සුන්දර අරුණිගේ සිත් ගත් මායාවතිය


සුදු පිරියම් කළ මැද සාලයේ සවිකර තිබූ කාන්තාවගේ පිංතූරය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වන්නට විය. ක්ෂණිකවම එම පිංතූරයේ ඇස් නිල් පාටට හුරුවන්නට විය. ඡායාරූපයේ මායාව විගස මේ නිවස ගිලගත්තේ නිමේෂයෙනි. මියැදුණු මහලු කාන්තාව යළිත් ඒ මැදියම් රැයේ සිට යළි එම නිවසේම මායාවක් වී උපන්නේය. සිදුවන්නේ කුමක්ද? කිසිවෙක් දැන සිටියේ නැත. නමුත්, යළි ඉපදුණ වයසක කාන්තාව මේ නිවසේ සිටි තරුණ කාන්තාවට බැල්ම හෙළුවාය. මහා බියකරු සිද්ධීන් රැසක් ජනිත වන්නේ ඉන් අනතුරුවය. මේ ඒ කතාන්දරයේ විස්මිත පුවතයි.   


ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් වුවද කවදා හෝ අප සෑම කෙනෙක්ම සෑම දෙයක්ම අතහැර යායුතුය. එය ලෝ දහමයි. බුදු දහමට අනුව සෑම දෙයක්ම අනිත්‍ය ය. එය අප හොඳින් තේරුම් ගතයුතුය. තමන් ආදරය කරන, තමන් ප්‍රිය කරන අය මරණයට පත්වීම විශ්වාස නොකරන, එසේම එය දරාගත නොහැකි අයද අද සමාජයේ බොහෝ සිටිති. මේ ද එවන් සත්‍ය කතාවකි.   


හපුතලේ ප්‍රදේශයේ ජීවත් වන සාමාන්‍ය වත්පොහොසත්කමින් හෙබි පවුලක එකම දියණිය වන අරුණි විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන යුවතියකි. වයස විසිපහක් වන අරුණිට මේ වනතුරුත් පෙම්වතකු සිටියේ නැත. එසේම අරුණි විවාහය ප්‍රතික්ෂේප කරන නිසා අරුණිගේ දෙමාපියන් ඇයට සුදුසු මනාලයකු සෙවීමද අත්හළේය.   
අරුණි බොහෝ ප්‍රියමනාප තරුණියකි. කාගේත් සිත දිනාගන්නා අරුණි රාජකාරි ස්ථානයේ සියලුදෙනාගේද ආදරය, කරුණාව දිනාගත්තාය. අරුණි තම දෙමාපියන්ට බොහෝ ආදරය කළාය. ඇයට දෙමාපියන් නොදැක එක් රැයක්වත් ගත කළ නොහැකි තරම් ඇය දෙමාපියන්ට බොහෝ සෙනෙහෙවන්තව සිටියාය.   
අධ්‍යාපන කටයුතු නිම කළ පසු අරුණි මුලින්ම කළේ ඇයට සුදුසු රැකියාවක් සොයාගැනීමයි. ඇය උදේම රැකියාවට ගොස් සවස නිවසට පැමිණෙන්නේ මවගේත් පියාගේත් මුහුණ බලා ගැනීමේ අදිටනිනි.   


අරුණි තම සේවා ආයතනයේ සැමගේ හිත දිනාගෙන සිටින නිසා අරුණිට කරදරයක් වූ විටදී ඇය සමඟ දුක සැප සම සේ බෙදාගැනීමට ආයතනයේ සැවොම ක්‍රියා කළෝය. එම නිසා අරුණිට නිවස මෙන්ම සේවා ස්ථානයද බොහෝ ප්‍රියමනාප ස්ථානයක් විය. ඇය කාලය ගතකළේ බොහෝ සතුටිනි.   
දිනක් අරුණිගේ මව හදිසියේම අසනීප වූවාය. වෙනදාට කඩිසරව වැඩකටයුතු කරන මව පැත්තකට වී සිටිනු දැකීම අරුණිට අදහාගැනීමට නොහැකි විය. අම්මයි තාත්තයි වයසට ගියත් තවමත් ජවසම්පන්නව සිටින බවත් යහපත් ශරීර සෞඛ්‍යයකින් ඔවුන් පසුවන බවත් අරුණි නිරන්තරයෙන්ම තම සේවා ස්ථානයේ මිතුරු මිතුරියන් හට පැවසුවේ උජාවෙනි.   
එහෙත් අරුණිගේ මව එක්වරම කලන්තයක් සෑදී ඇද වැටුණේ “දූ..” කියාගෙනය. එවිටම අරුණි “අම්මා.. අම්මා මොකද අම්මා වුණේ” කියාගෙන මව දෙසට දුවගෙන ආවාය. ඇය මව වත්තම් කරගෙන “තාත්ති ඉක්මනට එන්න අම්මට කලන්තයක් හැදිලා” කියා කෑ ගැසුවාය.   
අරුණිගේ මව පියවි සිහියට පැමිණි පසු ඇයව අරුණිත් පියාත් රෝහලකට ගෙනයාමට සූදානම් වුවත් ඇය එයට අකමැති වූ නිසා අරුණි නිවසින් පිටවූයේ “තාත්ති අම්මව පරිස්සමින් බලාගන්න” කියාය.   


එහෙත් අරුණි සේවා ස්ථානයේ සිටියේ මවගේ විලාශය මෙනෙහි කරමින් කල්පනාබරිතවය. “අද අම්මා උදේ උය උයා ඉද්දි එකපාරටම කලන්තයක් හැදිලා වැටුණා” අරුණි සේවා ස්ථානයේ මිතුරු මිතුරියන්ට කීවේ දුකිනි. “එහෙත් අම්මාව තාත්තා බේත් අරන් දෙන්න එක්ක යන්න හැදුවට අම්මා බේත් ගන්න ගියෙ නෑ. මං තාත්තට කීවා අම්මව කොහොම හරි බේත් ගන්න එක්ක යන්න කියලා” අරුණි තවදුරටත් මවගේ තත්ත්වය විස්තර කළාය. ඇය එදින රාජකාරි කළේ සිහියකින් නොවේ. මවගේ තත්ත්වය කුමක්දැයි බලාකියා ගැනීම සඳහා ඇය රාජකාරි වේලාව අවසන් වනතුරු සිටියේ කලබලයෙනි.   
අරුණිගේ ආයතනයේ ප්‍රධානියාට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව ඔහු අරුණි සමඟ වැඩ කළ යෙහෙළියක සමඟ අරුණි දෙස බලමින් මොනවාදෝ කියමින් බැරෑරුම් විලාශයකින් කතා කරනු අරුණි දුටුවාය. එහෙත් එය එතරම් වගකට නොගත් අරුණිගේ සිත තිබුණේ නිවසේය. අරුණිගේ යෙහෙළිය ආයතන ප්‍රධානියා තමන් සමඟ කිවූ කිසිවක් නොකියා අරුණිට වේලාසන යාමට අවසර දී ඇති බව පැවසුවාය. අරුණිට එය ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවේ කියන්නාක් හා සමාන විය. ඇය මිටින් හළ කිරිල්ලියක සේ ඉක්මනින්ම නිවස වෙත පිටත් වන්නට විය.   


එහෙත් නිවසට අඩිය තබනවාත් සමඟම පරිසරයේ තිබුණු වෙනස හඳුනාගන්නට ඇයට හැකිවිය. වෙනදා නැති හිස්බවක් හා මහා මූසල බවක් මුළු පරිසරයම වෙළාගෙන ඇත. ඇයගේ හදවත ගැහෙන්නට විය. ඇය සෙමින් සෙමින් නිවස තුළට පියමැන්නාය. ආයතනයේ සිට නිවස වෙත අරුණි ඉක්මනින් පියමැන්නේ මව සිප වැලඳගෙන ඇයගේ අසනීප තත්ත්වය ගැන දැනගැනීමටයි. එහෙත් නිවසේ ගෘහභාණ්ඩ සියල්ල ඉවත් කර, ඡායාරූප පවා මුණින් අතට හරවා නිවස අමුතුම තැනක් බවට පත්කර ඇත.   
බිත්තියේ එල්ලා තිබූ මවගේ පින්තූරයකට මල්මාලයක් දමා එය මේසයක් මත තබා තිබේ. ඇයට කිසිවක් සිතාගැනීමට නොහැකි විය. එසේම තම දෑස් මානයේ පෙනි පෙනී තිබෙන සත්‍ය ඇයට පිළිගැනීමට අපහසු විය.   
ඇය “අම්මෙ” කියනවාත් සමඟම සිහි නොමැතිව ඇදවැටුණි. අරුණිගේ පවුලේ කිසිවක් ඇයව බිමට වැටෙන්නට නොදී වත්තම් කරගත්තේ බොහෝ අමාරුවෙනි.   
පියවි සිහිය ලද අරුණි තම ආදරණීය මව මියගොස් ඇති බව දැනගත්තද එය විශ්වාස කරන්නට අකමැති වූවාය. ඇය මවගේ වියෝව විශ්වාස කළේ නැත. අරුණි සිටියේ සිහිකල්පනාවක් නොමැතිවය. ඇයට සිතුණේ තමන් දකින්නේ සිහිනයක් කියාය. කිසිදු රෝගාබාධයක් නොමැතිව සිටි මව හදිසියේම කලන්තයක් දමා වැටුණු බව සැබෑ වුවත් ඇය මියයන්නට තරම් අසනීපයක් ඇයට නොතිබූ බව අරුණි විටින් විට සිතුවාය.   


මවගේ අවසන් කටයුතු නිමා වුවද දින ගණනාවක් තිස්සේම අරුණි සිහියකින් නොසිටියාය. අවමංගල කටයුතු අවසන් වුවද අරුණිගේ තත්ත්වයේ වෙනසක් නොමැති විය. ඇය සිටියේ මව ජීවතුන් අතර සිටිනවා යන සිතුවිල්ල තුළය. දින සති මාස ගෙවී තුන් මාසයේ දානයද අවසන් විය. එහෙත් අරුණිගේ වෙනසක් නොවීය.   
මාස කිහිපයක් යනතුරුම අරුණි එම සිහිනයෙන් අත්මිදුණේ නැත. මාස කීපයක්ම අරුණි සේවයට වාර්තා නොකළ නිසා ඇයව ආයතනයෙන් ඉවත් කෙරුණි. මාස තුනක් යනතුරුම අරුණිට සේවාස්ථානයෙන් සමාව ලැබුණේ ඇය හොඳින් රාජකාරි කටයුතු කරමින් ආයතනයේ සැමගේම හිතදිනාගෙන සිටි නිසාය.   
එහෙත් වසරකටත් ආසන්න කාලයක් ගත වීද අරුණිගේ තත්ත්වයේ වෙනසක් නොමැති බව දැනගත් ආයතනයේ කළමනාකාරිත්වය විසින් ඇයට පණිවුඩයක් යවා ඇයව ආයතනයෙන් ඉවත් කළ බව දන්වීය. එහෙත් අරුණිට එය වගක් නොවීය. ඇය සිටියේ මවගේ ලෝකයේය.   
අරුණිගේ මෙම තත්ත්වය අරුණිගේ පියාට මෙන්ම පවුලේ ඥාතීන්ටද බලාසිටීමට නොහැකි විය. දේවාලයක කපු මහතකු වෙත අරුණිව කැටුව ගිය ඥාතීන් අරුණිගේ තත්ත්වය කපු මහතාට පැවසීය. අරුණි කිසිවකු සමඟ කතාබහ නොකරන නිසාත්, කෑමක් බීමක් නොගන්නා නිසාත් කපු මහතා කීවේ ඇයට තනිකම් දෝෂයක් බලපා ඇති බවයි. එය ඉවත් කිරීමට ශාන්තිකර්මයක් කළ යුතු බව කපු මහතා කීවේය. ඒ අනූව අරුණිට ශාන්තිකර්මයක් සිදුකෙරිණි. එහෙත් එමගින්ද සහනයක් ලැබුණේ නැත.   
අරුණිගේ සේවා ස්ථානයේ මිතුරු මිතුරියන් ඉඳහිට ඇයව බලන්නට පැමිණියේය. එහෙත් ඔවුන් සමඟ වචනයක් දෙකක් දොඩන අරුණි සිටියේ වෙනමම ලෝකයකය. ඇයගේ මිතුරු මිතුරියන් කල්පනා කළේ තම යෙහෙළිය වෙනුවෙන් කුමක් කළයුතුද? යන්නය.   


“මෙයාගේ මේ තත්ත්වයට අපි මොකද කරන්නේ... මේ කෙල්ල කොච්චර සතුටින් හිනාවෙලා හිටිපු කෙල්ලෙක්ද.. අද මූණේ හිනාවක්වත් නැහැනෙ” යහළු යෙහෙළියෝ ඇයගේ තත්ත්වය දැක බොහෝ කණගාටු වූහ.   
මේ අතර, අරුණිගේ ආයතනයේ සේවය කරන ඇයගේ මිතුරකු විසින් අරුණිගේ පියාට කීවේ තමන් දන්නා වෛද්‍යවරයෙකු සිටින බවත් ඔහු වෙතට අරුණිව ගෙනයාම සුදුසු බවත්ය. ඒ අනුව අරුණිව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති, මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරිණි.   
අරුණිගේ පියා වෛද්‍ය විද්‍යාකුලපති මහතාට සියලු විස්තර පවසා සිටියේය. වෛද්‍යවරයා අරුණිට ප්‍රතිකාර කිරීමට භාරගත්තේය. ඒ අනුව වෛද්‍ය කුලපති මහතා අරුණිව තනිවම ගෙන බොහෝ වේලාවක් ඇය සමඟ කතා කළේය. ඉන්පසු ඇයව ස්වාපනයට පත් කළේය. අරුණිට තිබුණේ මානසික රෝගයක් නොවේ. නමුත් ඇයට තිබුණේ එදිනෙදා ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට බාධා වන මානසිකත්වයකි.   


ඇයට තම ආදරණීය මවගේ මරණයේ කම්පනය දරාගත නොහැකි විය. කුලපති මහතා මෝහනයෙන් ඇයට මරණයේ යථාර්ථය අවබෝධ කළේය. උපත ලැබූ සෑම ජීවියෙක්ම කෙදිනක හෝ මියයන බව කුලපති මහතා අරුණිට පසක් කරදුන්නේය. ඒ වාගේම මව කෙරෙහි තිබූ මතකය (Aversion Therapy) “එපා කරවීමේ ප්‍රතිකාර” මගින් යටපත් කළේය.   
දැරියක් මල්වර වූ විට, ගැබ් ගත් විට, දරු ප්‍රසූතියේදී යනාදී විශේෂ අවස්ථා පිළිබඳව තවමත් පිළිගත් සංස්කෘතික රටාවක් ජන සමාජයේ දැකිය හැකිය. මේ අනුව, ඒ වත් පිළිවෙත් ආරක්ෂා කරන ඔවුන්ගේ අරමුණ වන්නේ යක්ෂ දෝෂයන් ඒ අවස්ථාවන්ට බලපෑම් කිරීම ඉහළ නිසා ඒවායින් මිදීමය. අප දන්නා පරිදි කිල්ල යන සංකල්පය ජනසමාජයේ පවතී. මෙම අභිචාරාත්මක ප්‍රතිකාර මගින් සිදු වන්නේ රෝගියාගේ මනස හා රුධිරය පිරිසිදු කිරීමයි.   


මෙම ප්‍රතිකාර ක්‍රමවලට වඩා එය රෝගීයාට සමීප ප්‍රතිකාර ක්‍රමයක්ද වේ. මන්ද ඒ මගින් විහිළු, අශ්ලීල කියුම් ආදිය යොදා ගනිමින් සිනහව ඇති කරන නිසාය. එම නිසාම රෝගී මනස සුවපත්වීම සිදු වන්නේ ඖෂධ හරහා නොව මනස සුවපත් කිරීම හරහාය. මෙහිදී අභිචාරාත්මක ප්‍රතිකාර අවශ්‍ය බව දැනේ නම් මිනිසුන් කෙසේ හෝ ඒ කරා ළඟා වීමට උත්සාහ දරති. මන්ද ඒ සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් සමාජයේ ජනගත වී ඇති නිසාය.   
මේ අනුව, රෝග සුව කර ගැනීම සඳහා අභිචාරාත්මක ප්‍රතිකාරයන්ට නැඹුරුවීම කෙරෙහි බලපාන සාධක ඔවුන්ගේ සංස්කෘතිය හා බැඳී පවතී. මේ අනුව බහුත්ව වෛද්‍ය ක්‍රමයක් ක්‍රියාත්මක වුවද රෝගීන්ගේ ප්‍රතිකාර පරිහරණය යම් යම් සාධක මත වෙනස් වේ. ඔවුන් අභිචාරාත්මක ප්‍රතිකාර කෙරේ යොමු වන්නේ රෝග කාරක මූලය අධිස්වභාවික බලවේගයක් හා සම්බන්ධ වන බව වටහා ගත් විටය. නැතිනම් රෝග කාරක මූලය ස්වභාවික සංසිද්ධියක් වන්නේ නම් ආනුභවික ප්‍රතිකාර පරිහරණයෙන් රෝගය සුව නොවන විටදී ඔවුන් අභිචාරාත්මක ප්‍රතිකාර කෙරේ යොමු වූහ.   


තවද සමාජ සමූහ ද මේ කෙරේ ඉමහත් බලපෑමක් සිදු කරන බව දැකිය හැකිය. මේ අනුව, පෙන්වාදිය හැක්කේ, වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට වඩා රෝගී මනසට අභිචාරාත්මක ප්‍රතිකාර සමීප බවය. අභිචාරාත්මක ප්‍රතිකාර මගින් සුව කරන්නේ මිනිස් මනසය. මිනිස් රුධිරය ය. එනම් ශාරීරික මෙන්ම මානසික රෝගී තත්ත්වයන් දුරු කිරීම අපේක්ෂා කරන බව සඳහන්ය. මේ අනුව, ආනුභාවික ප්‍රතිකාර ක්‍රමයන් තුළින් සිදු නොවන රෝගියා අපේක්ෂා කරන තත්ත්වයන් ඒ තුළින් ඉටු වන නිසා අභිචාරාත්මක ප්‍රතිකාර කෙරේ ඔවුහු නැඹුරුවීම සිදු වේ. එහෙත්, මේ සියලු ප්‍රතිකාර ක්‍රමයන් හරහා කෘත්‍යාත්මක අවශ්‍යතාවයන් ඉටු කරන නිසා ඒවා සහයෝගීව රෝගීන් වටා ක්‍රියාත්මක වන බව ද පෙන්වා දිය හැකිය.   


අපේ කතාන්දරයේ කතා නායිකාව අතරේ ගත් කල, සති කීපයක් යනවිට අරුණි යථා තත්ත්වයට පත්වූවාය. එසේම දෙමාපියන් කෙරෙහි තිබූ දැඩි ඇල්ම නිසා විවාහවීමට අකමැත්තෙන් සිටි අරුණිට විවාහ වීමටද සිත යොමු කරවීය. ඉන්පසු ඇය සාමාන්‍ය පරිදි සතුටින් කාලය ගත කළාය. නැවත රැකියාවකට ඉල්ලුම් කර ඇය බොහෝ සතුටින් එම රැකියාව කළාය. අරුණිගේ පියා ඇයට ගැළපෙන මනාලයකු සොයා විවාහ කරදුන්නේය. මේ වනවිට අරුණි විවාහ වී බොහෝ සතුටින් කාලය ගතකරන්නීය. තරුණ අරුණිට ජීවිතයේ නවතම අරුණ කැඳවන්නට හැකි වූයේ මේ අනුවයි.   


සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත