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අතරත් ග්‍රීන් කැට් බස් රථ එස්පැනේඩ් බස් නැවතුම්පළේ සිට ලීඩර් වීල් (Leederville) දුම්රිය ස්ථානය අතරත් රෙඩ් කැට් බස් රථ බටහිර ඕස්ට්‍රේලියානු කෞතුකාගාරය හා ක්වීන්ස් උද්‍යානය අතරත් ධාවනය වේ. 


පර්ත් පුරපරයට ළඟාවීම සඳහා සෑම ප්‍රදේශයකම සිට දිවෙන අධිවේගී මාර්ග හා නිදහස් මාර්ග (Freeway) කීපයක් ඇත. දකුණේ සිට ක්විනනා (Kwinana) ෆ්‍රීවේ මාර්ගයත් සවුත් වෙස්ටර්න් අධිවේගි මාර්ගයත් ඇල්බනි (Albany) අධිවේගී මාර්ගයක් ඇත. උතුරු දෙස සිට මිචෙල් ප්‍රීවේ මාර්ගය ඇත. මෙම අධිවේගී මාර්ගය මගින් කි.මී. 100 ක දුරක සිට වුවද ඉතා සුළු වේලාවකදී පුරවරයට ළඟා විය හැක. 


තනි අතට දිවෙන අධිවේගී මාර්ගවල මංතීරු හතරක් ඇති අතර හදිසි ආපදාවකදී නැවැත්වීමට එමජන්සි ස්ටොපිං ලේන් (Emergency Stopping Lane) යනුවෙන් වෙන් වූ මං තීරුවක් ඇත. මෙම මං තීරුවේ රිය ධාවනය කිරීම තහනම් වේ. සෑම අධිවේගී මාර්ගයක මෙන්ම අතුරු මාර්ගවල ද ධාවනය කළ හැකි උපරිම වේගය සඳහන් කළ පුවරු ඇති අතර පැය 24 පුරාම CCTV කැමරා මගින් මේවා නිරීක්ෂණය කෙරේ. 


පුරවරයේ සිටින සෑම රියැදුරකුම පාහේ මාර්ග සංඥා හොඳින් පිළිපදින විනීත රියැදුරන් නිසා ඇති වන වාහන අනතුරු සංඛ්‍යාව ද ඉතාමත් අඩුය. 


​ෙම් හැර පර්ත් නගරයේ ස්වෝන් නදියේ සිට ක්‍රියාත්මක වන කෘස් නැව් සේවාවක් ඇත. ස්වෝන් නදිය දෙපස මනස්කාන්ත දර්ශන නැරඹීමට හැකි නැව් සේවාවක් ද වයින් නිෂ්පාදනාගාර වෙත යන නැව් සේවාවක් ද ප්‍රිමැන්ටල් වරාය දක්වා යන නැව් සේවාවක් හා රොට්නස්ට් (Rottnest) දූපත බලා යාත්‍රා කරන නැව් සේවාවක් ද ඇත. මේවායින් සංචාරය කිරීමෙන් අමතක නොවන මනස්කාන්ත සුන්දර වූ අත්දැකීමක් ලබා ගත හැක. 


සෑම නිවාස සංකීර්ණයක් අසලම උද්‍යාන නිර්මාණය කර ඇත. මේවායේ කුඩා ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ටත් ක්‍රීඩා කිරීමටත් විවේක ගැනීමටත් පහසුකම් සලසා ඇත. සෑම උද්‍යානයකම පාහේ තාරාවන් වැනි සතුන් ඇති පොකුණු සකස් කර තිබේ. මේවායේ ඇති ජලය පරීක්ෂා කිරීමට ජල සම්පාදන ආයතනය කටයුතු කරයි. 


පුරවරයේ කැළි කසළ බැහැර කිරීම ද ඉතා ක්‍රමවත්ව සිදු කරන අතර පුරවරයේ පදිංචිකරුවනට කසළ බැහැර කිරීම සඳහා ඒ ඒ පළාත් අායතන මගින් කොළ පාටින් හා කහ පාටින් යුත් විශාල කසළ බඳුන් දෙක බැගින් සපයා දී ඇත. ආහාර හා දිරන ද්‍රව්‍ය කොළ පාට බඳුනෙහිත් වීදුරු බෝතල් හා පත්තර කහ පාට බඳුනටත් බැහැර කිරීමට උපදෙස් දී ඇත. කසළ ගෙන යාම සඳහා එක් ප්‍රදේශයකට සතියේ එක් දිනයක් බැගින් වෙන් කර ඇති අතර මෙම ට්‍රක් රථ උදේ 6.00 සිට ක්‍රියාත්මක වේ. 


රියැදුරු පමණක් සේවය කරන මෙම ට්‍රක් රථ වල ඇති යාන්ත්‍රික අත් දෙකක් මගින් බඳුන ඔසවා රථයට කසළ පමණක් ඇතුළු කර හිස් බඳුන එම ස්ථානයේම තබන අතර ඉතා ඉක්මනින් කසළ ගෙන යාමට හැකි වී තිබේ. පුරවරයේ ඇති පිරිසිදුකම ගැන සංචාරකයන්ට ඇති වන්නේ ඉමහත් සතුටකි. 


ජනතාවගේ සියලුම අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා වාහන දහස් ගණනක් ගාල් කර තැබිය හැකි සුපිරි වෙළෙඳ සංකීර්ණ මෙන්ම කුඩා සුපිරි වෙළෙඳ සැල් ද පර්ත් පුරවරයේ දක්නට ඇත. මෙම සුපිරි වෙළෙඳ සැල් බොහොමයක්ම පාහේ පිහිටා ඇත්තේ දුම්රිය ස්ථානයක් අසලවීම විශේෂත්වයකි. කැරෝසල් (Carousel) ​ෙකා්ක්බර්න් ගේට්වේ (Cockburn Gateway) ලේක් සයිඩ් ජෝන් ඩලුප් (Lakeside Joondalup) මිඩ්ලන්ඩ් ගේට් (Midland gate) මෙවැනි සුපිරි වෙළෙඳසල් වලින් කීපයකි. 


19 වන ශත වර්ෂයේ මුල් භාගයේ බටහිර ඕස්ට්‍රේලියාවේ රසවත් ඉතිහාසය පිළිබඳ වැටහීමක් ලබාගැනීමට හැකිවීමත් මන බඳින ජාතික උද්‍යාන චමත්කාරජනක ග්‍රාමීය නගර ආදිවාසීන්ගේ මෙන්ම නූතන කලා ශිල්පවලින් පිරි කලාගාර, අමතක නොවන වන ජීවීන් වැනි දේ නැරඹීමට හැකි වීමත් පිරිසිදු වාතය ආශ්වාස කිරීමට හැකිවීමත් නිසා පර්ත් පුරවරය සංචාරය කිරීම සඳහා ඇති ඉතාම සුදුසු ස්ථානයක් බවට පත් වී ඇත. 


අාහාර පාන සැකසීම සඳහා ලෝක ප්‍රසිද්ධ ආයතන මගින් පාලනය වන ආපන ශාලා වලින් තමන්ට අවශ්‍ය ඕනෑම වර්ගයක ආහාර පාන ලබා ගැනීම සඳහා ගත කළ යුතු වන්නේ විනාඩි 30 ක් වැනි සුළු කාලයකි. ස්වෝන් මිටියාවතේ (Swan Valley) විශාල මිදිවතු දැකිය හැකි අතර වයින් නිෂ්පාදනාගාරවලදී නොයෙකුත් වර්ගයේ වයින්වල රස බැලීමට සංචාරකයින්ට පුළුවන. 


ලෝකයේ ඉස්තරම්ම මී පැණි නිෂ්පාදානාගාර මෙන්ම චොකලට් කර්මාන්තශාලා ද මෙහි ඇත. ඇපල්වලින් සාදා ගන්නා බියර් පානයක් වන සයිඩර් (Cider) වල රස බැලීමට ද සංචාරකයින්ට පුළුවන. පර්ත් පුරවරයේ සිදුවන දාමරික ක්‍රියා හෝ සොරකම් ඉතාමත් අඩුය. සෑම පුරවැසියෙක්ම ඉතා සතුටින් සාමයෙන් හා සැහැල්ලුවෙන් ජීවත්වීම පර්ත් පුරවරයේ ඇති විශිෂ්ටත්වයකි. 

 

 


ජී.ඩබ්ලිව්. ගුණතිලක 
රජයේ විශ්‍රාමික.